දොන් සිරිසේන නම් සුප්‍රකට නළුවා පිළිබඳව විස්තර සොයා ගැනීම මදක් දුෂ්කර වූවකි. ඊට හේතුව ඔහු වෙනත් නළුවන් මෙන් මාධ්‍ය ඉදිරියට පැමිණි වාර ගණන බෙහෙවින් මද බැවිණි.
වරෙක මම ඔහු සොයා දෙහිවල කරගම්පිටියේ ඔහුගේ නිවසට ගියෙමි. එදා ඔහු මදක් අසනීප ගතියෙන් පසුවිය. එහෙත් ඉතා අපහසුවෙන් මෙන් සම්මුඛ සාකච්ඡාවකට කතා කර ගත හැකි විය. ඒ 1979 වසරේ දෙසැම්බරයේදීය.
එකල ඔහුගේ දියණිය සුජීවාට වයස අවුරුදු 8කි. සංජය පුතාට අවුරුදු හයකි. බිරිඳ ඊනිඩ්ය. දොන් හා කතා කරද්දී තිදෙනාම මා අසල වූහ.
“මම සිනමාවට එන්න කලින් පොඩි රැකියාවක් කළා. ඒත් චිත්‍රපට නිසා මම එයින් අයින් වුණා. ඒ ගැන මම පසුතැවෙන්නේ නෑ” ඔහු කීවේය.
දොන් නිවසේ විවේකීව සිටින විට එදා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදුණේය. ඒ දුවත් පුතාත් සමඟය. මේ නිසා චිත්‍රපට වැඩ වලින් නිදහස්ව සිටින දිනයක් නිසා දුවත් පුතාත් බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්නට දොන්ට කතා කළහ.
1979 වසර වන විට දොන් සිනමාවට පැමිණ ගතව තිබුණේ අවුරුදු 15කි. ඒ කාලය තුළ ඔහුට චිත්‍රපට 50ත් 60ත් පමණ රංගනයට අවස්ථාව ලැබී තිබිණි.
‘‘මම මුල් කාලේ ඉඳලා රඟපෑවේ විකට චරිත. ඒක නිසා මං විකට නළුවෙක් විදියට හංවඩු ගැහුණා. කොයික වෙන්නෙත් හොඳටනේ, කියලා හිතාගෙන මමත් ලැබෙන හැම චරිතයක්ම රඟපෑවා. දිගටම විකට චරිත රඟපෑවාට මට රඟපෑම එපාවෙලා නෑ.
“රසිකයාගෙන් ලැබූ නම හැර අනාගතය වෙනුවෙන් අපි ඉතිරිකරගත් කිසිම දෙයක් නෑ. මේ නිසා කලාව වෙනුවෙන් අපේ මුළු ජීවිතයම කැප කළත් අපේ අනාගතය අවිනිශ්චිතයි.”
සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන හැත්තෑ දශකයේ දී දොන් සිරිසේන කීවේ එවන් කතාවකි.
“මම අනාගතය ගැන ඒ තරම් බලාපොරොත්තු තියාගත්ත පුද්ගලයෙක් නෙමෙයි. අනාගතය මොන අතට පෙරළේ ද කියලා කියන්න බෑ. අද අපේ පැරණි විකට නළු නිළියන් බොහෝ දෙනෙක් අතරමං වෙලා. ඒ අයට පිහිට වෙන්න කිසිවෙක් නෑ. රජය මගින් ඒ ගැන හොයා බලනවා නම් හොඳයි.
‘‘දැන් තියෙන තත්ත්වය යටතේ අපටත් කවදා හරි මුහුණ පාන්න වෙන්නේ ඒ ඉරණමටම බව අපි දන්නවා. අපට රගපාන්න බැරි වූ විට අද අපේ රඟපෑම් ප්‍රියකරන රසිකයා සම්පූර්ණයෙන් අපිව අමතක කර දමාවි. එදාට අපි අවලංගු කාසි වගෙයි.
එකල බී.ඇස්. දොන්, ෆ්‍රෙඩි චිත්‍රපටවලට නැතිවම බැරි විකට නළුවෝ වූහ. දර්ශනයක දෙකක වුව ද ඔවුන් පෙනී සිටිය යුතුය. ප්‍රධාන නළු නිළි යුවල සමානව චිත්‍රපට දැන්වීම්වල විකට නළු නිළියෝ ගැන සඳහන් වූයේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම සඳහාය.
ඒ කාලයේ නළු නිළියන් මුහුණ පෑ දුෂ්කරතාවක් වූයේ පොරොන්දු වන මුදල ලබා ගැනීමය. මුදලක් පොරොන්දු වී චිත්‍රපටයේ රඟපෑව ද ඇතැම් නිෂ්පාදකවරු මුදල් නොදී බොරු කළහ.
දොන්ලා, ෆ්‍රෙඩීලා බී.ඇස්.ලා විවිධ චරිත රඟපෑමට කැමැත්තෙන් සිටිය ද එවන් අවස්ථා හමු වූයේ ඉඳහිටය.
ඒ සඳහා සම්මාන උත්සවවල දීද ඇගැයීම් නොලැබිණි. මේ සඳහා බෙහෙවින් හඬ නැගුවේ ෆ්‍රෙඩීය. ඔහු කීවේ හොඳම විකට නළුවා ලෙස ද සම්මානය දිය යුතු බවය.
‘‘විකට චරිත කියන්නේ මහ අමුතු දෙයක් කියලා මට වෙලාවකට හිතෙනවා. මිනිස්සු හිනස්සන එක අමාරු දෙයක්. අලුත් පරපුර හිනස්සන එක ඊටත් වඩා අමාරුයි. ඒ අය කලින්ට වඩා බුද්ධිමත්. ඒ නිසා විකට චරිත පුරාම හරයක් නැත්නම් රසිකයෝ ඒ රඟපෑම් ප්‍රියකරන්නේ නෑ... ඒ විකට චරිත ගැන දොන් මා සමඟ කියූ අදහස්ය.
දොන්ගේ මුල් යුගය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට බී.ඇස්. පෙරේරාගේ පුත් සුනිල් බෙහෙවින් මට උදව් කළේය. සුනිල් මට මුණ ගැස්වූයේ දොන්ගේ බෑණා කෙනකු වන ඩන්ස්ටන් නන්දලාල්ය. නන්දලාල් දිමුතු මුතු සිහින දනව්ව ටෙලි නාට්‍ය මෙන්ම බට්ටි, රිදී නිම්නය ආදි චිත්‍රපටවල ද දොන් රඟපෑ නළුවෙකි. දොන් සිරිසේන මගේ මාමා. ඒ කියන්නේ අම්මගේ මල්ලි. මට මතකයි පොඩි කාලේ දොන් මාමා හිටියේ අපේ ගෙදර. ඊට හේතුව පස් දෙනකුගෙන් යුත් පවුලේ ඔහු බාලයා වීමයි. දොන්ගේ තාත්තා අපේ සීයා වැඩ කළේ පොලිස් පරීක්ෂකවරයකු ලෙසයි.
මාමා පොඩි කාලේ ඉඳලම නාට්‍යවල රඟපාලා තියෙනවා. ඒ නාට්‍යවල රඟපෑම් දැකලා තමයි මාමට ‘ශෝභන සිත’ චිත්‍රපටයේ රඟපාන්න හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ මාම ගෙදර හිටියේ නෑ. පස්සේ මෝටර් බයිසිකලයක් අරගෙන මාමව හොයන්න මහ රෑම අපේ තාත්තා ගියා.
‘ශෝභන සිත’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චරිතා ප්‍රියදර්ශන පීරිස්ගේ පියා වන ආරියදාස පීරිස්ය. එය 1964 වර්ෂයේ තිරගත වූවකි.
ශෝභන සිත චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ නම් සඳහන් වෙයි. අනෙක් අධ්‍යක්ෂවරයා විල්ෆ්‍රඩ් සිල්වාය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ආරියදාස පීරිස්ය. එහෙත් පසුව නිෂ්පාදකගේ කිසියම් මත භේදාත්මක තත්ත්වයක් නිසා විල්ෆ්‍රඩ් සිල්වාගේ නම සඳහන්ව ඇත. පසුව එය නීති මගින් සමථයකට පත් කර විල්ෆ්‍රඩ් සිල්වාගේ නම කාර්මික අධ්‍යක්ෂ ලෙස සඳහන්ව ඇති බව වාර්තා වෙයි. කෙසේ නමුදු ඇතැම් අවස්ථාවල නම් දෙකම සඳහන් වෙයි. ශෝබන සිත චිත්‍රපටය සඳහා දොන්ව සොයාගෙන පැමිණ ඇත්තේ ආරියදාස පීරිස් බව වරක් දොන් සිය බෑණා වූ නන්දලාල් මහතාට පවසා ඇත.
දොන්ගේ සම්පූර්ණ නම අරන්දර කංකානම්ලාගේ දොන් සිරිසේනය. එකල නම පාවිච්චි වූයේ ඒ.කේ.සී. සිරිසේන ලෙසය. චිත්‍රපටවලට නම යෙදීමේ දී දොන් සිරිසේන ලෙස යොදා ගැණිනි. එය විකට නළුවකුට කදිමට ගැළපෙන්නකි. දොන් සිරිසේන නමේ ගන හොඳ නිසා එසේ යොදන ලෙස දොන් පවසා ඇත. අයියලා දෙදෙනකු සහ අක්කලා දෙදෙනකුගෙන් යුත් පවුලක දොන් බාලයා විය. අද ඒ කිසිවකු ජීවතුන් අතර නැත.
ඔහු පාසල් ගියේ සුමනාරාම පෙදෙස කිට්ටුව පිහිටි ශ්‍රී පුන්‍යාකාමි මහා විද්‍යාලයටය. එම පාසලේ අධ්‍යාපනය ලද කලාකරුවන් රැසකි. ලලිත් එස් මෛත්‍රීපාල මෙන්ම සුප්‍රකට ගායක වෝල්ටර් ප්‍රනාන්දු ද එම පාසලේ මුල් කාලයේ අධ්‍යාපනය ලබා ඇත.
ගායක වෝල්ටර් ප්‍රනාන්දු පවසන ආකාරයට එකල ගල්කිස්සේ දක්ෂිණ පාරේ තිබූ සරල සංගීත සංගමයේ ඩොලැක් වාදකයා දොන්ය. දොන් ඩොලැක් මෙන්ම තබ්ලා වාදනයට ද දස්කම් දැක්වූවකි. එහි නායකත්වය දැරුවේ සුප්‍රකට වාදක එඩ්ගා පෙරේරා. මෙයට සම්බන්ධ අනෙකුත් ගායන ශිල්පීන් වූයේ වෝල්ටර් ප්‍රනාන්දු සහ ටියුඩර් නිශාන්ත හා වැනි ගායකයන්ය දොන් සරල ගීත සංගමයේ ස්ථිර වාදකයකු ලෙස කටයුතු කළ ද ඔහු ඉක්මනින් චිත්‍රපටවලට සම්බන්ධ වීම නිසා සංගීත කටයුතුවලින් ඈත්වන්නට සිදුවිය.
දොන් සිරිසේන ගැන සිතන විට දැන් අපට පෙනෙන්නේ සිංහල සිනමාවට විකට රංගනයෙන් දායක වූ පතාක යෝධයකු මෙනි. එහෙත් ඔහු ජීවත් වූයේ අවුරුදු පනස් එකක් වැනි කෙටි ජීවිත කාලයකි.
1934 වර්ෂයේ කොළඹ දී ඉපදුනු ඔහු අප අතරින් වෙන්වූයේ 1986 දීය.
ඔහු වරින්වර රෝගාතුර විය. වරක් දැධි ලෙස ගිලන් වී වසරකට කිට්ටු කාලයක් ගත කළේය. මේ කාලය තුළ ඔහුගේ චිත්‍රපට කටයුතු අඩාළ විය.
සුව වූ වහාම යළිත් ඔහු සුපුරුදු පරිදි සිය කලා කටයුතුවලට දායක විය.
රෝගී වීමෙන් පසුව මට හමු වූ විටෙක ඔහු පැවසුවේ මෙවර නම් එලොව ගිහින් මෙලොව ආවේ කියාය. ඒ කාලය තුළ ඔහුට විජය කුමාරතුංග සහ යසපාලිත නානායක්කාර ඇතුළු බොහෝ දෙනා උදව් කළායැයි පැවසීය.
ඒ අතර කලා ක්ෂේත්‍රයේ තවත් සමහරු ඔහු තවමත් රෝගී වී ඇතැයි බොරු ප්‍රචාර යැවූ යැයි බවත් මා කතා කරන අවස්ථාවේදී චිත්‍රපටයක දෙබස් පටිගත කිරීම සඳහා යන බව ඔහු පැවසීය.
දොන් විටක නළුවකු වීම ගැන පසුතැවුණේ නැත. එහෙත් එයින් බැහැරට කළ රඟපෑම් පිළිබඳව ආශාවෙන් කතා කෙළේය.
“මම හදවත් නැත්තෝ චිත්‍රපටයේ හොඳ චරිත රංගනයක යෙදුණහ. ඉන් පස්සේ කේ.ඒ.ඩබ්ලිව්ගේ රේල් පාර චිත්‍රපටයේ ගොළු චරිතයක් රඟපෑවා. මේ ගොළු චරිතය තුළින් මම රසිකයන්ව හිනස්සන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. මුළු චිත්‍රපටයෙම මට කිසිම දෙබසක් නෑ. කවුරු හරි අනුකම්පාවෙන් මේ චරිතය දිහා බැලුවෝත් ඒ චරිතය සාර්ථකයි කියලා කියන්න පුළුවන්.”
“ඒ හැරුණු විට කිවුලේ ගෙදර මොහොට්ටාල චිත්‍රපටයේ වැදි නායකයකු ලෙස තවත් අමුතු චරිතයක් රඟපෑවා. ඒ චරිතය ගෙවී යන්නේ ඓතිහාසික සිදුවීම් ආශ්‍රයෙන්” දොන් එදා පැවසීය.
ජනප්‍රියත්වය නළු නිළියන්ට කරදරයක් ද මා අසන විට ඔහු කීවේ එය එක්තරා කරදරයක් බවයි.
“මග තොටදී අපට අනන්තවත් කරදර සිද්ධවෙනවා. අපි රඟපාන්නේ විකට චරිත නිසා චිත්‍රපටවල ඒ චරිත ගැන කියමින් සමහර වෙලාවට අපිට විහිළු කරනවා. ඒත් ඒ අය එහෙම කරන්නේ අපේ රඟපෑම්වලට කැමති නිසයි. ඒ නිසා අපි තරහ ගන්න නරකයි.”
තම දූ දරුවන් සිනමාවට සම්බන්ධ කිරීමට ඔහු එදා දා කැමති නොවිය.
“මගේ හැටි ඒ ගැන වැඩි කැමැත්තක් නෑ. ඒ අය සිනමාවට සම්බන්ධ වෙන්න ආශාවෙන් හිටියත් සිනමාවේ දැන් තියෙන පසුබිම අනුව (1979) ඔහුන් ඊට සම්බන්ධ වීම සුදුසු නෑ. ඒත් ඔවුන්ගේ දක්ෂතාවලට පාර අහුරන්න මම කැමති නෑ.”
මම ප්‍රසිද්ධිය සොයාගෙන යන්න කැමැති නෑ. මගේ රඟපෑම් හරිහැටි කෙරුණොත් මට ප්‍රසිද්ධිය ලැබේවි. ඒ නිසා මම හැම වෙලාවේම උත්සාහ ගන්නේ මගේ රඟපෑම් හරිහැටි ඉදිරිපත් කරන්නය. ප්‍රසිද්ධිය පිළිබඳව ඔහුගේ අදහස එය විය.
ඔහු එදා සිතූ පරිදිම ඔහුගේ සුජීවා දියණියත්, සංජය පුතාත් සිනමාවට එක්වූයේ නැත.
නන්දලාල් මහතා පවසන්නේ සංජය පුතාට දොන් මෙන්ම රංගන දක්ෂකම් තිබුණ ද ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවයි. දියණිය සුජීවාත් පුත් සංජයත් ව්‍යාපාර කටයුතුවල යෙදී සිටිති.
අවුරුදු 51ක් වැනි කෙටි ජීවිත කාලයේ දී දොන් චිත්‍රපට 150කට පමණ රංගනයෙන් දායක වීමෙන් ඔහු කෙතරම් ජනප්‍රිය නළුවෙකුදැයි සිතා ගත හැකිය. දොන්ගේ අවසන් චිත්‍රපටය ලෙස තිරගත වූයේ ‘‘අලි බබා සහ හොරු හතළිහයි.’’ ඒ 1991 දීය. ඔහු චිත්‍රපට රඟපෑම් අතරතුර සිවම්මා ධනපාල, කඩවුනු පොරොන්දුව ආදී වේදිකා නාට්‍යවල ද රඟපෑවේය. ඊට අමතරව බී.ඇස්ලා සමග එක්ව විවිධ විකට වැඩසටහන්වලටද සම්බන්ධ වූහ.
එකල සම්මාන උත්සව වලදී දොන්ලා ගැන ඇගැයීමක් නොකළද ඔහු අප අතරින් වෙන්ව ගොස් වසර තිස් ගණනක් ගත වුව ද රසිකයන්ට දොන් අමතක වී නැත.
‘‘රඟපෑම් හරිහැටි කෙරුණොත් ප්‍රසිද්ධිය සොයාගෙන එ්වී’’ යන කියමන සනාථ කරමින් අද ද දොන් ගැන මෙසේ ලියවෙන්නේ එහෙයිනි.
රොඩ්නි විදානපතිරණ