විදෙස් විද්‍යා ප්‍රබන්ධය
අඟහරුවාදා දින අධික වැසි සහිත දිනයක් වූ බැවින් විද්‍යා කෞතුකාගාරය ජනතාවගෙන් පිරී නොපැවතිණ. අධ්‍යක්ෂවරයා හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට යන අතරතුර පාසැල් ළමුන් කණ්ඩායමක් අලුත්ම ප්‍රදර්ශන භාණ්ඩයක් එනම් නවතම වර්ගයේ පරිගණකයක් වටා රැස්ව සිටින අයුරු දැකගන්නට ලැබිණ. එයට මාර්තා යනුවෙන් නම් තබා තිබේ. විද්‍යුත් පාරිභාෂික වචනවල මුල් අකුරු එකතුකොට මාර්තා යන නම සාදා ඇත. මිනිසාගේ දැනුමට අදාළ ඉතා පුළුල් ක්ෂේත්‍ර පිළිබඳව නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෙම පරිගණකයට හැකියාව තිබෙනවා පමණක් නොව විද්‍යාත්මක කල්පිතවල නොපැහැදිලි ස්ථාන පිළිබඳව පවා සාමාන්‍ය ජනතාවට විස්තර කිරීමේ හැකියාව ඇත.
“මට දැනගන්නට ලැබුණා මෙම පරිගණකයට තම සැලසුම පවා වෙනස් කිරීමට හැකියාව ඇති බව.” ටික වෙලාවකට පසු අධ්‍යක්ෂවරයා සමග කතා කරමින් මම පැවසුවෙමි.
ඔහු ආඩම්බර විය.
“ඔව් න්‍යායික වශයෙන් ඇය තවමත් නැවත ගොඩනැගීම් ආරම්භ කර නැති වුවත් අලුත් තර්ක පරිපථ කීපයක් නම් සැලසුම් කර තියෙනවා.”
“ඔබ පරිගණකයට ඇය කියල අමතනවා. ඒ ඇයි?”
“ඔව් මම එහෙම කියනවා. ඇය ගැන හොඳින්ම දන්න මිනිසුන්ට පවා ඇය තවමත් අභිරහසක්.” ඔහු කට වසාගෙන සිනාසුනේය.
“ඒක... හෝ ඇය මිනිසුන්ට මොනවද කියන්නෙ? මම මේ විදියට අහන්නම්. ඇයට මොන විදියෙ ප්‍රශ්නද ලැබෙන්නෙ?”
“ආ... වැදගත් සාකච්ඡාවක්” ඔහු මඳ විරාමයක් ගත්තේය.
“මාර්තා එක් එක් පුද්ගලයා දුරකථනයට කැඳවනවා. ඇයට පරිලෝකනය (scanners) මෙන්ම තුලනාත්මකව සැසඳිය හැකි පරිපථ (comparator circuits) තියෙනවා. ඇයට හැඩය අනුව පුද්ගලයන්ව හඳුනාගන්න පුළුවන්. ඇයට එක්වර සාකච්ඡා කිහිපයක් පවත්වන්න පුළුවන් වගේම ළමයින් සමග කතා කරන විට ඉතා සරල වචන භාවිත කරනවා. අප ඇය ගැන ආඩම්බර වෙනවා.”
මම සටහන් තබා ගතිමි. මගේ ආයතනයේ කර්තෘවරයා මාර්තා ගැන එක ලිපියකුත් පොදුවේ කෞතුකාගාරය ගැන තවත් ලිපියකුත් පළ කිරීමට කැමති වනු ඇත. “මෙම යන්ත්‍රයෙන් සාමාන්‍යයෙන් අහන පොදු ප්‍රශ්නය ගැන ඔබ මොනවද කියන්නෙ?”
අධ්‍යක්ෂවරයා මඳක් කල්පනා කළේය. “හොඳයි, මිනිසුන් සමහරවිට අහනවා ඔබ කෙල්ලක්ද කියා. මුලදී ඇය පිළිතුරු දුන්නේ නැත කියායි. පසුව ඇය කියන්නට පටන් ගත්තා ඔබ මාව හඳුනාගත්තා කියා. ඇයව සකස් කළ වැඩසටහනට එම පිළිතුර ඇතුළත් කර තිබුණෙ නැහැ. ඒක තමයි මෙහි ඇති අපූර්වත්වය. ඇය කදිම පුංචි කාන්තාවක්.” අධ්‍යක්ෂවරයා නැවතත් කට වසාගෙන සිනාසුනේය. “සමහර අවස්ථාවල මිනිසුන් තමන්ගෙ අනාගත වාසනාව ගැන අහනවා. ඒත් ඒකට ස්වභාවයෙන්ම මාර්තාට බලයක් නැහැ. පොඩ්ඩක් ඉන්න හිතල බලන්න. හුඟක් මිනිසුන් ඇයට විශාල ගණන් දෙනවා වැඩි කරන්න. එහෙම නැත්නම් විද්‍යුත් පුවරුවෙ ටික් ටැන් ටො ක්‍රීඩාව කරන්න. ඇය ඒවා හරියටම අකුරටම කරනවා. ඇත්තටම ඇය නිසා බොහෝ දෙනෙක් කෞතුකාගාරයට පැමිණෙනවා.”
මා පිටතට යන විට ළමයින් පිටව ගොස් ඇති බව පෙනී ගියේය. මොහොතකට මම මාර්තාගේ කාමරයේ තනිවමි. පාවිච්චියට නොගත් සන්නිවේදන දුරකථන දර්ශනීය ආරක්ෂක වැටේ එල්ලා ඇත. මම ඉදිරියට ගොස් මෝඩයකු මෙන් එක් දුරකථනයක් ගතිමි.
“ඔව් මහත්මයා” ප්‍රසන්න කාන්තා කටහඬක් - විද්‍යුත් පටිගත කරන ලද වචන එක්වරම ඇසිණ. “ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් කුමක්ද?” ප්‍රබෝධමත් ලෙස කරන ලද විමසීමකි.
“ඔබ මගෙන් ප්‍රශ්නයක් අහන්න.” මම යෝජනා කළෙමි.
ප්‍රසන්න කටහඬ නැවතත් ක්‍රියාත්මක විය. “ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් කුමක්ද?”
“මට අවශ්‍ය වන්නෙ ඔබ ලවා මගෙන් ප්‍රශ්නයක් අසන්නයි.” මම නැවතත් කීවෙමි.
“ඔබ තමයි මට ප්‍රශ්නයක් අහන්නයි කියන පළමුවන මිනිසා. මේක තමයි මම ඔබෙන් අහන ප්‍රශ්නය. මිනිසකු වන ඔබට මගෙන් කෙරෙන්න අවශ්‍ය කුමක්ද?”
මම මොහොතකට ගොළු වීමි. “මම දන්නෙ නැහැ.” අවසානයේ මම කීවෙමි. “අනිත් අය වගේමයි මම අහන්නෙ.” මම සුදුසු පිළිතුරක් පිළිබඳව කල්පනා කරමින් සිටියදී පරිගණක තිරයේ වාක්‍යයක් දිස්විය.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තාවකාලිකව නතර කෙරේ
මම ගැටලුව විසඳාගන්නා තුරු - මට සමාවෙන්න
එම හඬ මාර්තාගේ නොවේ. එය තිරයේ සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකමක් ලෙසිනි. ඇය ඉදිරිපත් වුවත් ඇයට ලෝකයට පෙන්විය හැක්කේ එම වචනයි. මේ අතර මා අතවූ දුරකථනය අක්‍රිය විය. මා ඉවත්ව යනවිට මට පොළව යටින් යන්ත්‍රයක් ක්‍රියාකරන හඬ ඇසිණ.
පසුදින මා කැඳවූ අධ්‍යක්ෂවරයා මාර්තා නැවතත් ප්‍රතිසංස්කරණය කරගෙන ඇති බව පැවසුවේය. එදිනට පසු මම නැවතත් ඇය බැලීමට ගියෙමි. මිනිස්සු ආරක්ෂක වැටේ පොදිකමින් සිටිති. අලුතින් සකස් වී ඇති පුවරුවේ බොත්තම් පේලියකි. එක් එක් බොත්තම එබූවිට නොයෙක් ආකාරයේ ශබ්ද සහ වර්ණ ආලෝක හෝ නිශ්චල විදුලිය සිත් කාවදින ලෙස දක්නට ලැබෙයි. යන්ත්‍රයේ ඉහළින් සංකීර්ණ නව උපාංග රාශියක් එක් වී තිබේ. දුරකථන රිසීවරයෙන් සෑම ගැටලුවකටම කාන්තාවක්ගේ පැහැදිලි කටහඬකින් දීර්ඝ ශිල්පීය වචනත් සමඟින් විකාර පිළිතුරු ලැබිණ.