පුනර්භව සංකල්පයෙන් විශ්වය පොදු නිවහනක් වේද? පුනර්භවයක් ඇද්ද? නැද්ද?


 

විවිධ පුද්ගලයෝ, විවිධ පාර්ශ්ව පුනර්භවය යථාර්ථයකියි කියාත් මිථ්‍යාවකියි කියාත් විවිධ අදහස් පළකරති. ඒ ඇතමෙකුගේ අදහස වන්නේ පුනර්භව සංකල්පයට වටිනාකමක් ලබා දිය හැකි නොවන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකින් එය මෙතෙක් සනාථ වී නැති හෙයින් වන බවය. විද්‍යාවේ නියමයනට යටත් නොවන සියල්ල ඔවුන් එකඑල්ලේම හෙලන්නේ මිථ්‍යාවේ කුණු කූඩයට ය. එහෙත් ‘විද්‍යාවෙන් මෙතෙක් සනාථ නොවූ සියල්ල මිථ්‍යාවන්ය’ යනුවෙන් සහතිකයක් නිකුත් කළ හැකි කිසිවකුත් ලොව නොසිටී. 


කෙසේ වුව ද මරණයෙන් පසු සිදුවන්නේ කුමක් දැයි තිතට නූලට ප්‍රකාශ කළ හැකි වන්නේ මියගිය කෙනකුට මිස ජීවත්වන කිසිවකුටත් නොවන බව නම් සහතික ය. ගැටලුව, අභියෝගය වන්නේ මරණයේ අත්දැකීම විස්තර කළ හැකි කිසිවකුත් නොවීම ය. 


මේ ලිපියේ අරමුණ වන්නේ පුනර්භවය සනාථ කිරීම සඳහා හේතුයුක්ති ගොනු කිරීම නොවේ. එහෙත් මිනිසාගේ සර්වකාලීන වාදභේද, වාර්ගික අර්බුද, ලෝක යුද්ධ හා සීතල යුද්ධ කිසියම් ප්‍රතිශතයකින් අවම කිරීම සඳහා, ලෝක සාමයට නවෝදයක් උදාකරලීම උදෙසා ‘පුනර්භව මූලධර්මය’ කොතෙක් දුරට ඉඩ අවකාශ සලසන්නේ ද යන නැවුම් හා අභියෝගාත්මක ප්‍රශ්නයට පිළිතුරක් සපයා ගැනීම සඳහා සංඥා සපයන කෘතියක් පිළිබඳ කිසියම් විමසුමක යෙදීමට ය. විශිෂ්ට නව්‍යතාවකින් යුතුව එය ලියා ඇත්තේ ජිනා සෙර්මිනාරා (Gina Cerminara) නම් වූ මනෝවිද්‍යාඥවරියයි. ඇය මේ නව අදහස් කරළියට නගන්නේ Many Mansions - Part II - Healing the Karma within you නමැති කෘතියෙනි. 


අමෙරිකාවේ වර්ජිනියා බීච්හි පිහිටි එඩ්ගාර් කේසි මධ්‍යස්ථානය කරා ජිනා සෙර්මිනාරා නම් වූ මනෝවිද්‍යාඥවරිය පැමිණෙන්නේ පර්යේෂණයක් සඳහා ය. පුනර්භව සංකල්පය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම උදෙසා ය. දිවැසිවරයකු ලෙස ලොව සුපතළ එඩ්ගාර් කේසිගේ පුනර්භව කියවීම් හා චිකිත්සා ගැන බොහෝ දෙන අසා දැන සිටිය ද ජිනා සෙර්මිනාරාගේ Many Mansions කෘතිය කියවන තුරුම ඒ කිසිවකුට කේසි කියවීම්වල සැඟවුණ මනෝවිද්‍යාත්මක සාධක හා ඓතිහාසික භූගෝලීය නිධාන සොයා පාදා ගැනීමට හැකි නොවන බව අපගේ විශ්වාසයයි. සැබැවින්ම එඩ්ගාර් කේසිගේ මෝහන නිද්‍රාව මිනිසුන්ගේ පුනර්භව ස්මරණ කියවීමට, එළිදැක්වීමට පමණක් සීමා වන්නේ නැත. නිම්තෙර පවනක් මෙන් බොහෝ ඉසවු හරහා හමා යන එය විශ්වීය පරිණාමය පිළිබඳ නැවුම් ආලෝකධාරා ද විහිදුවයි. 


ලෝකයේ සියල්ල විද්‍යාව පවා වාණිජකරණයට හසුවීමෙන් ඉතා ශීඝ්‍ර විපරිණාමයකට පත්ව ඇති ආකාරය නිදර්ශනාත්මකව දැක්වීම සඳහා පොත අරම්භයේදීම කතුවරිය කරළියට නගන්නේ තමාගේම පෞද්ගලික අත්දැකීමකි. 


දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳ පතපොත බොහෝ සේ කියවූ පුද්ගලයෙක් විසිවන සියවසේ (50 දශකයේදී පමණ) ජිනා සෙර්මිනාරාට හමු වෙයි. පිළිසඳරක යෙදී සිටියදී ඇයට ඔහු පවසන්නේ සඳ ගමනට යෝග්‍ය අභ්‍යවකාශ යානයක් තමා සැලසුම් කරමින් සිටින බව ය. මේ විද්‍යාඥයා කෙරෙහි එදා ඇය තුළ හටගැනුණ ගෞරවනීය හැඟීමේ පලුද්දක් හටගන්නේ වෙනත් හේතුවක් නිසා ය. 


එම කාරණය මා තුළ යම් තරමක විස්මයක් ඇති කළේය: හඳට යාම සඳහා අභ්‍යාවකාශ යානයක් සැලසුම් කිරීම එතරම් දුර්ලබ දෙයක් නොවන අතර ස්ථීර වශයෙන් ම මානව ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදයේ දී එය එතරම් විපරිත කාර්යයක් ද නොවේ. නමුත් ඔහු බීම කොම්පැනියට ලිපියක් ලියමින් ස්වකීය සැලසුම වන යානය නිෂ්පාදනයට මුදල් යොදවන්නේ නම් සඳට ගියවිට එහි මුළු විෂ්කම්භයම ආවරණය වන පරිදි සමස්ත සෞරග්‍රහ මණ්ඩලයට සඳහටම අමතක නොවන ආකාරයට ‘ප්‍රබෝධජනක විරාමයක්’ නම් සඳහන සහිත දැන්වීම් පුවරුවක් සඳ මත ඉදිකරන බව දන්වා සිටි බව කීය. එය ඇසූ කල මා කොතරම් සඟවා ගන්නට වෑයම් කළත් මගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට ඇත: ‘වෙනත් සියලු ආකාරවලින් මෙතරම් බුද්ධිමත් වන මෙම මනුෂ්‍යයා තුළ මෙතරම් විකාර අදහස් උපදින්නේ මන්දැ’ යි මට සිතුණි. 


(සංසාර මන්දිර II 2 පිටුව) 


සඳ මුහුණ වැසී යන සේ ඩිජිටල් වෙළෙඳ දැන්වීම් බබලවන්නට සැලසුම් සැකසෙන යුගයක මිනිසාගේ අභ්‍යන්තරය කොතරම් අඳුරුවෙමින්, දුඹුළු බැඳෙමින් පවතින්නේ දැයි ජිනා සෙර්මිනාරා සිය පර්යේෂණය ආරම්භයේදීම හඳුනාගනී. අභ්‍යාවකාශ යානා නිෂ්පාදක මිතුරා කෙරෙහි තමාගේ ප්‍රතිචාරය ද පැටලිලි සහගත, අනුකම්පාව උපදවනසුලු (ඒ සමඟම මැඩගත් අවඥාවක් ද සැඟවීගත්) අත්දැකීමක් වූවේ යැයි ඇය පවසයි. එකල (මෙකල මෙහි යම් වෙනසක් සිදුව ඇතත්) බොහෝ යුරෝපීයයන්ට පුනර්භවය වනාහි හඳේ මුළු විෂ්කම්භය හරහා ඉදිකෙරෙන  දැන්වීමක් තරමට උමතු සිතුවිල්ලක් වූ බව ද ඇය කියයි. 


පුනර්භව විශ්වාසය කෙරෙහි පවතින නිද්‍රාශීලී එමෙන්ම ඇස් ලොකු කර බලන බැල්මේ හේතුව විද්‍යාත්මක සාධක නොමැතිවීමම නොවන බවත් විද්‍යාත්මක සාධක පැවතුණ ද පොදු සාමාන්‍ය මිනිසා මෙන්ම විද්‍යාඥයා පවා ඒ පිළිබඳ කිසිවක් දැන නොසිටින බවත් ජිනා සෙර්මිනාරා පවසන්නේ ඇසට පෙනෙන, කනට ඇසෙන, දිවට දැනෙන ස්පර්ශ වන සාධක නොමැතිවීම නිල ලත් විද්‍යාවට මෙන්ම විශ්වවිද්‍යාල බලකොටුවලට ද මහත් ගැටලුවක් උද්ගත කර ඇති අයුරු සිහිකැඳවමිනි. අත ගා බැලිය හැකි සාධක සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කරන්නේ හාස්‍ය දනවනසුලු උපමාවකි. 


සාධක වනාහි ක්ෂිතිජය අතුගා පිරිසිදු කරන නවතම එමෙන්ම එකම කොස්ස බවට පත්වී තිබේ. 
එක පරම්පරාවකින් තව පරම්පරාවකට ශාරීරික ලක්ෂණ ගමන් කිරීමේ සාමාන්‍යය පමණක් සැලකිල්ලට ගනිමින් ස්මරණය පවා ජානවලින් ප්‍රවාහනය කෙරෙන්නක් බවට පුනර්භව විවේචකයන් අදහස් දක්වන මුත් මේ ‘ප්‍රවේණී ස්මරණ සාධකය’ කිසිදා ඔප්පු කෙරුණක් නොවන බව ද කතුවරිය පෙන්වා දෙයි. ඒ නිරායාස ස්මෘතිය යනු බොහෝ විට මනෝවිද්‍යාඥයන් පවා නොදැක්කාක් මෙන් සිටින සාධකයක් වන බැවිනි. 
උපවිඥානය ගැඹුරෙහි පවත්නා ස්මරණයන් ගොඩනැගීමේ ‘චිකිත්සක කැණීම්’ කළ හැකි යැයි විශ්වාස කළ ඕලොන්ෂ් බේකර් (Ph.D. M.D.) නම් වූ මනෝ චිකිත්සකවරියට පුනර්භවය යනු තවදුරටත් ගවේෂණය කළ යුත්තකියි හැඟී ගොස් ඇත්තේ Many Mansions කෘතිය කියවීමෙන් පසුවය. කේසි ඒ සඳහා නිරීක්ෂණ උපකරණයක් වශයෙන් මෝහන නිද්‍රාව පිළිගෙන ඇතත් තමාගේ චිකිත්සාවන්හිදී ඉන් පරිබාහිර වූ වෙනත් ශිල්පීය ක්‍රම වඩා ඵලදායී විය හැකි යැයි මේ මනෝචිකිත්සකවරිය කල්පනා කර තිබේ. ෆ්‍රොයිඩ්ගේ Free Association විධික්‍රමයේ සංශෝධිත ක්‍රමයක් කෙරෙහි ඇය යොමු වන්නේ ඒ අනුව ය. 


ඇගේ රෝගීන් විශ්ලේෂණ නින්දකට (Analytical-couch) පත් කරන ලද අවස්ථාවකදී තමා විසින් කිසිදු යෝජනාවක් නොකර තිබියදීම රෝගීන් ‘අතීත භවයන්’ තුළට ඇතුළු වන බව ඈ දුටුවාය. ඔවුහු හිංසාවේ හෝ මරණයේ භීතිය ඇතිකරවන අරුම පුදුම දර්ශන හෝ කලින් අත්දැක නොතිබුණු අන්තර්-පුද්ගල සම්බන්ධතා දකින්නට පටන් ගත්හ. පුනර්භවය ගැන කිසි දිනක අසා නැති දැඩි ආගමික භක්තියකින් යුතු රෝගීන්ට ද මෙම අත්දැකීම ලැබුණි. ඔවුහු සමහර අවස්ථාවන්හි මෙසේ ද කියන්නට පටන් ගත්හ: ‘හරියට මීට ඉස්සෙල්ලා මං කොහේ හරි ජීවත්වෙලා හිටිය වාගෙයි’ Los Angeles Mirror පුවත්පතේ වාර්තාකාර ජෝන් ග්‍රෝවර්ට වරෙක එල්බ් ගඟේ තැන්නේ මඩ ගඳ තදින් දැනුණු ආකාරයට මේ මිනිසුන්ට ද ගන්ධය, රසය, ස්පර්ශය සේම දෘෂ්ටි රූප ද තදින් දැනුණු අතර ඔවුහු ශාරීරික වේදනාව පමණක් නොව, චිත්තවේගී අවස්ථාවන් ද තියුණු ආකාරයෙන් අත්දුටහ. 


කේසි ඉගැන්වීම්වල ප්‍රබල ලෙස කැපී පෙනෙන සමබරතාව හෙවත් සමතුලිතතාව කෙරෙහි කතුවරියගේ විශේෂ අවධානය යොමු වෙයි. කේසි කිසිදු අනුමානයකින් තොරව ඍජුවම ප්‍රකාශ කරන්නේ ප්‍රාණය හෝ ආත්මය තරමටම ‘සිරුර’ ද වැදගත් වන බවය. මේ දැක්ම ආගම් බොහොමයකට අනුකූල නොවන හා මිථ්‍යාදෘෂ්ටික ගණයට වැටෙන්නක් වුව ද කේසි පෙන්වා දෙන්නේ සිරුරේ හා ආත්මයේ සමබරතාව බෙහෙවින් වැදගත් වන ආකාරයයි. ඒ ඔස්සේ තවදුරටත් ඉදිරියට ඇදී යන ඇය මනෝවිද්‍යාත්මකව මෙන්ම අධ්‍යාත්මිකව ද සෞන්දර්යයට වෙසෙස් තැන හිමිවන බව ද පෙන්වා දෙයි. 


කේසි කියවීම් අතිමහත් බහුතරයකින් පැහැදිලිවම ඉස්මතු වන්නේ ජීවිතයක් සුපුෂ්පිත වීම සඳහා මෛත්‍රී කරුණාවේ ඇති වැදගත්කම ය. ලිංගිකත්වය; ලිංගිකත්වයට අදාළ සමහර කර්ම ලක්ෂණ යනුවෙන් නම් කෙරෙන පොතේ 10 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ලිංගිකත්වය පවා වඩා පුළුල් දෘෂ්ටියකින් දකින්නට පුනර්භව සංකල්පය ඉඩප්‍රස්ථා විවර කරන බවය. එහිදී ලිංගිකත්වය යනු ජන්ම පාපය (Original Sin) බවට වන පිළිගැනීම ද වඩා පුළුල් ආකාරයකින් විශ්වීය අරුතින් ඇගයීමකට ලක්විය යුතු බව ද කතුවරිය පවසා සිටී. පැහැදිලි ලෙසම ලිංගිකත්වය යනු පරමාණුක බලයකියි පවසන ඇය, පරමාණු බලය හෝ විද්‍යුත් බලය පාපයක් විය හැකි ද යන ප්‍රශ්නය ද පාඨකයා හමුවේ තබයි. විශ්වය තුළ විවිධ යුගයන්හි, විවිධ ස්ථානයන්හි ක්‍රියාත්මක වන විශ්වීය ආචාරධර්ම ක්‍රමයක් පවතින අතර එය සදාචාර නීති පද්ධති ඉක්මවා යන්නකියි ද එම දෘඪ වූ විශ්වීය සදාචාර නීතිය නොවරදින කර්මය මගින් පනවනු ලබන්නක් වන බව ද ඇය කියයි. 
මේ ලිපියේ ප්‍රස්තුතයට ඍජුව සම්බන්ධ වන ඉතා වැදගත් සංසිද්ධියක්, සංසිද්ධි ගණනාවක් ඇය අපූරුවට කැටිකොට ඇත්තේ පොතේ 13 වැනි පරිච්ඡේදයෙහිය. එය නම් කර ඇත්තේ ‘වංශය; හෙවත් වංශය පිළිබඳ ගැටලුව’ කියා ය. 


19 වැනි සියවසේ මැදභාගය දක්වාම (ඇතැම්විට අද දක්වාත්) බොහෝ මිනිසුන් හීබෲ ලියවිල්ලට අනුව විශ්වාස කළේත්, කරන්නේත් ඉතිහාසයේ ආරම්භය ක්‍රි.පූ. 4004 දී ඒඩ්න් උයනේදී සිදුවූ බව ය. විද්‍යාත්මක ප්‍රත්‍යක්ෂ සාක්ෂි කොතෙක් වෙතත් මේ අදහස බැහැර කිරීමට අද තව වනතුරුම ඇතැම් මිනිසුන්ට නොහැකි වී තිබේ. උපන් දා සිට උග්‍ර කතෝලික බැතිමතකු වූ බොහෝ විට බයිබලය අත දරා සිටි කේසි සතු වූවේ ද මේ අදහසම වන බවට සැක නැත. එහෙත් කේසි කියවීම් මේ මතය බැහැර කර ඇත්තේ පුදුමාකාර ලෙස ය.


මතු සම්බන්ධයි...

 

 

 

කැත්ලීන් ජයවර්ධන 
[email protected]