ගැමි රසවිත
70 දශකයේදී බරපතළ දේශපාලන වෙනසක් සිදුවිය. එනම් 77 ආණ්ඩු පෙරළිය ය. 5/6 ක බලයක් ලබාගත් එම වකවානුවේ පත්ව සිටි මන්ත්‍රීවරුන් පමණක් නොව ගමේ පුංචි මන්ත්‍රීලාත් ජීවත් වුණේ පොළොවට අඟල් කීපයක් උඩින් ය.
එක් සන්ධ්‍යා කාලයක ගම්පහ ප්‍රදේශයේ එක් පොලීසියක මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුවිය. එකල මත්ද්‍රව්‍ය වූවේ අද මෙන් හෙරොයින්, ගංජා සහ අයිස් වැනි ද්‍රව්‍යයන් නොව කසිප්පු ය. පොලිස් ජීප් එකෙන් කසිප්පු බූලිද සමග වැරදිකරුවන් දෙදෙනෙක් අල්ලාගෙනැවිත් කූඩුවට දමන ලදී. මේ දෙදෙනාට අපි සෝමදාස සහ විලියම් යනුවෙන් අන්වර්ථ නම් දෙකක් යොදමු.
පැය බාගයක් පමණ ගතවූවා පමණි පොලිස් ස්ථානාධිපතිවරයාගේ රිසීවරය නාද වන්නට විය. ඔහු ටෙලිෆෝනය කනේ තබාගෙන සිටියා මිස කිසිවක් කථා කළේ නැත. ඔහුගේ ඉරියව්ද එක්වරම වෙනස්විය. මුහුණද දාඩියෙන් නැහැවී යන අයුරු පෙණින. ටෙලිෆෝන් පණිවුඩය එකල ආණ්ඩුවේ සිටි දිසා ඇමතිවරයාගෙනි. මොහොතකට පෙර කසිප්පු වරදකට අල්ලාගෙන ආ සෝමදාස නමැත්තාව වහාම නිදහස් කර යවන ලෙසත්, ඔහුට නඩු නොපවරණ ලෙසත් දිසා ඇමතිවරයා ස්ථානාධිපති තැනට තරයේ කියා ඇති බවත් පසුව දැනගැනීමට ලැබිණ.
පොලිස් ස්ථානාධිපතිවරයා තමාගේ මේසය මතට වී බර කල්පනාවක නිමග්නය විය. විත්තිකරු මුදා හරිනවාද නැද්ද? මුදාහැරියොත් එය ලැජ්ජාවයි. මුදා නොහැරත් බැරි ය. දිසා ඇමතිවරයා මේ විදිහට රාජකාරියට ඇඟිලි ගැසුවොත් රාජකාරිය කරන්නේ කෙසේද?
පැයකට පමණ පසු ස්ථානාධිපතිවරයා හමුවීමට අමුත්තෙක් පැමිණියේය. සර් දිසා ඇමතිතුමා පණිවුඩයක් දුන්නද? ඔහු ඇසීය. තමුන් කව්ද? ස්ථානාධිපතිවරයා ඇසීය. මම අර ඔබතුමා අල්ලාගෙන ආපු සෝමදාසගෙ අයියා. මම එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති. අපි තමයි සර් මේ ආණ්ඩුව බලයට පත්කරන්නට මහන්සිවුණේ. දැන් මේක අපේ ආණ්ඩුව. ඒකයි දිසා ඇමැතිතුමා ඔබතුමාට කිව්වෙ සෝමදාසව නිදහස් කරන්ඩ කියල. උන්නැහේට හොඳටම කේන්ති ගිහිල්ල තවමත් ඇයි නිදහස් නොකළේ කියල. උන්නැහේ බලාගෙන ඉන්නව නිදහස් කරන තුරු.
පොලිස් ස්ථානාධිපතිතුමා පමණක් නොව පොලිසියේ අනෙක් නිලධාරීන්ද පැමිණ ස්ථානාධිපතිතුමාගේ මේසය වටේ සිටගනිමින් කුමක් කළයුතුදැයි කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.
පොලිස් ස්ථානාධිපතිවරයා හරි අර කූඩුවෙ සිටින සෝමදාසව මෙහාට අරන් එනවා. පොලිස් නිලධාරියකුට පැවසීය.
දිසා ඇමතිතුමා උඹේ කවුද?
මගේ නම් කවුරුවත් නෙවෙයි සර්, පක්ෂ ශාඛාවේ සභාපතිතුමා තමයි මේ ඉන්නෙ මගේ අයියා. එයා තමයි ඇමතිතුමාට ගිහින් කියන්ට ඇත්තෙ.
ස්ථානාධිපතිතුමා - හොඳයි දිසා ඇමතිතුමා කියනවනෙ උඹව නිදහස් කරන්ඩ කියල. ඔන්න උඹ දැන් නිදහස්, දැන් ඉතින් යන්ට පුළුවන්.
පොලිසියට සිදුවී ඇති මේ අකරතැබ්බය කනින් කොනින් ආරංචිවී නගරයේ පිරිස් පොලිසිය අවට රංචු ගැසෙමින් බලා සිටින්නට වූහ. ඇමතිවරයාගේ කීමට කසිප්පුකාරයා නිදහස් කරනවාදැයි නැද්දැයි දැක ගැනීමට නගරයේ පිරිස් පැමිණ පොලිසිය වට කරගත්හ.
සෝමදාස සමග අල්ලාගෙන ආ අනෙක් සැකකරු වූ විලියම්ව පොලිස් ස්ථානාධිපතිවරයා ළඟට කැඳවීය.
උඹත් එක්ක අල්ලගෙන ආපු අනෙක් හාදය නම් දිසා ඇමතිතුමාගේ කීමට නිදහස් කරලයි තියෙන්නෙ. උඹ ඒක දැක්කනෙ උඹ අඳුනන දන්න කියන ඇමතිවරු මන්ත්‍රීවරු එහෙම නැද්ද?
අනේ නෑ සර්, මම දන්න ඇමතිවරුවත් මන්ත්‍රීවරුවත් මට නෑ. මං ගැන කියන්න කවුරුවත් නෑ.
හොඳයි උඹ කාත් කවුරුවත් නැති අහිංසක මිනිහනෙ, උඹට සපෝට් කරන්නට කවුරුවත් නෑනෙ. හැබැයි උඹට සපෝට් කරන්ට මම ඉන්නව. උඹ මං ගානෙ පලයන්.
උඹත් දැන් නිදහස්. දැන් මේ කසිප්පු බූලි දෙක දෙන්නම කරට ගනිල්ලා අරගෙන ටවුන් එක මැද්දෙන් දෙන්නම යන්ට ඕනෑ. හැබැයි වාහනවලින් යන්ඩ බෑ. බය නැතුව පලයල්ලා උඹලව කවුරුවත් මේ පොලීසියෙන් අල්ලන්නෙ නෑ.
පසුව දෙදෙනාම කසිප්පු බූලි දෙක කරේ තබාගෙන යන්නට වූහ. පක්ෂයේ සභාපති ද පසුපස ගමන් කරනවා පෙනිණ. නගරවැසියන්ගේ උසුළු විසුළු මැද යන අතරේ මුළු නගරයම හූ හඬින් ගිගුම් දෙන්නට විය.