පරිත්‍යාගය


කෙටි කතාව

 

‘ඇයි මේ’  
“අපි ආවෙ කුමාරිහාමි හම්බවෙන්න”  
‘මේ මාව..? අර අහවල් කාරණයකට ද? හා කියමු බලන්න..’  
“අපි ගමේ වැඩිහිටි සමාජ සංවර්ධන සමිතියෙන්. මම සභාපති. මේ ඉන්නෙ ලේකම්තුමා. මේ ඉන්නෙ...”
‘හා... හා... ඇති... ඇති... වැල්වටාරම් ඕනෑ නෑ. ආව කාරණේ?’  


“අපේ සමිතිය මේ ප්‍රදේශයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියො එකතු වෙලා හද‌ාගත්ත ස්වෙච්ඡා සංවිධානයක්. අපි විශාල සේවයක් ඉන් කරනවා ජන ජීවිතය නගාසිටුවන්න. මේක කිසිම දේශපාලන පක්‍ෂයකට අයිති එකක් නෙවෙයි. රජයේ ලියාපදිංචි සමිතියක්. අපි බලාපොරොත්තු වෙනවා රැස්වීම් ශාලාවක්, පුස්තකාලයක් එහෙම හදන්න. ඉතින් අපි ආවෙ ඒකට ඔබතුමියගෙන් පොඩි ඉඩම් කෑල්ලක් ඉල්ල ගන්න.”  
සභාපතිතුමා කාරණය පැහැදිලි කළේ කෙටියෙන් වුව ද බලාපොරොත්තු සහගතවය. ඉතා නිහඬ මොහොතක කුමාරිහාමි උඩ බිම වට පිට බැලුවාය. රැලි වැටුණ බෙල්ලේ යමක් ඉහළට පහළට ගමන් කළේය. ඇය යමක් අපහසුවෙන් ගිල්ලා වැනිය. ඇය අවසානයේ හඬ අවදි කළාය.  
 ‘ඔහේලා හිතුව ද මෙහෙ ඉඩම් දන් දෙන්න තියෙනව කියලා. මේව නිකන් පහළ වෙලා නෑ. අපේ පරම්පරාවට මහ රජ්ජුරුවන්ට කරපු සේවයට ලැබුණ නින්දගම්. අපි ගිය ආත්මෙ දේපළ පූජා කරල තියෙනවා. ඒ පින තමයි මේවා.’  


වෙව්ලන තොල්පෙති අතරින් ඒ වචන කඩා හැලුණේ මොර සූරන වැස්සක් මෙනි. ඒ වදන් තුළ තීව්‍ර වුණේ උද්ධච්චභාවය ද සමාජය නුරුස්නා බව ද යන්න අපැහැදිලි විය. එම මනෝ භාවයෙන්ම ඇය ක්‍ෂණිකවම වලව්ව තුළට පියමං කළේ තවත් මොහොතක්වත් ආලින්දයේ රැඳී නොසිටය.  
මුළු ජීවිත කාලයම වලව්වට දිය කර හරමින් සිටින වලව්වේ බිම ලැග සිටි සේදිරිස් ද කුමාරිහාමිගේ අදහස අනුමත කරන්නට මෙන් ඔළුව ඉහළ පහළට සොලවා පිටුපසට ඇදී ගියේ ගුලට රිංගන සර්පයෙකුගේ විලාසයෙනි.  


 ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සාදන ලද වලව්වේ රවුම් කුලුනුවල බද‌ාම ගැලවී ගඩොල් මතු වී ඇත. පුපුරා ගිය බිත්ති පාමුලින් මතු වූ ලෝකපාළු වැලක අගිස්ස සුළඟට සෙල වුණේ ඔලොක්කුවට මෙනි. දියමල බැඳුණ බිත්තියේ සමහර තැන් පුංචි පුංචි පැළවලට ලැඟුම්හලක් විය.  
“මම මුලදිම කිව්වනෙ සභාපතිතුමා ගියාට වැඩක් වෙන්නෙ නෑ කියලා. ඔය ඇත්ති කරගහ වලව්වේ පරම්පරාවෙ අන්තිමයා වගේම අබ ඇටයක දෙයක් කාටවත් දෙන ජාතියෙ අම්මණ්ඩියෙක් නෙවෙයි. වංසෙ කබල් ගාපු හින්ද දීගෙක යන්නත් බැරි වුණා. ගෙදෙට්ට නාකි වුණා කියල තණ්හා අත් හරින් නෑ.”  
ගමනට එක් වූ දියෙස් මහතා එසේ පැවැසුවත් සභාපති ධර්මවිජය මහතා ඊට කිසිවක් නොකීවේය.  
වසර තිස්පහක පමණ ගුරු සේවයත් ඉන් වසර විස්සක්ම විදුහල්පති සේවයෙත් යෙදී විශ්‍රාම ලද ධර්මවිජය මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැන්පත් නිහතමානී පුද්ගලයෙකි. ඔහු යමකට කලබල වන්නේ නැත. යමක් දෙස බැලුවේ පරිණත බුද්ධියකිනි. ඔහු මෙම සමිතියේ සභාපති තනතුරට පත් වූ ද‌ා පටන් එහි උන්නතියට කළ කී දෑ අපමණය.  


“සභාපතිතුමා මම අහල තියෙන විදිහට නම් ඔය නින්දගම් හදල තියෙන්නේ බලෙන් අල්ල ගත්ත ඉඩම්වලින්. ඉස්සර ජනගහණය අඩුයි. භූමිය වැඩියි. ඔය පරම්පරාවල ඇත්තො ඉංග්‍රීසි ආණ්ඩුවට කත් ඇදලා තාන්න මාන්න ලබපු මිනිස්සු. බලයත් එක්ක කුලයත් ඉහළට එනවා. ඉංග්‍රීසි නම් කියාගෙන ටයිකෝට් ඇඳල සිංහලකම වළ පල්ලට ද‌ාලා තමයි ඔය පැළැන්තිය ගොඩ නැගුණෙ.  
 බලන්න අද වෙලා තියෙන දේ. ඔය කුමාරිහාමි ගෙදරට තනි වුණා. එකම සහෝදරයා හරියට ඉගෙන ගත්තෙත් නෑ. බිබී ගුබ්බෑයන්වල ලැග ලැග ඉඳලා මැරුණා. පිහිටට කාත් කවුරුත් කුමාරිහාමිට දැන් නෑ. ඒත් තාම ජන්ම ගති ඇරගන්න බැරිවෙලා.”  
ආපසු එන ගමන් ලේකම් සිරිද‌ාස මහතා පැවැසුවේ නිහඬතාව බිඳිමිනි.  
“ඒ කාලේ නම් ඔය වත්ත උඩින් කපුටෙක්වත් ගියේ නැතිලු. මට හිතෙන්නෙ දැන් අවුරුදු අසූවක් පැනලා ඇති. වැඩි හරියක් ඔය ඉඩම් අද වෙනකොට කන්නෙ පිට මිනිස්සු. කුඹුරෙන් අඳේ හතළිහක් තිබුණත් ගෙනැත් දෙන්නෙ විස්සයි. ඒකෙනුත් භාගයක් බොල් ද‌ාලා.”
 “අපට ඕවැයින් වැඩක් නෑ ගුණසිරි මහත්තයා. වැඩ කරන්න ගියාම තමයි ගැටලු මතුවෙන්නෙ. ගඟට බැස්සමනෙ සැඩ පහර තේරෙන්නෙ. කුමාරිහාමිල තාමත් හිතන්නෙ ඒ කාලෙ විදිහට. අපට ඒවා වෙනස් කරන්න බෑ. අපි මේ වැඩේ කරන්නෙ කොහොමද කියල බලමු. රැල්ල කපාගෙන උඩුගං බලා පීනන්න අපි පුරුදු වෙන්න ඕනි.”  


සභාපති ධර්මවිජය මහතා අධිෂ්ඨානශීලීව පැවැසුවේය. කවුරුත් ඊට උත්තර බඳින්නට ගියේ නැත. ඒ ඔහු යමකට අත ගැසුවහොත් එය කුමන ආකාරයෙන් හෝ කරන බව දන්නා නිසාය.  
යහපත් චේතනාවෙන් කරන දෙය වරදින්නේ නැති බව ඔහු සිතුවේය. ඒවාට විශ්වයේ අපිරිමිත බලය ආශිර්වාද කරන බව සභාපතිතුමාගේ විශ්වාසය විය. කුමාරිහාමි ගැන අහිතක් ඔහුගේ සිතේ නොවීය. නම්බුව, කුලය, බලය ඇයගේ මනස් සන්තානය වෙලා ගෙන ඇති බූවල්ලෙකු බව සභාපතිතුමා දුටුවේය.  
 ඊළඟ රැස්වීමේදී එම සිදුවීම සම්බන්ධව බොහෝ දෙනා අදහස් මත පළ කළේය. වැඩි දෙනා කියා සිටියේ කුමාරිහාමි හමුවීමට යෑම නොකළ යුතුව තිබූ බවයි. වලව් පැළැන්තියම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. ගරා වැටෙමින් පවතින එම අසමානය අබියස අප කවුරුවත් දණ නොනැමිය යුතු බවයි ඉන් කියැවුණේ.  
බහුතරය එසේ වුව ද සමහර අය අදහස් වචන මාත්‍රයක්වත් නොපැවැසීමට තරම් ප්‍රවේශම්කාරී විය. ඒ ඔවුන්ගේ ජානවල හැඩගැස්ම ද වලව්වට ලෙන්ගතු වීම ද යන්න අවිනිශ්චිත විය.  
 කුමන අදහස් මත පළ වුව ද සභාපතිතුමා ස්ථිරවම කියා සිටියේ ගොඩනැගිල්ල හදන බවය. ඒ ගැන සැකසංකා තබා නොගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. අවසානයේ සභාතොමෝ සතුටින් විසිර ගියහ’ යි ලේකම්තුමා සටහන් තැබීය.  


කාලය ගෙවී ගියේ ඉබි ගමනින් නම් නොවේ. කාර්ය බහුල වන්නට වන්නට කාලය මිනුම් දණ්ඩක් නොවේ. පරිණත බුද්ධියත්, ඉවසීමේ උතුම් ගුණයත්, තීරණ ගැනීමේ කුසලතාවයෙන් පිරි සභාපතිතුමා නිවැරැදි දිශාන්තියකට සමිතිය ගෙන ගියේය. එහි ප්‍රතිඵලය නොබෝ දිනකින්ම සෑම දෙනාටම දැකගන්නට අවස්ථාව උද‌ා විය. නොසිඳෙන අධිෂ්ඨානය ජයග්‍රහණය විවර කළේය.  
ගොඩනැගිල්ල විවෘත වුණේ හැමදෙනාගේම සතුට දෝරේ ගලා යමින් තිබියදීය. ඊටම අනුබද්ධ පුස්තකාලය විවිධ මාදිලියේ පොත්පත්වලින් අනූන විය. එය ප්‍රදේශයේ කාටත් විවෘත වූ අතර පාසල් දරුවන්ට විශේෂයෙන් මාහැඟි අත්වැලක් විය. බොහෝ පරිත්‍යාග මෙම සත්ක්‍රියාව වෙනුවෙන් ගලා එන්නට විය.  
“සරුංගලය ඉහළට යන්නෙ නූල බාධකයක් විදිහට ක්‍රියා කරන නිසා. අපිත් ඒ වගෙ වෙන්න ඕනි. එහෙම වුණාම ඉක්මනටම අපේ ඉලක්ක කරා යන්න පුළුවන්.” සභාපතිතුමාගේ දැක්ම විය.  
 ගොඩනැගිල්ල සඳහා ඉඩම පරිත්‍යාග කර තිබුණේ වයස්ගත දුප්පත් ගැමියෙකු වන සියදෝරිස් අප්පු විසිනි. ඔහු තමා පදිංචි කුඩා ඉඩමෙන් පර්චස් දහයක් පමණ පරිත්‍යාග කර තිබුණේ ගොඩනැගිල්ල සෑදීමට ඉඩමක් සොයන්නට ගොස් සිදුවූ සන්තෑසිය ආරංචි වීමෙන් පසුවය. එය ස්ව කැමැත්තෙන්ම ඔහු සිදුකළ දෙයකි.  
“අපි තවදුරටත් මෙම ගොඩනැගිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි. සතියට දවසක් දෙකක් ළමයින්ට නොමිලේ පාඩම් කියා දෙන්න ඕනි. අපේ උගත් දැනට විශ්‍රාම ලබා ඉන්න අයට ඒක කරන්න පුළුවන්. ඒ වගේම ඔය අත්කම් මැහුම් වැනි දේ කියා දෙන වැඩසටහනකුත් පටන් ගන්න ඕනි. හැබැයි මේවා කරන්න ඕනි නොමිලේ.  


ඒ වගේම අපි ඇවිදින්න අපහසු රෝගීව එක්තැන් වෙලා ඉන්න අය බලන්න යන්න ඕනි. එහෙම ගියාම ඒ ඇත්තන්ගෙ හිතට හොඳ හයියක් එනවා. ඒ ගමන් පිරිත් ටිකක් එහෙම කියල එන්නත් පුළුවන්.”
 සභාපතිතුමා තවත් එක දිනක සාමාජික පිරිස දැනුම්වත් කළේ ඔවුන්ගේ අදහස් ද විමසමිනි.  
“ඒක හොඳ දෙයක් අපි කරමු.” ඔවුහු අනුමත කළහ.  
“කුමාරිහාමි වැටිල කකුලක් ආබාධ වෙලා. දැන් යන්නෙ රෝද පුටුවෙන්ලු.”  
මේ අතර කවුදෝ කියනු ඇසිණ.  
“හොඳ වැඩේ ඔහොම වෙලා මදි. කුම්මැහිකමට ජීවත් වුණාම ඔහොම වෙනවා. දැන් යනකොට ගෙනියයිනේ..” එහෙන් මෙහෙන් හඬවල් රැස්ව සිටි අය අතරින් මතුවන්නට විය.  
“අපි ඒ ඇත්ති බලන්න යන්න ඕනි. කල් ද‌ාන්න ඕනි නෑ. හෙට හවසම යමු.”  
සභාපතිතුමාගේ යෝජනාවට පැවැති සාමකාමී පරිසරය අකලට ආ කුණාටුවක් මෙන් වහා වෙනස් වන්නට විය. අපැහැදිලි හඬවල් අතරින් රිංගා ගෙන ඊට විරුද්ධ අදහස් මතුවන්නට ගතවුණේ අල්ප කාලයකි. තර්ක විතර්ක දෝෂාරෝපණ නිමක් නැති තරම්ය. රැස්ව සිටි පිරිස යම් තරමකට නිහඬ වූ පසු සභාපතිතුමා තමාගේ පරිණත බුදධියත් දේශන විලාසයත් ප්‍රදර්ශනය කරන්නට විය.  
අවසානයේ සභාපතිතුමාගේ අදහසට හැමදෙනාම එකඟ වුණේ විරෝධතාවක් නොවූ පරිදිය.  
සභාපතිතුමා ඇතුළු පිරිස ඇය බලන්නට යන විට ඈ සිටියේ රෝද පුටුවේය. ඇගේ මුහුණේ තිබූ ගාම්භීර පෙනුම අතුරුදන්ව තිබිණ. බෝරිච්චි හැට්ටය එක උරහිසකින් පහළට රූටා ගොසිනි. බෙල්ලට වෙන්නට බැඳ තිබූ කොණ්ඩය නටුවෙන් ගැලවෙන්න ආසන්න වැල් දොඩම් ගෙඩියක් මෙනි. දැසේ දීප්තිය බොඳව ගොසින්ය. දත ගෙළ පාළු අම්බලමක් මෙනි. මොහොතක් ඇය සියලු දෙනා දෙස බලා සිටියාය. එහි විශ්මය කැටි වූ අසරණභාවය මනාව සටහන්ව තිබිණ.  


ඇය පළමු වතාවට දෑත් එක්කොට සියලු දෙනාට ආචාර කළාය. මින් පෙර ඇය ගමේ කිසිවෙකුවත් දෑත් එක්කර පිළිගෙන නැත.  
“මේ ඇත්තො ආව එක කොච්චර හොඳද. මං දැන් තනිවෙලා මේ ගේ ඇතුළෙ. එද‌ා මගෙන් වරදක් වුණා කියලා මං දන්නවා. මට ඒකට සමාවෙන්න. පුළුවන් වෙලාවට ඇවිල්ලා මාව බලල යන්න. ඒක මගේ හිතට ලොකු සැනසීමක්.”  
කුමාරිහාමිගේ ආයාචනාත්මක වෙව්ලන හඬ වලව්ව පුරා සිසාරා නොගියේය.  
 සභාපතිතුමා ඇතුළු පිරිස ගෙන ගිය පලතුරු ආදිය ඇයට දී සෙත් පිරිත් කියා ආශිර්වාද කළහ.  
“‘එහෙනම් අපි ගිහින් එන්නම් කුමාරිහාමි”  


“ආ.... තව කාරණයක්.. කොහෙද මේ මට අමතක වෙන්න ගියානෙ. මම දැන් වයසයි. මේ ඇත්තො කරන සේවය මට ආරංචියි. මේ දේපළවලින් මට දැන් වැඩක් නෑ. ඒ හින්ද මම තීරණය කළා මේ වලව්වයි ඉඩමයි අනික් දේපළයි තමුන්ලාගේ සමිතියට ඔප්පුවකින් පවරන්න. මේ වලව්ව වැඩිහිටි නිවාසයක් කරන්න. මට ඒකෙ පුංචි කාමරයක් තිබුණම හොඳටම ඇති.”  


ඇය සැහැල්ලු සුසුමක් පිට කළාය. 

 

 

 අගලගමුවේ ඩී. හේරත්  
ගොඩකවෙල