පෘථිවියට වඩා සරුසාර ජීවයක් ඇති ග්‍රහලෝක තිබෙනවාලු


 

මේ විශ්වයේ ජීවය පවතින එකම ස්ථානය පෘථිවිය පමණක් නොවේ. පෘථිවියට දුර ඈත පිහිටි වෙනත් තාරකා වටා භ්‍රමණය වෙන බහිර් ග්‍රහයින් බොහොමයකි. ජීවය පවතින්නට අවශ්‍ය සාධක සහිත ග්‍රහලෝක රැසක් මේ විශ්වයේ තිබෙන බව සොයාගෙන අවසන්ය. ඒ බව සොයාගැනීමට හැකිවූයේ නාසා ආයතනය විසින් ජීවය පැවතිය හැකි වෙනත් ග්‍රහලෝක පිළිබඳව කළ පර්යේෂණයක් නිසාය.   

 

වඩා ඝනකම් වායුගෝලයක් සහිත, සෙමෙන් භ්‍රමණය වන, මහද්වීප වැනි ගොඩබිම් පෙනෙන්නට තිබෙන ග්‍රහලෝකවල සාගරය පහසුවෙන් උතික්ෂිප්ත වන බව පර්යේෂක කණ්ඩායම සොයා ගත්හ. ඒ අනුව, ජීවය පැවැත්ම සඳහා වඩා සුදුසු වාතාවරණයක් සහිත සාගර, මෙම ග්‍රහලෝකවල තිබේ.   


චිකාගෝ විශ්ව විද්‍යාලයේ භූ රසායන විද්‍යාඥ ස්ටෙෆනී ඔල්සන් සහ පර්යේෂක පිරිස නාසා ආයතනය මගින් වැඩි දියුණු කරන ලද විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන් විශේෂ දේශගුණ තත්ත්වයන් හා සාගර පරිසරය ප්‍රතිනිර්මාණය කරන ලදී.   


නාසා ආයතනය ජීවය පැවතිය හැකි වෙනත් ග්‍රහලෝක සෙවීමේදී, ජීවය පැවතිය හැකි කලාපය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරයි. ද්‍රව සහිත මුහුදුවලින් යුත් ග්‍රහලෝක ඔවුන්ගේ වැඩි අවධානයට ලක් වේ. ආචාර්ය ඔල්සන්ගේ අදහසට අනුව හැම සාගරයකම ජීවය පැවතීමට හැකියාවක් නැත. එයට හේතුව නම්, වඩා හොඳ සංසරණ රටාවක් පවතින ග්‍රහලෝක අනෙක්වාට වඩා ජීවය පැවතීමට සුදුසු වීමයි.   


පර්​ෙ‌ය්ෂකයෝ ඔවුන් සකසාගත් ආදර්ශ භාවිතයෙන් විවිධ අයුරින් ජීවය පවත්වාගෙන යා හැකි හා සංවර්ධනය කළ හැකි ග්‍රහලෝක පිළිබඳව සොයා බැලූහ.   
විද්‍යාඥයෝ ඔවුන්ගේ පර්​ෙ‌ය්ෂණ ක්‍රමවේදය මගින් වඩා කාර්යක්ෂමව උතික්ෂිප්ත වන සාගර පිළිබඳව සොයා බලන්නේ සාගරය උතික්ෂිප්තවීම හෙවත් ඉහළට නැගීමෙන් සාගරයේ ගැඹුරු හා අඳුරු කලාපවල තිබෙන පෝෂක ඉහළට ගමන් කිරීමත්, ප්‍රභාසංස්ලේෂණය සිදුවන ස්ථරවලට වඩා හොඳින් හිරු එළිය ලැබීමත් නිසා සාගරයේ මතුපිටට ආසන්නව ජීව ක්‍රියාවලිය වැඩිවෙන බැවිනි.   


මෙකී සාධක පිළිබඳව සලකා බලන විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ අපගේ අභ්‍යවකාශ තාක්ෂණය තවමත් එතරම් ප්‍රබල නොවන බැවින් අපට හසුනොවන, අපට වඩා දියුණු ජීවයන් පවතින වෙනත් ග්‍රහලෝක තිබිය හැකි බවය. ඒවා නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රබල දුරේක්ෂ පවා තවමත් අප සතුව නොමැති බව ඔවුන්ගේ අදහසයි.   
අනාගතයේ නාසා ආයතනයෙන් නිපදවීමට අපේක්ෂිත Luvoir හා Habex වැනි දුරේක්ෂවලට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හා පහසුකම් තිබෙන බව කියැවේ.   
තාක්ෂණය පිළිබඳ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් වන ක්‍රිස් රේනාඩ්ගේ අදහස වන්නේ අපේ පෘථිවියෙන් එපිට ග්‍රහලෝකවල ජීවය තිබේදැයි සොයන ගමනේදී එම ග්‍රහලෝකවල සාගර තිබේද නැතිද යන්න අතිශය තීරණාත්මක සාධකයක් බවයි. සාගර තිබෙන බව හඳුනාගත්තද, ඒවා අධ්‍යයනය කිරීමට තරම් අප තවමත් දැනුමෙන් සන්නද්ධ වී නැතැයිද ඔවුහු පවසති.   


මෙම අධ්‍යයනය පිළිබඳව සම්පූර්ණ වාර්තාව අගෝස්තු 18 -හා- 23 අතර බාසිලෝනාහි පැවති ගෝල්ඩ්ෂිම්ට් සමුළුවේදී ඉදිරිපත් කරනු ලැබිණි.   


බාහිර් ග්‍රහලෝකවල වායුගෝලය අධ්‍යයනය කරන ආකාරය   


දුරස්ථ තාරකා හා ඒවා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය අප අනුමාන කරනවාට හා සිතනවාට වඩා බෙහෙවින් වෙනස්වීමට පුළුවන. මෙම නව ලෝක පිළිබඳව වටහා ගැනීමටත්, ඒවා සැදී ඇත්තේ මොනවායින්දැයි දැනගැනීමට නම්, ඒ ග්‍රහලෝකවල වායුගෝලය පිළිබඳව පළමුව සොයා ගත යුතුව තිබේ. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ නාසා ආයතනයේ හබල් වැනි දුරේක්ෂයි.   


දැවැන්ත චන්ද්‍රිකා මගින් අහස ස්කෑන් කිරීමෙන් අනතුරුව නාසා ආයතනය විසින් වැදගත් යැයි සිතන ග්‍රහලෝක පිළිබඳ තොරතුරු ඔවුහු විශේෂයෙන් ගබඩා කර තබා ගනිති.   
ඇබ්සෝප්ෂන් ස්පෙක්ට්‍රොපි යනුවෙන් හැඳින්වෙන තහවුරු කිරීමේ ක්‍රමවේදය මගින් කිසියම් ග්‍රහලෝකයක වායුගෝලයෙන් පරාවර්තනය වෙන ආලෝකය මැන ගනී. හැම වායුවක්ම ආලෝකයේ කුමන හෝ තරංග ආයාමයක් උරාගන්නා බැවින් දෘශ්‍ය තරංග ආයාමයේ කළු තනි රේඛාවක් පෙන්නුම් කරයි. මෙම රේඛා ඉතා විශේෂ අණුවකට ප්‍රතිචාර දක්වන බැවින්, කිසියම් ග්‍රහලෝකයක් පවත්නා බවට එයම විශේෂ සලකුණකි.   


1814දී ඒවා පළමුවරට නිරීක්ෂණය කළ ජර්මානු ගගනගාමියෙකු හා භෞතික විද්‍යාඥයෙකුගේ නමින් හඳුන්වනු ලැබේ. මෙම සියලු තරංග ආයාම පරීක්ෂා කර බැලීමෙන් ග්‍රහලෝකයක වායුගෝලය හැදී ඇත්තේ මොනවායින්දැයි යන්න වටහා ගැනීමට ඔවුනට හැකි වේ.   


එම සොයාගැනීම්වලට වැදගත් වන්නේ ඒ ග්‍රහලෝකවල නොමැත්තේ කුමනාකාර ද්‍රව්‍යද යන්න පරීක්ෂා කිරීමයි. එබැවින් එම ආලෝකය පෘථිවිය වෙත ළඟාවීමට පෙර ඒවා පරීක්ෂා කළ යුතුය. ඈත ග්‍රහලෝකවල වායුගෝලයේ හීලියම්, සෝඩියම් හා ඔක්සිජන් පවා ඇත්දැයි පිරික්සා බලන්නේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙනි.   

 


ඩේලි මේල් ඇසුරිනි.   
නිසංසලා දිසානායක