පෙනෙන නොපෙනෙන ලෝකය
ලෝකය ඉතාම පුදුමාකාර තැනකි. එහිදී සිදුවන සමහර දේ බොහෝවිට විශ්වාස කළ නොහැකි තරම්ය. එම සිදුවීම් සත්‍ය දැයි වැටහී යන්නේ තමාද එවන් සිදුවීමකට මුහුණ දුන්විට පමණි. නැතහොත් බොහෝවිට සිතෙන්නේ ඒවා බොරු කතා කියාය. නැතහොත් එම කථා ඇත්තක්ද නැත්තක්ද යන්න පිළිබඳ දෙගිඩියාවක් පමණි.
මේ මා කියන්නට යන්නේ මා මුහුණ පෑ අතිශය විස්මිත එමෙන්ම කෙනෙකුට සත්‍යයයි කියා සිතාගත නොහැකි අද්භූත සිද්ධියකි. පුවත්පත්වල කොතෙකුත් මෙවැනි අද්භූත කථා පිළිබඳව පළ වී ඇතත් ඒවා කවුරුන් විසින් හෝ කියන ලද ඒවා වන අතර එය සිදුවූ දිනයක් ස්ථානයක් සඳහන්ව නොමැත. එහෙත් මා මේ ලිවීමට සැරසෙන අත්භූත සිද්ධිය මට මතක ඇති අන්දමින් ආසන්න දිනයක් සහිතව ඉදිරිපත් කරමි.
මට මතක ඇති අන්දමට 2019.06 මාසයේ දිනයකි. එදින මාගේ සායන දිනයයි. මා සායනය අවසන් කර නගරයට පැමිණියේ තවත් අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් කර ගැනීම සඳහායි. එවිට වේලාව දහවල් 1.30 පමණ ඇත. මා නගරය මැදින් ගමන් කරන විට ඈත තියාම අප කුඩා කල සිට හඳුනන අවුරුදු හැත්තෑපහක් පමණ වයස අසල්වැසි කාන්තාවක් පාර අයිනේ සිටගෙන සිටින බව දුටුවෙමි. ඇය සිටියේ තනිවම නොවන අතර ඇය සමග තවත් කවුරුන් හෝ සිටින බව දුටු අතර ඔවුන් වටා බෑග් මලු, කූඩා වැනි දේවලුත් තිබෙන බවත් දුටිමි. මා ඇය අසලට පැමිණිවිට ඇය මා හා මුව පුරා සිනාසුනාය. මමද සිතාමතාම ඇය සමග මුව පුරා සිනාසුනෙමි. මක්නිසාද යත් ඇයත් අප පවුලේ අයෙකුත් අතර කිසියම් කරුණක් නිසා සුළු අමනාපයක් තිබීමය. ඒ වෙන කිසිවක් නොව ආගමික කටයුතු පිළිබඳ ඇති වූ හිත් නොහොඳ වීමකි. එම අවස්ථාවේ ඇය සුදු පැහැති පසුබිමක ලාපැහැති මෝස්තරයක් සහිත ඔසරියක් හැඳ සිටියාය. ඒ අවස්ථාවේ ඇය සමග සිටි මිටි කළු පැහැති කවුරුන් හෝ මා දෙස හැරී බැලූ බව දුටුවෙමි. ඒ කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න මා හට එතරම් මතක නැත. එසේ ඇය සමග සිනාසී ඇය පසුකර යනවාත් සමග ඇයගේ ඥාති දියණිය (මිනිපිරිය) ගැන විමසීමට සිත් වූයේ ඇයත් මාගේ දියණියත් එක පන්තියේ ඉගෙනුම කළ නිසායි. නමුත් ඒ අවස්ථාවේ රේල් ගේට්ටුව විවර වූයෙන් මා හනිකට රේල් පාර මාරුවී මගේ අනෙකුත් කටයුතු සඳහා ගියෙමි. කතාව මෙසේ නිමාවිය.
ඉන් සති දෙකකට පමණ පසු අප නිවසට කී.මී. 01 පමණ දුරින් පිහිටි මාගේ මවගේ නිවසට ගියේ කිසියම් කටයුත්තක් සඳහායි. එය කරගෙන ආපසු නිවසට යාමට පාරට පැමිණි අවස්ථාවේ ලයිට් කනුවක අලවා තිබූ මරණ දැන්වීම දුටු මගේ ඇඟ සීතල විය. එම මරණ දැන්වීමේ සිටි, එනම් මා කලින් නගරයේදී දුටු කාන්තාවගේ අවසන් කටයුතු 2019.06 මැද දිනක හෝ ආසන්න දිනකදී සිදුකළ බවයි. මෙය මට අදහාගත නොහැක. මා නිවසට ගිය විගස සොයුරිය අමතා ‘‘ඇන්ටි’’ මියගියේ මොනවා වෙලාද යන්න විමසීමි. ඇය පවසා සිටියේ දඹදිව වන්දනාවේ ගොස් සිටි ඇය එහිදී අසනීප වී මියගිය බවයි. එසේ නම් මා මුව පුරා සිනාසී ඇත්තේ ‘මළගිය’ ඇත්තකු සමග නොවේද? ඇය මියගොස් ඇත්තේද දඹදිව සියලු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමෙන් පසුව දිල්ලි නගරයේදී බව දැනගත්තෙමි. ඇගේ මෘත ශරීරය සැතපුම් සිය ගණනක් ඈත විදේශයක තිබියදී ඇගේ ‘‘මනෝකාය’’ තමා ජීවත්ව සිටි නගරයට පැමිණීම කෙතරම් පුදුම සහගතද? එමෙන්ම ඇය පාර අද්දර සිටගෙන සිටියේද නගරයේ සිට කි.මී. 1 1/2 පමණ දුරින් පිහිටි ඇගේ නිවසට යන ප්‍රධාන පාරට මුහුණලාය.
මෙම සිද්ධිය අද ද චිත්‍රයක් මෙන් මාගේ මතකයේ ඇඳී ඇත. ඉන්පසු දිනෙක මා නිවසට ගිය වෙලාවක මවට හා සොයුරියන්ට මෙම සිද්ධිය පවසා සිටි අතර ඔවුනටද මෙය අදහාගත නොහැකිවිය. එසේනම් ඇය සමග සිට බෙල්ල හරවා මා දෙස බැලූ කෙනා කවරෙක්ද? ඒ මහ පාරේ ගමන් කළ සාමාන්‍ය පුද්ගලයෙක්ද? නැත්තම් ඔහුත් භූතාත්මයක්ද? යන්න අපට ප්‍රශ්නයක් විය. වන්දනා ගමන් ගිය විට මෙසේ බුරුතුපිටින් මිය යන්නේ නැති නිසා මාගේ සොයුරියන් පවසා සිටියේ ඒ පාරේ සිටි සාමාන්‍ය මිනිසකු බවත් මහ දවල් මහ පාරේ තනියම සිනාසිසී යන්නේ මේ ගෑනු කෙනාට පිස්සු හැදිලද යයි සිතා මා දෙස හොඳින් බැලූ බවත්ය. මෙසේ කියූ ඔවුහු මා හට හොඳ හැටි සිනාසුනහ.
මේ අතර අප නිවසට යම්කිසි කරුණක් සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළහ. එම වන්දනා ගමන ගැන හොඳින් දන්නා උන්වහන්සේට මෙම කරුණ විස්තර කර සිටියෙමි. එවිට උන්වහන්සේ පවසා සිටියේ මෙම වන්දනා ගමනේදී කාන්තාවක් සහ පිරිමියෙක් මියගිය බවයි.
එසේ නම් මා දෙස හොඳින් බලා සිටියේ පාරේ ගිය සාමාන්‍ය පුද්ගලයකු නොව දඹදිවදී මියගිය අනෙක් තැනැත්තා බවට අනුමාන කළ හැක. තවද තමාගේ ඥාති මිත්‍රාදීන්, දරු මුණුපුරන් හඬා වැටෙද්දී ඇය ඉමහත් සතුටින් මා හා සිනාසුනේ ඇයි? බොහෝවිට හොඳ ආත්මභාවයක ඇය උප්පත්තිය ලබන්නට ඇත. ආගමානුකූලව ජීවත් වූ ඇය මරණින් පසු එවන් යහපත් ආත්මභාවයක උප්පත්තිය ලැබූ බව පිළිගත හැක.
ආර්. ඩී. ආරච්චි
සියඹලාගහවත්ත - රාගම.