පයාගල දී මිය ගිය ඇත්ගොවුවා


ගැමි රසවිත

 

අලි බැලීම, අතුරේයාම, මුහුදු යාම එදා සිටම භයානක රැකියාවන්ය. කොයි වේලේ අනතුරක් සිදුවිය හැකිදැයි කියන්න බැරිය. කොතරම් හිතවත් වුවත් කීකරු වුවත් අලියාට කේන්ති ගියොත් ජීවිතයම අවසන්වේ. පරක් තෙරක් නොදන්නාවූ. මහ මුහුදු යාමත් අනතුරුදායක වෙයි. දිවි පරදුවට තබා ධීවරයන් කරන මෙහෙවර අගය කළ යුතු දෙයකි.   


පයාගල බණ්ඩාරනායක විදුහල අසල වූ අලියා ඈත්ගොවුවා මරා දමා කළ දඩබ්බර හැසිරීම නැත්නම් අලි කුලප්පුව අලියා මෙල්ල කළ සැටි අප ඉකුත්දා කියැවූයෙමු. එදා මිය ගිය ඇත්ගොවුවාගේ ජීවිත කතාව කියන්නට මට සිතිනි.

   
හිතුවක්කාර දරුවකු වූ ටයිමන් ගෙදරින් පැන ගියේ දස හැවිරිදි කාලයේ දීය. කොටන් වාඩියකට ගිය පුංචි කොලුවා වාඩියේ අලි බාස් උන්නැහේලගේ ඇසුරට වැටුණි. මේ කොලුවාට අලි බලන යාන්තරේ නොඅඩුවම ලොකු ඇත්ගොවුවන් දුන්හ. ඒ කාලයේ කොටන් වාඩියේ අලි හතර පස් දෙනෙක් වූහ. මේ අලි අතර ගැවසුණු පුංචි හාදයා අලින්ට කිසිම බයක් නැත. අලි නාවන විට වැඩ කරන වාය. ඒ පස්සෙන්ම ගොස් අලි බැලීමේ ශිල්පය අපූරුවට උගත්තේය. වයස විස්සක් වන විට තනියම අලියකු පාරේ ගෙනයාමට, කොට ඇද්දවීමට, පෙරහැරවල්වල යාමට ටයිමන් පුරුදු පුහුණු විය.   


විසි වියේ ටයිමන් අයියාට ගමේ යන්නට සිතුණි. අම්මලා තාත්තලා බලන්නට නෑයින් දකින්නට ආශාවක් විය. ගාලු පාර දිගේ යන අලියාට එරමුදු අතු, කෝපි අතු පොල් අත්තක් කෑවාට අලියාට බැණ වැදීමක් නොවුයේ අලි බලන්නට කොයි කවුරුත් කැමැති බැවිනි.   


අවුරුදු ගණනාවකට පසු ටයිමන් ගෙදර ආවේය. ඒ අලියා පිටින්ය.   
අම්මේ... අම්මේ මම ටයිමන් දොර අරින්න.   
අනේ..... පුතේ.... මෙච්චර කාලයක් කොහෙද හිටියේ   


අම්මා දොර හැර බැලුවාය. ගෙදර දොරකඩ සිටින්නේ දැවැන්ත අලියෙකි. අලියා දුටු ටයිමන්ගේ අම්මා සිහි නැතුව ක්ලාන්ත වී බිමට වැටුණි.   
අලියා එදා ගෙදර දොරකඩ පොල් ගහක ගැට ගැසූ පසු අම්මා පුතාට මේ රස්සාව අත හරින්න කීවාය.   
පුතා ඕක නම් හොඳ රස්සාවක් නොවෙයි නෙ, අත අරින්න මේ වත්තේ කුරුඳු ටිකක් තලා ගන්න, ඔය සතා විශ්වාස නෑ.   
එහෙත් අම්මාගේ කතාව මේ හිතුවක්කාරයා ගණන් ගත්තේම නැත.   
අවුරුදු කාලයට දින හතරක් පහක් පමණ ටයිමන් අයියා ගෙදර ගත කරයි. මේ දිනවල දී අලියා රැය ගත කරන්න් අපේ ගෙදර, දිවියාගල ආරණ්‍යයේ කැලයේ හෝ ගොඩගම පන්සල් වත්තේය.   


අලියා අපේ ගෙදර පොල් ගහක් මුල ගැට ගසයි. සාමාන්‍යයෙන් පුහු ගෙඩි නැති පොල් ගසේ ගැට ගසන්නේ අලියාට පෑගුණු විට පුහු පොල් ඇති නොවෙන විශ්වාසයටය. ගෙදර වත්තෙත් කොස් අතු, පොල් අතු කපා එකතු කරන අතර කිතුල් ගසක් ද කපා දෙයි. කිතුල් ගස අඩි හතරක පමණ කෑලි වලට කපා දෙන්නේ ඌට කෑමේ පහසුකමටය. මේ සේරම කෑම ටයිමන් අයියා අලියාගේ පිටේ නැග අලියා ලවාම අද්දවයි.   


කෑම බීම ලබා දී අලියා පොල් ගසේ මුල ගැට ගසයි. අලි පිහිය පොල් ගහේ කඳේ සවි කරයි. අලියාගේ කනට කර මොනවාදෝ කියා ටයිමන් අයියා ගෙදර යයි.   
පසු දා උදේන්ම එයි. ඔහු දුටුවිට අලියා පුරු පුරු ගා මොනවාදෝ දොඩවයි. අලියා දම්වැලින් ලිහා කරේ දමන ඔහු කෙළින්ම යන්නේ ළිඳ ළඟටය. මැටි කොරහකට වතුර පනිට්ටු තිහ හතළියක් ඇද වත්කරයි. අලියා ඒ වතුර බීගෙන බීගෙන යයි. අන්තිමට ඒ දිහා බලාගෙන ඉන්න අප වෙත වතුර විසි කරයි. ඉන්පසු අලියා පෙරලා උගේ පිටේ දූවිලි වැලි පස් පිස දමයි. දැන් අලියා අපේ මිදුලට යයි. ඌට, අවුරුදු කාලයේ නම් කැවුම්, කෙසෙල්ගෙඩි, කිරිබත් කෑම දෙනු ඇත. දවසක් ඉඳි ආප්ප දෙන්නට සූදානම් විය. අලියා හොඬවැල කටට ගෙන බිම දමයි. ඒ කියන්නේ ඉඳි ආප්ප ඇලෙන නිසා කෙළින්ම කටේ තබන්නට කියාය.   


ගමේ පාසලේ මුල් ගුරු වූ අපේ තාත්තාට අවුරුදු දාට පෙර බුලත් හුරුල්ලක් දී ටයිමන් අයියා වඳි. මේ වෙලාවට අලියා ද මිදුලේ සිට දණ ගසා වඳියි.   
ටයිමන් අයියා කුඩා අපි වට කර ගෙන අලි කතා කියයි. අපි විශ්මයෙන් යුතුව අසා සිටිමු. කුඩා අපට ටයිමන් අයියා මහා වීරයෙකි.   
දිනක් පෙරහැරකට ගොස් රෑ වී අලියා සමග ආවාලු. නිදි මත නිසා පාලු පාරේ ගහක අලියා ගැට ගසා ඔහු නිදා ගෙන ඇත. දන්නෙම නැතුව පාර මැද්දටම වී ඇත. ඈත ලොරියක් එනවා දුටු අලියා කකුල් හතරට මැදි කරගෙන හොඬය උස්සා කුංච නාද කර ඇත. ඇහැරුණු ඔහු දුටුවේ ඈත එන කොටන් අදින තට්ටු ලොරියකි. ඒ එදා අලියා ටයිමන් අයියා මරණයෙන් බේරා ගත් අයුරුයි.   


ටයිමන් අයියා අලියාට ආදරේ වගේම අලියා ද ආදරය කරයි.   


ඇත් ගොවුවා මරා දැමූ අලියකු වෙද මහත්තයකු ළඟ ගස් බැඳි ඇත. මේ අලියා දරුණුම සතෙකි. කාටවත් ළඟට යන්නටවත් බැරිය. ටයිමන් අයියා ගියේය. ප්‍රමාණයෙන් කුඩා ඔහු දුටු අලි අයිතිකාරයා පුදුම විය. මේ අලියා බලන්නට දෙන්නට නොහැකි බව කී නමුත් ඔහු බාර ගත්තේය. බුලත් කොළයකට වතුර මතුරා වලිගේ දිගේ පිට උඩට නැග ගත් ඔහු නිල තද කරන්නට විය. අලියා බෙටි ගසා දණ නමා යටත් විය.   


අලියා ලිහා ගත් ටයිමන් ගම්පහ නගරය පුරා ගියේ අලියාගේ පිට උඩ වාඩි වෙමිනි.   


ඒ අවාසනාවන්ත දවසේ අලියා සමග මේ ඇත්ගොවුවන් දෙන්නාම ගොස් ඇත. පිට උඩ ටයිමන් ද බිම දියෝනිස් ද ගොස් ඇත. පයාගලදී බඩගිනි වු අලියා ගසක අත්තක් කඩා ගන්නා විට වතුහිමියා කෑගසා ඇත. එයට දඬුවමක් ලෙස අලියාට සැර කරන්නට ඇත. කෝපයට පත් අලියා පිට උඩ උන් අය බිමට ගෙන පොළොවේ ගසා මරා දමා ඇත.   
බය නැතිකම අලි මන්තර සියල්ල නිමා විය. එදා ඒ අසලින්ම ඈතගම සිටි ඔහුගේ සොයුරිය ගොස් ඇත. ඇය තම සොයුරා බව නොදනී.   


සිංහල අවුරුදු කාලයේ දී ටයිමන් අයියාගේ සිරුර පවුලේ සොහොන් බිම දී භූමදානය කරන ලදී.   


ටයිමන් අයියාගේ මේ අලි බැලීම අපට නම් මහත් සතුටකි. අලි බලන්නත් බලි බලන්නත් එපා වෙන්නේම නැත. ඒක නම් සත්‍යයකි.   


මා විදුහලක විදුහල්පති කාලයේ උසස් පෙළ සත්ව විද්‍යාව හදාරණ සිසුන් කණ්ඩායමක් ‘ශ්‍රී ලංකාවේ හීලෑ අලි යනුවෙන් ව්‍යාපෘතියක් සත්ව විද්‍යාව ගුරු තුමිය සමග කළහ. නවම් පෙරහැරට විහාර මහා දේවි උද්‍යානයේ ගැට ගසා සිටි අලි ඇතුන් හැටක පමණ තොරතුරු රැස් කර ගෙන ව්‍යාපෘතිය අධ්‍යයන වාර්තාවක් ලෙස සකස් කර තිබුණි. එදා අලි බලන්නට මමද සිසුන් සමග ගියෙමි.   

 

 

විශ්‍රාමලත් විදුහල්පති   
ඩි.සී. ද සිල්වා