පූජාවලිය ලියූ බුද්ධපුත්‍ර හිමි විසූ වාකිරිගල


ගමක නම හැදුන හැටි

 

 

මාවනැල්ල නගරයේ සිට අරණායක දෙසට දිවෙන මාර්ගයේ පිහිටි උස්සාපිටියෙන් හැරී ගල්අතර දෙසට දිවෙන මාර්ගයේ මඳක් දුර පැමිණීමෙන් හෝ එසේ නොමැති නම් කෑගල්ලේ සිට බුලත් කොහු පිටියට දිවෙන මාර්ගයේ හෙට්ටිමුල්ලෙන් හැරී දීවෙල දෙසට ගමන් කිරීමෙන් වාකිරිගල නම් සුන්දර ගම් ප්‍රදේශයට ළඟාවිය හැක.   


1 වන විමලධර්මසූරිය රජ දවස, දළඳ‌ා වහන්සේ දෙල්ගමු විහාරයේ සිට සෙංකඩගල පුරයට වැඩමවාගෙන ඒමේ දී භාවිත කරන ලද ‘‘සීතාවක සෙංකඩගල පුරාණ මාර්ගය’’ ගැන කියවෙන විත්ති පොතක දැක්වෙන පහත සඳහන් කවියෙන් වර්තමානයේ වාකිරිගලට යන එක් මාර්ගයක් සීතාවක සෙංකඩගල පුරාණ මාර්ගය හා සම්පාත වන බව පෙනේ.  


වඳුරාදෙණිය ද, ඉද්දමල්පානේ පසුකර යන   
අටුගොඩ හින්නෙන් එතලේවෙල යන   
ගම පසුකරවන   
හෙට්ටිමුල්ල ඈවුණුගල්ල දීවෙල ගම්   
පෙර හමුවන  
වාගිරිගල ගලතර පාට්ටගම  
ඊළඟ පැමිණෙන  


ගමෙහි නමේ ප්‍රභවය දෙසට අවධානය යොමු කළ විට වාතිරිගල ගම් ප්‍රදේශයේ කැපී පෙනෙන ලෙසට ඉහළින් පිහිටා ඇති අඩිහාරසීයක් පමණ උසින් යුත් වාකිරිගල ගල්පව්ව මුල් වී ගමේ නම බිහි වී ඇතිබව පෙනේ.   
මෙම පව්ව මහාවංශය පාලි භාෂාවෙන් ‘වාතගිරි’ යනුවෙන් හඳුන්වයි. ස්වභාවිකව පර්වතයේ පිහිටි ශීඝ්‍ර බෑවුම් ආකාර ප්‍රපාතයන් නිසා දීවෙල ප්‍රදේශයේ සිට හමන සුළං පර්වතයේ වැදීමෙන් ‘‘ගුම්’’ යන දෝංකාර ශබ්දය ​ඉපදෙයි. එහෙයින් ආරම්භයේ දී ‘‘වාතගිරිගල’’ ලෙස හැඳින් වී පසුව අක්ෂර ලොප්වීම නිසා ‘‘වාගිරිගල’’ ලෙසට හැඳින් වී භාවිතාවත් සමඟ වත්මන් අවධියේ ‘‘වාකිරිගල’’ ලෙසට විකාශනය වී ඇත.   


වාකිරිගල පර්වතයට පහළින් වාකිරිගල විහාරස්ථානයත්, වාකිරිගල ගම් ප්‍රදේශයත් පිහිටා ඇත. උඩරට රාජධානියේ පැරණි බෙදීම් අනුව සතරකෝරළ මහ දිසාවට අයත් වූ ගල්බොඩ කෝරළයේ, එගොඩපොත පත්තුවට වාකිරිගල අයත් වේ.  


මහනුවර රාජධානි සමය ආරම්භයේ දී පවා වාගිරිගල යනුවෙන් මෙම ප්‍රදේශයට භාවිත වූ බව තහවුරු කරන තොරතුරක් ඩබ්ලිව්.ඒ සාලිරත්න, මැතිඳුන් රචනා කරන ලද ‘‘සතර කෝරළේ විත්ති’’ නම් ග්‍රන්ථයේ දැක්වේ. එහි සඳහන් විස්තර පරිදි 1 වන විමලධර්මසූරිය රජුගේ අණ පරිදි ඇමතිවරුන් පිරිසක් දෙල්ගමු විහාරයේ සිට දළඳ‌ා වහන්සේ මහනුවරට වැඩම කිරීමේ දී එක් රාත්‍රියක් වාකිරිගල අසල කරඬුලෙන් විහාරස්ථානයේ ගතකර ඇත.   


එදින වාගිරිගල මැති නම් ප්‍රභූවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කරඬුලෙන විහාරස්ථානය අවට ගම්වාසීන් දළද‌ා වහන්සේට මහත් පුද සත්කාර පවත්වා ඇත. ඇමැතිවරුන්ගෙන් මෙම තොරතුරු දැනගත් විමලධර්මසූරිය රජතුමා කරඬුපණ විහාරස්ථානයට කරඬුපණ ගමත්, යක්කල ගමත් පුදකර, විහාරස්ථානයේ පූජා කටයුතු සඳහා ආසන්නයේ පිහිටි මල්වත්තක් ද පවරා එහි පාලනය සහ පුද සිරිත් කරවීමේ භාරකාරත්වය වාගිරිගල මැතිට පැවැරූ බව උක්ත ග්‍රන්ථයේ සඳහන් වේ. මෙහි සඳහන් වාගිරිගල මැතිඳුන් වාකිරිගල ගමෙහි ප්‍රභූවරයෙකු විය හැකිය.   


වාකිරිගල සම්බන්ධයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් දඹදෙණි රාජය සමයේ, දෙවන පැරකුම්බා රජුගේ රාජ්‍ය කාලයේ දී සිදුවෙයි. මහා වංශයේ සඳහන් පරිදි ක්‍රි.ව 1262 දී පමණ දෙවන පැරකුම් රජුගේ වැඩිමහල් පුත් යුවරජු තනතුරට පත්ව සිටි අවධියේ වාකිරිගලට පැමිණෙයි. ඔහු බෝසත් විජයබාහු නමින් ද හඳුන්වයි. හෙතෙම වාකිරිගල බළකොටුව ශක්තිමත් කර පර්වත මුදුනේ මාලිගාවක් ද තනවා පිය රජුගෙන් ලැබුණු ධනධාන්‍ය එම මාලිගාවේ ආරක්ෂිතව තැන්පත් කරයි. 

 
එසේම පර්වත මුදුනේ විහාරයක් සහ සංඝාවාස ගොඩනංවා මහා නේත්‍ර ප්‍රාසාද මූලයට ඒවා පූජාකරයි. බහුශ්‍රැත පඬිවරයෙක් වූ මහනෙත් පාමුල සුමංගල හිමියන්ට එම විහාරයේ වැඩ සිටීමට ආරාධනා කරයි. එසේම පර්වත පාමුල පිහිටි වාකිරිගල විහාරස්ථානයේ දියුණුවට ද කටයුතු සලස්වයි.   


එම අවධියේ වාකිරිගල ප්‍රදේශය අධ්‍යාපනික වශයෙන් දියුණු තත්ත්වයක තිබූ බවට, පූජාවලිය ග්‍රන්ථයේ සඳහන් කරුණු මඟින් හෙළිවෙයි. පූජාවලියේ සඳහන් පරිදි මයුරපාද පිරිවෙන සහ ප්‍රතිරාජදේව නමින් පිරිවෙන් දෙකක් වාකිරිගල තිබී ඇත. මායාදුනු හමුද‌ාව වාකිරිගල ප්‍රදේශයේ ආරක්ෂාවට යොදා තිබූ අතර සතර කෝරළයේ අගනුවර හෙවත් පාලන මධ්‍යස්ථානය බවට වාකිරිගල මේ අවධියේ පත්ව තිබුණි.  
වාකිරිගලින් ලක්දිව ආගමික සහ සාහිත්‍ය පෝෂණයට ලැබුණු ද‌ායකත්වය අතිමහත්ය. මහා නේත්‍ර ප්‍රාසාද මූලයේ නායක සුමංගල හිමි වාකිරිගල වැඩ වසමින් අගනා අභිධර්මය පිළිබඳ ග්‍රන්ථ දෙකක් රචනා කරන ලදි. ඒවා නම් අභිධම්මාවතාර විකාසිනී මීතාව සහ අභිධම්මත්ථ විකාසිනී මීතාව යන පාලි ග්‍රන්ථයන් වේ.  
වටිනා ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයක් වූ ‘‘පූජාවලිය’’ රචනා කරන ලද්දේ වාකිරිගල මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමිපාණන් විසිනි. පූජාවලිය බුදුන්වහන්සේගේ ‘‘අරහං’’ යන ගුණය විග්‍රහ කරමින් සාමාන්‍ය ජනතාවට ද තේරුම්ගත හැකි පරිදි සරල බසින් විවිධ උපමා යොදමින් රචනා කරන ලද්දකි. පූජාවලිය ධර්ම ග්‍රන්ථයක් ලෙස පමණක් නොව අගනා සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසත් ඉතිහාසමය තොරතුරු රැගත් මහා ගද්‍ය කෘතියක් ලෙසත් ප්‍රචලිතය.  


පූජාවලිය රචනා කරමින් බුද්ධ පුත්‍ර හිමි වාසය කළ තටාරම් කොටන ලද ලෙන වාකිරිගල විහාරය අසල දක්නට ඇත. පූජාවලී ග්‍රන්ථයට මහත්සේ  ඇළුම් කරන ලද දෙවන පැරකුම්බා රජු එයට ගෞරවය පුදනු පිණිස ඇතෙකු පිට ග්‍රන්ථය තබා දඹදෙණි පුරවරයේ පුදක්ෂිණ කරනු ලැබීය.   


පූජාවලිය රචනා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවනු පිණිස වැදගත් වෛද්‍ය ග්‍රන්ථයන් දෙකක් වූ ‘‘යෝගාර්ණවය’’ සහ ‘‘වරයෝගසාරය’’ උන්වහන්සේ විසින් රචනා කරන ලදි. මෙම වෛද්‍ය ග්‍රන්ථදෙක පාලි හෝ සංස්කෘත බසින් නොලියා සරල සිංහල භාෂාවෙන් ලියා තිබීමෙන් සාමාන්‍ය ජනතාවට බුද්ධ පුත්‍ර හිමි දැක්වූ ස්නේහය පැහැදිලි වේ. මෙයින් පෙනීයන්නේ බුද්ධ පුත්‍ර හිමි මහා සාහිත්‍යධරයෙකු වූවා පමණක් නොව කෘතහස්ත වෛද්‍යවරයෙකුද වූ බවයි.   


පූජාවලි ග්‍රන්ථය රචනා කිරීම හා බැඳුණු රසවත් ජන ප්‍රවාදයක් සතර කෝරළයේ ජනතාව අතර පවතී. පූජාවලි ග්‍රන්ථය රචනා කිරීමට මහත් වෙහෙසක් දැරිය යුතු නිසා අවශ්‍ය ධාරණමය ශක්තිය, සාහිත්‍යමය හැකියාව සහ කායික නිරෝගීතාව ලබාගනු පිණිස කඳ සුරිඳුගේ ආශිර්වාදය සහ වරමක් (ස්කන්ධවරය) ලබාගනු පිණිස මන්ත්‍ර ජප කරමින් විවිධ අවතාර ගෙන්වා ගනිමින් ඒවාට බිලි පූජා තබමින් සිදු කරන පූජාවක් සිදුකර ඇත.  


මන්ත්‍ර ජප කිරීම සිදුකිරිමේ දී පැමිණෙන එක් එක් අවතාරයන්ට විවිධ බිලි දුන් අතර, කතරගම දෙවිඳුන්ගේ අවතාරය ලෙස පැමිණි දැවැන්ත මොනරාට සුද‌ානම් කර තිබූ බිල්ල වූ තැඹිලි ගෙඩියේ ඇස්සකපා සිදුරුකර නොතිබීම නිසා දෙවිඳුන් කෝපයට පත්විය. කෝපයට පත් මොනරා දැවැන්ත ගල් පර්වතයක් හොටින් ගෙන බුද්ධ පුත්‍ර හිමියන්ගේ සිරුර මතට අතහැරීමට සූද‌ානම් විය. එය වැළක්වීමට තමන්ගේ ඇසක් සිදුරු කර අභ්‍යන්තරයේ වූ ලොඳ වැනි කොටස් ආහාර ලෙස ගැනීමට මොනරාට දුන්නේය.   


එවිට මොනරා පහර දීමට ගෙනා විශාල ගල පසෙකට දැමීය. උන්වහන්සේට ස්කන්ධ දේව වරම දී මොනරා අතුරුදන් වී ඇත. මේ සිදුවීම නිසා බුද්ධ පුත්‍ර හිමිගේ ඇසක් අන්ධවූ අතර ‘‘මොනරකණ’’ යන අන්වර්ථ නාමයෙන් උන් වහන්සේ හැඳින් වූ බවත් ජනශ්‍රැතීන්හි සඳහන් වේ.  


කෙසේ හෝ මහත් වෙහෙසක් දරා පූජාවලී ග්‍රන්ථය ලියා අවසන් වූ පසු උන්වහන්සේට සිදු වූ ඇබැද්දිය, 2 වන පැරකුම්බා රජුට රජුගේ මහ ඇමැතිවරයා වූ දේව ප්‍රතිරාජගෙන් දැනගන්නට ලැබුණි. මහත් කනගාටුවට පත් රජු උන්වහන්සේ පූජාවලිය රචනා කරන ලද ලෙන ආසන්නයේ මයුරපාද පිරිවෙණ ඉදිකර බාරදුන් බවට විශ්වාසයක් පවතී.   


වාකිරිගල විහාරස්ථානය පිහිටා ඇත්තේ වාකිරිගල පව්වට පහළින් ඇති ගම් ප්‍රදේශය ආසන්නයේ ය. මහනුවර යුගයේ ගොඩනංවන ලද, අලංකාර චිත්‍ර සහ පිළිම, දාරුමය උළුවස්සක් සහ නොයෙක් ශෛලමය කැටයමින් යුත් ටැම්පිට විහාරයක් ලෙස එය වර්තමානයේ පවතී.   


පුරා විද්‍යාඥ එච්.සී.පී බෙල්ගේ කෑගලු වාර්තාවට අනුව මයුරපාදපාය නම් ස්ථානයක් විහාරස්ථානය ආසන්නයේ තිබූ බවත් එහි සංඝාරාමය, අභය සුන්දරාරාමය, නියම්ගම්පාය හෝ මයුරපාදපාය යන නම්වලින් හඳුන්වා ඇති බවත් ප්‍රකාශ කරයි.  


වර්තමාන විහාරස්ථානයේ දක්නට ඇති පැරණි ගල් උළුවස්ස, සිරි පතුල කොටන ලද ගල්පතුර, ටැම්පිට විහාරය දක්වා නැගීමට සකස්කර ඇති දර්ශණීය ගල් පෙළ සඳකඩ පහණක හැඩයගත් ගල්පුවරුව, ද‌ාගැබ සහ අලංකාර ගල්බැම්මක් ලෙස සකස්කර ඇති ප්‍රාකාරය, ආදිය පෞරාණික අංගයන් වේ. එසේම ගලින් තැනූ පාදමක් මත ඉදිකර ඇති වර්තමාන ද‌ාගැබ 1 වන විජයබාහු රජු ඉදිකරන ලද ද‌ාගැබ පිහිටි ස්ථානයේම ඉදිකරන ලද්දක් බවට තොරතුරු ඇත.  


වාකිරිගල ගමේ දැකිය හැකි අම්බලම ඉතාමත් ආකර්ෂණීය වූවකි. වාකිරිගල පර්වතය දෙසින් ආරම්භ වන ජලධාරාවක් අම්බලම අසලින් ගලායයි. අම්බලමේ සිට විහාරස්ථානය දෙසට යාහැකි කෙටි මඟක් ඇති අතර ජලධාරාවෙන් එතෙර වීමට තැනූ පැරණි ගල් ඒදණ්ඩක් අම්බලම අසල ඇත.   


අම්බලමේ ඉදිරිපස දොරටුව කැටයම් සහිත ගල් උළුවස්සකි. මැදින් උස් වන ලෙසට තනා ඇති වහලය අලංකාර කැටයමින් යුත් පේකඩ සහිත ගල්කණු සතරක් ආධාරයෙන් රඳවා ඇත. වර්තමාන අම්බලම පිහිටා ඇති ස්ථානයෙන් කෑගල්ල - දීවෙල මාර්ගය පිහිට ඇත. අතීතයේ මෙම අම්බලම අසලින් මෙම ලිපියේ මුල දී සඳහන් කළ පැරණි සීතාවක සෙංකඩගලපුර මාර්ගයත් ඊටත් පෙර 1 වන විජයබාහු රජු සොළීන් මැඩලීමට සේනා මෙහෙය වූ රෝහණ - අනුරපුර මාර්ගයත් පිහිටා තිබුණු බව සමහර ලේඛනයන් මඟින් තහවුරු වේ.   
කප්පාගොඩ පොල්හේන්ගොඩ මුදියන්සේ, අලුත්නුවර අටුගෙදර නිලමේ, ගොලහැල කැප්පෙටිපොළ මැතිවරු සහ ඒදඬුවාවේ පරපුරේ වීරවරයින් ඇතුළු අනෙකුත් විරුවන්ගේ ආභාෂය මෙම ප්‍රදේශයේ ජනතාවට නොඅඩුව ලැබෙන්නට ඇත. එමෙන්ම වාකිරිගල බුද්ධපුත්‍ර හිමි, වාකිරිගල සුමංගල හිමි, වැලිවිට සරණංකර හිමිට ගුරුවරයෙකු වූ ලෙව්කේ රාලහාමි වැනි උගත් පඬිවරුන්, සාහිත්‍යධාරයන් වාකිරිගල ප්‍රදේශයේ සහ ඒ ආසන්නයේ ජීවත් වූවන්ය.  


මේ සැමට ගෞරවය සහ කෘතවේදිත්වය දැක්විය හැකි හොඳම ආකාරය නම් වර්තමානයේ වන ගතව ඇති වාකිරිගල පර්වතය පුරා විසිරී ඇති පැරණි නටබුන් සහ පර්වතය පාමුල, විහාරය අවට විසිරී ඇති අනෙකුත් පැරණි ගොඩනැඟිලි, අත්තිවාරම් ආදිය නිසි පරිදි පුරා විද්‍යාත්මක ගවේෂණයකට ලක්කර ඒවා තහවුරු කිරීමකට ලක්කර යටපත් වී ඇති ඓතිහාසික ​තොරතුරු මතුකර ඒවා වර්තමාන පරපුරට දැන ගැනීමට සැලස්වීමයි.

 

වෛද්‍ය අතුල අදිකාරි
නො: 175C/2, ටිවරටන්,  පේරාදෙණිය.