ඉංග්‍රීසි ජාතික ලේඛකයන් විසින් ශ්‍රී ලංකාව ගැන ලියා ඇති ග්‍රන්ථ බොහෝමයකට පසුබිම වී තිබෙන්නේ මෙරට ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි වනාන්තර වන සීපාවා හා එම වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවූ අසරණ ගැමියන් පිළිබඳ තොරතුරුය. විශ්ව වන සාහිත්‍යය පෝෂණය කිරීමට එදා ඔවුන් දුන් දායකත්වය අද වන් යුගයක ඉහළින්ම කැපී පෙනෙයි. පරිසර සම්පත් ‘අටුකොස්ව’ යන මෙකල අතීතයේ කෑ පැණිවරකාවක් සේම ඔවුන්ගේ ඒ පත පොත රසවත්ය.
දඩයම් ජීවිතයත් බෝග වගාවත් එකම විනෝදාංශය කර ගත් ප්‍රසිද්ධ ලේඛකයකු ලෙස සර් සැමුවෙල් බේකර්ගේ නම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ හැකිය. ගත සිත පුබුදු වන සැපදායි ප්‍රදේශයක් ලෙස නුවරඑළිය ජනප්‍රියතාවට පත් කිරිමට මුල් වූ පිරිස අතරින් ප්‍රමුඛස්ථානය හිමි වන්නේ සර් සැමුවෙල් බේකර්මය. ලංකාවේ වන මං ඔස්සේ පියමං කර ලබා ගත් අත්දැකීම් නිසාම පසු කාලයක අප්‍රිකානු දේශ ගවේෂණයේ යෙදුණු සර් සැමුවෙල් බේකර් අවසානයේදී නයිල් ගඟේ ආරම්භක ස්ථානය සොයා ගත් ප්‍රථමයා ලෙස ලෝක ඉතිහාසයට එක් විය.
1821 ජුනි මස 08 දින ලන්ඩනයේදී උපත ලද මේ දේශ ගවේෂකයා එංගලන්තයේ දී හා ජර්මනියේදී අධ්‍යාපනය ලබා 1944-46 කාලය මුරිසි දිවයිනේ ගත කළේය. වන සතුන් ගහන ගණ වනාන්තරයෙන් වැසුණු පෙරදිග දඩබිම ලෙස එකල ඉංග්‍රීසි ජාතිකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණු ලංකාව ගැන තමන්ට අසන්නට ලත් විස්තරවලින් පැහැදුණු සැමුවෙල් බේකර් 1847 දී ලංකාවට පැමිණියේය. එවකට ඔහු 27 හැවිරිදි තරුණයෙකි. ලංකාවේ භුමි සිතියම් හා වනාන්තර පිළිබඳ තොරතුරු අධ්‍යයනය කළ මේ තරුණයා නොබෝ දිනකින්ම නුවරඑළිය බලා ගියේය.
සුදෝ සුදු මීදුමින් වැසීගිය සීතල කඳුකරයත් ගත සිත පිනවන මනරම් භූ දර්ශනත් දැක චිත්ත ප්‍රමෝදයට පත් බේකර් ‘මේ නම් ඉංග්‍රීසි ජාතිකයන් වෙනුවෙන්ම දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද එංගලන්තයක් මිස අන් කුමක් දැයි’ සිතා ගණ වනයෙන් වැසුණු ඒ නුවරඑළිය ඉංග්‍රීසි ජාතිකයන්ගේ නව ජනපදයක් කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.
සති දෙකක් නුවරඑළියේ ගත කළ ඔහු ආපසු කොළඹට පැමිණ නිවසක් කුලියට ගත්තේය. එතැන් පටන් ලංකාවේ ගම් දනව් වනාන්තර කඳු වැටි ගංගා හැම තැන ගවේෂණය කරමින් ඇවිද්දේය. මෙසේ මාස දොළොසක් ලංකාවේ ගත කළ බේකර්ගේ එකම විනෝදාංශය වූයේ දඩයමයි. මැලේරියාවෙන් පෙළෙමින් දඩයමින් ගත කළ දොළොස් මසක් ලෙස මේ කාලය බේකර් විසින්ම හඳුන්වා දී තිබේ.
ආපසු එංගලන්තයට ගිය බේකර්ගේ සිතට නිදහසක් නොවීය. ලංකාවේ ගත කළ කාලයේ හුදෙකලා වනාන්තර ප්‍රදේශවල දඩයම් සොයා ගිය හැටිත් නිසල වන පෙත සසල කරවමින් තම රයිෆලයේ හඬ දෝංකාර දුන් හැටිත් මුවත්, ගෝණුන් පමණක් නොව දැවැන්ත අලි ඇතුන් පවා ඒ වෙඩි හඬ සමග ඇද වැටුණු ආකාරයත් ඔහුට මැවී පෙනුණේය. මේ නිසාම නැවත ලංකාවට පැමිණීමේ ආශාව එක් දිනකින් හෝ පමා කිරීමට බේකර්ගේ සිත ඉඩ දුන්නේ නැත.
යටත් විජිත භාර මහ ලේකම්වරයාගේ කාර්යාලයට ගොස් අක්කරය සිලිං විස්ස බැගින් නුවරඑළියෙන් සෑහෙන ඉඩම් ප්‍රමාණයක් මිලට ගත් බේකර් තමා සමග ලංකාවේ පදිංචියට ඒමට කැමැති හිතවත් පවුල් කීපයක් ද ගමනට සූදානම් කර ගත්තේය. ඉන් පසු තම අනාගත ගොවිපොළ සඳහා අවශ්‍ය උපකරණ එළවළු හා පළතුරු බීජ, ඩර්හැම් වර්ගයේ එළදෙනක හා ගවයකු බැටළුවන් කිහිප දෙනෙකු අශ්වයකු හා දඩයම් බල්ලන් ද මිලට ගෙන ඒ සියල්ල සමග නව ජනපදික පිරිස ද ලංකාව බලා එන නැවකට බාර දුන් බේකර් කල්තියාම ලංකාවට පැමිණියේය.
නුවරඑළිය නගරයේ සිට සැතපුම් දෙකක් එපිට සුව දායක තැනිතලා ප්‍රදේශයක් (සඳතැන්න) තෝරාගත් ඔහු කුලී කරුවන් විශාල පිරිසක් යොදවා කැලෑ එළි පෙහෙළි කර නොබොහෝ දිනකින්ම සුව පහසු නිවාස කීපයක් ඉදිකරවිය.
ආගන්තුක පිරිස රැගත් නෞකාව 1848 නොවැම්බර් මස කොළඹට ළඟා විය. නුවරඑළිය දක්වා පයින්ම සැතපුම් 115 ක දුෂ්කර ගමනක යෙදෙන අවස්ථාවේදී සතුන්ගෙන් සමහරෙක් අතරමඟ මියගියහ. අධික වෙහෙසත් දැඩි උෂ්ණත්වයත් විඳ දරා ගැනීම සතුන්ට අපහසු විය. ඇතුන් බැඳි ගැල් යොදාගෙන ගිය මේ ගමන අවසානයේ සෙසු පිරිස සුව සේ නුවරඑළියට ළඟා වී නව ජනපද ජීවිතය ආරම්භ කළහ.
ආනයනික සතුන් ද විදේශීය එළවළු බෝග ද යොදාගෙන ප්‍රථම වරට ලංකාවේ ගොවි පොළ ක්‍රමයක් ආරම්භ කිරීමට ගත් සාර්ථක උත්සාහයක් ලෙස බේකර්ගේ මෙම වැඩපිළිවෙළ හඳුන්වා දිය හැකිය. අදටත් උඩරට ප්‍රදේශයේ ප්‍රධාන වගා බෝග බවට පත්ව ඇති කැරට්, බීට්, ගෝවා ලංකාවට මුලින්ම හඳුන්වා දීමේ ගෞරවය බේකර්ට හිමි වෙයි. බේකර් ලංකාවට ගෙනාවේ ඔහුගේ ගොවිපොළ ක්‍රමය හා නව ජනපද රටාව පමණක් නොවේ. විනෝදශීලී දඩයම් ජිවිතය ද ඒ අතර ප්‍රධාන වෙයි. (අදට නොගැළපෙන්නක් වුවත් ඒ යුගයේ හැටියට) ගොවිපොළ ආරම්භ කිරීමෙන් ඉනික්බිති ඔහු කඳුකර ප්‍රසිද්ධ දඩබිමක් වූ හෝර්ටන්තැන්නේ ගෝණුන් දඩයම් කිරීමට පටන් ගත්තේය. එංගලන්තයෙන් රැගෙන ආ දඩබල්ලන් මේ සඳහා යොදා ගැනුණි.
18 වන ශත වර්ෂය අග භාගය වෙන විට දඩයම ලංකාවේ හොඳම ක්‍රීඩාව බවට පත්ව තිබිණි. එහෙයින් බේකර්ගේ දඩයම් දිවිය හෝර්ටන්තැන්නට පමණක් සීමා නොවීය. හොඳ දඩයම් සොයා ඔහු පහතරට ප්‍රදේශ ද ගවේෂණය කළේය. 1847 සිට 1855 දක්වා වසර අටක් බේකර් ලංකාවේ රැඳී සිටියේය. එදා ලංකාවේ අලි ඇතුන් මරා දැමීම දිරි ගන්වනු වස් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දඩයක්කරුවන්ට ත්‍යාග පිරිනැමීම අලි ඝාතනය ඉහළ යෑමට සෘජුවම බලපෑවේය. මරා දමනු ලබන එක් අලියකුගේ වල්ගයකට සිලිං දහය බැගින් රජය ගෙවූ අතර මේ නිසාම කොපමණ අලි සංඛ්‍යාවක් මරා දමනු ලැබුවේද යත් එකල රජයේ වාර්ෂික ආදායම පියවා ගැනීමට එය බාධාවක් වූ බව බේකර්ම පවසයි.
එදා රජයේ ඉඩම් අක්කරයක් සිලිං විස්සකි. අලි දෙදෙනකු මරා පහසුවෙන්ම ඉඩම් අක්කරයක් මිලදී ගත හැකි විය. අලි දඩයම හොඳ ආදායම් මාර්ගයක් වූ නිසාම තුවක්කු භාවිත කරන පිරිස ද ක්‍රමයෙන් ඉහළ ගියේය. අවසානයේදී ස්වදේශිකයන් අතින් ද ඈත පිටිසර වනාන්තර තුළදී විශාල වශයෙන් අලි ඇතුන් මරුමුවට පත් වූ බව වාර්තා වෙයි.
සැමුවෙන් බේකර්ගේ සංචාරක ජිවිතය හුදෙක් විනෝදයට පමණක් බර නොවීය. ලක් පොළොවෙන් රත්‍රන් සොයා ගැනීමක් පිළිබඳව විස්තරයක් මුලින්ම ලක්රජයට ඉදිරිපත් කර ඇත්තේ ද බේකර් විසින්ය. සැමුවෙල් බේකර් ඉතාමත් තීක්ෂණ බුද්ධියකින් කටයුතු කළ පුද්ගලයෙකි. ඉංග්‍රීසි ජාතික වැවිලිකරුන්ගේ හා යුද භටයන්ගේ ප්‍රයෝජනය සඳහා නුවරඑළියේ කියවීම් ශාලාවක්, විශ්‍රාම ශාලාවක් හා දේවස්ථානයක් ද ඔහු ඉදිකරවීය. ඉංග්‍රීසි පාලනය යටතේ ලංකාව ශීඝ්‍ර දියුණුවක් කරා ගමන් කළ බව පවසන බේකර් ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ උදාසීනත්වය නිසා එම දියුණුවට බාධා ඇති වූ බව උදාහරණ ගෙන හැර පාමින් නිර්භයව පෙන්නුම් කර දී ඇත.
සර්. ජී. ඇන්ඩර්සන් හා සර් ඩබ්ලිව්. හෝර්ටන් යන ආණ්ඩුකාරවරුන්ගේ පාලන කාලය රටට දුර්භාග්‍ය ළඟා කර දීමට හේතුවූ බව බේකර් සඳහන් කරයි. ඇන්ඩර්සන් ඉතාමත් දුර්වල ආණ්ඩුකාරයෙකි. ඔහුගේ විනෝදකාමී දිවි පෙවෙත නිසා රටේ පොදු සුබ සාධන සේවා රාශියක් ඇණහිටියේය. මංමාවත් අබලන් වී ගමනාගමන සේවා පිරිහී ගියේය. නමුත් තමා රාජ්‍ය භාණ්ඩාගාරයට පවුම් 27000 ක් ඉතිරි කර දුන් බවට ඇන්ඩර්සන් උදම් ඇනූ බව බේකර් සඳහන් කරයි.
සිංහල රාජ්‍ය සමයේ පටන්ම මුතු කිමිදීම ලංකාවට හොඳ ආදායම් මාර්ගයක්ව පැවැතියේය. පෘතුගීසි ලන්දේසි පාලන සමයන්හි පවා රාජ්‍ය ආදායමින් වැඩි කොටසක් ලබා ගත්තේ මුතු පරවලින්ය. ඉංග්‍රීසින්ද මුතුවලින් හොඳ රාජ්‍ය ආදායමක් ලබා ගත් බව පවසන බේකර් එය රජයට රන්බිජු දුන් හංසයකුට සමාන කරයි. සර් හෝර්ටන් මේ රන් හංසයා මරා බිජු ලබා ගැනීමට උත්සාහ කළ දුර්වල ආණ්ඩුකාරයකු ලෙස බේකර්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබේ. සැමුවෙල් බේකර් ලංකාවේ ගත කළ නිදහස් විනෝදශීලී ජිවිතයේ සාර්ථකත්වය ආදර්ශයට ගත් එංගලන්තයේ ඉහළ හා මධ්‍යම පාන්තික ජන කොටස් ලංකාවට ඇදී ඒමට පටන් ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස කඳුකරය වසා ගත් ගණ වනාන්තරය එළි පෙහෙළි වී ඒ මත වතු වගා ක්‍රමය ව්‍යාප්ත වී ගියේය. බේකර් ලංකාවේ ගත කළ අට වසර තුළ ග්‍රන්ථ කිහිපයක්ම ලියා පළ කළේය. 1853 දී ඔහු විසින් ලියන ලද රයිෆල් ඇන්ඩ් හවුන්ඩ් ඉන් සිලෝන් හා 1855 දී ලියන ලද එයිට් ඉයර්ස් වොන්ඩරිංස් ඉන් සිලෝන් යන ග්‍රන්ථ මේ අතරින් ප්‍රසිද්ධීයට පත් අගනා කෘතීන්ය. ලංකාවේ ගණ වනාන්තර තුළ ඇවිද අලි ඇතුන් දඩයම් කිරීම පිළිබඳ අනුවේදනීය විස්තරත් වනගතව දිවි ගෙවූ අසරණ ගැමියන්ගේ පීඩාකාරී ජීවන අරගලයත් ඔහු සිය ග්‍රන්ථ තුළින් මනාව හුවා දක්වා තිබේ.
සැමුවෙල් බේකර්ගේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණයන් ඔහු කරා ළඟා වූයේ ලත් දිවියේ ඔහු ගත කළ අට අවුරුදු කාලය අවසානයේදීය. ඒ වන විට බේකර්ගේ නම බටහිර ලෝකයා අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. සැඟවුණු ලෝකය සොයමින් ගවේෂණ චාරිකාවල යෙදෙන පිරිස් අප්‍රිකානු මහද්වීපය වෙත වැඩි අවධානයක් යොමු කර තිබුණේ ද මේ වකවානුවේදීය. මෙම ගවේෂණයන්ට එක්වීමේ බලාපොරොත්තුවෙන් බේකර් 1856 දී ලංකාවෙන් සමුගත්තේය.
මුලින්ම කොන්ස්තන්තිනෝපල්වලටත් එතැනින් ක්‍රිමියාවටත් ගිය සැමුවෙල් බේකර් එහිදී කළු මුහුද හා ඩැනියුබ් නදිය සම්බන්ධ කිරීමට ඉදිකරමින් තිබුණු දුම්රිය මාර්ගයේ වැඩ පරීක්ෂකවරයා ලෙස රාජකාරිය භාර ගත්තේය. කඳු, වන දුර්ග මැදින් තැනු මේ මාර්ගය නිසා ඔහුගේ වනගත ජීවන අත්දැකීම තව තවත් ඔපමට්ටම් විය. 1861 මාර්තු මාසයේදී ඔහු සිය මධ්‍යම අප්‍රිකානු චාරිකාව ආරම්භ කළේය. නයිල් ගංගාවේ ආරම්භක ස්ථානය සොයා ගැනීමත් කැප්ටන් ස්පෙක් හා ග්‍රාන්ට්ගේ මෙහෙයවීමෙන් වික්ටෝරියා විල ප්‍රදේශයේ ගවේෂණ කටයුතු කරමින් සිටි නැගෙනහිර අප්‍රිකානු ගවේෂණ කණ්ඩායම මුණ ගැසීමත් බේකර්ගේ බලාපොරොත්තුව විය.
සුඩාන් ඇබිසීනියානු දේශ සීමාවේ අවුරුද්දක් පමණ ගත කළ ඔහු මේ කාලය තුළ අරාබි බස හොඳින් ඉගෙන ගත්තේය. ඒ අතරෙහි ඔහු ඇක්බරා ඇතුළු නයිල් ගංගාවේ ප්‍රධාන අතු ගංගා සොයාගෙන ඒවා සිතුවම් ගත කරමින් නයිල් ගංගාවේ බොර දිය ඇබිසීනියාවේ සිට ගලා එන බව ලොවට එළිදරව් කළේය. පසුව කාටුම් නගරයට පැමිණි බේකර් 1862 දෙසැම්බර් මාසයේදී සුදු නයිල් නදිය සෙවීම සඳහා ගමන් ආරම්භ කළේය. මෙසේ ගමන් කරමින් සිටියදී මාස දෙකකට පසුව ගොන්දකාරා ප්‍රදේශයේ දී ඔහුට ස්පෙක් හා ග්‍රාන්ට් මුණගැසිණි. ඒ දෙදෙනා නයිල් ගංගාවේ ආරම්භක ස්ථානය සොයා ගෙන ගඟ ඔස්සේම ඊජිප්තුව බලා ගමන් කරමින් සිටියහ.
මෙම ආරංචිය බේකර්ගේ කනස්සල්ලට හේතුවක් විය. තමාගේ ගවේෂණ කටයුතු නිශ්ඵල වූ බව සිතූ බේකර් නයිල් ගංගාවේ තවත් සෙවීමට දෙයක් තමාට ඉතිරි වී නැතැයි සිතා පසුතැවිලි විය. නමුත් ස්පෙක් හා ග්‍රාන්ට් ත්‍යාගශීලී ලෙස බේකර්ට තවත් ආරංචියක් දුන්හ. එනම් එතෙක් හෙළිදරව් නොවූ ඇල්බට් නියංසා විල සොයා ගන්නා ලෙස ඔවුහු බේකර්ගෙන් ඉල්ලා සිටියහ. ඒ හෝඩුවාව ඔස්සේ වසරකට අධික කාලයක් තිස්සේ අතිදුෂ්කර ගවේෂණ කටයුත්තක යෙදුණු බේකර් 1864 මාර්තු 14 වෙනි දින නයිල් ගංගාවේ මුල උල්පත වන ඇල්බට් නියංසා විල සොයා ගත් ප්‍රථම ගවේෂකයා ලෙස ලෝක ඉතිහාසයට එක් විය. මේ නිසා බේකර් ස්පෙක්ගේ හා ග්‍රාන්ට්ගේ විශිෂ්ට ප්‍රශංසාවට ලක් විය. තව දුරටත් ඇල්බට් නියංසාවේ ගවේෂණයන්හි නියැළී සිටි බේකර් 1865 මැයි මාසයේදී ආපසු කාටුම් නගරයට පැමිණියේය.
එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී එංගලන්තයට පැමිණි බේකර්ට රාජකීය භූගෝලීය සංගමයෙන් හා පැරිස් භූගෝලීය සංගමයෙන් ද රන් පදක්කම් පිරිනැමීය. 1866 දී ඔහු නයිට් පදවියකින් පිදුම් ලැබීය. එම වසරේම ද ඇල්බට් නියංසා ග්‍රේට් බේසින් ඔෆ් ද නයිල් සහ එක්ස්පේරේෂන් ඔෆ් ද නයිල් සෝසස් නමැති ග්‍රන්ථ ද 1867 දී නයිල් බ්‍රිබියුටරීස් ඔෆ් ඇබිසීනියා නම් ග්‍රන්ථය ද ඔහු ප්‍රකාශයට පත් කළේය. මෙම පොත් දෙකේ මුද්‍රණයන් කීපයක්ම ඉක්මණින් අලෙවි වීම නිසා 1868 දී කාස්ට් අප් බයි ද සී නම් ප්‍රසිද්ධ කතාව ප්‍රකාශයට පත් කරමින් ඔහු විශ්ව කීර්තිමත් ලේඛකයකු බවට පත් විය.
1869 දී ඊජිප්තුවට ගිය සැමුවෙල් බේකර් කාදිව් ඉස්මයිල් නම් ඊජිප්තු නායකයාගේ ඉල්ලීම අනුව එරට යුධහමුදාවේ අණ දෙන නිලධාරී තනතුරක් භාර ගත්තේය. එහි පරමාර්ථය වූයේ නයිල් ගඟේ නිරක්ෂීය කලාපයේ එවකට පැවැති වහල් වෙළෙඳාම නතර කර එරටේ නව වාණිජ ශිෂ්ටාචාරයක් නැගීමය. 1700 ක ඊජිප්තු භට හමුදාවක් සමග කයිරෝ නගරයෙන් පිටත් වූ බේකර් එම හමුදාවේම මේජර් ජනරාල් තනතුරට පත් කරනු ලැබූ අතර ඊට අමතරව වසරකට පවුම් හය දාහක වැටුපක් සහිතව එරට නව දේශ සීමාවේ ආණ්ඩුකාරයා ලෙස ද ඔහු පත් කරනු ලැබිණ.
වසර හතරක් එහි සේවය කිරීමෙන් අනතුරුව 1874 දී නැවත එංගලන්තයට පැමිණි සර් සැමුවෙල් බේකර් සෑන්ඩ් ෆෝර්ඩ් ඕවර්ල්හි ඉඩමක් මිලදී ගෙන නිෙවසක් තනා තම ජීවිතයේ ඉතිරි කාලය බිරිඳත් සමග නිස්කලංකව ගත කළේය.
1874 දී ඉස්මයිලියා නමින් තම මධ්‍යම අප්‍රිකානු ගවේෂණය පිළිබඳවද 1879 දී සයිප්‍රස් ඈස් අයි සෝ නමින් සයිප්‍රස් දූපත ගැන ද ග්‍රන්ථ දෙකක් ලියා පළ කළ සර් සැමුවෙල් බේකර් ඉන් පසු රොකී කඳුකරය, ඉන්දියාව, ඊජිප්තුව සහ ජපානය වැනි රටවල කිහිප වරක්ම සංචාරය කර 1890 දී තමාගේ අවසන් ග්‍රන්ථය වයිල්ඩ් බීස්ට්ස් ඇන්ඩ් දෙයාර්චේස් නමින් ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකාවේ ගණ වනාන්තර තුළින් දඩයම් ජීවිතය ආරම්භ කර අවසානයේ නයිල් ගංගාවේ සැඟවුණු අභිරහස් ලොවට එළිදරව් කරමින් විශ්ව කීර්තියට පත් මේ අසහාය දේශ ගවේෂකයා 1893 දී තම මාතෘ භූමිය වන එංගලන්තයේදී අවසන් හුස්ම හෙළුවේය.
කැමිලස් වනිගසූරිය