බණ්ඩාරනායක ඝාතන නඩුවේ විත්තිකරුවන් සිරගෙදරදී කී කතා


විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මතකය අවදි කරයි   

 

ශ්‍රී ලංකාවේ හතර වැනි අග්‍රාමාත්‍යවරයා වූයේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. එතුමා ඝාතනයට ලක් වූයේ 1959 වසරේ සැප්තැම්බර් මාසයේ 25 වැනි සෙනසුරාදාය. ඒ ​ෙවන විට බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සිටියේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සඳහා නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමිනි.   ගමන යෙදී තිබුණේත් එම මස 27 වැනි සඳුදාටය.   


බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි තබා තිබුණේ 1915 වසරේ බ්‍රිතාන්‍ය ගිනි අවි සමාගමක් විසින් නිෂ්පාදනය කළ වෙම්බිලි මාර්ක් වර්ගයේ රිවෝල්වරයකිනි.   
​කොළඹ හතේ රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසේ ආලින්දයට අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ඔහු හමු වීමට ආ පිරිස සමග කතා බහ කර ප්‍රශ්න නිරාකරණය කර දීමටය.   
එම පිරිස අතරේ තල්දූවේ සෝමාරාම හිමියෝ ද පොළොන්නරුවේ ආනන්ද හිමියෝ ද සිටියහ.   


තල්දූවේ සෝමාරාම හිමියන් වැඩම කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාව බැහැදැක ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දියුණුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමටය.   
සෝමාරාම භික්ෂුව අතේ ඒ හා සම්බන්ධ ලිපි ගොනුවක් ද තිබූ අතර අග්‍රාමාත්‍ය එම භික්ෂුව ඔහු ළඟට කැඳවා ගත්තේ බොහොම ගරු සරු ඇතිවය.   
තල්දූවේ සෝමාරාම භික්ෂුව ලිපි ගොනුව පෙන්වමින් සිටි අතරවාරයේ සිවුර තුළ සඟවා ගෙන සිටි රිවෝල්වරයෙන් දිගට හරහට අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබූ අතර ඒ අවස්ථාවේ එහි වැඩ සිටි ආනන්ද හිමියන්ට ද රිවෝල්වරය එල්ල කර තිබේ.   


කොළඹ ජාතික රෝහලේදී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සදහටම නෙත් පියා ගත්තේ සුවහසක් ජනී ජනයා හඬවමිනි.   
මෙම ඝාතනය පිළිබඳ සැක එල්ල වූවන් අතර තල්දූවේ සෝමාරාම භික්ෂුවට අමතරව එහි මාපිටිගම බුද්ධ රක්ඛිත, ඇම්.පී. ජයවර්ධන සහ දාගොන්නේ ඔසී කොරයා නමැත්තෙක් ද විය.   


සුරා බදු පරීක්ෂකවරයෙක්ව සිටි ඔසී කොරයා අරුක්කු රේන්දකාරයෙක් සහ ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කාරයෙකි.   
ඔසී කොරයාට රිවෝල්වර කිහිපයක්ම තිබී ඇති අතර අගමැතිවරයාට වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ ඒ රිවෝල්වර කිහිපය අතරින් එකකින් බව පසුව කරන ලද පොලිස් පරීක්ෂණ වලින් හෙළි විය.   
බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇම්.පී. ජයවර්ධන නමැත්තා ගරාජයක සේවය කළ අයෙකි.   
පසුව එම්.පී. ජයවර්ධනට, බණ්ඩාරනායක ඝාතන නඩු විභාගයේදී වරදකරුවෙක් වී සිර දඬුවම් නියම විය. සිර දඬුවම නියම වූ ජයවර්ධන ඒ සිර දඬුවම විඳීමට පැමිණීයේ වැලිකඩ බන්ධනාගාරය වෙතය.   


ජයවර්ධන නමැත්තා සිර දඬුවම් විඳිමින් සිටින කාලයේ ඒ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස ​සේවය කරමින් සිටියේ ඩබ්ලිව්.ඒ.ඩී. විජේදාස මහතාය. ඔහු මෙසේ හඬ අවදි කළේය.   

 

 


“මම වැලිකඩ බන්ධනාගාරයේ සේවයට එනකොටත් බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවකුව සිටි ජයවර්ධන සිර දඬුවම් විඳිමින් හිටිය කෙනෙක්. ඒ වෙන කොට ඔහු බන්ධනාගාරයේ ලොන්ඩ්‍රි පාටියේ සේවය කරමින් සිටියා. 1972 වසර විතර වෙනකොට ඔහු බන්ධනාගාර එම පාටිය බාරව සිටියා. ලොන්ඩ්‍රි පාටියේ නායකයා වශයෙන් පත්වෙන්න කලින් ඔහු රෙදි සේදීම, වේළීම හා ඒවා මැදීම සිදු කර තිබෙනවා.   


හිරගෙදර ලොන්ඩරියේ රෙදි සේදීමට විශාල ප්‍රමාණයේ වොෂින් මැෂින් දෙකක් තිබෙනවා. ඒවා මේ වෙන කොට අවුරුදු 100 කටත් වඩා පරණයි. එංගලන්තයෙන් මේවා ගෙනැවිත් තිබුණා. බොයිලේරුවක ආධාරයෙන් වාෂ්ප බලයෙන් තමා මේ වොෂින් මැෂින් දෙක ක්‍රියාත්මක වුණේ. රෙදි සෝදන මැෂින් දෙක අදටත් හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. සෝදා වියළා ගන්නා රෙදි මැදීමට ගන්නා ඉස්ත්‍රික්ක ගොඩක් පරණ ඒවා යැයි විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා පවසයි. 

 
රෝහල් ඇතුළු රජයේ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ හා සංස්ථා මණ්ඩලවල සේවක සේවිකාවන්ගේ නිල ඇඳුම් සෝදා පිරිසිදු කිරීමට ගෙන එන්නේ අපේ බන්ධනාගාරයේ තිබෙන ලොන්ඩ්‍රියටයි. ලොන්ඩ්‍රි පාටියේ හිරකාරයෝ තමා ඒ රෙදි හෝදලා වියළා මදින්නේ.   


මම වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියට ආවට පස්සේ ජයවර්ධන නමැත්තා සමග කතා බහ කිරීමට අවස්ථාව ලැබුණා. බුද්ධරක්ඛිත හිමිගේ කාර් එකෙන් බුද්ධරක්ඛිතත්, තල්දූවේ සෝමාරාමත් කියන භික්ෂූන් දෙදෙනාත් එක්ක ජයවර්ධනත් මුතුරාජවෙලට ගිහින් කදුරුගස්වල ගෙඩිවලට ඉලක්කයට වෙඩි තියලා තිබෙනවා. එසේ හරියට ඉලක්කය ගෙන වෙඩි තියන්න පුරුදු කරලා තියෙන්නේ ජයවර්ධන කියා ඒ වෙන කොටත් මම දැන ගත්තා.   


ගිනි අවි හදන්න ජයවර්ධන රුසියෙක් කියා ඔහුම මාත් එක්ක කියා තිබෙනවා. මොරිස් මයිනර් කාර්වල තියන සමහර කොටස් යොදාගෙන ගිනි අවියක් හදන හැටි ඔහු මාත් එක්ක විස්තර කරනවා. ඒ විදිහට ගිනි අවියක් හදන හැටි එහෙම කිව්වොත් අපේ සමහරුන් ඒ විදියට ගිනි අවි හදන්න පටන් ගනීවි. ඒ නිසා ඒ ගැන කියන්න හොඳ නැහැ. ගරාජයේ රැකියාව කරන ගමන් ඔහු අවශ්‍ය අයට ගිනි අවි හදලා විකුණා තිබෙන බව මට දැන ගැනීමට ලැබුණා. ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. මා හඳුනා ගන්න විටත් ඔහුට වයස අවුරුදු 60 ක් විතර ඇති.   


බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනයට අහුවෙච්ච තල්දූවේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්ඛිත, රාගම ඩිකී සොයිසා හා දාගොන්නේ ඔසී කොරයා එක්ක කාලයක ඉඳලා මම කිට්ටු සම්බන්ධයක් තිබුණා. අපි කට්ටිය එකට කෑවා බිව්වා කියා ජයවර්ධන මාත් එක්ක කියා තිබෙනවා.   


ජයවර්ධන මාත් එක්ක හරි අපූරු කතාවක් කියා තිබුණා. ඔහු කී ඒ කතාව මට තාමත් හොඳට මතකයි. ජයවර්ධන කේන්දර ගැන ලොකු විශ්වාසයක් තිබුණ කෙනෙක්. ඔහු ඒ බව මට කියා තිබෙනවා. මගේ කේන්දරේ බලපු අය කියා තිබුණා කවදා හරි මම හිරේ වැටෙනවා කියා. ඒක හරියටම හරි ගියා. මේක කාටවත් වළක්වන්න පුළුවන් කමක් තිබුණ දෙයක් නොවේ. මේ සිද්ධියට මාව අහුවුණේ කේන්දරේ හැටියට තිබුණ ග්‍රහ බලපෑම අනුව ​ෙවනවා කියාත් ඔහු සමග ආගිය ​තොරතුරු කතා බහ කරන අවස්ථාවල කිව්වා. ජයවර්ධන ග්‍රහ බලපෑම් මත පටවා මෙයට පැටලුණේ ග්‍රහ බලපෑම් නිසා කියා හිත හදා ගන්න ලොකු උත්සාහයක ඔහු නිරත වූ බව මට පෙනී ගියා.  


මගේ ජීවිතයේ හොඳම කාලය හිරේ ගතකරන්න වුණා. ඒ ගැන හිතනකොට මට හරිම වේදනාවක් දැනෙන්නේ. නිදහස් වෙලා ගියත් මට එච්චර කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ යැයි කියා ජයවර්ධන නිරත කියු දෙයක් බවද විශ්‍රාමික බන්ධානගාර නියාමකවරයා පවසයි.   


හිර ගෙදරින් නිදහස් වෙලා යන්න අවුරුදු 3 කට විතර කලින් තමා මම ඔහු දැන හඳුනා ගත්තේ. ජයවර්ධන බන්ධනාගාර නිලධාරීන් කා එක්කත්, හිරකාරයෝ එක්කත් හොඳට හිටියා. ආරවුල් ඇති කර ගත්තේ නැහැ. අන්න ඒ නිසාම තමා ඔහුට ලොන්ඩරි පාටියේ නායකකම බාර දී තිබුණේ. කා එක්කත් සුහදව කතා බහ කළා. නිතරම සිනාමුසු මුහුණින් හිටිය කෙනෙක්. එහෙම හිනාවෙලා හිටියත් ඔහුගේ ජීවිතයේ හොඳම කාලය හිරගෙදර බිත්ති හතරකට කොටුවෙලා ගතකරන්න වෙච්ච එක ගැන නම් කනස්සල්ලෙන් හිටියා කියා මා දන්නවා. මගේ මතකයේ හැටියට ඔහු වසර 22 කට ටිකක් වැඩි කාලයක් සිර දඬුවම් වින්දා. ජයවර්ධන නිදහස් වෙලා වැලිකඩ හිර ගෙදරන් යන කාලයේ මම වෙන හිර ගෙදරක රාජකාරියේ නිරත වෙලා හිටියේ.   


බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයට තල්දූවේ සෝමාරාම එල්ලුම්ගස් ගියා. බුද්ධ රක්ඛිත ජීවිතාන්තය දක්වා හිරේ ගියා. සෝමාරාම එල්ලුම්ගහට යන්න කලින් උපැවිදි වී තිබුණා. බෞද්ධ භික්ෂුවක් වශයෙන් එල්ලුම්ගහට යන්න කැමති වෙලා නැහැ. ඒකයි සිවුරු හැර තිබුණේ. ඔහු බෞද්ධාගම අතහැර එංගලන්ත සභා ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්තා. ​සෝමාරාම එල්ලුම්ගහට නගින විට පවා තමා අගමැතිවරයාට වෙඩි තැබුවේ නොමැති බව කියා තිබෙනවා යැයි ද විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා කීය.”   
අගමැති බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි තබා ඝාතනය කිරීමට අධිකරණයෙන් වරදකරු වූ තල්දූවේ සෝමරාම 1915 වසරේ මෙලොවට බිහිවී ඇත්තේ තල්දූව, රතුගම රැල්ලගේ චාරිස් සිංඤ්ඤෝ යන නමින්ය.   


ඔහු හැදී වැඩී ඇත්තේ අවිස්සාවේල්ල දෙහිඕවිට, තල්දූව ගම්මානයේය.   


අවුරුදු 19 දී තල්දූවේ සෝමාරාම යන නමින් පැවිදි දිවියට ඇතුළත් වී ඇත. උපසම්පදාව ලබා ඇත්තේ ඔහුට අවුරුදු 22 ක පමණ වයසේ පසුවෙද්දීය.   
කෙසේ වෙතත් ඔසී කොරයා බණ්ඩාරනායක නඩුව අවසානයේ නිදහස් විය.   


තිස් හය වසරක සේවා කාලයකින් පසු විශ්‍රාම ලබා සිටින විජේදාස මහතා දැන් සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටී.   
විජේදාස මහතා රාජකාරි ජීවිතය පුරා අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියෙකි.   


ඔහුගේ මතක ගබඩාවේ තිබූ කතා ගණනාවක්ම මීට පෙර ඉරිදා ලංකාදීපයේ වරින් වර පෙළ ගැස්සුවෙමු. විජේදාස මහතා මට හඳුන්වා දෙනු ලැබුවේ විශ්‍රාමික කාන්තා ජේලර්වරියක වන කාන්ති පැස්කුවල් මහත්මිය විසිනි.   


පැස්කුවල් මහත්මියට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.   

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - අන්තර්ජාලයෙනි