ප්‍රේක්ෂකයාට ට්‍රැක පන්නන රවියා


නළුකමට රූපය වගේම දක්ෂතාව‍ සහ හැකියාවත් අවශ්‍යයි. මෙවර සඳැල්ල කතාබහට එක් වෙන කැලුම් ශ්‍රී  කියන්නෙත් එසේ තමන්ගෙ රංගන සහ නර්තන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක් . මේ දිනවල ඔහු ගැන පුංචි තිරයේ සික්ස්පැක් සීසන් 3 නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට ට්‍රැක පන්නන රවියා ලෙසත්, තවත් විටෙක සේයා ටෙලි නිර්මාණයේ සිහින ලෙසත් කතාබහට ලක් වෙනවා මේ අප ඔහු සමඟ කළ කතාබහයි.

ප්‍ර  මේ දවස්වල සික්ස්පැක් එකේ රවියා ආයෙත් කට්ටියට ට්‍රැක පන්නන්න පටන් අරන් නේද?

ඔව් ආයෙ සික්ස්පැක් එකේ සීසන් 3 පටන් ගත්තා. ප්‍රතිචාරත් ගොඩක් හොඳයි අලුත් කතාවේ. සීසන් 1,2 වගේම මේකෙත් රවියා හොඳටම ට්‍රැක පන්නනවා කට්ටියගෙ.

ප්‍ර  කතාව ගැනත් පොඩ්ඩක් මතක් කළොත්?

මේක සන්තුෂ් වීරමන් නිෂ්පාදනයක්. අසංක සායක්කාර තමයි ලියන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ. එයාලා නිසා තමයි ඇත්තටම මේ වගේ නිර්මාණයකට අපිටත් දායක වෙන්න පුළුවන් වුණේ. මේ දවස් ටිකේ ගියපු කොටස්වල අපි වයසට ගිහින් වගේ  ප්‍රේක්ෂකයන්ට පෙන්නුවා. හැබැයි බලද්දි ඒක හීනයක්. ඉතින් ඒ වගේ ලොකූ වෙනස්කම් ගොඩක් එක්ක හිනාවෙන ගමන් සික්ස්පැක් සීසන් 3 බලාගන්න පුළුවන්.

ප්‍ර  සීසන් 3 කියන්නේ දිගු ගමනක්. මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඇත්තටම සික්ස්පැක් කතාව ගත්තොත් පළවෙනි සීසන් එකේ ඉඳලම ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මටත් වෙනස් විදිහෙ ප්‍රතිචාර ගොඩක් තමයි ලැබුණෙ. මොකද මම කලින් කරපු චරිතත් එක්ක බැලුවම මේ වගේ විහිළුවලට බර චරිතයක් කරලම නැහැ. ඉතින් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මිනිස්සුන්ව හිනස්සනවා කියන්නේ ටිකක් අමාරු දෙයක්නෙ. ඉතින් චරිතෙ භාරගද්දි ඇත්තටම මම අසංක අයියගෙනුත් ඇහුවා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ අයගෙ විශ්වාසයත් එක්ක තමයි ඒ අභියෝගෙ භාර ගත්තෙ. පළවෙනි සීසන් එක කරන කොට ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන  ශිල්පීන් පවා මට කතා කරලා සුභ පැතුවා. ප්‍රේක්ෂකයොනුත් මාර විදිහට ප්‍රතිචාර දැක්වුවා. සික්ස්පැක් කියන්නේ වෙනස් විදිහෙ චරිත හයක් තියෙන කතාවක්. ඒකෙත් මම කරන රවිෂාන් කියන චරිතෙ මගේ ජීවිතේ නැතිම විදිහෙ චරිතයක්. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ප්‍ර  මේ දවස්වල "සේයා" කතාවේ සිහින විදිහටත්  ප්‍රේක්ෂකයන් ඉදිරියට එනවා නේද? 

ඔව්. ඒක ජී. නන්දසේන අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ, ලියන්නෙ චින්තක පීරිස් අයියා. ඒකත් වෙනස් විදිහෙ කතාවක්. ලංකාවට අලුත් කතා සංකල්පයක් වෙන ක්ලෝන් එකක් ගැන. ක්ලෝන් කියන්නේ මිනිස් පිටපත් කියන එකට. තමන්ගේ ජාන අරන් ඒ විදිහට තවත් මනුස්සයෙක් හදන එක. ඒක ලෝකෙ තහනම්, හැබැයි හොරෙන් එහෙම ක්ලෝනයක් හදන කතාවක් තමයි නාට්‍යය ඇතුළෙ පෙන්නන්නේ. මට ඒක ආරංචි වීමත් එක්ක ඒ ගැන ගවේෂණය කරන දෙයක් තමයි නාට්‍යයේ තියෙන්නේ. මට තියෙන්නේ සිහින කියලා youtuber  කෙනෙක්ගෙ චරිතයක්. වෙනස් විදිහෙ කතාවක් නිසා කතාවෙ ප්ලොට් එක අහපු ගමන් මට ආස හිතුනා. මම හිතනවා ලංකාවේ මිනිස්සුත් මේ ගැන දැනගන්න එක හොඳයි කියලා. මේ වෙනකොටත් කතාවට ප්‍රේක්ෂකයො පිරිසක් හැදිලා ඉන්නවා.

ප්‍ර  කැලුම් කියන්නේ රංගනයට වගේම නර්තනයටත් දක්ෂ කෙනෙක්?

නර්තන හැකියාව මට පොඩි කාලෙ ඉඳන්ම ආපු දෙයක්. ඒ හැකියාව කොහොම ලැබුණු දෙයක්ද දන්නෙ නැහැ. මොකද මට පවුලෙන්වත් කිසිම ආභාසයක් තිබිලා නැහැ. ඉගෙන ගෙනත් නෙවයි. ඊට පස්සේ පාසල් මට්ටමෙන් මම වෙස් බැඳලා තියෙනවා. උඩරට නර්තනය හදාරලා තියෙනවා. ඊට අමතරව බටහිර නර්තනයට නම් මම පන්ති ගිහින් නැහැ. ඒ වුණත් ඒ හැකියාව මගෙ ඇගේ පිහිටලා තියෙනවා. නළුවෙක් විදිහට මේ නර්තන හැකියාව මට ලැබුණු ආභරණයක් කියලා මම හිතන්නේ. මොකද නටන්න පුළුවන් නළුවෙක්ට ප්‍රේක්ෂකයොත් කැමතියිනෙ.

ප්‍රේක්ෂකයන්ට ට්‍රැක පන්නන රවියා ලෙසත්, තවත් විටෙක සේයා ටෙලි නිර්මාණයේ සිහින ලෙසත් කතාබහට ලක් වෙනවා

ප්‍ර  මේ දිනවල වැඩකටයුතු?

සේයා සහ සික්ස්පැක් සීසන් 3 නාට්‍ය දෙකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම තව මාරක සර්කස් කියලා අලුත් නාට්‍යක් කරනවා. තව අලුත් වැඩ දෙක තුනකට ආරාධනා කරලා තියෙනවා. තියෙන වෙලාවත් එක්ක වැඩිය වැඩ භාර ගන්නෙ නැතුව සමබරව කරගෙන යන්න තමයි මම උත්සාහ කරන්නෙ. මොකද නැත්තම් හරියට එක වැඩක්වත් කරගෙන යන්න බැරි නිසා.

ප්‍ර  ආදරණීය පියෙක් විදිහට කොහොමද ඒ වගකීම දැනෙන්නේ?

දැන් පුතාට අවුරුදු පහයි, පෙර පාසල් යනවා. සමහර වෙලාවට මට පුතාගෙ ළඟින් ඉන්න, සෙල්ලම් කරන්න තිබ්බ කාලෙ නැති වුණා. දැන් එයාටත් ටිකක් තේරෙන නිසා මට පුළුවන් උපරිමෙන්ම මම ගෙදර රැඳෙන්න තමයි බලන්නෙ. සමහර වෙලාවට රෑවෙලා රූගත කිරීම් කළත් ඉක්මනට ගෙදර ගිහින් ආපහු පාන්දර එනවා. මොකද එයාගෙ පොඩි කාලෙ ආයෙ මට ගන්න බැහැ. පුතාටත් එයාගෙ අප්පච්චිගෙ උණුසුම ආදරේ ඒ හැමදේම ඕනේ. ඒ නිසා මට පුළුවන් උපරිම එයා ළඟින් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ.

ප්‍ර  පවුලෙන් මොන වගේ සහයෝගයක්ද වැඩකටයුතුවලට ලැබෙන්නේ?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද නිදහසේ වැඩ කරගන්න ඔළුව නිදහසේ තියෙන්න ඕනේ. මම හිතන්නේ මගෙ සාර්ථකත්වයට ඒ නිදහස තමයි ගොඩක්ම බලපාන්නේ. 

ප්‍ර  ඉදිරි බලාපොරොත්තුව

මට එන ලස්සන වැඩ කරලා කලාවට මෙහෙවරක් කරන ගමන් ආදරණීය ප්‍රේක්ෂකයන් පිනවන එක තමයි මගේ බලාපොරොත්තුව. ප්‍රේක්ෂකයන්ව සතුටු කරන එක තමයි අපේ රාජකාරිය වෙන්නෙ. එයාලගෙ ආදරේ තමයි අපිට තියෙන එකම සම්මානය. ඉතින් ඒ වැඩ ටික පිළිවෙළට කරන ගමන් හොඳ රංගන ශිල්පියෙක් වෙන එක තමයි මගෙ බලාපොරොත්තුව.

ප්‍ර  ක්ෂේත්‍රයට අලුතෙන් එන අයට මොන වගේ උපදෙසක්ද දෙන්නේ?

අලුතෙන් එන අයව ගොඩක් වෙලාවට  විවේචනය කරනවා.එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි හින්දා හැමෝම බැනුම් අහනවා. 

හැබැයි මම දැකලා තියෙනවා හොඳ අයත් ඉන්නවා.හැමෝම එහෙම නැහැ. ඒ නිසා තමන්ගෙ ගමන යද්දි කෙටි ක්‍රම හොයන්නෙ නැතුව හරි විදිහට ගමනක් යන්න. ඒකට කොච්චර කාලයක් ගියත් කමක් නැහැ.
තමන්ගේ දක්ෂතාවට කොහොමත් තැන තියෙනවා. එහෙම වුණොත් තමයි ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. මොකද ක්ෂේත්‍රයට එන්න පුළුවන්, රැඳිලා ඉන්න තමයි අමාරු.

කෞශල්‍යා ලක්ෂානි