ප්‍රේමය


කෙටි කතාව

 

මිදුල පුරාම වවල තිබුණ සියක්පෙති මල් සුළගේ නැළවුණි. වෙරළු මල් සුවඳ හරි හරියට සුළගත් එක්ක ඔට්ටු අල්ලමින් මුළු වත්ත පුරාම පැතිර ගියේ මුකුළු පාමිණි. සේපාලිකා මල් ගහත් අමුතු සතුටකින් ඔද්දල්වෙලාක් මෙන් මුළු ගහ වටේම මහා නොසන්සුන්කමක දැවටීගෙනය. ඈතට නෙතු රඳවගෙන හිටිය ඇගේ සිතුවිළි මොහොතකට නතරවුණේ සිරිපාලගේ මත් හඬත් සමඟිනි. ලොකු ඇස් තවත් ලොකු කරල බලපු සිරියලතා ටිකෙන් ටික මෝරගෙන ඉදිරියට එන කුස අතගෑවේ උඹෙත් කරුමේ කියන බැල්මෙන්ය. හෙමින් තුනටියට අතතියාගෙන අබලන් ලෑලි පුටුවෙන් නැඟිටපු සිරියලතා හෙමින් හෙමින් පය තිබ්බේ කුස්සියට යන්නට තිතාගෙනය.

 

බඩගින්නක් නොතිබුණත් උපදින්න පෙරුම් පුරන දරුපැටියා වෙනුවෙන් හාමතේ ඉන්න පුළුවන්කමක් සිරියලතාට නොතිබුණි. ඇය යාන්තම් ඉතුරුකරගත් දංකුඩයට මුසුවෙච්ච බත් ටික කන්න කියලා හිතුවෙ ඒ හින්දමය. හරියට පහේ ටිකවත් නොදා හදපු කරෝල සුවඳට ඉබේටම කටට කෙළ උනපු සිරියලතාගේ අලුත් කළේ නැතිවෙලා තිබ්බ කුසගින්නය. ඒත් ඇගේ ඇස් ලොකු කළේ බත් හැලියටම මාළු වළඳත් හලාගෙන කන සිරිපාලව දුටු ගමන්මය.   


ඊයේ හවස කඩේ මුදලාලිට පිංසෙණුඩු වෙලා ණයට ගත්තු හාල් සේරුව යාන්තම් රෑ වේලත් කාලා පිරිමහ ගත්තේ දරුවෝ දෙන්නට උදේට කාලා ඉස්කෝලේ යවන්නය. උදේ ඉඳන් මත් වතුරත් එක්ක පේවිලා ඉන්න සිරිපාලට මේ අගහිඟකම් දැනෙන නොදැනෙන තරම්ය.   


ඇය හෙමින් එළියට අඩිය තිබ්බේ දයාවතී අක්කගේ ගෙදරට යන්න හිතාගෙනය.   
මේවා කන්න පුළුවන්ද ගෑණියේ සිරිපාල මහ හඬින් කෑ මොර දෙමින් පොළොවේ ගෑසූ වළඳෙ කෑලි වලට සීරිලා ගියේ සිරියලතාගේ හිතය. හැමදාම වගේ ඇගේ තනියට කඳුළු ඉස්සර වුණි. සිරියලතා නෑහුනා වගේ දයාවතී අක්කලාගේ ගෙදරට අඩිය තිබ්බාය.   
දයාවතී අක්කලගේ ගෙදර පිල්කණ්ඩියේ වාඩිවෙලා හිටිය සමරපාල අයියා සිරියලතා දුටු ගමනින්ම මහත් ප්‍රීතියෙන් මෙන් වටපිට බැලුවේය.   
ආ නංගියේ මොකද ​උඹ මේ පැත්තේ....   
සිරියලතා දුටුව ගමන්ම සමරපාල විමසුවේ වෙනදා වගේ කෑදර බැල්මේන්ය.   
අක්ක ඉන්නවද අයියේ..   
සිරියලතා විමසුවේ මෙහේ ආව මෝඩකමට හිතත් එක්ක තරහිනි.   
ඒකි මොකටද බං මං ඉන්නේ   
මනමාල හඬක් තවරගත්ත මුවින් සමරපාල ඇහුවේ පිල් කණ්ඩිය උඩින් නැඟිටින ගමන්ය.   
මං පස්සේ එන්නම් අයියේ   
සිරියලතා බැරි මරගාතේ කුසත් උස්සන් ආපහු හැරුණේ තත්පරයේ පමාවත් ඇයට අවැඩක් බව දැනුන බැවින්ය.   


ඔහොම ඉඳින් නංගියේ   
ඉස්සර වුන සමරපාලගේ අතට කේඩෑරී වි ගිය සිරියලතාගේ අත හිරවෙන්න ගතවුණේ නිමේශයකි.   
අතහරින්න අයියේ අපේ මිනිහ බීලා ඉන්නේ දැක්කොත් මහා විනාශයක්   
සිරියලතා පැවසුවේ අපමණ බියෙන් මෙනි.   
මං ඕකව මරනවා නංගී ඌ උඹට දුක දෙනව වැඩියි   
සමරපාල කිව්වේ හැබෑම ලෙන්ගතු කමක් ආරෝපණය කරගනිමිනි.   
මට යන්න දෙන්න අයියේ..........   
සිරියලතා කිව්වේ යදමකට අහුවෙලා වගේ තිබ්බ අතින් දැනෙන වේදනාව තවත් දරා ගැනීමට නොහැකිකමින්ය.   
උඹ පලයන් නංගී කාලද ඉන්නේ   
සමරපාල ඇහුවේ ඒ ගෙදර උයන වේල් ගණන අඩු බැවිනුත් වැඩිපුර කුස පිරෙන්නේ මේ ගෙදරින් බව ඔහු දන්නා බැවිනුත්ය.   


යාන්තම් ඔළුව වනපු සිරියලතා අඩියට දෙකට එතනින් පිටවුණේ මේවා කොහින් කොහොම නතර වෙයිද යන්න සිතා ගන්න බැරුවත්ය.   
රතු මල් වැටුණ දණහිසට කොට කහ ගවුම සිරියලතාට ගෙනාවේ අමුතු ලස්සනක්ය. ලොකු ළමයෙක් වෙලා නැවුම් කළයෙන් දිය නාලා දොරට වැඩිය දවස සිරියලතාට මතක් වුණි. අප්පච්චි දාපු තෝඩු දෙක මුහුණට ගෙනාවේ අමුතුම හැඩයකි. මුහුණ හැම අතටම හරව හරව කණ්ණාඩිය ඉස්සරහ කොච්චරක්නම් වෙලා හැඩ බැලුවද කියලා සිරියලතාට අදටත් මතකයට එන්නේ නැති බව නම් විශ්වාසය.   
එදා ගමේ හිටිය හැඩකාරම කෙල්ල සිරියලතා කියලා මුළු ගමම දන්නීය. කොල්ලන්ගේ ඇස් වලින් බේරෙන්න බැරි වුණෙත් ඒ හින්දමය. ඒත් අප්පච්චිගේ ඇස් හැම වේලාවෙම වැටිල තිබුණේ සිරියලතා පිටිපස්සේමය. ඒ හින්දා ලොකු ආරක්ෂාවක් නිතරම සිරියලතාට තිබුණි.   


ඒත් එක දවසක් අප්පච්චිගේ ඇස්වලට වහන් වෙලා නාඳුනන ඇස් දෙකක් මුළු ආත්මෙම වෙනව වගේ හැඟීමකින් සිරියලතා උමතුවුණි. ඇගේ තාලෙට ලොකු ඇස් අතර ඒ පිරිමි රූපයත් අතරමං වෙලා තිබුණ බව දන්නේ ඒ ඇස් දෙකම පමණක් බව සිරියලතා දැන උන්නේ නැත. 

 
කාලය ගතවෙලා ගියේය. නාඳුනන ඇස් හඳුනන බවට පත් වුණි. එය මුළු ගම පුරාම පැතිර යන්නට කල්වේලා ගත්තේ අඩුවෙන්ය. හදිස්සියේම පපුවේ අමාරුවක් හැදිල ඇස් පියා ගත්ත සිරියලාතාගේ අප්පච්චිව බටහිර අහස්තලය පුරාම ඉර රත් පැහැයෙන් වර්ණ ගන්වමින් උන්න හවසක මහ පොළොවේ හැංගිලා ගියේ හැමෝගෙම කඳුළු මැදිණි. අම්මගේ ඇස්වල කඳුළු දකින්නට තරම් සිරියලතාට එදා හැකියාවක් නොතිබුණේ ඒ වෙනකොටත් සිරිපාල​ගේ ඇස් වලින් ඇගේ ඇස් වැහිලා තිබුණ බැවිනි.   
මහගෙදර පාළුවට ගියේය. සිරියලතාගේ අම්මා බලාගත් අත බලාගෙන හීල්ලුවාය. දැහේ මුණේ තියාගෙන හදපු දරුවා විනාශ වෙනව බලාගෙන ඉන්න බැරුව සිරියලතාගේ අප්පච්චි ගිය තැනටම අම්මත් යන්න ඉක්මන් වුණාය. සිරියලතා මහගෙදර තනිවුණි.   


සඳ එළියෙන් රටා මැවුන මිදුල පුරා තිබුණේ නිහඬ බවකි. වෙරළු මල් සුවඳට ඉව අල්ලපු සුළඟ හිස් අතින් එහෙ මෙහෙ පාවෙන්නට අදිමදි කළේය. කණාමැදිරියෝ කීප දෙනෙක් මහත් දාංගලයෙන් එහෙට මෙහෙට රස්තියාදුවේ ගියේ උන්ගෙ පාඩුවේය. සියක් මල්යාය මැද්දෙන් වැටුන පුංචි ගල්පඩිපෙළ පාමුල සිරිපාලගේ උරහිසට වාරුවෙලා සිරියලතා හිටියේ දෙලොවක් අතරය.   
ඇගේ සුසුම් සිරිපාලගේ කමිස කොළරයේ වැදෙමින් බිඳුනි. සිරියලතා මොනවදෝ කියන්න වගේ තනන බව සිරිපාලට ඉවෙන් මෙන් දැනුනේය.   


කියන්න.   
බැරිම තැන සිරිපාල කිව්වේ ඇගේ දිග කෙහෙ වැටිය මෑත්කරල ඇගේ කරවටා අත යවන ගමන් තවත් ඇයව තමා දෙසට ළංකර ගනිමින්ය.   
අපි බඳුමුද   
බිඳී ගිය හඬින් සිරියලතා ඇහුවේ මහ වරදක් කරන වැරදිකාරියක් වගේය.   
සිරිපාල ගැස්සුණි. ඔහුගේ උණුසුමට හොඳටෝම ළංවෙලා හිටිය සිරියලතාට එය හොඳටෝම දැනුණි. වැරදි ප්‍රශ්නයක් බව දැනුනත් දැන් හැමදෙයක්ම වැරදී අවසන් බව විතරක් ඇයට හැඟුණි.   
මං කොහොමද ඔයාව කසාද බඳින්නේ   

සිරිපාල කිව්වා නොවේ කියවුනා. ඒත් ආපස්සට ඒ වචන ගන්න බැරුව සිරිපාල තැවුණේය. සිරිපාල දැනන් හිටියා සිරියලතාගේ හිත එයින් හොඳටෝම රිදෙන බව. ඊටත් වඩා සිරියලතාගේ හිතත්   
සිරියලතාගේ අතත් ගියේ කුස මතට. මේ මොකවත් නොදන්න නොදරුවා ඇගේ කුසේ හොඳින් වැඩෙමින් සිටියාය. සිරිපාල සිරියලතාගේ අත මතින් තදින් අත තියා ගත්තේය.   
මම ඔයාව තනි කරන්නේ නැහැ.   


ඇගේ කන් පෙත්තක මුව තබමින් සිරිපාල හෙමින් මිමිණීය.   
ඇය අඳුරත් එක්ක හීනියට සිනා විය. අඬන්න එපා කියන්න වගේ සීතලට මදනල හමාගෙන ගියාය.   
දවසක් මහගෙදර ඉස්සරහ කඩුල්ල ළඟ දරුවෝ දෙන්නෙක් එක්ක හැඩකාර ගැහැණියක් හිටියාය.   
ඇගේ හඬට සිරියලතා හෙමින් හෙමින් එළියට ආවාය.   
ඈ බං ගැණියේ උඹ මගේ මිනිහා අල්ල ගත්තේ රටේ වෙන මිනිස්සු නැතුවද   
ඇය ගම දෙවනත් කරලා කෑ ගසන්නට විය. සිරියලතාට දැනුනේ හරිම අසරණ බවකි. ගමේ මිනිස්සු එකා දෙන්නා මේ ජවනිකාව බලන්න ඔළු ගෙඩි එක දෙක එළියට දාන්න පටන් ගත්තේය.   
හිතට දැනුන ලැජ්ජාවත් එක්ක සිරියලතා හෙමින් හෙමින් වැට අයිනට ආවාය.   
හෙමින් කතා කරන්න අක්කේ හැමෝටම ඇහෙනවා.


හෙමින් කතා කරන වැඩද උඹ කරල තියෙන්නේ. මගේ මිනිහ අල්ල ගත්තනම් මෙන්න මේ දරුවෝ දෙන්නත් උඹම තියා ගනින්. මට එපා ඒකගේ දරුවොත්.   
මහ ගෙදරට සිරිපාලගේ දරුවෝ දෙන්නා සින්න වුණේ ඒ විදියටය. එදා ඉඳන් ඒ ළමයින්ගේ වැඩත් කරගෙන සිරියලතා ගෙව්වේ අපා දුකක්ය. හවසට දහ ජරාව කටේ ගාගෙන එන්න සිරිපාල ටික ටික පුරුදු වුණේය. සිරියලතා අද හරියයි හෙට හරියයි කියලා බලාගෙන උන්නත් හැමදාම එක වාගේම ගෙවී ගියේය. හූල්ලන හිතත් එක්ක සිරියලතා දාස්පෙතියා යාය මැද පඩි පෙළේ අන්තිම පඩියට වී වුන්නාය.   
ඔයා කෑවද   
සිරිපාලගේ හඬින් සිරියලතා පියවි සිහියට ආවාය. ඇගේ ලොකු ඇස් මත රැඳුන සිරිපාලගේ ඇස් එදා වාගේමැයි ඇයට සිතුණි. ඇය නැහැ කියන්නට මෙන් ඔළුව වැනුවාය.   
යං මං ඉව්වා ඔයාට කන්න   
සිරිපාල හරිම ආදරණීය හඬකින් කිව්වේය.   
මහ වැහි ඇඳගෙන වැටුනේ නියම් සායට හේඩෑරි වී ගිය මහ පොළොව ගැන දැනුන ආදරයෙන් කියලා අහස දිහා බලාගෙන හිටිය සිරියලතාට සිතුනාය. මොන තරම් අහස වෙනස් වුණත් මහ පොළොව තම කඳුළු දරාගනිමින් සිටින්නීය. එහෙත් අහසට තම කඳුළු සඟවා ගත නොහැක. ඔහුගේ කඳුළු මහ වැසි වෙලා ඇදවැටෙනකොට කොපමණ දරාගෙන හිටියත් මහා පොළොවත් ඔහුත් එක්කම එකතුවෙලා පිටාර ගලාගෙන යන්නට වැඩිවෙලා ගත නොවන්නීය. හැමදාම වෙන්නෙත් ඒකමය. හැම දෙයක්ම අමතක වෙච්ච සිතෙන් සිරියලතා හිතුවාය.   


නංගියේ උඹ කෑවද   
කණ ළඟින් අැහුන සමරෙ අයියගෙ හඬින් සිරියලතා කළබල වුණාය.   
ආ ඔව් අයියේ   
සිරියලතා ඉක්මන් උත්තර දුන්නාය.   
උඹ මොනවද නංගියේ ඔච්චර වෙලා කල්පනා කළේ මං හුඟක් වෙලා උඹ දිහා බලාගෙන මම මේ සිරිපාල එනවද බැලුවේ අයියේ එයා අද හුඟක් පරක්කුයි.   
ඌ දැන්ම එන එකක් නැහැ නංගියේ මං දැක්ක ඌ කරුණේගේ කඩේ පැත්තට යනව රත් වෙන්න යනව ඇති.   
සමරපාලගේ කතාවට හූමිටි තබන්නටවත් සිරියලතා එකතු නොවුණි. ඔහුව ඉක්මණින් යවා ගන්නට ක්‍රමයක් සෙවීමට සිත නොඉසිලිමත් විය.   


එකපාරටම සිරියලතාගේ අත සමරපාලගේ අතට මැදි විය.   
නංගියේ මට උඹ වැඩි නැහැ.   
අනේ මගේ අත අතහරින්න අයියේ.   


සිරියලතා අත මුදාගැනීමට දැඟලීය. ඒත් සමරපාලගේ ශක්තිමත් අතින් ගැලවෙන එක අමාරු බව සිරියලතාට වැටහුණි. ඇගේ කඳුළු ඉස්සර විය. බොඳ වෙච්ච ඇස් පියන්පත් අතරින් ඇයට යාන්තමට සිරිපාලගේ අසරණ ඇස් හමුවිය. ඇයට කෑ ගැසිණ.   


ඒ වෙනකොටත් පාරේ යමින් තිබූ ත්‍රීවීලරයකට ඔහු නඟිනවා පමණක් යාන්තමට සිරියලතාගේ ඇස් වලට හසුවිය. හීන් ඇඳිරියත් සමඟ මහ පාළුවකින් මුළු පරිසරයම වැසී යන බවක් සිරියලතාට දැනුණාය. ඈතින් බස්සෙකුගේ මූසල හඬ එය තවත් වැඩි කළේය. ලා මද සුළගේ මුසුව හමා ගිය සියක්පෙති සුවදේ මහ දුකක් තැවරී ඇතැයි සිරියලතාට දැණුනාය. මහත් බියකින් ඇය සිරිපාල එන පෙරමඟටම වී බලා උන්නීය.   
රාත්‍රී හතේ තැපැල් දුම්රිය වෙනදා වගේම තාලයට ගමන් කළේය. ඩක.. ඩක.. ඩක ..ඩක.. හැමදාමත් වගේම එකම තාලයට තාල අල්ලපු දුම්රිය එකපාරටම තාලය වෙනස් කළේය. මිනිස්සු මහ හඬින් කෑගසන ශබ්දය පමණක් ඇසුණි.   


අක්කේ අයියා කෝච්චියට...   


ගේ දෙසට දුවගෙන ආ කවුරුන්දෝ කියනු සිරියලතාට ඇසුණේ ඈතකින් මෙන්ය.   

 

ශ්‍රීමානි ප්‍රියංගිකා - බදුල්ල.