ඉන්දියාවේ සිටින ඉංජිනේරු සිසුවෙකු වන අභිෂේක් බැනර්ජී 2016දී එරට සාම්ප්‍රදායික ගඩොල් පෝරණුවක් නැරඹීමට ගියේ අධ්‍යාපන චාරිකාවක් වශයෙනි. එහිදී ඇස ගැටුණේ ඔහු කිසිසේත් දකින්නට අපේක්ෂා කළ දේවල් නොවේ. ගඩොල් පෝරණුවල සේවය කළ මිනිසුන්ට සලකනු ලැබුවේ තිරිසනුන්ට මෙන් බවත්, ගඩොල් හෑරීම සඳහා කිසිදු උපකරණයක් වත් නොදී තිබුණු බැවින් ඔවුන් මැටි හෑරුවේ අතින් බවත් ඔහු දුටුවේය. එසේම පෝරණුවල සේවය කිරීම වෙනුවෙන් ඔවුනට කිසිදු මුදලක් හෝ නොගෙවූ අතර ණය කපා හැරීමේ උපක්‍රමයක් ලෙස මෙසේ වහලුන්ට මෙන් සලකමින් දුප්පත් මිනිසුන්ගෙන් වැඩ ගන්නා බවත් දිටීය.
ගඩොල් පෝරණුවල පවතින ඛේදනීය තත්ත්වය ගැන සිතූ විශ්වවිද්‍යාල සිසුවා බැනර්ජී ඒවාට විසඳුමක් ලබාදීම ගැන සිතුවේය. අග්නිමිත්‍ර සෙන්ගුප්තා, අන්කන් පොඩ්ඩර් සහ උස්තාව් භට්ටාචාර්ය යන මිතුරන් තිදෙනා සමඟ එකතු වී ඔහු 2017 වසරේදී කුබේ යනුවෙන් සමාගමක් පිහිටුවීය. ඉවතලන ප්ලාස්ටික් යොදාගෙන කළ ප්ලාස්ටිකුබේ නමැති ගඩොල ඔවුන්ගේ නිර්මාණයකි.
ඒ සඳහා බටහිර බෙංගාලයේ කුණු එකතු කරන්නන් සමඟ එකතු වී වැඩ කළ ඔවුන් ඉවතලූ ජල බෝතල් හා කසල රඳවන බෑග් ආදිය එකතු කළෝය. ඒවා පිරිසුදු කිරීමෙන් අනතුරුව කෑලිවලට කඩා දැඩි පීඩනයක් යටතේ තද කිරීමෙන් මෙම නව නිපැයුම සිදුකරන ලදී.
සාමාන්‍ය ගඩොලක් ඉන්දියානු මුදලින් රුපියල් 10ක් පමණ වෙන නමුත් මෙම ප්ලාස්ටිකුබේ ගඩොලක රුපියල් 5 -6ත් අතර මුදලකට විකිණිය හැකිය. ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමටද අපූරු ක්‍රමවේදයක් තිබේ. ගඩොල්වල තිබෙන කාණු වැනි කොටස් නිසා ඒවා එකිනෙක හොඳින් සවි කළ හැකිය.
ඉන්දියාවේ දිනකට බැහැර ලන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 25,000කටත් වැඩි ය. ඒවායින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් එකතු කිරීමක් හෝ සිදු නොවේ. ඉන්දියාවේ වසරකට විසි කරන ප්ලාස්ටික් ප්‍රමාණය මිලියන 9කටත් අධිකය.
ඉන්දියාවේ පිහිටි 140,000ක් වූ ගඩොල් පෝරණුවලින් පරිසරයට සිදුවෙන්නේ ද සුළුපටු හානියක් නොවේ. මෙම පෝරණු නිසා දුහුවිලි මෙන්ම සල්ෆර් ඩයොක්සයිඞ් ද පරිසරයට එකතු වෙන අතර මෙම පෝරණුවලින් අතිබහුතරයක් ක්‍රියා කරන්නේ ගල් අඟුරු දැවීමෙනි. ඉන්දියාවේ ගඩොල් පෝරණුවලින් වසරකට ගල් අඟුරු ටොන් මිලියන 15 - 20 අතර ප්‍රමාණයක් දවන බව එක් පර්ෙය්ෂණයකින් අනාවරණය විය.
ප්ලාස්ටික් ගඩොල් භාවිතයට ගතහොත් ගඩොල් පෝරණුවකින් ගඩොල් පිළිස්සීම සඳහා වැය වෙන ශක්තියෙන් සියයට 70ක් පමණ ඉතිරි කරගත හැකි බව විසි දෙහැවිරිදි මෙම තරුණයා පෙන්වා දී ඇත. එක් ගඩොලක් සඳහා ප්ලාස්ටික් කිලෝ එකහමාරකට මඳක් වැඩියෙන් වුවමනා වෙන අතර මේ ක්‍රමය මගින් පෝරණුවලින් පරිසරයට වෙන හානිය මෙන්ම ප්ලාස්ටික්වලින් පරිසරයට වෙන හානිය ද සියවස් ගණනාවක් යන තුරු වළකාගත හැකි බව ඔහු කියා සිටියි.
බැනර්ජි තරුණයාගේ මෙම නව නිපදවීම නිසා ඔහු දැනටමත් කලාපීය අවධානයට ලක්වී ඇති අතර 2018 වසරේ එක්සත් ජාතීන්ගේ තරුණ මිහිකත් ශූරයෝ සම්මාන සඳහා කලාපය නියෝජනය සඳහා අවසන් වටයටද තේරී පත්විය. ඔහුගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු කුබේ සමාගම මේ වන විට ආසියාවේ කීර්තිමත් සමාගමක් බවට පත්ව තිබේ.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක