බණ ඇසීම හා බණ දේශනා කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතා හුරුපුරුදුය. අද සෑම තැනකම පාහේ බණ ඇසීමට හා බණ දේශනා කිරීමට අවස්ථාව ඇතත් පුරාණයේ එය එතරම් සුලබ පහසු කටයුත්තක් නොවීය. බණ කීමේ පුරාණය අපේ ඈත ඉතිහාසය කරා දිවයන්නකි.
වර්තමානයේ බුදු දහමේ අන්තර්ගත අභිධර්මය, ධම්ම පදය හා පිටක ආශ්‍රයෙන් බණ කීවත් පුරාණයේ එසේ නොවීය. පුරාණයේ බණ දේශනා කළේ ජාතක පොත ආශ්‍රයෙනි.
ජාතක පොත ආශ්‍රයෙන් බණ කීම ආරම්භ වී ඇත්තේ මෙයට ශතවර්ෂ ගණනාවකට පෙරය. එය චාරිත්‍රයක්ද විය. එම පොත ආශ්‍රයෙන් බණ කීමේ චාරිත්‍රයෙන් ගැමියන් බලාපොරොත්තු වූ පරමාර්ථ කීහිපයක්ම තිබුණි. ධර්මය ඇසීමෙන් ගැමියන්ගේ නිර්වාණ බලාපොරොත්තු ඒ අතරින් මුල්තැනක් ගත්තේය. එමෙන්ම සතුට, විනෝදය, තුන් බිය දුරුකර ගැනීමත් මෙතුළින් ගැමියෝ අපේක්ෂා කළහ. ගමේ සමෘද්ධිය හා අවට ගම්වාසීන්ගේ හා සහයෝගයෙන් ජීවත් වීමද බණ කීමේ හා බණ ඇසීමේ පරමාර්ථ අතර පැවැතුණි.
පන්සිය පනස් ජාතක පොත ආශ්‍රයෙන් බණ කීමේ කලාව අද ද ඇතැම් විට මෙරට ඈත ගම්වල සිදුකෙරුණ ද එය ආරම්භ වූයේ කුමන කාලවකවානුවක දැයි නිශ්චිතවම දැනගැනීමට සාක්ෂි නොමැත.
ජාතක පොත ඇසුරෙන් බණ කීමේ චාරිත්‍රයේද ඊට පෙර ගමේ පන්සලට රැස්වන ගම්වාසීන් සාකච්ඡා මඟින් ඊට දිනයක් නියම කරගනු ලබන්නේ මාසයකට පමණ පෙරය. වතුපිටි හේන් කුඹුරුවල වැඩ කටයුතු නිමවී ගම්වාසීන් විවේක සුවයෙන් ගත කරන කාලසීමාවක් මේ සඳහා තෝරා ගැනිණ.
ප්‍රථමයෙන් බණ කීමේ කටයුතු සංවිධානය කරන සංවිධායකයෝ මුළු ගමේම ඇවිද ගම්වාසීන් දැනුම්වත් කරති. දායක සභාව රැස්කර බණ කීමේ කටයුතු කෙසේ කළ යුතු දැයි සාකච්ඡා කරන අතර, බණ කීමේ සියලු වැඩ කටයුතු කොටස් කර වැඩ බෙදා ගනිති. සම්මාදම් කිරීම, ධර්මශාලාව සැරැසිලි කිරීම ඇතුළු වැඩ කොටස් බෙදාගැනීමෙන් අනතුරුව මඟුල් බෙරය සහිත හේවිසිකාරයන් පිරිසට හොරණෑකාරයෙකුට හා හේනෙ මාමාට නියමිත දින පැමිණෙන ලෙස ආරාධනය කෙරෙති.
එසේම පින්කමට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය ගමේ නායක හිමියන්ට දැනුම් දීමෙන් පසුව අවට ගම්වාසීන්ටද බණ ඇසීමට, පෙරහරට හා දානමය කටයුතු සඳහා සහභාගී වන ලෙස ආරාධනය කෙරෙති.
ධර්ම දේශනාව සඳහා තොරණ එකක් හෝ දෙකක් බඳින අතර ප්‍රධාන තොරණ ධර්මශාලාව ඉදිරිපිටද, දෙවන තොරණ ඇතුළුවන තැනද ඉදිකරනු ලබයි. මෙම තොරණ ගස් සහිත කෙසෙල් කැන්වලින් හා පොල් ඉතිවලින් සරසන නිසා රඹ තොරණ ලෙස නම් කර ඇත.
ඉඩකඩ ධර්ම ශාලාවක් නොමැති පන්සලක වල් ලී වලින් තාවකාලික විශාල ධර්ම ශාලාවක් ඉදිකිරීම ගම්වාසීන්ගේ සිරිතය. තාවකාලික ධර්මශාලාවේ කුලුනු සතර මැද ධර්මාසනය ඉදිකරනු ලැබේ. එම කුලුනු සතර අසලද කෙසෙල් කැන් හා පොල් ඉතිවලින් සරසනු ලබයි. එම පොල් හා කෙසෙල් කැන් පැරැණි සිරිත් විරිත් අනුව කොටස්වලට බෙදෙන්නේය.
ධර්මශාලාවේ හා ධර්මාසනයේ වැඩ කටයුතු සිදුකරන අතරතුර ධර්ම දේශනාව ආරම්භ කරන දිනයට දින කිහිපයකට පෙර ජාතක පොතක් සකස් කරගනු ලබයි. මේ සඳහා වගකීම භාරගනු ලබන්නේ විහාරාධිපතීන් වහන්සේය. ජාතක පොත පුස්කොළ පොතක්ම විය යුතුය. එබඳු පොතක් විහාරස්ථානයේ තිබේ නම් එය අව්ගස්වා බැඳ සකස් කරගනු ලැබේ. එබඳු ජාතක පොතක් විහාරස්ථානයේ නොමැති නම් ජාතක පොතක් තිබෙන ස්ථානයකින් ගෙන්වාගනු ලැබේ.
ධර්ම දේශනාව පැවැත්වීමට නියමිත දින කිහිපයකට පෙර ධර්ම දේශනය පවත්වන ගමේ දායකයන් පිරිසක් සමඟ එම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ නමක් දානයක් හ දැහැත් වට්ටියකට ද්‍රව්‍ය සපයාගෙන ජාතක පොත් වහන්සේ ඇති පන්සලට යන්නේය. එසේ ගොස් සිය පන්සලේ ජාතක ධර්මය දේශනාවක් පවත්වන බව දැනුම් දී ධර්ම දේශනාව සඳහා අවශ්‍ය බව සඳහන් කර ජාතක පොත් වහන්සේ ඉල්ලා ගනු ලබයි.
එහෙත් එම පන්සලෙන් පොත නොලැබෙන්නේ නම් මෙම චාරිත්‍රය ඉටු කරමින් ජාතක පොත් ඇති වෙනත් ස්ථානවලට ගොස් ඉල්ලීම් කරනු ලබයි. එසේ කරනු ලබන්නේ ධර්ම දේශනාවට ජාතක පොත් වහන්සේ අවශ්‍යම කාරණයක් ලෙස සැලකූ හෙයිනි.
ධර්ම පුස්තකය පුස්කොළ පුස්තකයක්ම විය යුතුය. කෙසේ හෝ සපයාගත් එම ධර්ම පුස්තකය ධර්ම දේශනා කරන දිනයෙහි ගම්වාසීන් අලි ඇතුන් සහිත පෙරහරකින් ගොස් අලියෙකු හො ඇතකු පිට ධර්ම පුස්තකය අයත් භික්ෂුවගේ දායකයකු නංවාගෙන පොත වැඩමවාගෙන ධර්ම දේශනාව පවත්වන ස්ථානයට පැමිණෙයි. මෙහිදී ධර්ම පුස්තකය වැඩමවන දායකයා මුල් ඇඳුමින් සැරසී සිටිය යුතු අතර සුබ නැකත් බලා එම නැකත් දිනයෙහි පෙරහර පැවැත්වීම ගම්වාසීන් විසින් සිදුකරනු ලැබයි.
ධර්ම දේශනාව පැවැත්වීමට පෙර දින පිරිත් කියා අලුයම ධර්ම පුස්තකය කියැවීම ආරම්භ කරන බැවින් විශාල පෙරහරකින් භික්ෂූන් වහන්සේලා සහ ධාතු කරඬුවද ධර්මශාලාවට වැඩම කරවා අනතුරුව මුල් ඇඳුමෙන් සැරසුණ ගම්ප්‍රධානියා මඟින් ජාතක පොත පංචතූර්ය නාදය සහිතව ධර්ම ශාලාවට වැඩම කරවනු ලබයි. අනතුරුව භික්ෂූන් වහන්සේ නමක් ගම්වාසී පිරිස පංච ශීලයේ පිහිටුවා ජාතක ධර්ම දේශනාව පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් අනුශාසනාවක් පවත්වනු ලැබේ.
සියලු වැඩ කටයුතු නිමකිරීමෙන් පසු පිරිත ආරම්භ කර එදින රාත්‍රිය මුළුල්ලේ පිරිත් දේශනා කොට පසුදින අලුයම මහ පිරිත් දේශනා කොට දෙවියන්ට පිං පමුණුවා ජාතක පොත දේශනා කිරීම ආරම්භ කරනු ලබයි. මෙහිදී පිරිත් නූල් සහ පිරිත් පැන් නොබෙදා එහිම තැන්පත් කර තබනු ලබයි.
ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එදින නැකත් වේලාවට ලද පස්මල් ඉසින මහජනයාගේ සාධු නාදය හා නොනවත්වා පවත්වන පංච තූර්ය වාදන මධ්‍යයෙහි ජාතක පොතෙන් මුද්දර බිඳීම භික්ෂූන් වහන්සේ එක්රැස්ව සිදුකරති. මුද්දර බිඳීම යනුවෙන් හඳුන්වන්නේ ජාතක පොත හකුළා ඇති තිරරෙදි ඉවත් කොට ලණුව ලිහා පොත දිග හැරීමට එකල භාවිතා කළ නාමයකි.
මෙසේ ජාතක පොත දිගහැර හමාර වූ විට දැන උගත් භික්ෂුවක් ප්‍රථමයෙන් ධර්මාසනයට වැඩම කොට නමස්කාර ගාථා හා සංග්‍රහ වළඳා ධර්ම දේශනයෙහි ප්‍රථම කාර්යය නිමවා ජාතක පොතෙහි පත්ඉරුව අතට ගෙන වචන සමඟ ගණ දෙවියන් පිදීම සඳහා දුම්මල ඇල්ලූ කහ දියරයෙන් තෙමන ලද මංගල පොල් ගෙඩිය ගලක ගසා ආශිර්වාදයන් පතමින් ගණ දෙවියන් පුදනු ලබන්නේ සුදු ඇඳුමෙන් සැරසුණු දායකයකු විසිනි. එතැන් සිට අට දිනක් හෝ දස දිනක් දිවා රෑ නොකඩවා මහා සංඝයා එම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ යුග පතක ලියාගෙනය.
ජාතක ධර්ම දේශනාව පිළිබඳව පූර්ව දැනුම් දුන් ලියුම් භාරගත් අවට ගම්වාසීන් නියමිත දිනට පෙරහර පැවැත්විය හැකි බව හෝ නොහැකි බව කල් තියා දැනුම් දිය යුතුය. තමන්ට නියමිත දිනයෙහි දායක පිරිස එක්රැස්ව දානෝපකරණ, දැහැත්, ගිලන්පස සහ ආධාර මුදලක්ද, යාර දහයකට වැඩි සුදු රෙද්දක්ද රැගෙන අලංකාර පෙරහරකින් ජාතක පොත් ධර්ම දේශනයට සවන්දීමට හා පින්කමකට සහභාගී වීමට අදාළ ගමට යති. බොහෝ අවට ගම්වාසීන් මෙම ක්‍රමය අනුගමනය කරන්නේ අත්තන් ගෙවීම හෝ මතුවට අත්තන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ජාතක පොත් ධර්ම දේශනාවට සවන් දීමට පැමිණෙන අවට ගම්වාසීන් විහාරස්ථානයට පැමිණීමට පෙර ධර්ම දේශනාව පවත්වන ග්‍රාමයේ ගම්වාසීන් විසින්ද හේවිසි හොරණෑ හා තුම්මල් ගෙයක්ද සහිත කුඩා පෙරහරකින් ඉදිරියට ගොස් ජාතක පොත් ධර්මදේශනයට සවන් දීමට පැමිණෙන අවට ගම්වාසීන් පිළිගනු ලබන්නේය.
මේ පිරිසෙහි මුල් ඇඳුම් ඇඳගත් දෙතුන් දෙනෙක් පෙරගමන් කොට එන පිරිසට ආචාර කොට අවට ගම්වාසීන් ගෙනෙන ලද බඩු බාහිරාදිය භාරගැනීම චාරිත්‍රයකි.
එසේ සමඟි සම්පන්නව දෙපිරිසම විහාරස්ථානයට පැමිණීමෙන් පසු එම විහාරයේ විහාරාධිපති භික්ෂූන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටුවා සමගිය ප්‍රධාන කොට ගනිමින් ධර්ම ශ්‍රවණයෙහි හා රත්නත්‍රයට කරනු ලබන උපස්ථානයෙහි අනුහස් දක්වන අවවාදාත්මක අනුශාසනාවක් කළ පසු අවට ගම්වලින් පැමිණි පිරිසෙන් කෙනෙකුද කතාවක් පවත්වනු ලබන්නේය.
එදින සවස ගිලන්පස පූජාව හා පසු දින උදය හා දවල් දානය ද එදින පෙරහර භාරගත් ගම්වාසීහුම පිළියෙල කරති.
ධර්ම දේශනාව සඳහා අවට ප්‍රදේශවලින් පැමිණි ගම්වාසීන් රැගෙන ආ සුදුරෙදි යාර දහය කච්චි මූට්ටුව නමින් හැඳින්වේ. පිටතින් පැමිණි දායක පිරිස එම සුදුරෙදි ධර්මාසනය වටා කැටි කොට බැඳ පින් ලබාගැනීම විශේෂ අංගයකි. කච්චි මූට්ටුව බැඳීම බොහෝ පිරිස් සිදුකරන්නේ මතු ආත්මයන්හිදී කප්රුක ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි.
පිටත ගම්වලින් පැමිණි ගම්වාසීන් විසින් ගෙනෙන ලද ආධාර මුදල්, වී, සහල් ආදී ද්‍රව්‍ය ධර්ම දේශනාව පවත්වන ගමෙහි දායක පිරිසට භාරදී බණ අසා පිටව යති.
අවට ගම්වාසීන්ට ජාතක පොත් ධර්ම දේශනාවට සහභාගිවීම සඳහා දැනුම් දුන් දින පෙරහර පැවැත්වීම මගහැරී ගියහොත් එදින ධර්ම දේශනාව සිදුකරන ගමේ ගම්වාසීන්ම කොඩි සේසත් හා තුන්මල් ගෙයද රැගෙන හේවිසි හොරණෑ සහිතව මල්වට්ටියක් උඩුවියන් අල්ලා පෙරහරින් රැගෙන එන්නේ ඒ ගමේම කෙළවරේ සිටිය. ඊට පුහු පූජාව යැයි සඳහන් කරනු ලැබේ.
තේමිය ජාතකය, සාම ජාතකය, නිමි ජාතකය, ධර්මපාල ජාතකය, මහානාරද ජාතකය, භූරි දත්ත ජාතකය, විදුර ජාතකය, උම්මග්ග ජාතකය, වෙස්සන්තර ජාතකය සහ කාශ්‍යප ජාතකය යන කතා දහය ජාතක පොත් ධර්ම දේශනාවන් සඳහා යොදාගනිති.
මෙම ජාතක කතා දහය දේශනා කිරීම ආරම්භ කරන දිනයේ එහි රැස්ව සිටින ගම්වාසීන් අමතා විශේෂ අවවාදයක් සිදුකරනු ලබන්නේ විහාරස්ථානයේ වැඩසිටින දක්ෂ භික්ෂූන් වහන්සේ නමක් විසිනි. පන්සිය පනස් ජාතක පොතෙහි අවසානයට යොදා ඇති ජාතක කතා දහයක් ‘දස ජාතක’ නමින් වෙන්කර තිබේ. මෙසේ ජාතක කතා දහයක් වෙන්කර තබා ඇත්තේ පැරැන්නෝ එම ජාතකයන් හී ඇතුළත් කතා වස්තුවලින් මහා බෝසතාණන්ගේ අති උග්‍රවූ පාරමී පිරුම් විදහා දැක්වෙන නිසා බවද පැවැසේ.
දස ජාතක අතුරින් විදුර ජාතකය දේශනා කිරීමෙන් පසු උම්මග්ග ජාතකය දේශනා කිරීමට පෙර මහජනයා අමතමින් එක් භික්ෂුවක් උම්මග්ග ජාතකය දේශනා කිරීම ආරම්භ කරන බවත් එය හමාර වූ පසු වෙස්සන්තර ජාතකය දේශනා කරන බව පවසා වෙස්සන්තර පූජාවට සූදානම් වන ලෙස ජාතක පොත් ධර්ම දේශනාවට සවන් දීමට පැමිණ සිටින ජනතාවට අනුශාසනා කරති. එම අනුශාසනාවෙන් අනතුරුව එය පිළිගන්නා ගම්වාසීන් තම තමන්ට හැකි පමණින් පූජා භාණ්ඩ සකසා ගනු ලැබේ.
ඇතුන්, අශ්වයන්, ගවයන් ආදී සතුන් ද වී, සහල්, අමු, මෑ, කුරක්කන්, මෙනේරි, තල, උඳු, මුං, අබ ආදී ධාන්‍ය වර්ගද නගුල්, වියගස්, කෙවිටි, ඇඳ, පුටු, මේස, පඩික්කන්, තට්ටු පෙට්ටු සහ පැදුරු ආදිය ද තම තමන්ට හැකි පමණින් සපයා ගැනීමට ගම්වාසීහු උත්සාහ ගනිති.
උම්මග්ග ජාතකය දේශනා කොට නිමවන දින දහවල් දෙකට පමණ දායක පිරිස විහාරස්ථානයට රැස්වී කොඩි, සේසත් හා හොරණෑ ආදිය රැගෙන වෙස්සන්තර පූජාවේ අනුහස් දැනුම් දීමට ගෙයක් ගෙයක් පාසා ගමන් කරති. එම පිරිසෙහි කෙනෙක් සුදු ඇඳුම් ඇඳ තැන්පත් කොට තිබූ පිරිත් පැන් කළය ගෙන පුවක් මල් ඉත්තකින් නිවසක් පාසා පිරිත් පැන් ඉසිමින් ගමන් කරති.
එම පිරිස සමඟ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද රතන සූත්‍රය සජ්ඣායනා කරමින් ගමන් කිරීම විශේෂ චාරිත්‍රයකි. එසේ ගම්මානයේ නිවසක් පාසා ඇවිද පූජා ද්‍රව්‍ය රැගත් ගම්වාසීන් විශාල පිරිසක් සවස් යාමයේ පන්සලට රැස්වන අතර එදින සවස්යාමය වන විට උම්මග්ග ජාතකය දේශනා කොට නිමා කරයි.
අනතුරුව වෙස්සන්තර ජාතකය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් භික්ෂූන් වහන්සේ නමක් දේශනාවක් පවත්වා වෙස්සන්තර පූජා ද්‍රව්‍ය එනමින් පූජා කරවා අනුමෝදනාවක් සිදු කිරීමෙන් පසු වෙස්සන්තර ජාතකය දේශනා කිරීම ආරම්භ කරනු ලබයි. වෙස්සන්තර ජාතකය දේශනය උදෙසා රැස්කරගත් ද්‍රව්‍ය පූජාව වෙස්සන්තර පූජාව නමින් හැඳින්වෙන අතර එහිදී මහා බෝසතාණෝ වෙස්සන්තර රජු නමින් ‘සත්ත සතික’ මහා දානය සිහිපත් කරමින් ගම්වැසියන් ප්‍රීතිමත් වීම චාරිත්‍රයකි.
වෙස්සන්තර ජාතකය එදින අලුයම හතරට පමණ නිමා කර අනතුරුව මෛත්‍රී වර්ණනාව දේශනා කර පුණ්‍යානුමෝදනාව සිදුකිරීමෙන් පසු ජාතක පොත් දේශනාව අවසන් කරනු ලබයි. එම මෛත්‍රී වර්ණනාව සහ පුණ්‍යානුමෝදනාව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීම සිරිතකි.
ඉන්පසු සියලු දෙනාට පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා උදය වරුවේ පෝය හේවිසියක් පවත්වා දහවලේ සියක් නමකට දානයක් පිරිනමා ජාතක පොත් ධර්ම දේශනා නිමා කිරීම අතීතයේ දී සිදුවී තිබේ.
කොත්මලේ
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි