“වැඩිහිටි ලෝකේ වෙනයි.. දරුවන්ගේ ලෝකේ වෙනයි.. වැඩිහිටියන් වැරදි විදියට දකින දේවල් දරුවන්ගෙ ලෝකෙදි වැරදි නෙමෙයි.. ඔවුන්ට ඒවා ක්‍රියාකාරකම් විතරයි.. ඒවට බැනලා එහෙම නැත්නම් දඬුවම් දීලා ඔවුන් කීකරු කර ගන්න බෑ.. අපි දරුවන්ගෙ ලෝකෙට ගිහින් ඒ පැත්තෙන් හිතන්න පුරුදු වෙන්න ඕන.. කලා නිර්මාණයකට දරුවෝ දායක කර ගනිද්දී විතරක් නෙමෙයි අධ්‍යාපන කටයුතුවලදීත් ඒ නියමය වලංගුයි.. ඉස්සර වෙලා ළමා මනස හඳුනා ගත්තෙ නැත්නම් අපිට ඔවුන් එක්ක කටයුතු කරන්න පහසු වෙන්නෙ නෑ.. අපි එහෙම පිටින්ම අසාර්ථක වෙනවා..”
එසේ කියන්නේ සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂ, නිෂ්පාදක, තිර පිටපත් රචක, ගීත රචක සෝමරත්න දිසානායකය. ඔහු වඩාත් ජනප්‍රියව සිටින්නේ ළමා චිත්‍රපටි නිර්මාණය පිළිබඳවය.
සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, බින්දු, සිරි පැරකුම් ආදී ළමා චිත්‍රපටි තුළින් ළමයින්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් තුළත් සදානුස්මරණීය මතක සටහන් ශේෂ කරන්නට ඔහු සමත් වූයේය. දක්ෂ ළමා නළුනිළියන් කිහිප දෙනෙක් සිනමාවට තිළිණ වූයේත් ඒ චිත්‍රපටි හරහාය.
“ළමයි කැමති සෙල්ලම් කරලා විනෝදෙන් ඉන්න.. විභාගයක වටිනාකමක්, වගකීමක්, අනාගතය ගැන හැඟීමක් ඔවුන්ට නෑ.. ඒවා හිත්වලට කා වද්දන්න නම් ඔවුන්ගෙ මිත්‍රයෙක් විදියට ඉඳලා හිත් දිනා ගන්න ඕන.. ළමා චිත්‍රපටි කරද්දී මම යොදා ගත්තෙ මේ ක්‍රමය තමයි.. ඔවුන්ගේ ලෝකෙට අපිත් බැස්සම ඔවුන් අපි විශ්වාස කරන්න පටන් ගන්නවා.. එතකොට ඔවුන්ගේ උපරිම දක්ෂතා මතු කර ගන්න අසීරුවක් නෑ..” ඔහු පැවසුවේය.
එය මොන තරම් සත්‍යයක්දැයි සිතෙන්නේ ඒ චිත්‍රපටි පිළිබඳ මතකය අලුත් කර ගනිද්දීය. සරෝජා චිත්‍රපටියේ දැරියන් දෙදෙනා, පුංචි සුරංගනාවි චිත්‍රපටියේ මානසික ගැටළුවකින් පීඩා විඳින පිරිමි ළමයා, සූරිය අරණ චිත්‍රපටියේ පොඩි හාමුදුරුවෝ සහ වැදි කොල්ලා, සමනල තටු චිත්‍රපටියේ ආබාධිත දැරිය එක පෙළට මගේ මතකයට ආවේය.
“රාජ කුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක්..”
සිරි පැරකුම් චිත්‍රපටියේ රඟ පෑ ප්‍රමුදිත උදයකුමාර මොන තරම් හොඳින් සිය භූමිකාවට පණ දුන්නේ ද යත් චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන කාලයේ පමණක් නොව ඉන් පසු බොහෝ කලක් යන තුරුත් ඔහුගේ මුවින් පිට වුණ එවදන් අනෙක් දරුවෝ තමන්ගේ කර ගත්හ. ත්‍රී වීලරවල පිටුපස පවා එවදන් සහිත ස්ටිකර ඇලවී තිබිණි. සිනමා හල්වලින් ජනතාව ඈත් වෙමින් සිටි කාලයක සිරි පැරකුම් නරඹන්නට ජනතාව රොද බැඳ ගත්තේය.
“චිත්‍රපටිය ජනප්‍රිය වුණා වගේම තමයි අනූනවයෙන් ජීවිතේ බේරුණ අවදානම්වලටත් මූණ දෙන්න අපිට සිද්ද වුණා..”
සිරි පැරකුම් රූගත කළ සමය සිහිපත් කරමින් සෝමරත්න දිසානායක පැවසුවේය.
ඒ දිනවල ඔවුන් ගේ දර්ශන තලය තිබුණේ සීගිරිය කිට්ටුව ඇති අඹන ප්‍රදේශයේය. අඹන් ගඟ ආශ්‍රිත රූගත කිරීමක් සඳහා ප්‍රමුදිත ඇතුළු ළමුන් ද සමඟ චිත්‍රපටි කණ්ඩායම ගඟට බැස්සේය. ඉඩෝර සමයක් වූ බැවින් ගඟ සිඳී තිබිණි. ඉතිරි වී තිබූ දිය කඩිත්තක ළමෝ දිය කෙළින්නට පටන් ගත්හ.
“ගඟට ඉහළින් ජලාශයක් තියෙනවා.. ගඟ හිඳිලා තියෙන කාලෙට හදිසි ජල අවශ්‍යතා වෙනුවෙන් මේ ජලාශයේ සොරොව්ව ඇරලා ගඟට ජලය මුදා හරිනවා.. ඒක කරන්නෙ කාල සටහනකට අනුව.. ඒත් සමහර වෙලාවට කාල සටහනට පිටතිනුත් ජලය මුදා හැරෙන අවස්ථා තියෙනවා කියලා අපිට දැන ගන්න ලැබුණා.. අපි සොරොව්ව භාර නිලධාරියා දැනුවත් කරලා තිබ්බේ අපි ගඟ පහළ ෂූටින් කරනවා.. සොරොව්ව අරිනවා නම් අපිට දැනුම් දෙන්න කියලා.. ෆෝන් නම්බර්සුත් දීලා ආවා.. කිසි බයක්සැකක් නැතුව අපි ෂූටින් කරකර ඉඳිද්දි හිටිය ගමන්ම මෙන්න ගඟේ වතුර එනවා පේනවා.. අපි හොඳටම බය වුණා.. විනාඩියක් ඇතුළත ළමයි ටික ඉවුරට ගත්තා.. කැමරා බඩු ගන්න ගියෙ ළමයි ටික ගොඩට යැව්වට පස්සෙ.. ඒත් ඔක්කොම ගන්න ලැබුණෙ නෑ.. අදහන්න බැරි තරම් වේගෙන් ගඟ දෙගොඩ තලා ගියේ.. වටිනා කැමරා උපකරණ කිහිපයක්ම වතුරේ ගහගෙන ගියා.. ඒක ලොකු පාඩුවක් වුණත් කිසිම කෙනෙකුට ජීවිත හානියක් නොවීමේ සැනසිල්ල අපි අත්වින්දා.. ගල්වල හැප්පිලා වැටිලා කීප දෙනෙකුට සුළු තුවාල සිද්ධ වුණා විතරයි.. පහුවදා වතුර බැහැලා ගියාම අපි ආයෙමත් ෂූටින් පටන් ගත්තා.. හැබැයි ඉතින් අපේ නියෝජිතයෙක් සොරොව්ව ළඟ නතර කළා..”
ඔහු ඒ මොහොතේ සැහැල්ලුවෙන් කීවත් ඒ සිද්ධිය සිහිපත් වන හැම අවස්ථාවකම තවමත් ඇඟ කිළිපොලා යන බැව් පැවසුවේය.
“ඉතින් ඇයි අර නිලධාරියා ඔයාලව දැනුවත් කරලා නැත්තේ..?” මම කුතුහලයෙන් විමසීමි.
අනපේක්ෂිත අන්දමින් ගඟක් දෙගොඩ තලා ගලද්දී හොඳින්ම පිහිනුම් දන්නා කෙනෙක් වුවත් අසරණ වන්නේය. පිහිනුම් නොදන්නා කුඩා දරුවන් පිරිසක් අසරණ වෙන තරම අනුමාන කරන්නටවත් නොහැකිය. එම නිසාම නිලධාරියා විසින් ඔවුන් දැනුවත් කළ යුතුව තිබිණි.
“මේකයි වෙලා තියෙන්නෙ.. අපි ෆෝන් නම්බර්ස් දීලා ආව නිලධාරියා ඩියුටි ඕෆ් වෙලා ගිහින්.. අනිත් එක්කෙනාට ඒවා දීලා යන්න අමතක වෙලා..”
එවන් සුළු අතපසු වීම් මොන තරම් ලොකු අනතුරුවලට ඉඩ සලසන්නේදැයි හැඟීම මා තුළ ඇති කරවමින් ඔහු කීවේය.
ළමා චිත්‍රපටි නිර්මාණය කරද්දී මුහුණ දෙන්නට සිදු වෙන ලොකුම අභියෝගය වන්නේ වැඩි කාලයක්, ශ්‍රමයක් සහ මුදලක් වැය කරන්නට සිදු වීම බැව් සෝමරත්න දිසානායක පවසන්නේය.
“වැඩිහිටියෙකුට තිර පිටපත දුන්නම ඒක කියවලා තේරුම් ගන්න දන්නවා.. ඒත් ළමයින්ට එහෙම තේරුමක් නෑනෙ.. ඒ වගේම කියවන්න දන්නෙ නැති ළමයිනුත් ඉන්නවා.. ළමයින් යොදා ගත්ත පළියටම චිත්‍රපටි සාර්ථක වෙන්නෙ නෑ.. ඔවුන් එක්ක මිත්‍රශීලී වෙලා ඔවුන්ගෙ හැකියාවන් ඔවුන්ටත් නොදැනුවත්වම හොරා ගන්න තරමට අපි දක්ෂ වෙන්න ඕන.. ඒ වගේම හොඳ ඉවසිල්ලක් තියෙන්න ඕන.. බැනලා තරවටු කරලා හිත රිද්දලා ළමයින් කිසිම කාර්යයක යොදවන්න බෑ..”
ඔහු කීවේ සූරිය අරණ චිත්‍රපටියේ ටිකිරා වූ සජිත අනුත්තර සහ පොඩි හාමුදුරුවෝ ලෙස රඟ පෑ දසුන් මධුසංඛ මෙහෙයවන්නට ගත් අසීරු උත්සාහය සිහිපත් කරමිනි.
“ඒ දෙන්නා වතුරේ නටන්න, කැලේ දුවන්න හරි ආසයි.. හැබැයි වැඩිහිටියන්ගෙ ආරක්ෂාවක් නැතුව තනියම යන්න දෙන්නෙ නෑ.. රඟ පාද්දී මේක ඉවර වුණාට පස්සෙ වතුරට පනින්න දෙනවා, සෙල්ලම් කරන්න දෙනවා කියලා පොඩි අල්ලසක් දීලා තමයි දර්ශනය රූගත කර ගන්නෙ.. සමහර වෙලාවට බැරූරුම් දර්ශනයක් කරන මැද්දෙත් කතා කරලා අහනවා, “මාමෙ, මේක ඉවර වෙලා වතුරට පනින්න යනවා නේද..?” වගේ දෙයක්.. ඉතින් ආයෙ මුල ඉඳලා ගන්න ඕන.. සමහර වෙලාවට මම හැම දේම නවත්තලා ඒ දෙන්නත් එක්ක සෙල්ලම් කරලා නිෂ්පාදන කණ්ඩායමෙන් බැණුමුත් අහ ගන්නවා.. රාත්‍රි දර්ශනවලට ළමයි යොදා ගන්න එකත් පහසු දෙයක් නෙමෙයි.. ඔවුන්ට ඉක්මනට නිදිමත වෙනවා.. ඉතින් කාලය කළමණාකරණය කර ගන්නත් අපි දැන ගන්න ඕන..” ඔහු කීවේය.
මේ දිනවල ඔහු අලුත් නිර්මාණයක් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටින්නේය. නව රජය කලාකරුවන් දෙස වෙනස් කෝණයකින් බලනවා ඇතැයි බලාපොරොත්තුව ඔහු තුළ පවතියි.
“හැම රජයක්ම කලාකරුවෝ යොදා ගත්තේ දේශපාලන වේදිකාවල මල් පෝච්චි විදියට විතරයි.. ඒ ආකල්පය දැන් වෙනස් කරන්න කාලේ ඇවිල්ලා.. සාහිත්‍යකරුවෙක් වේවා, නළුවෙක් නිළියෙක් වේවා, ගායකයෙක් වේවා මේ හැම දෙනා තුළම සුවිශේෂී නිර්මාණ හැකියාවන් තියෙනවා... ඒවා රටට වැඩදායක ලෙස යොදා ගැනීමේ වැඩ පිළිවෙලක් ගැන නව රජය අවධානය යොමු කරයි කියලා අපි හිතනවා..” ඔහු කියන්නේය.
චන්දි කොඩිකාර