ලැනරෝල් කියා කීවත් ඔවුන්ගේ පෙළපතේ කෙටි නම ‘ද ලා නෙරෝල්’ (DE LA NEROLLE) ය. ‘ද ලානොරෝල්’ යන්න ඉංග්‍රීසින් ලීවේ ලැනරෝල් යනුවෙනි. එතැන් පටන් කොයි කවුරුත් ඔවුන් හැඳින්වූයේ ලැනරෝල් නමිනි. එහෙත් ප්‍රංශ භාෂාවෙන් මේ පෙළපත හඳුන්වන්නේ ‘පියේ ලෙනේ සීසර් නැක්කෙයා ද ලානෙරෝල්’ (DIERRE LAISNE SIEURNANCLAS DE LA NOROLLE) ලෙසයි. ලංකාවේ කොතනකවත් සඳහන් නොවන හරි නම මෙයයි. ක්‍රි.ව. 1672 මාර්තු 21 දා මුල්ම ලැනරෝල් ලංකාවට ආවේය. ඔහු යුරෝපයේ ප්‍රසිද්ධ ලෙනේ හෙවත් (LAISSNE) ලයිස්නෙ වංශාධිපති පවුලේ සාමාජිකයෙකි. එමෙන්ම ප්‍රංශයේ 14 වැනි ලුවී රජුගේ නාවික හමුදාවේ ලුතිතන්වරයාය. තව ද ඔහු රාජ්‍යතාන්ත්‍රික නිලධරයෙකි. ඒ අදට වසර 348කට පෙරයි.
ඔහුගෙන් ආරම්භ වූ ලංකාවේ ලැනරෝල් පරපුර මේ වනවිට දොළොස්වෙනි පරම්පරාවත් අවසන් කරමින් සිටිති. ලැනරෝල්ලාගේ නියම නම ‘ලානැරෝල්’ වුවත් ඉංග්‍රීසි ආණ්ඩුව එය ලීවේ ලැනරෝල් කියාය. පසුව ලානැරෝල් යන්න වෙනුවට කවුරුත් ලැනරෝල් කියා කීවෝය. ලීවෝය. ලැනරෝල් තානාපතිවරයාගේ පැමිණීම අපේ රටට, ජාතියට, ආගමට මෙන්ම සංස්කෘතියට ද විශාල පෙරැළියක් සිදු කළේය. ඔහුගෙන් බිහිවූ ලැනරෝල් පරපුර ලංකාවේ විශිෂ්ට ලේඛකයන්, පුවත්පත් කතුවරුන්, අධ්‍යාපනඥයන්, සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ආගමික නායකයන්, කවියන් මෙන්ම කලාකරුවෝ ද වූහ.
‘ලංකාදීප’ පත්තරය පටන් ගත්තේ ද ලැනරෝල් කෙනෙකි. 1947 ඔක්තෝබර් 29 දා ජුලියස් ද ලැනරෝල් ලංකාදීප පත්තරයේ මුල්ම කර්තෘවරයා විය. ඩී.බී. ධනපාල මහතා ප්‍රධානකොට ගෙන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහානාම දිසානායක, ප්‍රින්ස් ගුණසේකර, රත්න දේශප්‍රිය සේනානායක, ධර්මසිරි ජයකොඩි, ඩී.එච්. අභයසිංහ, පෙරමුණෙතිලක, ධර්මසිරි ජයකොඩි, කේ.ඇම්. සිරිසේන, පියල් වික්‍රමසිංහ ආදී මෙකී නොකී පුවත්පත් කලාවේදීන් ඉතිහාසයට එක්වූයේ එදා ලංකාදීප පුවත්පත නිසාය. ඉදිරියේදී ද ඉතිහාසයට එක්වන්නට මෙවැනි කීර්තිමත් පුවත්පත් කලාවේදීන් විශාල පිරිසක් ලංකාදීපයේ සිටිති. ලංකාදීපයේ ළපටි පෙළ, බින්දු, බකුසු මාමා, පෙත්තප්පු පටන්ගත්තේ එතුමාය.
ප්‍රංශයේ තිබෙන නටබුන්වී ගිය මාලිගාවක්
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1706-1739) රජතුමාගේ රාජ්‍ය ලේඛනාගාර අධිපතිවරයා ද ලැනරෝල් කෙනෙකි. ඔහු ලුවී ද ලැනරෝල් ය. දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය ලේඛනාගාරයේ අධිපති මාර්ක් ද ලැනරෝල් ය. ලූක් ද ලැනරෝල් රජුගේ රන් ගබඩාවේ අධිපතිය. මේ තුන්දෙනාම ලංකාවට ආ මුල්ම ලැනරෝල් ප්‍රංශ තානාපති තැන්ක් ලැයර් ද ලානෙරෝල් වංශාධිපතියාගේ පුතුන්ය. ඔවුහු දෙවැනි පරම්පරාවයි.
සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද පෙළහර පෑ කීර්තිමත් ලැනරෝල්ලා ද බොහෝය. ජී.ඩී. ද ලැනරෝල් දේවගැතිතුමා මුලටම එන නමකි. ගැටඹේ සැන් ජෝන් දේවධර්ම විද්‍යාලයේ හා කටුකැලේ මීසමේ අධිපති විය. එච්.ජී.එන්. ද ලැනරෝල් ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ පුරෝගාමියෙකි. කෙනන් ද ලැනරෝල් වෙස්ලි, කිංස්වුඩ්, කේරි ආදී කොලිජිවල බැබලුණු ගුරු තරුවකි. පර්සි ද ලැනරෝල් හිනිදුම් පත්තුවේ වුඩ්ලියර් කෙනෙකි. දොස්තර ලෙස්ලි බාන්ස් ද ලැනරෝල් මැලේරියා වසංගතය මර්දනය කළ ඉතිහාසගත වෛද්‍යවරයෙකි. දොස්තර ආර්.බී. ලැනෝරා ලංකාවේ පැරැණිම සර්ප විෂ පිළිබඳ ඔහු පෙර අපරදිග වෛද විද්‍යාවේ එකම වෛද්‍යවරයා විය. ලෙනෝරා පරපුරත් ලැනරෝල පරපුරත් දෙකක් නොව එකකි. ඉංග්‍රීසිකාරයා ලානෙරෝල් ලැනරෝල් කෙරුවා මෙන්ම උප්පැන්න දෙද්දී ගාල්ල කච්චේරියේ සිටි සුද්දා ලැනරෝල් යන්නට ලෙනෝරා කියා ලීවේය. වී.ඩී. ද ලැනරෝල් (වික්ටර් ඩියුක් ද ලැනරෝල්) 1903 මුලින් ආරම්භ කළ ‘සිංහල ජාතිය’ පුවත්පතේ සංස්කාරකවරයා වූයේ පියදාස සිරිසේන මහතායි. ඔහුගෙන් පසු එහි සංස්කාරක පදවිය දැරුවේ ජී.ඩී. ද ලැනරෝල් ය. ඔහු පොත් 120කට වැඩි ප්‍රමාණයක් ලියූ කීර්තිමත් ලේඛකයෙකි. පියසිරිගේ පාසල් සමය, අතීතය, අලි බබා සහ හොරු හතළිහ, මහදැනමුත්තා, ශේක්ස්පියර්ගේ කතා, අමල්බිසෝ, ලැනරෝල් කවි දහය වැනි ඔහු ලියූ පොත් අදත් දක්නට හැකිය. 1920 දී කවීන්ද්‍රයා නමින් සඟරාවක් ආරම්භ කළේය. කොළඹ යුගයේ ජනප්‍රිය කවියෙකු වූ හෙතෙම කොළඹ කවි සමාජයේ ආරම්භක සාමාජිකයෙකි.
කලින් සඳහන් කළ ජූලියස් ලැනරෝල් ගැන තවදුරටත් සඳහන් කළොත් ඔහු ‘සිංහල මහා ශබ්ද කෝෂයේ කර්තෘවරයෙකි. ලන්ඩන් විශ්වවිද්‍යාල විභාග පරීක්‍ෂකවරයෙකි. ලංකා සිවිල් සේවයේ (සී.සී.එස්.) ද විභාග පරීක්‍ෂකවරයෙකි. සාහිත්‍යසූරී (ඩී. ලිට්) උපාධියෙන් පිදුම් ලැබූ ඔහුට එළිසැබැත් මහ රැජිනගේ උපන්දිනයට පිදෙන ඕ.බී.ඊ. නම්බු නාමය ද හිමිවිය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ලැනරෝල් මහතා ඇන්ටිකුවීන් කොමිසමේ ද රාජකීය ආසියාතික සංගමයේ ද විධායක සභිකයෙකි. ලංකාවේ පළමුවැනි සිංහල ටයිප්රයිටරය සහ පුවත් කලාවේ ‘මොනෝ’ මුද්‍රණ ශිල්පය සැලැසුම් කළේ මෙතුමාය. සැමුවෙල් ලැනරෝල් මහතා ලංකාවේ ආරම්භක පොත් සාප්පු හිමියෙකි. එකල බම්බලපිටියේ අසෝක පොත්හල හිමිකරු විය. එය 1934 වනතුරුම පවත්වාගෙන ආවේය.
මෙතුමා ‘බුද්ධ වර්ෂ නීරණය’ මැයෙන් පර්යේෂණ ග්‍රන්ථයක් පළ කළේය. ඒ සඳහා වසර තිහකට වැඩි කාලයක් පර්යේෂණයේ යෙදුණු බව වාර්තා වෙයි. ‘පාසි ඉතිහාසය’ ගැන ලංකාවේ ප්‍රථමයෙන් පොතක් ලියා පළ කළේ ද ඔහුය. ‘වන නදිය’ තවමත් ප්‍රකාශයට පත්වෙන ඔහුගේ තවත් ග්‍රන්ථයකි. එය ‘රිවර් ඉන් ද ජංගල්’ යන නමින් ඉංග්‍රීසියට පරිවර්තනය විය. මේ හැරුණු විට ‘ආර්ය අශ්ඨාංගික මාර්ගය’ ඇතුළු ශාස්ත්‍රීය හා ආගමික පොත් දහතුනක් මෙතුමා පළ කළේය. ලැනරෝල් ලා ලංකාවේ මෙන්ම ලෝකය පුරාම විසිරී සිටිති. අැමෙරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බ්‍රසීලය ඇතුළු යුරෝපයේ සෑම රටවලම අඩු තරමේ ලැනරෝල් ලා සියයක්වත් සිටිති.
ප්‍රංශය ‘ලානෙරෝල්’ නමින් ප්‍රදේශයක් ලැනරෝල් පරම්පරාව වෙනුවෙන් වෙන් කර තිබීම තවත් විශේෂයකි. ලැනරෝල් පරම්පරාවේ ඉතිහාසය ආරම්භ වන්නේ සෙංකඩගල නුවර රජ කළ දෙවැනි රාජසිංහ (ක්‍රි.ව. 1634-1684) රජ සමයේය. මෙය ‘ඉඟුරු දී මිරිස් ගත්ත කාලය’ ලෙස ලංකා ඉතිහාසයේ සඳහන් වේ. ලංකාවෙන් පෘතුගීසින් පන්නා දැමීමට ලන්දේසීන්ගේ පිහිට පැතූ රාජසිංහ රජතුමා ලන්දේසීන් පන්නා දැමීමට උදව් ඉල්ලුවේ ප්‍රංශයේ ලුවී රජතුමාගෙනි. ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම වැනි වෙළෙඳ සමාගමක් ප්‍රංශයේ ද පැවැතුණි. රාජසිංහ රජතුමා ප්‍රංශයේ ලුවී රජතුමාට මේ පිළිබඳව කියා දූතයන් යැව්වේ පොන්සුවා කැරන්ගේ මාර්ගයෙනි. ප්‍රංශය හා රාජසිංහ රජු අතර ගිවිසුමක් ද අත්සන් කොට පොන්සුවා කැරන් අත ප්‍රංශයට ද යැවීය. පොන්සුවා කැරන් දෙවැනි රාජසිංහ රජතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි, ඕලන්ද හා පෘතුගීසි යන භාෂා පිළිබඳ විශේෂ දැනුමක් ඇත්තෙකි.
පොන්සුවා ඇත යැවූ ඒ ගිවිසුම අනුව 1672 මාර්තු 21 දා ප්‍රංශ නැව් 14ක් සමඟ ‘මොන්ශියර් ද ලාහේ’ නමැති ප්‍රංශ අද්මිරාල්වරයා ලංකාවට ආවේය. ප්‍රංශ තානාපතිවරයකු වන ‘නැන්ක් ලැයර්ස් ද ලානෙරෝල්’ ද මේ පිරිස සමඟ පැමිණියේය. ඔහු වෙළෙඳ හා යුද්ධ කටයුතු පිළිබඳ ලුවී රජතුමාගේ උපදේශකවරයෙකි. ප්‍රංශයේ වංශවත් පවුලක අයෙකි. නැන්ක් ලැයර්ස් ද ලානෙරෝල් පැමිණියේ ට්‍රයම්ප් (TRIOMPH) නමැති නෞකාවෙනි. එම නැවේ අධිපතියා ද එතුමාය. ප්‍රංශයේ සිට කොට්ටියාර් වරායට නැව් 14ක් පැමිණි බව දැනගත් රජතුමා ඔවුන් පිළිගැනීමට ඇටිපොල (ATIPOLA) මහ අධිකාරම්තුමා ඇතුළු පිරිසක් යැවූහ. නැව් දාහතරේ සිටි පිරිසට ආහාර පාන යැව්වේ රජතුමාය.
ප්‍රංශයෙන් ආ අලුත් මිත්‍රයෝ පිළිගැනීමට රජතුමා නියෝජිත පිරිසක් යැවූවත්, ඔවුන්ට නිතර නිතර ආහාර පාන යැවූවත් ඔවුන් රජතුමා හමුවට ආවේ මාස පහකට පසුවය. මාස පහක් තිස්සේම නැවේම රැඳීසිටියහ. පසුව රාජසිංහ රජතුමා හමුවීමට මුලින්ම ගියේ නියෝජිතවරු තුන් දෙනෙකි. ලුවී රජතුමා එවූ තෑගි බෝග කන්දරාවක්ද රජතුමාට පිළිගැන්වූහ. රජතුමා මේ නියෝජිතයන් සතුටින් පිළිගෙන ඔවුන්ට රන්මාල තුනක්ද රනින් නිමකළ කඩු තුනක්ද තවත් තෑගිබෝගද පිරිනැමූ බව සයිමොන් ද සිල්වා වාසලමුදලිතුමා විසින් 1908 දී ලියූ ‘‘ලංකා කථාවේ’’ සඳහන්ව තිබේ. කොට්ටියර් වරායේ කෙටුවක් තැනවීමට නියෝජිතයන්ට අවසර දුන් රජතුමා සෙසු ප්‍රංශ නියෝජිතයන්ද පිළිගැනීමට සූදානම් බව දන්වා යැවීය. මේ බව දැන්වීමට අද්මිරාල් වොන්ශියර්ලාහේ හමුවීමට ආපසුගියේ එක් නියෝජිතයකු පමණි. ඉතිරි දෙදෙනා සෙංකඩගල නුවර නැවතුණෝය. ඔවුන්ට කුමක් සිදුවූයේද කිසිවකු නොදනිති.
නැන්ක්ලැයර්ද ලැනෙරෝල් නම් වූ ප්‍රංශ තානාපතිවරයා අශ්වාරූඪව රජතුමා හමුවීමට පැමිණියේය. මෙසේ පැමිණීම ලංකාවේ රජසිරිත් අනුව නුසුදුසු බව මැති ඇමැතිවරු තානාපතිතුමාට දැන්වීය. එහෙත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත. එසේ තිබියදීත් මැති ඇමැතිවරු තානාපතිවරයා ඇතුළු ප්‍රංශ නියෝජිතයන්ට ඉඳුම් හිටුම් දී රාජකීයන් ලෙස ගෞරවයෙන් පිළිගෙන සංග්‍රහ කරන ලද්දේය. ඒ නුවන්දෙණියේ තානායමේය.
නුවන්දෙණිය තානායමේ නතර වූ වංශාධිපති ලැනෙරෝල් තානාපතිතුමා ඇතුළු පිරිස රජතුමා සමඟ සාකච්ඡා කිරීමට පසුදා රජමාලිගාවට පැමිණියේය. සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ මඟුල් මඩුවේය. ලැනෙරෝල් ඇතුළු පිරිස රජතුමා එනතුරු දෙපැයක් තිස්සේ බලාසිටියේය. රජතුමා නොපැමිණි බැවින් ලැනෙරෝල් මහතා යන්නට ගියේය.
දෙවැනි රාජසිංහ රජතුමා මේ ප්‍රංශ තානාපතිවරයාගේ අංහකාර ක්‍රියාකලාපය අසා බලවත් ලෙසට කෝපයට පත් වීය. පළමුවෙන් ප්‍රංශ ජාතිකයන් දෙදෙනා හැර අවශේෂ සියළුම ප්‍රංශ ජාතිකයන් තලාපෙලා මාංචුලා දඟගෙට යැව්වෝය. සෙසු ප්‍රංශ ජාතිකයන් තමන්ගේ නිර්දෝශිත භාවය රජුට කියාපෑම නිසා ඔවුන් සියලු දෙනාම නිදහස් කෙරුණි. එහෙත් ‘‘ලැනෙරෝල්’’ තානාපතිවරයා මාංචු පිටින්ම දඟගෙයි මාස හයක් තැබුවේය.
මේ සිදුවීමෙන් පසු රජතුමා කොට්ටියාර්වරායේ තිබූ ප්‍රංශ නැව් ගැන සොයා බැලුවේ නැත. ලංකාව පුරා පැතිර ගිය වසංගත රෝග වැඩිපුරම බලපෑවේ මුහුදුකරයටය. කොලරා වසංගතය ලංකාවටද බෝ වූවේ වෙළෙඳ නාවිකයන්ගෙන්ය. ප්‍රංශ නැව් 14 සිටි නාවික යන්ටද මෙම රෝගය තදින්ම දැනෙන්නට විය. කොලරාව නිසා ඔවුහු විශාල වශයෙන් මියයන්නට වූහ. නාවිකයන්ගේ ආහාර පාන ප්‍රශ්නය විසඳීමට මොන්ශීයර් ලාහේ අද්මිරාල්වරයා කළේ. නැව්. 14 සමගම ඉන්දියාවට යාමයි.
ජේ.එච්. ලැනරෝල් මහතා මැතිනිය සහ නෑදෑයන් සමග
ඔහු ඉන්දියාවට ගියේ නාවිකයන්ට ආහාරපාන සපයා ගැනීමට සහ නැව්වල සේවය කිරීමට නාවිකයන් සොයාගැනීමටයි. සේවයේ යෙදී සිටියවුන් වසංගත රෝගයෙන් මියයාම නිසා නාවිකයන්ගේ විශාල අඩුවක්ද පැවතුණි. මේ අතරතුරේ ප්‍රංශ ජාතිකයන් තැනූ කොට්ටියාර් බලකොටුව ලන්දේසීහු අයිතිකර ගත්හ. ප්‍රංශ ආණ්ඩුව ‘‘නැන්ක්ලැයර්ස් ද ලැනෙරෝල්’’ තානාපතිවරයා නිදහස් කර ගැනීම පිළිබඳ කිසිවක් කළේ නැත. කලකට පසු දෙවැනි රාජසිංහ රජතුමා ඔහු නිදහස් කළේය. රජතුමාගේ ඉල්ලීම උඩ වෑඋඩ උඩකෝට්ටමුල්ලේ රාජගුරු පණ්ඩිත බෙත්ගේ (බෙහෙත්ගේ) මුදියන්සේගේ දියණිය බංඩාරමැණිකේ මොහුට විවාහ කර දුන්නේය. මහනුවර පදිංචි වූ ඔවුන්ට දරුවන් හතර දෙනෙකු ලැබුණි. කලකට පසු ඔවුන් ලන්දේසීන් සමඟ එක් වී කොළඹට පළා ඒමේ කතාවක් ලන්දේසීන් පිළිබඳ ලංකා ඉතිහාසයේ සඳහන් වේ.
ලැනරෝල් පුතුන් තිදෙනා ලන්දේසීන්ට එකතු වී කොළඹට ආවේ රාජසිංහ රජුට එරෙහිව යුද වදින්නටය. ඒ තම පියාට සිදුකළ දේට පිළිගැනීමටයි. ලන්දේසි යුද සේනාව හේවායින් 8000කින් යුක්ත වීය. ඔවුහු 1763 දී මධ්‍යම පළාතට ගොස් මහනුවර අත්පත් කරගත්තේය. එහෙත් සිංහලයේ මංමාවත් හරස්කොට ඔවුන්ට ආහාර පාන ගෙනඒම වැළැක්වූහ. විශේෂයෙන් මුහුදු බඩ ප්‍රදේශවලින්, ඔවුන්ගේ නැව්වලින් ගෙන එන ආහාර පාන මඟ රැකසිට උදුරා ගත්හ. මේ නිසා ලන්දේසීන්ට ආහාර පාන හිඟවී ලෙඩ රෝග හටගන්නට පටන් ගත්තේය. මාස නවයක් තිස්සේ පැවැති මේ බාධක නිසා ඇතැම් ලන්දේසීහු ලෙඩ වී මිය ගිය අතර ඉතිරි පිරිස කොළඹට ඒමට මඟට පිළිපන්නෝය. මේ ගමනේදී ලන්දේසීහු වැඩි දෙනෙකු සිංහලයින් විසින් මග රැක මරා දමනු ලැබූහ.
උඩරට පාර තොට හොඳින් දන්නා ලැනෙරෝල්ලා තුන්දෙනා නියම මාර්ගයේ ගියහොත් සිංහලයින්ගෙන් මැරුම් කෑමට සිදුවන නිසා ඉතිරි වූ ලන්දේසීන් පිරිස රැගෙන ගැටඹේ සිට කනක්කරපොල ආදී ගම් හරහා හතරලියද්ද පැත්තෙන් ආවෝය. ලැනෙරෝල්ලා මෙයට පෙර වෑඋඩ මේ පාරෙන් තමන්ගේ මෑණියන්ගේ නෑදෑයින් දැකීමට ගොස් තිබුණි. ලන්දේසීන් සමඟ කොළඹට පැමිණි ලැනෙරෝල්ලා ආපසු මනුවරට ගියේ නැත.
ඔවුන්ගේ එක් සහෝදරයෙක් කොළඹ ද, තව සහෝදරයෙක් බෝමිරියේ ද, අනෙක් සහෝදරයා ගාල්ලේ ද ඕලන්ද කාරයින්ගේ නිලතල, ගේ දොර ඉඩකඩම් ලබාගෙන පදිංචි වූහ. වී.ඩී. ද ලැනරෝල් පරම්පරාව පැවැත එන්නේ බෝමිරියේ පදිංචි වූ සැමුවෙල් ද ලැනරෝලගෙනි. 1767 දී ඕලන්ද ආණ්ඩුකාරයාගෙන් ඔහුට ලැබුණ සන්නස්, තුඩපත් 1959 දක්වා වී.ඩී. ද. ලැනෙරෝල් මහතා ළඟ තිබුණි.
වී.ඩී. ද ලැනරෝල්ගේ සම්පූර්ණ නම රාජකරුණාධිපති අමරකෝන් මුදියන්සේලාගේ වික්ටර් දුකිදෙලැයි ද ලැනරෝල් සපරමාදු අප්පුහාමි වේ. ලැනරෝල් ඉපදුනේ 1983 දෙසැම්බර් 25දාය. ඔහු උපන්නේ බෝමිරියේ කෙතේ වත්තේදීය.
මෑණියන් කටුගම්පොළගේ ලුසියානා සිල්වා හාමිනේය. රජයේ පාසල් ගුරුවරියක වූ ඇය තුම්පනේ, හතරලියද්දේ පාසලක ඉගැන්නුවාය. පියා ජේම්ස් ද ලැනරෝල් වෙළෙඳාමේ යෙදුණු අයෙකි. මවගේ පියා මුල්ලේරියාවේ පදිංචි කටුගම්පොළගේ ජුලියස් සිල්වා අප්පුහාමිය. වී.ඩී. ද ලැනරෝල් ඉපදුන බෝමිරියේ කෙතේවත්ත, අක්කර සියයක් පමණ වූ විශාල ඉඩමකි. ඉතිහාසයේ සඳහන් වන්නේ මෙය ලන්දේසීන් විසින් ලැනරෝල් පරම්පරාව වෙනුවෙන් ප්‍රදානය කරන ලද ගම්වරයක් බවයි.
වික්ටර් ජූලියස් සැමුවෙල්, කුලසිංහ.
හේවාගම් කෝරළය බද බෝමිරිය නැමති ගමේ ජේම්ස් ඩියුක් ද ලැනරෝල් හා කටුගම්පලගේ දෝන ලුසියානා සිල්වා දම්පතීන්ගේ පුත්‍රයන් හතරදෙනා වික්ටර්, පූලියස්, සැමුවෙල්, කුලසිංහ නම් වූහ.
බාලයා කුලසිංහ ලැනරෝල් උපන්නේ 1902 පෙබරවාරි 18දා. ඊට නව වසරකට පසුව උපන් එකම දියණිය සෝමාභද්‍රා ලැනරෝල් නම්විය. ඉන්පසු කලෙක නන්දාවතී ද ලැන්රෝල් නමින් දියණියක් ඉපදුන අතර ඇය අවුරුදු දෙක හමාරේදී මිය ගියාය. වික්ටර් ලැනරෝල් සුප්‍රසිද්ධ කවියෙක්, ග්‍රන්ථ කතෘවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් වූ අතර ජූලියස් ලැනරෝල් (1896-1964) පාසල් ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළේය. ලංකා තරුණහඬ, සිංහල බෞද්ධයා, ලක්මිණ, ණ,න,ල,ළ විභාගයට ඔහුගේ පරීක්‍ෂණාත්මක කෘතියයි. ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් ද ඔහු පළකළේය. ‘‘ගුරුකුල’’ නමින් සඟරාවක්ද ඇරඹීය. එය ශාස්ත්‍රීය සඟරාවකි. විලියම් ගෛගර් පඬිතුමාගේ කුලුපග ගෝලයෙකි. ඉතිහාසය හා බුද්ධ ධර්මය ගැන විද්‍යානුකූල අවබෝධයක් ඇති සැමුවෙල් ලැනරෝල් තම අදහස් එඩිතරව ප්‍රකාශ කළ අගනා ග්‍රන්ථ කීපයකම කතුවරයාවෙයි.
මුළු ජීවිතයම ඉගැන්වීමට කැපකළ කුලසිංහ (කේ.ඩී. ද ලැනරෝල්) හතරලියද්ද, බෝමිරිය, මහනුවර ධර්මරාජ විද්‍යාලය යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා අවසානයේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුවිය. එහිදී ඔහු වලිසිංහ හරිශ්චන්ද්‍ර සිංහල සාහිත්‍ය ත්‍යාගය (1919) සිංහල භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ත්‍යාගය (1920) දිනාගත්තේය. කොස්ගම සහ උඩුගම්පොල රජයේ පාසල්වල උපගුරුවරයෙකු වූ ඔහු කොළඹ විද්‍යාභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලබා නැවත ආනන්ද විද්‍යාලයට පත්ව වසර 32ක සේවයක් කළේය. 1959 දි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ වූ වසරේ එහි විභාගාධිකාරී තනතුරට පත් වීය. වසර අටක් එම තනතුර දැරූ කුලසිංහ ලැනරෝල් මහතා විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඉංග්‍රීසි දෙවෙනි භාෂාවක් ලෙස ඉගැන්වීමෙහි යෙදිණි.
ශිෂ්‍යයන්ගේ අභිවෘද්ධිය සඳහා එතුමා ආරම්භ කළ ‘‘සිංහල දරුවා’’ සඟරාව එකල ලංකාවේ ප්‍රධාන පෙළේ සඟරාවකි. මුනිදාස කුමාරණතුංගයන්ගේ ‘‘හා හා හරි හාවා’’ “දොරට වැඩුම” යන කවි පංති මුලින්ම පළවුණේ කුලසිංහ ඩී. ද ලැනරෝල් මහතාගේ සිංහල දරුවා සඟරාවේය. කොළඹ ආනන්ද විද්‍යාලය මගින් කේ.ඩී. ද ලැනරෝල් මහතාගේ (කතික) සංස්කාරක වශයෙන් මෙය පළවූයේ 1937 මැයි මාසයේ සිටයි. මෙහි කළමනාකරු වූයේ ටී.ඇස්. ධර්මබන්ධු මහතාය.
පාසල් සිසුන්ට අතිරේක කියවීම් පොත් ඉතා අඩුවෙන් තැබූ කලෙක රම්‍යකතා, කථා පෙරහැර, නාට්‍ය පහ ආදී පොත් කුලසිංහ ලැනරෝල් මහතා විසින් සම්පාදනය කරන ලදී.
මෙතුමා විවාහ වූයේ 1938 දෙසැම්බර් 07 දාය කැලණිය වරාගොඩ ජයතිලක පවුලේ පද්මාවතී ජයතිලක මෙනෙවිය සමගය. ඉහතින් සඳහන් කළේ ලැනරෝල් පරපුරේ සේවයෙන් බිංදු මාත්‍රයක් පමණි.
පී.ඇම්. සේනාරත්න