විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා, වෙනත් දෙයකට යොමු වීමට සිත යොමු කරන්නේ ඉතා විරලවයි. බොහෝ දෙනා රැකියාවක් නොලැබුණ තැන - “රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය”ට සම්බන්ධ වී නිකරැණේ කාලය ගත කරනවා.
නමුත් ලෙහෙසියෙන් ම රැකියාවක් සොයා ගැනීමට හෝ විදේශගත වී හොඳ රැකියාවක් කිරීමට අවස්ථාව තිබිය දී - පශ්චාත් උපාධි දෙකක් ද සතු මහේෂ් චතුරංග නම් වූ ඉංජිනේරු මහත්මයා ගොවිතැනට යොමු ව ඇත්තේ සමස්ත සමාජයටත්, විශේෂයෙන් විරැකියාවෙන් පසුවෙන උපාධිධාරීන්ටත්, පූර්වාදර්ශයක් සපයමින්.
“සඳැල්ල” අපේ කතාබහ - මේ විශේෂ පුද්ගලයා සමගින්.
- මහේෂ් කියන්නෙ ඇත්තටම කවුද?
මම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම මම පශ්චාත් උපාධි දෙකක් හදාරලා තිබෙනවා. එකක් බ්‍රිතාන්‍යයේ Bedfordshire විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරා තිබෙනවා. ඒ වගේම නඩත්තු ඉංජිනේරුවරයෙක් සහ නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් හැටියට රටේ ප්‍රමුඛ පෙලේ ආයතනවල අවුරැදු 07කට වඩා කාලයක් රාජකාරි කරලා තිබෙනවා. විශේෂයෙන් DSI සමූහ ව්‍යාපාර ආයතනයේ අවුරුදු පහකට අධික කාලයක් සේවය කළා. ඒ වගේම Tokyo Cement සමාගමේ වගේ ආයතනවල වැඩ කළා. 2020 සිට හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා මැතිනියගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විදිහට 2023 තෙක් කටයතු කරලා තියෙනවා. මේක තමයි මගෙ අධ්‍යාපන සහ Professional Background එක. ඉතින් මම වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් වෙනවා.
- ඉංජිනේරුවෙක් වන ඔබ වගාව සඳහා යොමු වෙන්න පසුබිම හැදුණේ කොහොමද?
මම කන්තලේ ප්‍රදේශයේ ඉපදුණ කෙනෙක්. ඉතින් මගේ ආච්චි සීයා ගොවිතැන් කටයතු සිදු කළා. නමුත් මගේ පියා ව්‍යාපාරිකයෙක්. මව රජයේ පාසලක ගුරුවරියක්. ඒ නිසා මගේ පවුලෙ අය ගොවිතැනට යොමු වෙලා තිබුණෙ නැහැ. එහෙත් අපේ ප්‍රදේශය කෘෂිකාර්මික නිසා පුංචි කාලයේ වෙල්යායේ ඇවිදිමින් ඒ කෘෂිකර්මාන්තය ගැන අප ආභාසයක් තිබුණා. නමුත් වෘත්තියක් හැටියට හෝ අනාගතයේ දී කෘෂිකර්මාන්තයට යොමු වීමේ අදහසක් තිබුණෙ නැහැ. කොරෝනා තිබෙන අවධියේ දී හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමිය ගේ ආරාධනයක් පරිදි සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට කටයතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවෙ ආණ්ඩුකාරතුමිය මට භාරදෙන්නෙ කෘෂිකර්මාන්ත අමාත්‍යංශය සහ කෘෂිකර්මය සම්බන්ධ ව්‍යාපෘති. අපි ඒත් එක්කම දැයට හිතැති ගොවිතැන කියලා කාබනික පොහොර වගාවක් ආරම්භ කළා. ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මට භාර දුන්නා. ඒ නිසා කෘෂිකර්මාන්තය පිළිබද ලොකු ඇල්මක් සහ අවශ්‍යතාවක් ඇති වුණා. ඒක තමයි වගාවට යොමු වෙන්න පසුබිම වුණේ. 2020 කොරෝනා පැමිණීමත් එක්ක වගා කිරීම පිළිබඳ Trend එකක් ආවා. රජයත් ඒ සඳහා යොමු කළා. අපිත් රජයෙ පැත්තෙ සිටගෙන මිනිසුන්ව මේ සඳහා යොමු කරන ගමන් ප්‍රායෝගිකව මේක කරන්න ඕනෑ කියන අදහස තිබුණා. කාලය එතරම් තිබුණෙ නැති නිසා මහා පරිමාණයෙන් වගාවට නොයා පළවෙනියටම පැළ 500ක සංඛ්‍යාවක් Trial එකක් විදිහට 2022 ජූලි 09වෙනිදා නයි මිරිස් වගාව ආරම්භ කළා. ඒ ලැබුණ අත්දැකීමත් එක්ක මට 2023 දී විදේශගත වෙන්න අවස්ථා තිබුණත් - තරුණ පරම්පරාවට Motivation එකක් විදියටත් නයි මිරිස් වගාව දිගටම සිදුකරගෙන ගියා.
- ඔබේ වගාව සම්බන්ධව කතා කළොත්?
පර්චස් 60ක වගාවක් තමයි ආරම්භ කළේ. බෑග් 1725ක තමයි වගාව කළේ. එකක පැළ දෙකක් සිටවලා තිබෙනවා. එතකොට පැළ 3500කට අධික සංඛ්‍යාවක් සිටවලා තියෙනවා. මට ඒ සඳහා රැපියල් ලක්ෂ 6-8 ක් වගේ වැය වුණා. ඉතින් මේ වගාවෙන් මට මාසයකට අස්වැන්න අවම කිලෝ 600-700 ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. මේවට හොඳ මිලක් තියෙනවා. ඒ වගේම දේශීය විදේශීය වශයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතිහාසය පුරාවටම නයි මිරිස්වල අඩුම මිල තියෙන්නේ රුපියල් 500-600ක් වගේ. දැන් යන මිල එක්ක රුපියල් 800ක් වෙනවා. ඒ මිලත් එක්ක මසකට හාරලක්ෂයකට වැඩි ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මේ නයි මිරිස්වල තිබෙන රසය සහ ගුණය නිසා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමයි මම වගාවට නයි මිරිස් තෝර ගත්තේ.
- ඇයි ඔබ මේ තරම් ඉගෙන ගෙන ගොවිතැන් කරන්න හිතුවෙ?
ඇත්තටම විනෝදාංශයක් විදියටවත්, වෘත්තියක් විදියටවත් නෙමෙයි මම මේ සඳහා යොමුවුණේ. රටට යම් ආදර්ශයක් සැපයීම තමයි මගේ අවශ්‍යතාව වුණේ. මොකද ගොඩක් වෙලාවට අපි අපේ රටේ දකින දෙයක් තමයි කෘෂිකර්මාන්තය කියන්නෙ කිසිම අධ්‍යාපනයක් නැති අය කරන්න ඕනෑ දෙයක් කියලා සමාජයෙන් හිතෙන එක. ඉතින් ඒ සංකල්පය අපේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට, කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීමට ලොකු බාධාවක් කියලා මම හිතනවා. මොකද කිසිදු පොත පතේ අධ්‍යාපනයක් හෝ බුද්ධි මට්ටමක් නැති අය තමයි වගාව කරන්න ඕනෑ කියලා සම්ප්‍රදායික සමාජය තුළ පසුගාමී චින්තනයක් පවතිනවා.
ඇත්තටම එහෙම එකක් නැහැ. ඒකෙදි මට දෙන්න අවශ්‍ය වුණා අපි කොයිතරම් ඉගෙනගෙන තිබුණත්, ගොවිතැනට ඒක බාධාවක් නෙමෙයි කියන එක. අනිත් එක තමයි සමහරු හිතනවා ඉගෙන ගත්ත අය ඒ වගේ දේවල් කරන්න ඕන නැහැ කියලා. ඒ වගේම තරුණ පරම්පරාව අද වෙද්දී දකිනවා රුකියා විරහිතව ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ආදර්ශයක් විදිහට අඩු ආයෝජනයකින් මේ වගේ වැඩක් කරන්න හිතුවා. නැත්තම් මේ වගේ වැඩක් කරනවා කියද්දි හිතන්නෙ අඩුම මිලියන දෙකක් හෝ තුනක අයෝජනයක් අවශ්‍ය වැඩක් කියලා. නමුත් ඒ තරම් ලොකුවට නැතුව අපිට පුළුවන් තැනින් කරන්න පුළුවන් කියන ආදර්ශය දෙන්නත් එක්ක තමයි මම මේ වැඩේ පටන් ගත්තේ.
- ඉංජිනේරුඋපාධියක් , වෙනත් පශ්චාත් උපාධි දෙකක් තිබෙන කෙනෙක් රජයේ රැකියාවක් නැත්තම් AC කාමරයක රැකියාවක් කරන්න ඕනෑ කියලා තිබෙන සමාජ මතය ගැන ඔබ දරණ අදහස මොකද්ද?
ඇත්තටම මම මගේ අධ්‍යාපන කටයතු නිම කළාට පසුව අද වෙනකම් කිසිදු රජයේ රුකියාවකට අයැදුම් කරලා නැහැ. පුංචි කාලයේ ඉඳන් දැකපු දෙයක් තමයි රාජ්‍ය සේවය තුළ තිබුණ අකාර්යක්ෂමතාවය. රාජ්‍ය සේවයේ හැටි ප්‍රායෝගිකව දැකලා තිබෙනවා ඒ ආයතනවලට ගියාම. ඒ නිසා මම කුඩා කාලයේ සිටම රාජ්‍ය සේවයට ඇලුම් කළ කෙනෙක් නෙමෙයි. මට අවශ්‍ය නම් රජයේ රුකියාවකට ඉතා පහසුවෙන් යන්න අවස්ථා තිබුණා. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාල වලින් උපාධිධාරීන් විදිහට එළියට එන අය කොළයකට සීමා වූ සුදුසුකම් මත තමයි බොහෝ වෙලාවට ඉන්නෙ. සමාජ දැනුම හෝ වටපිටාවෙන් තවත් දැනුම උකහාගත් ප්‍රායෝගික අවබෝධය තිබෙන අය නැතුවා නොවේ. නමුත් බහුතරයක් - ප්‍රායෝගික දැනුමක් නැති, සාමාන්‍ය දැනීම අඩු උපාධිධාරීන් ලෙසයි මේ විශ්වවිද්‍යාල වලින් එළියට එන්නෙ. මේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩුපාඩුවක්. කුඩා කාලයේ සිට රජයේ බදු මුදල් වලින් තමයි අපි අධ්‍යාපනය ලබන්නේ. ඉතින් තවත් කාලයක් මහජනතාවගෙ මුදල් මතම යැපිලා විශ්‍රාම වැටුපත් මහජන මුදල් වලින්ම ගන්න එක තමයි අපේ රාජ්‍ය සේවයේ දැන් වෙන්නේ. ඉතින් අපේ තරුණ පරම්පරාවෙනුත් මම ඉල්ලන්නේ - රජයේ රැකියාවක් කියන රාමුවට ගොදුරු නොවී ඒ රාමුවෙන් එළියට ගිහින් හිතුවොත් අපේ රටට සහ තමන්ට පුද්ගලිකවත් ඉස්සරහට යන්න පුළුවන්. වර්තමාන තරැණ පරම්පරාව ව්‍යවසායකත්වය , නිෂ්පාදන ආර්ථිකය කේන්ද්‍ර කරගෙන, රුකියාවක් කරනවා කියන තැනට කොටු නොවී රැකියා නිර්මාණය කරන කෙනෙක් බවට පත්වෙන්න ඕනෑ කියන එක තමයි මගේ අදහස. නමුත් නයි මිරිස් වගාව සිදුකිරීමේ දී මම දැක්ක දෙයක් තමයි අපේ රටේ ව්‍යවසායකත්වයකින් ඉදිරියට යන අයට අත දීමේ ක්‍රියාවලියක් මෙරට මූල්‍ය පද්ධතිය තුළ නොපැවතීම. ඒ නිසා මහජනතාව ඔවුන්ගේ චින්තනය හදාගන්නවා වගේම රජය පැත්තෙන් ඒ වගේ අඩුපාඩු නිවරැදි කර ගත්තොත් අපිට පුද්ගලයො විදියටත්, රටක් විදියටත් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා.
- ඔබේ මේ වගා කටයුතුවලට අනිත් අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ අම්මා තාත්තා වගේම, මල්ලී අයියා සහයෝගය ලබා දෙනවා. මොකද නැත්තම් ගොඩක් වෙලාවට අපිට එළියෙන් වැඩට කට්ටිය ගන්න වෙනවා. එහෙම කරන්නෙ නැතුව පුළුවන් තරම් ඒක අවම කරන්න පවුලේ අය ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඉතින් තරුණ තරුණියන්ට මම කියන්නේ මත්ද්‍රව්‍යවලට නොව, මේ වගේ වගාවකට ඇබ්බැහි වෙන්න. තමන්ගෙ දෙයක් තමන් මහන්සි වෙලා කරන්න. එතකොට ඇඟ හදාගන්න ජිම් එකකට යන්න අවශ්‍ය නැහැ. මහන්සි වෙලා වැඩ කරද්දී අපේ ශරීර සෞඛ්‍යය සුවපත් කරගන්න මනස සුවපත් කරගෙන හොඳ ආදායමක් ලබාගන්නත් පුළුවන්. ඉතින් තමන් තමයි මේකෙ බොස්. තමන් තමයි මේකෙ ගෝලයා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ වගාවට එකතු වෙන්න කියලා.
සුදර්ශනී කෝණාර