පෙරභවය හෙළිකර මහණ වූ හිමිනම


පෙරභවයේ ප්‍රබල සාක්කි​

 

පෙර භවය හෙළි කිරීමෙන් පසු ඉතා කුඩා වියේ සිට පැවිදි බව ඉල්ලා සිටි එකම දරුවා වූයේ රුවන් තරංග ය. ඔහු පැවිදි බව ලැබුවේ කෙසෙල්ගෙනාවේ ධම්මතිලක හිමියන් ලෙසිනි. උන්වහන්සේ අද පරිවෙනාධිපති ධුරයක් උසුලන හිමිනමකි. එම හිමියන්ගේ පුනර්භව සාධකය පිළිබඳව මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.   


පෙර භවය හෙළි කළ දරුවන් අතරින් පෙර භවයේදී භික්ෂුන්වහන්සේ ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණය කළ දරුවන් කිහිප දෙනෙක් ලොව පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. ශ්‍රී ලංකාවේ එවැනි දරුවන් අතරින් ඉතා කුඩා අවදියේදීම පැවිදි බව ලබාදෙන ලෙස ඉල්ලා සිටි එකම දරුවා වූයේ හොරණදී උපත ලද රුවන් තරංග දරුවාය. එම දරුවා පෙර භවය හෙළි කිරීම ආරම්භ කරනු ලැබුවේ වයස අවුරුදු දෙකේ පමණ සිටය. තරංගගේ පුනර්භවය පිළිබඳව ඒ දිනවල මාධ්‍ය මගින් ද මහත් ප්‍රචාරයක් ලබාදුන්නේය.   


පෙර භවය හෙළි කළ එම දරුවා උපත ලැබුවේ 1987 වසරේදීය. ඔහුගේ දෙමාපියන් වූයේ නිමල් පෙ​රේරා මහතා සහ චන්ද්‍රලතා මහත්මියයි. ඔවුන් පදිංචිව සිටියේ කෙසෙල්ගෙනාවේය. පුංචි තරංග තුළින් භික්ෂු ජීවිතයක චාර්යාවන් නිරූපණය වීම බහ තෝරණ වියේ සිටම දක්නට ලැබිණි. යන්තම් වචන උච්චාරණය කිරීම ආරම්භ කරමින් ඔහු ගාථා සහ පාලි වදන් ප්‍රකාශ කළේය. ඒ සමගම මල් පහන් පූජාවට ද ඔහු දැක්වූයේ දැඩි ආශාවකි.  


වයස අවුරුදු දෙකේදී පමණ දිනක් රෙදි කැබැල්ලක් ඇඟ දවටාගෙන පුටුවක් මත හිඳගෙන භික්ෂුන්වහන්සේ නමක් අයුරින් ගාථා කියන්නට විය. තවත් දිනක් හබරල කොළයක් අතට ගෙන එය වටාපතක් ලෙස හසුරවමින් සිටියේය. එය දුටු මවට තම පුත්‍රයාගේ මෙම හැසිරීම් රටාව මවිතයට හේතු විය. තවත් විටෙක දෙපා හකුළුවාගෙන භාවනානුයෝගීව සිටින අයුරින් බිම වාඩි වී සිටින අයුරු ද දක්නට ලැබිණි. ඒ අයුරින් භික්ෂු ජීවිතයක චර්යාවන් ඉදිරිපත් කළ තරංග ඔහුට බුදු පිළිමයක් ඉල්ලා සිටියේය. බුදු පිළිමයට මල් පහන් පූජා කිරීමට ද ඔහු මහත් උනන්දුවක් දැක්වීය.  


කහ පැහැති සළුවක් දුටු විට එයට දැඩි උනන්දුවක් දැක්වීම ද පුදුම උපදවනසුළු විය. ඔහු කිසිදු ක්‍රීඩා භාණ්ඩයකට ප්‍රිය බවක් නොදැක්වීම ද ඔහු තුළින් දක්නට ලැබූ තවත් විශේෂත්වයක් විය. තරංග ඉල්ලා සිටියේ වටාපතකි.   


දෙමාපියන් විසින් වටාපතක් ගෙනැවිත් දුන්විට ඔහු සිවුරක් ද ඉල්ලා සිටියේය. කිසිවකුගේ ආධාරයක් නොමැතිව සිවුර ඇඟ දවටා ගන්නා පුංචි තරංග පුටුවක හිඳ වටාපත අතැතිව භික්ෂුන්වහන්සේනමක් ධර්මය දේශනා කරන අයුරු නිරූපණය කළේය. මේ අතර ඔහු ප්‍රකාශ කළ වදනක් වූයේ පිටුම්පේ යනුවෙනි. පෙර භවයේදී සිටියේ පිටුම්පේ බවත්, එම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පිළිබඳවත් තරංග අනාවරණය කරන්නට විය.  


එම විහාරස්ථානයේ සිටියදී ඇසුරු කළ භික්ෂුන්වහන්සේ කිහිප දෙනකුගේ නම් ද ඔහු හෙළි කළේය. මේ අතර තරංග සීනිවලට දැඩි අප්‍රියතාවක් ද දැක්වීය. අන් දරුවන් මෙන් නොව ඔහු පැණි රස අප්‍රිය කරන්නට වූයේ ද දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.   

 

ධම්මතිලක හිමියෝ අනුශාසනා අස්න දේශනයකදී  

 


පෙර භවයේ සිටියදී තමාට දියවැඩියාව රෝගය සෑදී තිබූ බවක් ඔහු අනාවරණය කළේය.  


“එහෙදී මට දියවැඩියාව තිබුණා. පපුවේ අමාරුවකුත් හැදුණා.” යයි ද වරක් පැවැසීය. “පිටුම්පේ පන්සලේ අඹ ගහක හදපු වඳුරෙක් හිටියා” යයි ද තවත් වරක් ඔහු පැවැසීය. තරංග තුළින් දක්නට ලැබූ භික්ෂූත්වය විදහා දක්වන තවත් චර්යාවක් වූයේ ඔහු රාත්‍රී ආහාර ගැනීමට අකැමැති වීමය. බුද්ධරූප ඉල්ලා සිටීමත් තරංග​ගේ සිරිත වී තිබිණි. “පිටුම්පේ පන්ස​ලේ ලොකු හාමුදුරුවෝ” යනුවෙන් පමණක් තරංග හෙළි කළ නමුත්, ඒ අවස්ථාවේ එම හිමියන්ගේ නම පිළිබඳව ඔහුට එතරම් මතකයක් නොතිබුණි. නමුත් ඒ පිළිබඳව විමසීමේදී ඔහුගේ මතකයට නැගුණු බැව් දක්නට ලැබිණි. මේ අතර, පිටුම්පේ විහාරස්ථානයේ පාරිසරික ලක්ෂණ ඔහු අනාවරණය කළේය. එහි ඇඳ ඇති චිත්‍ර සහ තනා තිබූ වඳුරකුගේ රුව පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබිණි.   
මෙම දරුවා​ පිළිබඳව විදේශීය පර්​ෙ‌ය්ෂකයෝ ද විමර්ශනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔහු පිළිබඳව විමර්ශනයක් කිරීමට අපට ද අවස්ථාව ලැබිණි.   


‘ඔයා ඉස්සර හිටියේ කොහේ ද?’ යනුවෙන් අප ප්‍රශ්න කළ විට තරංග පැවැසුවේ, “පිටුම්පේ පන්සලේ” යනුවෙනි.   


‘ඉස්සර ඔයාගේ නම මොකක් ද?’ යයි විමසූ විට ඔහු කියා සිටියේ, “පඤ්ඤාසේකර” යනුවෙනි.   
තරංග කුඩා කල සිට කළ ප්‍රකාශ පිළිබඳව මවගෙන් විමසූ විට, “හැම තිස්සෙම එයා බෝධි පූජා තිබ්බ බවක් කිව්වා. නිතරම ගාථා කියමින් මල් පූජා කරන්න කියලා අපිට කියනවා.   


එයා තවත් දවසක කියපු දෙයක් ගැන අපිට පුදුම හිතුණා. ශ්‍රී මහා බෝධීන්වහන්සේ ඉදිරිපිටට ගිහින් පිරිත් ගායනා කළ බවකුත් කිව්වා. ඒ වෙලාවේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවොත් හිටියා කියලත් කිව්වා. ඊට පස්සේ හැම තිස්සේම කිව්වේ එයාව මහණ කරන්න කියලා. නිතරම පන්සල් යන්නත් ඉල්ලනවා. අපි එයාව ළදරු පාසලට දැම්මා. එහෙදිත් එයා හැම තිස්සේම හාමුදුරුනමක් විදියට ළමයින්ට ධර්ම දේශනා පවත්වන විදියට උපදෙස් දෙන්න උත්සාහ කළා. සත්තු මරන්න එපා, පින් කරන්න කියලා ඒ දරුවන්ටත් නිතරම අවවාද දෙන්න උනන්දු වුණා.” යයි මව අප සමග අනාවරණය කළාය.  


පැවිදි වීමට තරංග තුළ තිබූ එම ආශාව නිසාත්, ඔහු පෙර භවයේ භික්ෂුන්වහන්සේනමක් ලෙස සිටි බව ප්‍රකාශ කිරීම නිසාත් පුංචි තරංගට පිටුම්පේ විහාරස්ථානයට යාමට ද අවස්ථාව ලැබිණි. එහිදී තරංග හෙළි කළ පන්සලේ ඉදිකර තිබූ වඳුරා සහිත ගස ඉතා නිවැරැදිව දැකගන්නට ලැබිණි. පඤ්ඤාසේකර නාහිමියන් රෝගීව සිට අපවත් වූ බැව් ද අනාවරණය විය.   


එදා භික්ෂුන්වහන්සේනමක් ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ ත  රංග, නව හැවිරිදි වියේදී භික්ෂුත්වය ලබාගත්තේ කෙසෙල්ගෙනාවේ ධම්මතිලක හිමියන් ලෙසිනි. උන්වහන්සේ පැවිදි බව ලැබුවේ දියකඩුවේ ධම්මාරාම නායක හිමියන් යටතේය. පැවිදි වීමෙන් පසු ධම්මතිලක හිමියෝ පතහවත්ත විහාරස්ථානයේදී දහම් අධ්‍යාපනය ලැබීමට හොරණ විශ්වවිද්‍යා පීඨයට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන මධ්‍යම විභාගය සහ උසස් පෙළ සමත් වූ උන්වහන්සේ එහි සුළු කලක් ගුරු වෘත්තියේ ද නියැලී සිටියහ.   


වැඩිදුර අධ්‍යාපනය සඳහා 2006 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ, එහිදී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. 2008 වසරේදී උපසම්පදාව ලබාගත්හ. මේ වනවිට ගුරු වෘත්තියේ යෙදී සිටින උන්වහන්සේ දැනට වීදාගම සිරිඝනානන්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ධුරයට පත්වී සිටිති. රයිගම කහඹිලියාවත්ත ශ්‍රී ලේඛකාරාම විහාරස්ථානයේ අධිපති හිමියන් ලෙස එහි වැඩ වසන ධම්මතිලක හිමියන් හමුවීමට පසුගිය දිනෙක අපට අවස්ථාව ලැබිණි. එහිදී උන්වහන්සේට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළෙමි. එහිදී උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නත්, උන්වහන්සේ දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය: පුංචි කාලෙ ගැන ඔබවහන්සේට මතකයේ තිබෙනවා ද?   


පිළිතුර: ඔව්. සමහර දේවල් මතක තියෙනවා.   


ප්‍රශ්නය: පෙර භවයේ ජීවිතය ගැන හෙළි කළ තොරතුරු මතක ද?   


පිළිතුර: ඒවා ගැන එතරම් මතකයක් නැහැ. මා කිව් බැව් දෙමාපියන් පැවැසූ තොරතුරු මතකයි.   


ප්‍රශ්නය: පැවිදි වීමේ ආශාවක් ඇති වුණේ කෙසේ ද?   


පිළිතුර: පෙර භවයේ පැවිදි බව ලබා සිටි නිසා ඒ ආශාව ඇති වූ බැව් දැනෙනවා. 

 
ප්‍රශ්නය: ඊට හේතු කියන්න පුළුවන් ද?   


පිළිතුර: උපතින්ම මට ගාථා දැනුම ලැබී තිබුණා. කිසිවකුගෙන් ඉගෙන නොගෙන මට ගාථා කියන්න පුළුවන් වුණා.   


ප්‍රශ්නය: දහම් දැනුම පෙර භවයෙන් ලැබූවක් ලෙස ඔබවහන්සේ සිතනවා ද?   


පිළිතුර: ඔව්. අනිවාර්යයෙන්ම. මට පෙර භවයෙන් ලැබූ දැනුමක් බැව් කියන්න පුළුවන්. 

 
ප්‍රශ්නය: පෙර භවය විමර්ශනය කිරීමට පිටුම්පේ පන්සලට ගිය විට ඇති වූ ගැඟීම් මොනවා ද? 

 
පිළිතුර: මට මහත් සතුටක් දැනුණා. එම විහාරස්ථානයේ තනා තිබූ වඳුරාගේ රුව දුටුවිට මා එය හඳුනා ගත්තා. 

 
ප්‍රශ්නය: පෙර භවයේ දැනුම අනුව ඔබවහන්සේට පිරිත් සහ ගාථා දැනුම ලැබී ඇති බවට සාධක මොනවා ද? 

 
පිළිතුර: කිසිදු ඉගැන්වීමකින් තොරව පුංචි කාලෙදිම මට ගාථා සහ පිරිත් කීමේ හැකියාව තිබුණා. පිරිත් දේශනාවලදී මට එය දැනෙනවා. වරක් තිස් පෑ හතේ පිරිත් දේශනයකදී අනුශාසනා අස්න දේශනා කිරීමටත් මට අවස්ථාව ලැබුණා. පෙර භවයේ සිට ගෙනෙන ලද කිසියම් දැනුමකින් ගාථා සහ පිරිත් පිළිබඳව මට අවබෝධයක් ඇති වූ බව මට විශ්වාසයි.   


ප්‍රශ්නය: ඔබවහන්සේ කුඩා කලදී සීනිවලට කිසිදු ප්‍රියතාවක් නොමැති බව දෙමාපියෝ පැවැසුවා. ඔබවහන්සේ ඒ පිළිබඳව සිතන්නේ කුමක් ද?   


පිළිතුර: කුඩා කල සිටම මම සීනිවලට කිසිදු ප්‍රිය බවක් දැක්වූයේ නැහැ. අදටත් මම එසේමයි. මස් මාංශ පිළිබඳවත් ඒ ලෙසමයි. මේ පිළිබඳව සිතන විට පෙර භවයේදී තිබුණු රෝගී තත්ත්වය අනාවරණය වීම අනුව සීනි අප්‍රියතාව ඇතිවන්නට ඇතැයි සිතෙනවා. අපවත් වූ නාහිමියන්ට දියවැඩියා රෝගය වැළඳී තිබීම නිසා සීනි භාවිතය නවතා තිබුණා. පෙර භවයේ සබඳතාව මත එය සිදු වී ඇතැයි සිතෙනවා.” යයි ධම්මතිලක හිමියෝ පැවැසූහ. කිසිදු පුහුණුවකින් තොරව තරංග දරුවා ඉතා කුඩා කාලයේ සිටම සිවුරු පෙරවීම පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් සිටීම ද විශේෂත්වයක් විය. පෙර භවයේ භික්ෂු ජීවිතය නිරූපණය කිරීමට එය ද ප්‍රධාන කරුණක් ලෙස දක්නට ලැබිණි. 

 
තරංග හෙළි කළ පෙර භව තොරතුරු පිටුම්පේ විහාරස්ථානයේ වැඩ විසූ ගනීගම පඤ්ඤාසේකර නාහිමියන්ගේ ජීවිත තොරතුරුවලට බෙහෙවින් සමාන බවක් දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එවකට එහි ශිෂ්‍ය හිමිනමක් වූ මහගම හේමතිලක හිමියෝ ද තරංග බැලීමට ඔහුගේ නිවෙසට වැඩම කළහ. අනතුරුව තරංගට එම විහාරස්ථානයට පැමිණීමට ද අවස්ථාව හිමි විය.   


දැනට පිටුම්පේ විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ හේමතිලක නාහිමියෝය. තරංග දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳ උන්වහන්සේ සිදු කළ විමර්ශනය ගැන පසුගිය දිනෙක විමසීමට අපට හැකි විය. එහිදී උන්වහන්සේ අප සමග ප්‍රකාශ කළේ මෙසේය.   


“අපේ නායක හාමුදුරුවන් වූ අපවත් වී වදාළ ගනීගම පඤ්ඤාසේකර හිමියන් ගැන තරංග තොරතුරු හෙළි කරන බැව් අපට ආරංචි වුණා. ඔහු බැලීමට අපි ඔවුන්ගේ නිවෙසට ගියා. අපිව හඳුනා ගැනීමක් නම් සිදු වුණේ නැහැ. ඒත් අපේ විහාරස්ථානයේ ඇති සලකුණු කිහිපයක්ම තරංග නිවැරැදිව පැවැසුවා. පසුව අපේ පන්සලටත් එම දරුවා පැමිණියා. ඒ අවස්ථාවේ එහි තිබූ චිත්‍ර සහිත සලකුණු නිවැරැදිව හඳුනා ගත්තා. නායක හාමුදුරුවන් වැඩසිටි කාමරයත් ඔහු හඳුනා ගත්තා. එම දරුවා පැවැසූ පරිදි නායක හාමුදුරුවෝ අපවත් වුණේ දියවැඩියාව රෝගය උත්සන්න වීම නිසයි.” යනුවෙන් හේමතිලක හිමියෝ පැවැසූහ.  

 

 

 

තිස්ස ජයවර්ධන