පාතාලයේ අලුත් චණ්ඩි


 

කපන්න කපන්න දලු ලා වැඩෙන වෘක්ෂයක් සේ පාතාලයේ ප්‍රබලයන් කෙතරම් ඝාතනයට ලක් වුවත්, ඔවුන්ගේ ගෝලයින් කෙතරම් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන සිරගත කළත් ඔවුන්ගේ අක්මුල් විහිදුණ තැන්වලින් තව තවත් පැළ වැඩි උස් මහත්වන අයුරු දක්නට ලැබේ.

ත්‍රස්තවාදී යුද්ධයකට එරෙහිව සටන් කර එය යුදමය වශයෙන් පරාජය කරන්නට ආරක්ෂක අංශවලට හැකි වුව ද තවමත් පාතාලය සපුරා පරාජය කළ හැකි ජගතෙක් මෙරට ආරක්ෂක අංශ වෙතින් හමු නොවීම කනගාටුවට කරුණකි.   


මත්ද්‍රව්‍ය පාතාලය හෝ මිනීමරු ඝාතන කොන්ත්‍රාත්කරුවන්ගේ පාතාලය හෝ කුමන පාතාලයක් වුවද හුදෙකලාව පවතින්නේ නැත. ඔවුන්ගේ පැවැත්මට මුල්‍ය ශක්තිය ආයුධ ශක්තිය හා සමව දේශපාලන ශක්තිය ද අත්‍යවශ්‍යය. එලෙස දේශපාලන ශක්තිය පවතින තාක් ඔවුන්ගේ බලය සම්පුර්ණයෙන්ම බිඳ දැමීමට කිසිවෙකුට නොහැකිය. මේ බව පසුගිය කාලයේ කොළඹ හා ඒ අවටින් නැවත නැවතත් ඉස්මතු වූ පාතාල ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වේ.   


කොළඹ අපරාධ කොට්ඨාසය විග්‍රහ කරගෙන ඇති පරිදි කොළඹ කේන්ද්‍ර කර ගත් පාතාල කල්ලි දහයක් පවතී. මේ කල්ලි දහයෙන් ඇතැම් කල්ලි මේ වන විට තාවකාලිකව යටපත්ව ඇත.   
තුප්පහි ආරච්චිගේ ලලිත් ප්‍රසාද් රුවන් නොහොත් සමිට්පුර කුඩු සුමිත්ගේ කල්ලිය හා කාරියප්පෙරුමගේ නුවන් සංජීව පෙරේරා නොහොත් සමිට්පුර චූටි උක්කුංගේ කල්ලිය මෙන්ම 137 වත්තේ කුඩු සෙල්විගේ කල්ලිය හා මෝදර පූකුඩු කන්නාගේ කල්ලිය, මට්ටක්කුලිය මෝදර ප්‍රදේශය හොල්ලාගෙන සිටි කණ්ඩායම් කීපයකි. කුඩු සෙල්විට සහය දුන්නේ කංජිපානි ඉම්රාන්ය. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි ඔහුට සහාය දුන්නේ මාකඳුරේ මධූෂ්ය.   


කුඩු සුමිත්ගේ නායකයා දෙමටගොඩ චමින්දය. චූටි උක්කුංගේ කල්ලියේ නායකයා වූයේ බ්ලුමැන්ඩල් සංඛය. සත්‍ය ලෙස සුමිත් හා චූටි උක්කුං සිටියේ එකටය. එකල මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු පාතාලයට නායකත්වය දුන්නේ සුමිත්ය. එහෙත් කලක් එකට වැඩ කරද්දි සුමිත් අභිබවා තමන්ගේ බලය හදාගන්නට චුටි උක්කුං උත්සාහ කළේය. මේ කාරණා නිසා ඔවුන් අතර නිතර ගැටුම් ඇතිවන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සුමිත් හා චුටි උක්කුං දෙදෙනාටම ජීවිත අහිමි වීමය.   


 කුඩු සුමිත්ලා, චූටි උක්කුංලා මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාලය ක්‍රියාත්මක කරද්දී එහි අනෙක් කෙළවර එනම් ජම්පටාවීදියේ කුඩු සෙල්විලා හා පූකුඩුඛන්නලා මරාගත්හ. මෝදර, ජම්පටාවීදියේ, 137 වත්ත ප්‍රසිද්ධව ඇත්තේ සෙල්විගේ වත්ත ලෙසය. අද සෙල්වි ජීවතුන් අතර නැත. එහෙත් තවමත් 137 වත්ත සෙල්විගේ වත්තමය. ඒ ඇය කුඩු ජාවාරමෙන් ජම්පටාවීදිය හෙල්ලූතරමය. ඒ ටික කරන්න ඇගේ හයිය වගේම කංජිපානි​ෙගන් ලැබුණ හයියත් බොහෝ සේ ඉවහල්විය. 

 
සෙල්විගේ ප්‍රතිවාදියා වූයේ ජම්පටාවිදියේ 145 වත්තේ විසු පුකුඩුඛන්නාය. ඔහු කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙකි. මුලු ජම්පටාවිදියේම කුඩු බලය අල්ලාගෙන සිටියේ ඔහු විසිනි. සෙල්වි හා ඛන්නා අතර ගැටුමට මුල වූයේ කුඩු අලෙවියේ පාතාලයේ බලය අල්ලා ගැනීමය. පුකුඩුඛන්නාට ද එල්ටීටිඊ සබඳතා පැවතිණ. ඛන්නාගේ වෙඩික්කරු වූයේ ඔහුගේ ඥාති පුතෙක් වූ ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ස් නොහොත් කෙනඩි නොහොත් බුම්මාය. බුම්මා උපන්නේ ජම්පටා වීදියේය. මාලු වෙ​ෙළඳාමට ‘‘බුම්මා’’ නිතර යාපනයට ගියේය. ඒ 2002-2003 කාලයේදිය. එහිදී ඔහුට එල්ටීටිඊය සමග සබඳතා ගොඩනැගිණ. ඒ සබඳතා කෙතරම් දැඩි වූයේද යත් ඔහු එල්ටීටිඊයේ චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රබල සාමාජිකයෙක් විය.   


යුද්ධයෙන් පසුව හමුදාවට බාර වූ කෙනඩි වසර කීපයක් බූස්ස හමුදා කඳවුරේ සිට පුනරුත්ථාපනයට ලක්ව නිදහස් විය. බුස්සේ සිටි කාලයේදී ‘‘කොස්ගොඩ’’ සුජී දැන හඳුනාගන්නට ඔහුට අවස්ථාව ලැබිණ. කෙනඩිගේ අවශ්‍යතාව ගැන එහිදී සොයා බැලුවේ සුජීය. ඔහු එසේ කළේ කෙනඩි අනාගත ආයෝජනයක් බවට වූ අවබෝධයෙනි. පැතූ ලෙසම කෙනඩි නිදහස්ව පැමිණි පසු සුජීගේ හොඳම වෙඩික්කරු බවට පත්විය. දකුණතින් හා වමතින් දෙකෙන්ම එකවර වෙඩි තැබීමේ හැකියාවක් ඔහුට තිබිණ. ඒ සම්බන්ධතා නිසා කෙනඩිගේ සහාය ලබාගත් බුම්මාට ඉබේම සුජිගේ සහය ලැබිණ.   


ඛන්නලාගේ සෙල්විලාගේ මරාගැනිල්ල නිසාත් සුමිත්ලාගේ චූටි උක්කුංලාගේ සංඛලාගේ මරාගැනිල්ල නිසාත් ඔවුන්ගේ කණ්ඩායම්වල පමණක් නොව ඔවුන් එකිනෙකාට හිතවත් කම් පෑ විශාල පිරිසකට ද ජීවිත අහිමි විය. දැන් මේ අයගෙන් ඉතිරිව සිටින්නේ ඉතා සුලු පිරිසකි.   


තමන්ගේ පියා උක්කුංලා අතින් ඝාතනය වන ආකාරය සියැසින් දුටු සමිට්පුර කුඩු සුමිත්ගේ පුතා රොෂාන් කුඩු රොෂාන් ලෙස පසුව ගේම අතට ගත්තේය. එහි ප්‍රතිඵලය ලෙස වසර ගණනාවක සිට ඔහු සිටින්නේ බන්ධනාගාරයේය. බන්ධනාගාරයේ සිට තම කල්ලිය මෙහෙයවීමේ හැකියාව ‘‘රොෂාන්ට’’ ඇත. එහෙත් කිසියම් හේතුවක් නිසා මේ වන විට ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. මේ නිහඬ බව ඔහු කුමන අවස්ථාවක හෝ බිඳ දැමිය හැකි බව පොලීසියේ අදහස වී තිබේ. රොෂාන්ගේ සහායට ඔහුගේ සහෝදරයා වන රන්දිව් නොහොත් චප්පුද එක්ව සිටී. එහෙත් මේ වන විට ඇප මත නිදහස්ව සිටින චප්පු සැඟවී ජීවත්වන බව පොලිසියේ අදහස. චූටි උක්කුංගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරයන් වන සඳරුවන් හා මනෝජ් යන දෙදෙනා ද අය්යා වෙනුවෙන් පාතාලයේ ගේම අතට ගත්තෝය.   


 සෙල්වි ඝාතනය වන විට ඇගේ වැඩිමහල් පුතු පලනි ශිරාන් සිටියේ බන්ධනාගාරයේය. මවගේ ඝාතනයේ පලිය ගන්නට ඔහු තම බාල සහෝදරයන් වන පලනි රිමෝෂන්ට හා ‘‘පලනි කෙනින්ස්ට’’ ඒ සඳහා පුහුණු කරවූයේය. ඒ ඉම්රාන්ලාගේ සහය ඇතිව විවිධ අපරාධවලට අත්උදව් දීමට යොමු කරමිනි. එහි අවසන් ඵලය ලෙස අපරාධ රැසකට විවිධාකාරයෙන් දායකවූ රිමෝෂන් අද සිටින්නේ බන්ධනාගාරයේය. දැනට බන්ධනාගාරයෙන් නිදහස්ව සිටින පලනි ශිරාන් හා පලනි කෙනින්ටන් ලංකාවෙන් ඩුබායි වෙත පළාගොස් ඇතැයිද පොලිසිය සැක කරන්නේය. රිමෝෂන් බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු යළිත් අපරාධ රැසක් සිදුවිය හැකි බවට පොලිසිය අනුමාන කරන්නේය.   


සෙල්විලාගේ ප්‍රතිවාදි කණ්ඩායම නියෝජනය කරන ඛන්නලාගේ සහාය ලබන තවත් කණ්ඩායමක් ලෙස පොලිසිය වැල්ලේ සුරංගගේ කණ්ඩායම හඳුනාගෙන ඇත. වැල්ලේ සුරංගගේ ප්‍රතිවාදියා වැල්ලේ සාරංගය. වැල්ලේ සුරංග හා සාරංග යනු මහප්පලාගේ බාප්පලාගේ පුතුන්ය. මෝදර වැල්ලේ පාතාල කිරුල වෙනුවෙන් ඔවුන් දෙපිල බෙදී මරාගනිති. සුරංගට පුකුඩුඛන්නා සහයෝගය දෙන අතර සාරංගට නායකත්වය දෙන්නේ එංගලන්තයේ සිටින කුඩු ලාල්ය. කුඩු ලාල්ගේ ගෝලයා ජෝති රූබන්ය. ඔහු සිටින්නේ ප්‍රංශයේය. ඔහු ප්‍රංශයේ සුපිරි වෙළෙඳා සැලක් පවත්වාගෙන යන්නේය. රූබන්ගේ ගෝලයා නිපුණය. ඔහු සිටින්නේ ඩුබායිවලය. ඔහුට ද ගෝලයෙක් සිටී ඒ ශිවාය. ශිවා සිටින්නේ ඉන්දියාවේය.   


ශිවා, පූකුඩුඛන්නා, වැල්ලේ සුරංග තිදෙනාම ඉන්දියාවේ දි වීසා නොමැතිව අත්අඩංගුවට පත්ව වෙනම කඳවුරක ජීවත්වන බවද දැනගන්නට තිබේ. ඔවුන් මෙරට අපරාධ සිදුකරන්නේ එහි සිට දුරකථන මාර්ගයෙනි.   


දෙමටගොඩ චමින්ද මරණීය දණ්ඩනයට නියම වී වසර ගණනාවක සිට සිටින්නේ බන්ධනාගාරයේය. ඒ නිසා ඔහුගේ කල්ලිය දැන් එතරම් ප්‍රබල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ නැත. ඒ කණ්ඩායම පසුගිය කාලයේ එක්ව සිටියේ චමින්දගේ සහෝදරයා වූ රුවන්ගේ කල්ලිය සමගය. එහෙත් රුවන්ගේ ක්‍රියාකාරිත්වයද මේ වන විට අඩපණව තිබේ. ඒ ඔහු ජාවාරම් කර ඉපයූ සියලු දේපල රාජසන්තක කිරිමට රජය කටයුතු කිරීමත් සමගය. මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන්ද දැන් සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. එහි සිට දුරකථන භාවිත කරමින් තම කණ්ඩායම් මෙහෙයවීම තරමක් අපහසුය. ඒ නිසා දැන් ඔහුගේ කල්ලියට නායකත්වයක් අහිමිව තිබේ. නායකත්ය අහිමිව ඔහුගේ කල්ලියේ සාමාජිකයෝ මේ වන විට නන්නත්තාර වී සිටිති.   
දැන් කොළඹ පාතාලයේ රඟන්නේ කෙසෙල්වත්තේ දනුකය. දනුක යනු ඉන්දියාවේදී පසුගිය කාලයේ හෘදයාබාධයකින් මිය ගිය බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකි. දනුකද මේ වන විට සිටින්නේ ඉන්දියාවේ කඳවුරක බව පැවසේ. දිනුකගේ මරණයෙන් පසු ඔහුගේ කණ්ඩායම කොටස් හතරකට කැඩී වෙන වෙනම පාතාල කිරුළ වෙනුවෙන් සටන් වදින බවයි පොලිසියේ අදහස. එසේ කෙසෙල්වත්තේ කුඩු කිරුළට සටන් වදින්නන් අතර දනුක, මොහොමඩ් අජිනි, ජූඩි වෙස්ට් හා දනීෂ් සිටිති. මොවුන් පාතාල කිරුළ වෙනුවෙන් සටන් වදින අයුරු අපි ලබන කලාපයෙන් කතා කරමු.   

 

 

මුදිතා දයානන්ද