පුතාට ඉඩකඩම් ලියාදී මහලු මඩමට ආ ‘පොල් අම්මා’


මහලු මඩමේ  දිවි ගෙවන ඈ  අපේ අම්මාය  

ජීවිතය යනු මහා දිග ගමනකි. ඒ ගමනේ අපි කොතැන අතරමං වේ දැයි කිව නොහැක. ඒ තරමට ජීවන චාරිකාව අවදානම් සහිතය. අඩමානය. අඩමානයට යන ජීවන ගමනේ එන බාධක ලිහා ගැනීමත් සුලු පටු නැත. මොහොතින් මොහොත වෙනස්වනසුලු ගමනක අවදානමේ තවත් කතාවක් අද ලියමි. මේ කතා පෙළ ලියන්නේ ජීවිතයේ සැබෑම යථාර්ථය දකින්නට ය. අද කොයිතරම් ධනය, දේපළ ඇතිව දූ දරුවන් පිරිවරා සිටියත් හෙට දවස අන්තිම අවදානම් විය හැකිය. 


මේ ලිපි පෙළ ලියූ කාලය තුළ, මේ වෙනුවෙන්ම දුරකතන ඇමතුම් රාශියක් ලැබිණි. එහි සිටියේම වයෝවෘද්ධ අම්මලා තාත්තලාය. 


“පුතේ අපිත් දරුවො හැදුවා. දරුවන්ට යුතුකම් කළා. දැන් ඒ අය මට සලකන්නෙ නෑ. මම දැන් ගොඩක් ලෙඩින්. මට අසවල් වැඩිහිටි නිවාසයේ අංකය දෙන්න. ඒ තැනක්වත් කතා කරල තියා ගන්න...” 


හැබෑවටම හදවත් වේදනාවේ ගිලෙමින්, තිබෙන ශෝකාන්ත බවට පත් වී ඇත. සරලව කියනවා නම්. මැරි මැරී ජීවත් වෙන ජීවිත බවට පෙරළී ඇත. සාරධර්ම, සාරගර්භ, සංස්කෘතිය මේ මොනවා කතා කළත් සමාජය ගමන් කරන මාවත මේ දුරකතන ඇමතුම් වලින් පෙනේ. 


ඒ කතා ඇසීම, ඒ සෝ සුසුම් දැකීම පිටස්තර වූ අපට දුෂ්කරය. නමුත් ඒ ආදරණීය මවුපියන්ගේ දරුවන්ට ඒවා දුෂ්කර නැත. 
කොළඹ මෙත්සරණ වැඩිහිටි නිවාසයේ තවත් හැඟීම්බර කතාවකි මේ. 


‘පොල් අම්මා’ යි කවුරුත් ඇයට කියන්නීය. දැන් ඇයට අවුරුදු 78 ක් පමණ ඇත. ‘පොල් අම්මා’ යන අන්වර්ථ නම අද ඊයෙක සිට පට බැඳුනක් නොවේ. ඒ නම සිසිලින් අම්මාට වැටුණේ තරුණ කාලේ ඉඳන්මය. එයට පසුබිම් වුණු කතාවක් ද තිබේ. 


පොල් අම්මාගේ ගම කැලණියයි. ඇය කොළඹ නගරයේ පොල් කඩයක් කළාය. මේ පොල් කඩය අයිතිකාරිය වුණේ සිසිලින් අම්මාය. ඒ නිසා කඩේට ආව ගිය අය කවුරුත් ඇයට කීවේ ‘පොල් අම්මා’ කියාය. ඇයත් දැන් වැඩිහිටි නිවාසයේ ඇඳක තනි වූ අම්මා කෙනෙකි. ඇය අපට කීවේ මෙවැන්නකි. 


“මට ඉන්නෙ එක පුතයි. එයා මහ ලොකු ආදායමක් ලබන කෙනෙක් නෙවී. එයා වාහනයක් හයර් කරනවා. අපට මහ ලොකු ඉඩකඩම් තිබුණේ නෑ. තිබුණු දේපළ මහත්තයා නැති වුණාට පස්සෙ, පුතාට ලියලා දුන්නා. මම පුතාට ඉගැන්නුවේ කොළඹ පොල් විකුණලා. මට තරුණ කාලෙදිම කොළඹින් පොඩි ලෑලි කඩයක් දාගන්න පුළුවන්කම ලැබුණා. 
ඉතින් උදේ පාන්දර 6.00 වෙද්දී උයලා පිහල, ළමයටත් කන්න කියලා, බත් එකකුත් අරන් කොළඹ එනවා. 


මුල් කාලේ පොඩි ලොරියක නැගගෙන ආවා. ඒ ලොරියෙ හැමදාම මගේ කඩේට පොල් ගේනවා. මීරිගම, කෑරගල, කිරිඳිවැල පැත්තෙ පොල් වතුවලින්. දිනපතාම පොල් ගන්නවා. 
කොහොම හරි මම පොල් වෙළෙඳාම කරපු තැන මට හොඳ බිස්නස් එකක් හැදුණා. වටේම හෝටල්වලට ගෙවල්වලට ගෙනියන්න පොල් ගන්නෙ මගෙන්. දවසට පොල් ගෙඩි දාහක් හමාරක් විකුණනවා. 


ඉතින් ආදායම් හොඳයි. පස්සෙ සල්ලි ටික ටික එකතු කළා. එහෙම එකතු කරන්න තරම් හොඳ ලාභයක් මට ලැබුණා. උදේ පාන්දර ඇවිත් 7.00ට විතර වෙද්දී ගෙදර යනවා. 
මේ විදියට ඉතුරු කරපු සල්ලි වලින් මම පුතාට මුලින් ත්‍රීවීල් එකක් අරන් දුන්නා. මහත්තයත් ඔය අතරේ නැති වුණා. මමත් පොල් කඩේ ගැනම නැහුණා. ඒකෙන් පුතාගේ ඉගෙනුම ගැන ලොකුවට හොයන්න කාලයක් තිබුණෙ නෑ. අන්තිමේ එයාගේ ඉගෙනුම ටික ටික කඩාකප්පල් වුණා. පස්සෙ පුතා ත්‍රීවීල් එක හයර් කරන්න ගත්තා. එයා ත්‍රීවීල් එක හයර් කළෙත් කොළඹමයි. මම කිව්වා, උදව්වට කඩේට එන්න කියලා. ඒත් එයාගෙ කැමැත්ත තිබුණේ ත්‍රීවීල් හයර් කරන්න. ඒ අතරේ එයාට නරක යාළුවොත් හොඳට හිටියා. මෙයා ටික ටික සැරට බොන්න පුරුදු වුණා. 


විවාහයකුත් කර ගත්තා. ඒ දැරිවිටත් දරුවො දෙන්නෙක් ලැබුණා. දුවලම දෙන්නෙක්. අපි සේරමල හිටියෙ කැලණියේ අපේ ගෙදර. ඉතින් මහ ලොකු බරක් තිබුණේ නෑ. පුතා ත්‍රීවීල් රස්සාව කරනවා. මම පොල් විකුණනවා. ඒ කාලේ පොල් විකුණපු ගොඩාක් දෙනෙක් කොළඹ හිටියෙ නෑ. පොල් ලොරි බාගයක් ගෙනාවම මං ඒක හවස් වෙද්දි විකුණලා යන්ට යනවා. 


එහෙම ඉද්දි මගෙ කකුලක තුවාලයක් ආවා. කකුල ඉදිමිලා, තුවාලෙ එන්න එන්නම වැඩි වුණා. කොටින්ම සමහරදාට රස්සාවට යන්නත් බෑ. එදාට එන පොල් ලොරිය එපා කියන තැනට පත් වුණා.” 


පොල් අම්මා කියන්නීය. එසේ කියන ගමන් ඇගේ කකුලද මට පෙන්වන්නීය. එය තවත් වෙළුම්පටි වලින් වට කළ තුවාලයකි. 


“මේ තුවාලෙට හැම තැනින්ම බේත් කළා. ඉස්පිරිතාලෙත් නතර වෙලා හිටියා සුමාන ගානක්. හොඳ වෙලා ගෙදර එනවා. ආයෙත් ටික දවසක් යද්දී තුවාලෙ තිබුණ තැන සැරව බිබිලක් එනවා. ඒක පුපුරනවා. තුවාලයක් හැදෙනවා. මේ විදියට යද්දී ඇවිදගන්න බැරි තරමට ගියා. වැඩි වුණාම බේතක් කරනවා. නැත්නම් මමම මොනවා හෝ දාලා ගැටගහ ගන්නවා. 


මෙහෙම ඉද්දි ජීවිතේ ගැනත් ලොකු විශ්වාසයක් තිබුණෙ නෑ. පුතාට ඉඩම ලියලා දුන්නා. පොල් රස්සාවත් නැතුව ගියා. ඉතුරු කරපු සල්ලි ටිකක් තිබුණා. ඒ ටිකත් බේත්වලටම වියදම් වුණා. පස්සෙ බේත් කරන්න සල්ලි ඕන වුණාම පුතාගෙන් ඉල්ලන්න වුණා. මේකට එක්කො එයාගෙ බිරිඳ අකමැති වෙනවා. නැත්නම් පුතා එයාට සල්ලි නෑ කියලා මට බනිනවා. මේ විදියට ආර්ථික ප්‍රශ්න ගොඩක් මැද්දෙ ගෙදර අසරණ වුණා. මම පොල් රස්සාව කරපු කාලේ ගෙදර වියදම් කළෙත් මම. 


මේ වගේ තත්ත්වයක් ඇති වෙද්දි පුතාත් හැමදාම රෑට ගෙදර ආවේ බීලා. ඒ ආවම ඒ අයත් හොඳට රණ්ඩු වෙනවා. මටත් බනිනවා. උඹ පලයන් කියනවා. දැන් බැහැපන් ගෙදරින් එළියට කියනවා. 


මේ දේවල් මටත් අහගෙන ඉන්න බැරිව ගියා. හුඟක් වෙලාවට පුතා තමයි මට මේ විදියට දෝෂාරෝපණය කළේ. 


දවසක් මම කිව්වා, “මම උඹට ඉඩම ලිවුවා, වාහන අරන් දුන්නා, අම්මට බේත් ටිකක් කරලා බලා ගන්න හයියක් උඹට නැත්නම් මම වැඩිහිටි නිවාසෙකට ගිහින් දාපන් කියලා.” 
ඉතින් ටික දවසක් හොඳට හිටියා. ආයෙත් පෙර විදියටම බීලා එනවා. රෑ එළිවෙනකල් සමහරදාට බීලා කියවනවා. මහ රෑත් හංගගෙන තියන් බොනවා. කිසිම සැනසිල්ලක් නැතිව ගියා. රණ්ඩුත් එහෙමයි. අවසානයේ මම තීරණය කළා වැඩිහිටි නිවාසෙට එන්න. මාව වැඩිහිටි නිවාසයට ගේන්න කලින් දවසක පුතා ඇවිත් ගෙදර රණ්ඩු කළා. පෙර දිනවල ටිකක් හෝ කට වහන් හිටපු මට එදා තරහා ගියා. “උඹට හදිසි වුණේ දේපළ ලියා ගන්නනේ. ඊට පස්සෙ වැඩිහිටි නිවාසයට ගෙනියන්න. දැන් උඹට සතුටින් ඉන්න පුළුවන්” 
මම හයියෙන් කියමින් ඔළුව ගහගත්තා, බිත්තියේ. ඔළුව බිත්තියේ ගහගෙන ගහගෙන ගියා. මාව මරා ගනින්” කියලා.

 
කොහොම හරි පහුවදා උදේ මම ලේලිත් එක්ක මේ වැඩිහිටි නිවාසෙට ආවා. 


මම වැඩිහිටි නිවාසයට ආපු දවසේ උදේ වැඩිහිටි නිවාසෙදි මාව නෑවුවා. එදා ඔළුව ගෙඩි ගැහිලා ඉදිමුණා. එදා වැඩිහිටි නිවාසේ අයත් බය වුණා. නිවාසය කරන හාමුදුරුවො ඇවිත් මගෙන් ඇහුවා. 


මොකද මේ කියලා. 


“හාමුදුරුවනේ දරුවන්ව උස් මහත් කළා. වැඩිහිටි නිවාසෙට එන්න වෙනවා කියලා හිතුණම ඒ වේදනාවට ඔළුව ගහ ගත්තා පොළොවේ.” කියලා කිව්වා. 
මේ පොල් අම්මාට පමණක් නොව හැම අම්මාටම රිදෙන තැනකි. පොල් අම්මා කොළඹ පොල් වික්ක කාන්තාවක් බැවින් ඇය ආවේගය පිට කරන්නට යොදා ගත්තේ ඒ විදිය විය හැකියි. 


කෙසේ වෙතත් එදා පටන් පොල් අම්මා මේ වැඩිහිටි නිවාසයේ තනිවූවා ය. 
මේ කතාවේම තවත් පැත්තක් ගැන මතුරට ධම්මාලංකාර හිමියෝ අපට මතක් කළහ. 


“පොල් අම්මා, බලන්න ලේලියි දරුවො දෙන්නයි මාසෙකට සැරයක් එනවා මමත් දැකලා තියෙනවා. එහෙම ඇවිත් කතා කරමින් ඉඳලා යනවා. දවසක් නිවාසයේ කෙනෙක් කිවුවා.. “හාමුදුරුවනේ පොල් අම්මා බලන්න එන කෙනා පොල් අම්මාට ලැබෙන පිරිකර බඩු සේරම ගෙනියනවා” කියලා. පස්සෙ අපිත් විමසිල්ලෙන් හිටියා. අම්මට සලකන්න බෑ. අම්මාට දානෙට ලැබෙන පිරිකර අරන් යන්න එනවා කියලා. අපි මුලින් හිතුවෙ අවංකව ඒ අය ඇවිත් අම්මාව බලලා යනවා කියලා. කපටිකම බව දැන ගත්තෙ පසුවයි. 
දවසක් මේ අම්මාගේ ලේලි දරුවො දෙන්නත් එක්ක ආවා. පැයක් විතර ඉඳලා ඇය යන්න යනවා. යද්දි විශාල මල්ලකුත් අරන් පිට වෙනවා. මම එයාලට එන්න කිව්වා. 
ඇවිත් ඒ අයට අපේ සී.සී.ටී.වී. එක පෙන්නුවා, පෙන්වලා මම ඇහුවා.. 


“මේ උඹලා එද්දි ගෙනාව මල්ල, බලාපල්ලා මේකෙ මොකුත් නෑ. දැන් මහා මල්ලක් ගෙනියනවා..” පේනවා නේද සී.සී.ටී.වී එකේ. 
“ඔය බඩු සේරම මෙතන හලාපල්ලා” කිවුවා. 


මේ මිනිස්සු බය වුණා. පොල් අම්මාවත් ගෙන්නුවා. එයත් ඉස්සරහ බඩු හැලුවා. 
මේ බෑග් එකේ තිබුණෙ මොනවද ? මාසයක් තිස්සේම පොල් අම්මාට ලැබුණු පිරිකර. දානයක් දෙන අය පුංචි පිරිකරක් පූජා කරනවා. ඒ සේරම එකතු කරලා පොල් අම්මා මේ අයට දීලා. 


“ඒ බිමට හලපු බෑග් එකේ කිරිපිටි, සබන්, තුවා, දත් බේත්, චීත්ත රෙදි තිබුණා. 
දැන් පොල් අම්මා අඬනවා. 


“හාමුදුරුවනේ, පුතා බොනවා.. මුන්ට කන්න නෑ. ඒකයි දුන්නෙ කියලා...,” 
දරුවන්ට බෑ මේ අම්මට සලකන්න. ඒත් පොල් අම්මා මෙහෙම කරනවා. එහෙම බෑ. ආයෙත්.” 
හාමුදුරුවෝ විශාල අවවාදයක්ද කළහ. 


ඇත්තටම අම්මලා එහෙමය. වැඩිහිටි නිවාසයේ හිටියත් ඇය කාලයක්ම මේ කටයුත්ත කරගෙන ගියාය. එක්කෝ ඒ දරුකැක්කුම නිසා වෙන්නට පුළුවන. 
කෙසේ වෙතත් දරුවෝ හුරු වී සිටියේ පොල් අම්මාගේ පිරිකර ද මාසිකව විකුණා කන්නට බව පසුව අනාවරණය විය. 
මේ ලෝකයේ යථාර්ථයයි. මොන ප්‍රශ්න ආවත් අම්මලා අම්මලාමය. හැමෝම නැතත් බහුතරය ළඟ මෙවැනි ගුණය ද ඇත. 
නම් ගම් මනඃකල්පිතය. 


ස්තූතිය - කොළඹ මෙත්සරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ මතුරට  ධම්මාලංකාර හිමිට.

 

සටහන - අසංක ආටිගල