පට්ටිකිරි උතුරුවන මී කිරි දෙමහා


 

 

පෙබරවාරි මාසය උදාවී ගෙවී ගොස් ඇත. මාර්තු මාසය උදාවී ඇත. පෙබරවාරි මාර්තු මාසය සිංහල ක්‍රමයට හඳුන්වනු ලබන්නේ නවම් සහ මැදින් මාස ලෙසයි. නවම් මැදින් දෙමාසය කෘෂිකර්මාන්තයේ නිරතවන අපේ පිරිස් හඳුන්වන්නේ මීකිරි දෙමහා ලෙසයි. ඒ පෙබරවාරි මාර්තු දෙමාසය යනු ඉපනැලි සමය වන බැවින්ය. මේ ඉපනැල්ල බක්මහ ඉපනැල්ල ලෙසින්ද හඳුන්වයි. ඒ මාස් අස්වනු නෙළීම අවසන් වීමත් සමගය. මහට ගොයම් ගස් සරුවට වැඩේ. සරු වී අස්වැන්නක්ද ලැබේ. එය සොබා දහමේ ක්‍රියාවලියකි. යල් කන්නයට ගොයම එතරම් සරු නොවන්නේ යල් කන්නයට වැහි හිඟ බැවිනි. මාස් ඉපනැල්ල උදාවත් සමගම හරක් ගාල්වලින් කෙතට නිදහස් කරනු ලබයි. එවිට එළ මී ගවයන් නිදහසේ කෙතේ සැරිසරන අවදිය එළැඹෙයි. එසේම මාස් ඉපැනැල්ලට වහු දරුවන්ගේ බෝ වීමද ඉහළ යන්නේය. එය සොබා දහම හා බැඳුණු ක්‍රියාවලියකි. මේ නිසා යහමින් ගවපට්ටිවලට කිරි ලැබේ. ඊට අනුව නවම් මැදින් දෙමාසය මී කිරි මහ ලෙසද හඳුන්වනු ලබයි. ඒ වෙනදාට වඩා සරු මී කිරි අස්වැන්නක් නියත වශයෙන්ම හිමිවන බැවිනි.  
ගොයම් කපා යාය නිදහස් කළාට පසුව හිමි වන වහු පැටවුන් වාසනාවන්ත බව පිළිගත් මතයකි. ඊට හේතුව නම් උන්ට නිසි ආරක්ෂාව ලැබෙන හෙයිනි. කෙත්යායේ ආහාර මනා ලෙස තිබෙන බැවින් ලඳු දෙණි ගානේ උලාකමින් යා යුතු නොවේ. එලෙස වන බැදිවල ගව පට්ටි රංචු ගැසෙන විට අලුත උපන් පැටවුන් විනාශවීමට තිබෙන ඉඩකඩ වැඩිය. නැතිනම් පැටවෙකු අකල් ගොදුරක් වී විනාශ වේ නම් ඒ දෙනගෙන් කිරි ලබාගත හැකි කාලයද වහා කෙටි වේ. නිරුපද්‍රිතව වහු දරුවා සිටින විට දෙනගෙන් යහමින් කිරි ගත හැකියි.  
වෙල් එළිය නිදහස් වටපිටාවකි. ලියැදි අතර කුඩා වහු පැටවුන්ට දුන පැන යා හැකිය. ඊට නිදහස් ස්ථානයක් වෙනත් නැති තරම්ය. වැව් පිටිවල බඩවැටිවල හෝ අත්හළ හේන් කනතුවල මෙලෙස නිදහසේ දුවගෙන යාමට ඉඩ නැත. වහු දරුවන්ගේ පැටි වියේ මුල් දිනවලදී වැඩියෙන්ම සිදු කරන ක්‍රියාව වන්නේ මවගෙන් ඈතට දිවගොස් පිම්මේ පැමිණීම හා ඒ ආ ගමන් කිරි බීමය. වෙල් එළියේ දුව ගෙන යෑමටද කිරි වැඩීමට තරම් ප්‍රමාණවත් තණ කොළ ආහාරද තිබේ. කුඩා පැටවුන් ලියැදි අතර දිවීම මගීන් අත්පා සවිබල ගැන්වීම නිරායාසයෙන් සිදුවේ.  


එක රංචුවට වහු පැටවුන් දිවයාම කිරි බීම හා උන්ගේ දඟකම් දැකීම හරක් පට්ටියක කිරි බෝවීමට හේතු වන වාසනාවක් ලෙසින් සැලකේ. රංචු රංචු සාමුහිකව තණ උලා කමින් කෙත්යායේ ඇවිදීම මගින් නිරායාසයෙන් කෙත්බිම් පොහොර වීමද සිදුවේ. එයට අමතරව පළින් පල ලියැදි හෝ කනටි තෝරාගෙන රාත්‍රියට පට්ටි බැඳීමද දැකගත හැකිය. ඒ යායේ සියලුම ලියැදි එක හා සමාන ලෙස සරු නොවන බැවිනි. ඇතැම් ලියැදි නිස්සාරය. එවැනි ලියැදි සශ්‍රික කිරීම පිණිස කෙත් අස්කළ සමය යොදා ගැනේ. එවිට පුරා සතියක් නැතිනම් දින හතර පහක් ගවයන් පට්ටියම එකම ලියැද්දකට ගාල් කරවනු ලබයි. ඒ ලියැදි වටා කුඩාවට අතුරිකිලි උපයෝගී කරගෙන වැටක් බැඳ ගනී. ඒ අයුරින් ලියැදි හඳුනාගෙන පොහොර කරවා ගැනීමද මේ සමයේදී සිදුවේ.  


මෙලෙස කෙත්යායට නිදහසේ ගවයන් මුදාහැරීමට පෙර ගවපට්ටිය හා බැඳුණු චාරිත්‍රයක් ඉටු කිරීමද කළ යුත්තකි. එනම් මී කිරි දෙමහා ගෙවීයාමට මත්තෙන් පට්ටි කිරි ඉහිරුමක් කිරීමය. ඊට නවම් මස හෝ මැදින් මාසය යොදා ගනී. පට්ටිකිරි ඉතිරීම ගම්වල සියලු ගවපට්ටි හිමිකරුවන් ඉටු කරන චාරිත්‍රයකි.  


මේ සඳහා කෙම්මුර දිනයක් යොදා ගැනේ. පළමුවෙන්ම පාන්දර ඉර නැගෙන්නට පෙර ගවපට්ටිය හිමිකරුවා තම ගව පට්ටිය වෙත ළඟා වෙයි. ඒ යන්නේ නැවුම් මැටි මුට්ට්යක් අතැතිවය. එසේ ගොසින් කතා නොකර පට්ටියේ දෙනුන්ගේ බුරුල්ල ​සෝදා කිරි ගනී. මුට්ටිය පිරෙන්නට වුවමනා තරම් කිරි දොවාගත් පසුව අනෙක් උදව්කරුවන් හරක් පට්ටිය අසලට ගොස් පට්ටි කිරි ඉතිරීමට උදව් ලබාදෙති. බොහෝ විට පට්ටියේ කඩුල්ල අද්දර නැතිනම් පට්ටි කඩුල්ල සමග පට්ටියේ සිවුකොන තෝරාගෙන කිරි ඉතිරවීම සඳහා සූදානම් වෙති.  


පට්ටි කිරි ඉතිරීම සඳහා ඒ පට්ටියෙන් කිරි දොවා ගන්නවා හැර වෙනත් පට්ටියකින් කිරි ගැනීම තහංචිය. තවද ඊට පොල් කිරියොදා ගැනීමද සිරිත් සම්මත තහංචියකි.  
පට්ටිකිරි උතුරන්නේ මංගර දෙවියන් මුල් කර ගෙනය. මංගර පිදිල්ලේදී පොල් කිරි ගැනීම තහංචිය. එහෙයින් පට්ටිකිරි උතුරනු ලබන ගවපට්ටියෙන්ම කිරි දොවා ගනිති. පසුව පට්ටියේ කොන්හතරේ කුඩා මැටි මුට්ටි හතරක් තබා ඒවාට ​දොවාගත් කිරි දමා උතුරුවති. එසේම පට්ටි කඩුල්ල අසල නැවුම් මුට්ටියකද කිරි උතුරුවා ඊට සහල් දමා කිරිබත් පිස ගනී. සිවුකොන උතුරාගිය මුට්ටිවලින් සහ ප්‍රධාන මුට්ටියේ කිරිගෙන එය කොහොඹ නැතිනම් දෙහි හෝ පැඟිරි අත්තක ආධාරයෙන් පට්ටිය වටා ඉසිති. එලෙස කිරි උතුරුවා කිරි ඉසීමේදී දෙවියන් උදෙසා කෝල්මුර කවි ගායනා කරති. එමගින් පට්ටියේ සිටින ගවයන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටීම විශේෂත්වයකි.  


මෙලෙස කිරි උතුරා එය සෙත් ශාන්තියක් ලෙස පට්ටිය වටා ඉසීම සිදු කළද පට්ටියේ කඩුලු ඇරීම තහංචිය. ඒ සඳහා පට්ටි කිරි ඉතිරීමේ පූජා කර්මයේදී මංකඩුල්ල අද්දර මුට්ටියේ කිරි උතුරුවා පිසගත් කිරිබත්වලින් දෙවියන් උදෙසා ගොටු තැබිය යුතුය. එහිදී ප්‍රධාන ගොටුව වෙන්වන්නේ මංගර දෙවියන්ටය. ගම්බාර කතරගම අයියනායක කඩවර ආදී දෙවියන් සඳහා ගොටු තබන්නේ ඊළඟටය. එලෙස කිරි ඉතිරවීම අවසන් කළාට පසුව පට්ටි කඩුල්ල හැර ගවයන්ට නිදහසේ කෙත් යායේ ආහාර පිණිස යෑමට ඉඩ දෙති.  
මේ පට්ටි කිරි ඉතිරීම සෑම වසරකදීම මී කිරි දෙමහට කළ යුතු සත්කාරයකි. එයින් ගවයන්ගේ චීරජිවනය හා පට්ටියේ වහු දරුවන්ගේ බෝවීම අපේක්ෂා කෙරේ. තවද මාස් ගොයම බණ්ඩි අවධියේ සිට කපා පාගා අවසන් කළද ගවයන් හණ ගැසීම සහ නාම්බන්ගේ නාස් ලණු දැමීම සඳහා නහය විදීම තහංචිය. ඒ සඳහා අවසර ලැබෙන්නේ මී කිරි දෙමහේ පට්ටි කිරි ඉතිරීමෙන් පසුවය. අනෙක් අතට බක්මහට පෙර පට්ටිකිරි ඉතිරීම බක්මහ ආශිර්වාදයක් ලෙසද පිළිගැනේ. මන්දයත් ගවයන්ට හණ ගැසීම, අං කැපීම, නැහ විදීමට මෙන්ම අලුතින් ලාඩම් ගැසීම වැනි කරුණු කෝණ මංගලයට පෙර කළයුතු වතාවත් ලෙස සැලකෙන බැවිනි. ඊට අවසර ගැනීමට නම් මී කිරි දෙමහා උදාවීමත් සමගම පට්ටිකිරි ඉතිරවීම කළ යුතුය.

 

 

කොත්මලේ 
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි