බණ්ඩාරවෙලින් හමු වූ ප්‍රාග් මානව ජනාවාසය


 ප්‍රාග් ඓතිහාසික භූමිය

 

  • සුදු පාලන කාලයේ සොයාගත් මේ ජනාවාසය ලොවට හඳුන්වා දුන්නේ  “බණ්ඩාරවෙල සංස්කෘතිය” නමින්   
  • මාර්ගයක් විශාල කරන ව්‍යාපෘතියකින් පුරාවිද්‍යා බිම ලොවටම අහිමි ​වේ ද?   

 

 

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු‍ පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි.   


අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ 2කට පමණ පෙරාතුව පරිණාමය වී වසර ලක්ෂයකට පෙර ලෝකය පුරා ජනාවාස ඇති කළ නූතන මානවයා ලංකාව ද සිය ජනාවාස කරගෙන සිටියේය.   
මේ මානව ඉතිහාසයේ දී මෙරට කඳුකරයෙන් අපූරු සොයාගැනීමක් සිදු විය. එය පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන ලද්දේ “බණ්ඩාරවෙල සංස්කෘතිය” (Bandarawelians Culture) යනුවෙනි.   
මෙය අදට ද ඒ නමින් පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයන්හි පවා හැඳින්වේ. නමුත් ශ්‍රී ලාංකිකයන්ට මේ බණ්ඩාරවෙල සංස්කෘතිය අමතකව ගොසිනි. ඔවුන් දන්නේ බලංගොඩ මානවයා ගැනය.   


බණ්ඩාරවෙල සංස්කෘතිය යනු ලෝක මානව වංශකතාවේ ඉතාමත්ම වැදගත්ම සොයා ගැනීමක් වූයේ අද ඊයේ නොවේ. 20 වැනි සියවසේ මුල් වසර කිහිපයේදීම එය ලෝකයේ මානව විද්‍යාව පිළිබඳ පර්​ෙ‌ය්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්වූවක් විය.   


එකල මානව ශිෂ්ඨාචාරයේ දීර්ඝතම කාල පරිච්ඡේදය වූ ගල් යුගය හෙවත් ශිලා යුගය බෙදා වෙන් කර තිබුණේ කොටස් දෙකකටය. එකක් ‘පුරාණ ශිලා’ යුගයයි. වඩාත් පැරැණිම කොටස ඊට අයත් වූ අතර, ඉන් පසු යුගය ‘නව ශිලා’ යුගය ලෙස හැඳින්විණි. 

 
ඒ, 1890 දශකයයි. ස්විට්සර්ලන්තයේ ඉතාමත් වංශවත් සරසින් නමැති පරපුරක ඥාති සහෝදර තරුණයෝ දෙදෙනෙක් ලංකාවට පැමිණියහ. ෆ්‍රිට්ස් සරසින් (Karl Friedrich Sarasin) සහ පෝල් සරසින් (Paul Benedict Sarasin) යන මේ දෙදෙනාගේ අවශ්‍යතාව වූයේ ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ප්‍රධාන කරගත් මානව විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනයයි.   

 

කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය. මේ ස්ථානයේ සෑම තැනින්ම පැරණි සාධක හමුවෙයි.

 


පේරාදෙණියේ නිවසක් මිලදී ගෙන එහි පදිංචි වූ ඔවුහු රට පුරාම සංචාරය කරමින් අධ්‍යයනයේ නිරත වූහ. 1908 දී බණ්ඩාරවෙලට ආ ඔවුන් දුටුවේ බොහෝ ප්‍රදේශ වතු වගා සඳහා එළි පෙහෙළි කර තිබුණු ආකාරයයි. නමුත් බණ්ඩාරවෙල ඇංග්ලිකන් දේවස්ථානයක් පිහිටි පල්ලියකන්ද නමින් හැඳින්වෙන ස්ථානය කඳුකර වියළි දේශගුණයක් සහිත සවාණා තෘණ භූමියක ස්වභාවය ගත් අතර, එය වතු වගාකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණේ නැත.   


මේ සරසින් සහෝදරයෝ දෙදෙනා එතැන ගවේෂණය කළහ. පුදුමයකි. ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ගල් ආයුධ රැසක් එම ස්ථානයෙන් පහසුවෙන් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.   
ඔවුන්ගේ එම සොයා ගැනීම ගැන තතු දත් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස 1903-1919 කාලයේ කටයුතු කළ චාර්ල්ස් හාර්ට්ලි (Charles Hartley) මේ ස්ථානයේ යළි 1912 වර්ෂයේ දී ගවේෂණයක් කළේය.   
බණ්ඩාරවෙල නගරය යාබදව අදටත් පල්ලියකන්ද යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ වර්තමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි කොටසේ කුඩා කඳු ගොඩැල්ලක් මත ඔහු පර්​ෙ‌ය්ෂණ කැණීමක් සිදුකරන ලදී. එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ පළමු ප්‍රාග් ඓතිහාසික පර්​ෙ‌ය්ෂණ කැණීම ලෙස පිළිගැනෙයි. මීටර 30ක් දිග පළලින් යුතු කොටසක ඔහු කරන ලද කැණීමේ දී විශේෂ ශිලා මෙවලම් රැසක් සොයා ගැනීමට හැකියාව ලැබිණි.   


ඒවා අතර ඉතාමත් කුඩා ශිලාමය මෙවලම් රැසක් තිබූ අතර, විවිධ ජ්‍යාමිතික හැඩ ඒවායේ දක්නට ලැබිණි. මේ කුඩා මෙවලම් හැඳින්වීමට ඔහුට ඒ වනවිට නිශ්චිත පාරිභාෂික වචනයක් තිබුණේ නැත. ඒ නිසා එතෙක් ‍ලොව සොයාගෙන තිබූ ශිලා මෙවලම්වලට වඩා කුඩා මේ මෙවලම් “පිග්මි මෙවලම්” (Pygmy Tools) ලෙස හඳුන්වන ලදී. ලෝකයේ ප්‍රාග් ඓතිහාසික කැණීම්වල ප්‍රාරම්භක අවදියක් වූ එකල මේ ගැන වැඩි අවබෝධයක් ද පර්​ෙ‌ය්ෂකයන්ට තිබුණේ නැත.   

 

ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවන ආකාරය

 


නමුත් මෙහි වැදගත්කම තේරුම් ගත් චාර්ල්ස් හාර්ට්ලි එම ස්ථානයෙන් සොයාගත හැකි වූ උපරිම විශාලත්වය සෙන්ටිමීටර දෙකක් පමණ වන මේ ජ්‍යාමිතික හැඩ සහිත කුඩා ශිලා මෙවලම් 1,000කට වැඩි ප්‍රමාණයක් හැඩතල අනුව වර්ගීකරණයක් ද කරන ලදී. ඉන් පසු ඒ ශිලා මෙවලම් එකතුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යවා එහි තැන්පතුවක් බවට පත්කරන ලදී. එම විශ්වවිද්‍යාලයේ ඓතිහාසික අංශයේ තැන්පත් කර ඇති මේ ශිලා මෙවලම් භාවිත කළ මානවයන් එදා පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින් දැන සිටි පුරාණ ශිලා යුගයට හෝ නව ශිලා යුගයට අයත් නොවූ කොට්ඨාසයක් බවත් තේරුම්ගත් පර්​ෙ‌ය්ෂකයෝ, මේ මෙවලම් සොයාගත් බණ්ඩාරවෙල නමින් පිග්මි මෙවලම් භාවිත කළේ බණ්ඩාරවෙල සංස්කෘතිය නම් යුගයක සිටි මිනිසුන් පිරිසක් බව තීරණය කළහ. ඒ සම්බන්ධ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ වාර්තා පවා ලියා එය සනාථ කළහ.   


ඒ නිසා පුරාවිද්‍යාවට සහ මානව විද්‍යාවට “බණ්ඩාරවෙල සංස්කෘතිය” නම් නව පරිච්ඡේදයක් එක් කෙරිණි.   
ඉන් වසර කිහිපයකට පසු මේ බණ්ඩාරවෙල සංස්කෘතියේ හමු වූ මෙවලම්වල ජ්‍යාමිතික හැඩ සහ ඒවා ප්‍රයෝජනයට ගනු ලැබ ඇති ආකාරයත්, නිර්මාණය කර ඇති ආකාරයත් අධ්‍යයනය කළ විද්‍යාඥයෝ ඒවා ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෙස නම් කළහ. ලෝකයට ඒ නම එක් වූයේ චාර්ල්ස් හාර්ට්ලි බණ්ඩාරවෙල දී කළ සොයා ගැනීම හේතුවෙනි. මෙවැනිම ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෝකයේ තවත් රටවල් රැසකින් බණ්ඩාරවෙල සංස්කෘතික කාලයට සමාන යුගයේ දී හමුවීම හේතුවෙන් මෙය මානව වංශකතාවේ තවත් එක්තරා පරිණාමීය යුගයක් බවට සනාථ කළ පර්​ෙ‌ය්ෂකයෝ “බණ්ඩාරවෙල සංස්කෘතිය” යනු ලෝකය පුරාම පුරාණ ශිලා යුගයත්, නව ශිලා යුගයත් අතර පිහිටි “මධ්‍ය ශිලා යුගය” ලෙස හැඳින්වූහ. ඒ අනුව “බණ්ඩාරවෙල සංස්කෘතිය” දැන් “මධ්‍ය ශිලා යුගය” ලෙස හැඳින්වේ.   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.   


“මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක්. අද ඒ ගල් ආයුධ එකතුව මුළු ලෝකයේම පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන අය ප්‍රයෝජනයට ගන්නවා. ඒවා නිර්මාණය කර ඇති තාක්ෂණය, හැඩය, භාවිත කළ ආකාරය ගැන පර්​ෙ‌ය්ෂණ කරනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ වැදගත්ම ප්‍රාග් ඓතිහාසික ස්ථානය ලෙස බණ්ඩාරවෙල හැඳින්විය හැකියි. මධ්‍යම කඳුකරයේ අඩි 3,000කට වැඩි උසකින් ප්‍රාග් ඓතිහාසික සාධක හමුවන්නේ හෝර්ටන් තැන්නෙන් සහ මේ ස්ථානයෙන් පමණයි. ඒවා හෙක්ටයාර 20කටත් අඩු භූමියක තමයි අපිට දැනට හමු වී තිබෙන්නේ. ‍මේ නිසා බණ්ඩාරවෙල පල්ලියකන්ද පුරාවිද්‍යාත්මක භූමිය මෙරට පමණක් නොවෙයි ලෝක ඉතිහාසයේම ඉතාමත් වැදගත් ස්ථානයක් වනවා.”   


සරසින් සහෝදරයන් විසින් බිබිල ප්‍රදේශයේ නිල්ගල කරන ලද කැණීම්වල දී මෙරට පළමු ප්‍රාග් ඓතිහාසික මානව සැකිල්ල හමු වී තිබේ. ඉන් අනතුරුව මෙරට මානව විද්‍යාත්මක අධ්‍යයන රැසක නිරත වූ සී.ජී. සෙලිග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් යුවළ ද බණ්ඩාරවෙල ගල් ආයුධ නිරීක්ෂණය කර තිබේ. 1940 දී ඒ. නූන් සහ එච්.වී.වී. නූන් දෙදෙනා ද එම ස්ථානයේ දී පර්​ෙ‌ය්ෂණ පැවැත්වූ අතර “මධ්‍ය ශිලා යුගය” යන වචනය මුල්වරට මෙරට දී භාවිත කරන ලද්දේ ඔවුන් දෙදෙනා විසිනි.   
1978 ආචාර්ය සිරාන් දැරණියගල මහතා මේ භූමිය මායිම් ලකුණු කළ අතර, 1994 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා සහ ආචාර්ය ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ මෙහෙයවීමෙන් ආචාර්ය නිමල් පෙරේරා මේ ස්ථානයේ පර්​ෙ‌ය්ෂණ කැණීමක් කළේය.  


එදා කළ කැණීම සම්බන්ධයෙන් ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කීවේය.   
“අපි එදා කැණීම කළේ වත්මන් කාලගුණ විද්‍යා කාර්යාලය අසල තිබෙන කුඩා කඳුගැටය පාදක කරගෙන. මීටර 10ක් දිග පළල ඇති කුඩා කැණීම් වළක් දැම්මා. සියුම්ව අධ්‍යයනය කළත් පිහිටි පොළොව දක්වා කැණීම් කළේ නැහැ. අපිට ප්‍රාග් ඓතිහාසික තට්ටු කිහිපයක්ම හඳුනාගත හැකි වුණා. මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ එළිමහන් මානව ජනාවාසයක් තිබූ බව පැහැදිලියි. එතැන අපි කාල නිර්ණය කළාම ක්‍රිස්තු පූර්ව 2000ත් 7500ත් අතර කාලයේ ඔවුන් ජීවත් වුණ බව තහවුරු වුණා. ඉතාමත් සංවේදී පස් තට්ටු මෙතැන තියෙනවා. ඒවා ඇත්තටම පසු මානව ක්‍රියාකාරකම් නිසා අවුල් වී ගිය පස් තට්ටු නොවෙයි.”   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉනෝකා බාලසූරිය මහත්මිය මෙසේ කීවාය.   
“මේ භූමිය පුරාවිද්‍යා පනත යටතේ ගැසට් කරලා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා. එලෙස ගැසට් කිරීමට පෙර එම ඉඩමේ ඉදිකර තිබූ ටෙලිකොම් ආයතනයේ ගොඩනැගිලි පමණක් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළත්. අනිත් සියල්ල තිබෙන්නේ රක්ෂිතයට පිටින්. එහි වපසරිය හෙක්ටයාර 6.6ක් වනවා. මේ අතර පසුගිය දිනවල නගර සභාවෙන් යෝජනාවක් ආවා වෙළෙඳ සංකීර්ණයකට යාම සඳහා මාර්ගයක් පුළුල් කිරීමට. ඒ යෝජනාව අනුව මේ භූමියෙන් කොටසක් විනාශ වනවා. එයට ඉඩ දෙන්න බැහැ. පුරාවිද්‍යාත්මකව මේ තරම් වටිනා භූමියක් ආරක්ෂා කළ යුතුයි. මේක ලෝකයේම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශය වැදගත් භූමියක්.”   


මේ සම්බන්ධව අදහස් දක්වන පුරාවිද්‍යා පර්යේෂක සමන් ඇරාගම මහතා මෙසේ කීවේය.   
“මේ භූමිය පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ ක්ෂේත්‍රයට අතිශයින්ම වැදගත් වනවා. තවමත් පර්​ෙ‌ය්ෂණ කැණීම් සිදුකර තිබෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. කඳුකරය ආසන්නව හමුවන ලෙන් ආශ්‍රිත ඇති ප්‍රාග් ඓතිහාසික සාධක පවා පසු කාලීන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අවුල් වෙලා ගිහින්. නමුත් මේ එළිමහන් භූමියේ සෙන්ටිමීටර 50ක් පමණ ගැඹුරින් භූමිය පුරාම වෙනස් වීමකින් තොරව මේ සාධක හමුවෙනවා. ඒවා අතර තිබූ අඟු‍රු යොදාගෙන කාල නිර්ණය කළා. කලින් මේ ස්ථානයේ කැණීම් කරපු කාලයට වඩා දැන් පුරාවිද්‍යාව ගොඩක් දියුණු වෙලා. ඉතින් ඉදිරි කාලයේ දී වඩාත් දියුණු පර්යේෂණයක් සිදු කරන්න නම් අපි මේ භූමිය බේරාගත යුතුයි.”   


බණ්ඩාරවෙල නගරය වඩාත් දියුණු නගරයක් බවට පත්කිරීමට නම් ඒ සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව සත්‍යයකි. නමුත්, ඒ සඳහා ලෝක මානව ඉතිහාසයේ ඉතාමත් වටිනා කඩඉමක් තැබූ පුරාවිද්‍යාවට “බණ්ඩාරවෙල සංස්කෘතිය” නම් පාරි‍භාෂික වචනයත් එක්කළ මෙවන් භූමියක් විනාශ කළ හැකි ද යන්න ගැටලු‍වකි.   

 


පුරාවිද්‍යා රක්ෂිතයක් කිරීම හේතුවෙන්ම මෙතෙක් ආරක්ෂා වී තිබූ මේ අද්විතීය ස්ථානය අනාගතය වෙනුවෙන් තවදුරටත් සුරක්ෂිත කළ යුතුය. මානව වංශකතාව අධ්‍යයනය කරන්නන් පමණක් නොව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සිසුන්ට සේම පාසල් සිසුන්ටත්, ලොව පුරා විසිරී සිටින සංචාරකයන්ටත් පුරාවිද්‍යාවේ අපූර්වත්වය දැකගත හැකි භූමියක් ලෙස මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතුය යන්න පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.   


මේ නිසාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.   
එහිදී මේ භූමියේ කොටසක් මාර්ගයක් සඳහා විනාශ වීමට ඉඩ නොදී එය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරමින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර තිබේ.  

 

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර