ලෝකෙන් ටිකක්
අභ්‍යවකාශයට ගිය පළමු බ්‍රිතාන්‍ය ගගනගාමිනිය කියයි
ආචාර්ය හෙලන් පැට්‍රීෂියා ෂර්මාන්, රසායන ඉන්ජිනේරුවරියකි. පැට්‍රීෂියා ප්‍රසිද්ධ බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය පළමු තැනැත්තා මෙන්ම පළමු බ්‍රිතාන්‍ය ගගනගාමිනිය ලෙසය. ෂර්මන් එම වික්‍රමය කළේ 1991 වසරේදී ය. ඒ වනවිට අභ්‍යවකාශයේ රඳවනු ලැබ තිබුණේ රුසියානුවන්ගේ ‘මීර්’ නමැති කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළය. ෂර්මන්, මීර් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු කාන්තාව ලෙස ද ඉතිහාසයට එක්වූවාය. පසුගිය දා ඇගේ නම යළිත් ප්‍රසිද්ධියට පත් විය. ඒ ඇය බ්‍රිතාන්‍යයේ ඔබ්සවර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.
56 හැවිරිදි වියෙහි පසුවන ෂර්මන්, එම සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ, විශ්වයේ නොයෙක් විදියේ පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටිනවා යැයි තමන් විශ්වාස කරන බවය. එපමණක් නොව, එම බුද්ධිමත් පිටසක්වළයන් පෘථිවියට පැමිණ පෘථිවියේ අප අතරේ සිටිනවා විය හැකි යැයි ද ඇය පැහැදිලි කර තිබේ.
අභ්‍යවකාශ වික්‍රම පැත්තකට දමා ෂර්මන් දැන් ලන්ඩන් රාජකීය විද්‍යාලයේ රසායනඥවරියක ලෙස රැකියාව කරයි. පිටසක්වළයන් අප අතරේ සිටිනවා. ඒත් ඔවුන් පිටසක්වළයන් යැයි අපට හඳුනා ගන්න බැහැ. ඔවුන් අප මෙන් හෝ අප බලාපොරොත්තු වන ආකාරයට හෝ කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණයවූ ජීවීන් නොවන්න පුළුවන්.’ යැයි ෂර්මන් පෙන්වා දී තිබේ.
පිටසක්වළයන් ගැන විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ අපේ මනසට චිත්‍රයක් ලබා දී තිබෙනවා. අප ඒ අනුවයි පිටසක්වළයන් ඇතිදැයි සොයන්නේ. ඒත් පිටසක්වළයන්ගේ පෙනුම ඊට හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ බුද්ධිය අපේ බුද්ධියට අභියෝගයක් කළ හැකි තරමට දියුණු වෙන්න පුළුවන්’ යැයි ෂර්මන් පැහැදිලි කර ඇත.
හෙලන් ෂර්මන් කසකස්තානයේ බයිකනෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ‘මීර්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත ගියේ රුසියාවේ නිෂ්පාදිත සෝයූස් රොකට්ටුවක සහ සෝයූස් කැප්සියුලේ ආධාරයෙනි. ඒ, 1991 මැයි 18 වැනිදාය. දින දෙකක් ගතවෙද්දී, ඇය ‘මීර්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොඩවූවාය. ඇය තවත් දින දෙකක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිට ආපසු සෝයූස් කැප්සියුලයෙන් පෘථිවිය බලා පැමිණියාය. ෂර්මන්, අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ රුසියන් අජටාකාශගාමී ඇනටෝල් ආටෙස්බර් සහ ඇමෙරිකන් ගගනගාමී තිමොති නයිජල් පීක් ද සමඟය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි