- 1976 දී වික්ටර්ගේ ‘ස’ ප්‍රසංගය බලන්න යාපනේ ජනතාව විශාල වශයෙන් ආවා
තමන් ජීවත්වන අර්ධද්වීපය තුළ අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වීම යාපනය ජනතාවගේ හදවත් තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රාර්ථනාවක් විය. ඔවුන්ගේ එම ප්‍රාර්ථනාව මල්පල ගැන්වූයේ එක්දහස් නවසිය හැත්තෑහතර වසරේදීය.
ඒ, එවකට අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ් ගේ නියෝගයෙන්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනයේ මණ්ඩපය පිහිටුවීමෙනි.
පසුව එක්දහස් නවසිය හැත්තෑනවයේ ජනවාරි පළමු වැනි දින එය නිදහස් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්ව ‘යාපනය විශ්වවිද්‍යාලය’ යනුවෙන් හැඳින්වෙන්නට විය.
එය ඉතාමත් කුඩාවට වූ ආරම්භයක් විය.
විශ්වවිද්‍යාලය පැවැත්වීම සඳහා තෝරාගත් ගොඩනැගිලි පිහිටා තිබුණේ තින්නවේලිහි රාමනාදන් පාරේය. ඒවා කලින් පාසල් ගොඩනැගිලි සඳහා භාවිත වූ ඒවා විය. එක්දහස් නවසිය විසිඑකේදී සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කර පවත්වාගෙන ගියේ එම ගොඩනැගිලි පරිශ්‍රයෙහිය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති එල්.එච්. සුමනදාස, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපති වශයෙන් ආචාර්ය කේ. කයිලාෂපති පත්කළේය. එම පත්වීම සිදුකරන විට ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙමළ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානි වශයෙන් කටයුතු කරමින් සිටියේය. ආචාර්ය කේ. කයිලාෂපති යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වශයෙන් එම වසරේ අගෝස්තු පළමු වැනි දින වැඩ භාරගත්තේය. එහි රෙජිස්ට්‍රාර්වරයා වූයේ කේ.පී.ජේ. විජේසුන්දර ය. ඔහු එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි මහාචාර්ය පී. කනගසභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාල යාපනය පීඨයේ ප්‍රථම අංශ ප්‍රධානීන් වශයෙන් පත්කෙරුණි.
කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලට පසු ලංකාවේ ස්ථාපිත වූ හයවැනි විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය විය.
තින්නවේලි, රාමනාදන් පාරේ පීඨ තුනක් පැවැත්විණ. ඒ කලා සහ කළමනාකරණ අධ්‍යයනය, වාණිජ විද්‍යා පීඨය. වෛද්‍ය සහ කෘෂිකර්ම පීඨ අඩියාපනම් පාරේ පිහිටි ගොඩනැගිලිවල පැවැත්විණි.
අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ් ගේ ආරාධනයෙන් සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක අගමැතිනිය විසින් 1974 ඔක්තෝබර් මස හතරවැනි දින පස්වරු 2.25ට යෙදුණු සුබ නැකතින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨය නිල වශයෙන් විවෘත කරන ලදී.
විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ සිංහල අංශය ආරම්භ වූයේ එක්දහස් නවසිය හැත්තෑපහේදීය. ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ප්‍රධානත්වයෙනි.
උපාධිය සමත් වූ සුනිල් ආරියරත්න ඒ කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.
“ඒ කාලේ පුවත්පත් දැන්වීමක් පළ කරලා තිබුණා යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට කථිකාචාර්යවරුන් බඳවා ගන්නවාය කියලා. මාසික පඩිය සඳහන් කරලා තිබුණේ රුපියල් හත්සිය පනහයි. මාත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා.” යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කළ ප්‍රථම කථිකාචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයකු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අතීත මතකය සිහිපත් කරමින් පැවැසීය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය සඳහා කථිකාචාර්යවරුන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ කොළඹදීය. ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සුනිල් ආරියරත්න යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් තෝරා ගැනිණි. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සඳහා තෝරාගත් අනික් කථිකාචාර්යවරයා වූයේ ධර්මසේන පතිරාජ ය.
මහාචාර්ය සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජ ගේ සහභාගිත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ආරම්භ විය.
“තින්නවේලි වගේම වඩුකෝට්ටෙයි පිහිටි පීඨ සඳහා භාවිත කෙරුණේ පාසල් ගොඩනැගිලියි.” මහාචාර්ය සුනිල් ආරියරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ භෞතික ස්වරූපය විස්තර කරමින් පැවැසීය.
කච්චේරි නල්ලූර් පාරේ පිහිටි ගෙයක්, විශ්වවිද්‍යාලය මගින් ලබාගෙන මෙම තිදෙනාට නේවාසික පහසුකම් සලසා තිබුණි. කාමර තුනක්, මුළුතැන්ගෙයක්, සාලයකින් සහ ඉදිරිපස ආලින්දයකින් නිවස සමන්විත විය. නිවසට අවශ්‍යය ඇඳ, පුටු, මේස, අල්මාරි සහ මුළුතැන්ගෙය උපකරණ ද විශ්වවිද්‍යාලයෙන් සපයා තිබුණි.
මේ තිදෙනා ලෙල්ලමට ගොස් මාළු මිලදී ගත්හ. එකල යාපනය වෙළෙඳපොළේ ලූනු මල් කොළ ඉතාමත් ලාභය. ඔවුන්ගේ සෑම කෑම වේලකටම පාහේ ලූනු මල් කොළ නම් වැරැදුණේ නැත.
කච්චේරි නල්ලූර් පාරේ ඔවුන් නේවාසිකව සිටි නිවසේ සිට රාමනාදන් පාරේ පිහිටි විශ්වවිද්‍යාලයට ඔවුන් ගමන් කළේ නල්ලූර් කෝවිල අසලින් වැටී තිබූ කෙටි මාර්ගයක් ඔස්සේය.
එම දිනපතා ගමන සඳහා ඔවුනට තිබූ එකම වාහනය බයිසිකලයක් පමණි.
බයිසිකලයේ ඉස්සරහ පොල්ලේ මහාචාර්ය සුචරිත ගම්ලත් වාඩිවෙයි. පිටුපස ලගේජයෙහි මහාචාර්ය සුනිල් ආරියරත්න වාඩිවෙයි. මේ දෙදෙනාගේම බර දරාගෙන බයිසිකලය පදින්නේ ධර්මසේන පතිරාජ ය.
උදේ හවස මේ තිදෙනා බයිසිකලයේ ‘ඩබල් දමාගෙන’ යන එන ගමන එකල අපූරු දර්ශනයක් විය.
“ඒ කාලෙ මට ඒ තර්ටි කාර් එකක් තිබුණා. නොම්මරය EL 6775. අපේ අයියලා ඔය කාර් එක මට යාපනයට ගෙනැත් දුන්නා.” මහාචාර්ය සුනිල් ආරියරත්න පැවැසීය.
එයින් පසුව තුන්දෙනාට ‘ඩබල් දමාගෙන’ බයිසිකලයේ යෑමට සිදු වූයේ නැත.
“යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ සහ හින්දු සංස්කෘතිය පිළිබඳව ඉගැන්වීමට හිටියේ අප්‍රමාණ දැනුමැති බුද්ධිමතුන්. එහි පීඨාධිපති ආචාර්ය කේ. කයිලාෂපති දෙමළ සාහිත්‍ය කෘතීන් කිහිපයක්ම සකස් කළ කෙනෙක්. තමිල්නාඩු ප්‍රාන්තයේ පවා ඔහුගේ ප්‍රඥාව පිළිබඳව ගෞරවයක් තිබුණා. කුරුකල් කියලා පඬිවරයෙක් හිටියා සංස්කෘත පිළිබඳ පුළුල් දැනුමක් තියෙන.” මහාචාර්ය සුනිල් ආරියරත්න මේ අගයන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මුල් කාලයේ සේවය කළ බුද්ධිමතුන් පිළිබඳවය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉගෙනුම සඳහා මුල් කාලයේ පැමිණි සියලු දෙනාම දකුණේ සිංහල සිසුහු වූහ. ඒ, සියයට ආසන්න පිරිසක් විය.
“ඒ කාලෙ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් තිබුණේ නැහැ. මේ දකුණේ සිංහල සිසුන් සියලු දෙනාම නවාතැන් ගත්තේ දෙමළ ජාතීන්ගේ නිවෙස්වල. එම දෙමළ පවුල් මේ ළමයින්ව හොඳට බලාගත්තා. ඔවුන්ගේ ලෙඩ දුක්වලදී හොයලා බලලා සත්කාර කළා. ඒ මාසයට දෙන නේවාසික කුලිය හින්දා නොවෙයි, සත්භාවයෙන්මයි ඔවුන් ඒවා අපේ සිංහල ළමයින්ට කළේ.” මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ මැකී ගිය දෙමළ සිංහල සුහද සම්බන්ධතාවය පිළිබඳවය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු අනෙක් දෙදෙනා වාසය කළ නිවසට යාබද නිවසේ වාසය කළේ බාලසිංහම් නමැති මහතෙකි. ඔහු විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිවරයා විය.
“බාලසිංහම් ගෙදර හැදෙන සමහර දෙමළ ආහාර අපිටත් දුන්නා. වඩේ, මී කිරි, සව් කංජි බාලසිංහම් ගෙදරින් අපට නිතරම ලැබුණා.”
“පරාක්‍රම කොඩිතුවක්කු ගේ එක කවි පන්තියක් තියෙනවා ‘දෙවියන්ගේ මිනිස්සු’ කියලා. ඒකෙන් කියැවෙන්නේ යාපනයේ මිනිස්සුන්ගේ දේව භක්තිය ගැන. යාපනයෙහි තරම් වන්දනා ස්ථාන අතිවිශාල ප්‍රමාණයක් තිබෙන ප්‍රදේශයක් ලංකාවේ වෙන කොහේවත් නැහැ. අපි පදිංචිව සිටි ගෙදර ඉඳලා විශ්වවිද්‍යාලයට යන පාරේ නල්ලූර් කෝවිල හැරුණාම තව කෝවිල් පහළොවක් විතර තිබුණා.” යාපනය මිනිසුන්ගේ වන්දනා ස්ථාන පිළිබඳව මහාචාර්යවරයා විස්තර කළේය.
“නල්ලූර් කෝවිලේ උත්සව සමයට මුළු යාපනය ප්‍රදේශයම විචිත්‍රවත් වෙයි. විදේශගතව සිටින බොහෝ දෙනා ද මෙම ආගමික උත්සවයට සහභාගි වීමට තමන් උපන් ගම්බිම් කරා එයි. කොළඹ අතිශය බලවත් පුද්ගලයින් සුදු වේට්ටියක් විතරක් ඇඳගෙන, උඩු කය නිරුවත්ව, නල්ලූර් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වෙන්නෙ මහා භක්තියකින්.” මහාචාර්ය සුනිල් ආරියරත්න, දෙවියන් ගැන යාපනය මිනිසුන්ගේ හිත් තුළ වූ භක්තිය ගැන එසේ කීය.
එම අවධියේ යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ සහ සිංහල සිසුහු සුහදතාවයෙන් කටයුතු කළහ. යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සියලුම සිසුන් දෙමළ භාෂාව පිළිබඳව ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක් ලබාගත්හ. ඔවුනට කැඩිච්ච දෙමළෙන් තම සහෝදර සිසුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකි විය. සිංහල සිසුවෝ දෙමළ යහළුවන් සමග නාගදීපය වන්දනාවේ ගියහ. වෙසක් උත්සවයට දන්සල් දුන්හ.
“එක්දහස් නවසිය හැත්තෑහයේදී අපි වික්ටර් රත්නායකගෙ ‘ස’ ප්‍රසංගය යාපනයේ කළා. වීරසිංහම් ශාලාවේ ෂෝස් දෙකක් තිබුණා. දෙකම හවුස් ෆුල්.” සුනිල් ආරියරත්න පැවැසුවේ යාපනයේ පැවැත්වූ ‘ස’ ප්‍රසංගය නැරැඹීමට පැමිණි අයගෙන් සියයට අනූනවයක්ම දෙමළ රසිකයන් බවය.
වික්ටර් රත්නායක ගායනා කරනා සිංහල ගීතවල දෙමළ අදහස, ගීතය ගායනා කිරීමට පෙර මෙහිදී විස්තර කෙරිණ. ඒ නිසා දෙමළ රසිකයන්ට ද තරමක් දුරට හෝ අවබෝධ කරගෙන රසවිඳීමට හැකි විය.
වික්ටර් රත්නායකගේ ‘නීල නුවන් යුගින් බලන් මීනා’ ගීතය රසිකයින් වඩාත් ඇලුම් කළ ගීතයක් විය.
මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන ලෙස යාපනයේ ඇති ඉතාමත් කුඩා හෝටලයක් පවා අතිශයින් පිරිසිදු විය. එ් හෝටල් අතරින් ‘රිකෝ’ ඔවුන් තිදෙනා නිතරම ගොඩවැදුණ එකක් විය. උදේ, දවල්, රාත්‍රී තුන් වේලටම එහි අලෙවි කරන්නේ ඉඳිආප්ප පමණය. එළු මස් හොද්ද, පොල් සම්බෝලය සහ කිරි කෝපි කෝප්පයකින් සප්පායම් වීමට රුපියල් තුනක් වියදම් වුණේ නැත.
එකල නිවාඩු කාලයට, මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙදර එන විට යාපනයෙන් ‘පනම් පතුරම්’ නොවරදවා රැගෙන ආවේය. එය තල්වලින් සාදන කැවුම් වර්ගයකි. ඒ සමඟම තෝලගට්ටි ගොවිපොළේ රසම රස නෙල්ලි යුෂ බෝතලයක් දෙකක් ගෙන ඒමට ද අමතක කළේ නැත. සැවැන්දරා විජේනි පත් ද ඔහු යාපනයෙන් ගෙදර ගෙන ගියේය.
තමන් යාපනය විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවේ නැති නම් තමා අතින් සරුංගලය වැනි චිත්‍රපටයක් බිහිවීමට ඉඩක් නොවුණු බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි.
“මම යාපනය විශ්වවිද්‍යාලයේ වැඩ කරන කාලයේ ගාමිණී ෆොන්සේකාව මුණගැහෙන්න ගියා, මගෙ චිත්‍රපටියක රඟපාන්න එනවා ද කියල අහන්න. එතකොට ගාමිණී මට කිව්වා එයාගෙ කතා සංකල්පයක් අනුව ධර්මසිරි ගමගේ ලියපු කතා පිටපතක් තියෙනවා. සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් ඒක නිෂ්පාදනය කරන්න හිටියා. නමුත් බැරිව ගියා. ඒක කරනවා නම් රඟපාන්න එන්නම් කියලා.” මහාචාර්ය සුනිල් ආරියරත්න විස්තර කරන්නේ තමන් අධ්‍යක්ෂණය කළ ‘සරුංගලය’ චිත්‍රපටය නිර්මාණය වීමට පදනම වැටුණ ආකාරය පිළිබඳවය.
සරුංගලය චිත්‍රපටයේ හරි අඩක්ම කැමරාගත වූයේ යාපනේදීය. කැමරා කණ්ඩායම නතර වූයේ යාපනයේ තිබූ ජාතික චිත්‍රපට සංස්ථා සංචාරක බංගලාවේය. ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, ෆරීනා ලායි නවාතැන් ගත්තේ යාපනය සුභාෂ් හෝටලයේය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අනික් කථිකාචාර්යවරයා වූයේ ධර්මසේන පතිරාජ ය.
“මම ඒ කාලෙ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන සාහිත්‍යය සහ නාට්‍ය කලාව පිළිබඳව සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ. මට සුචරිත ගම්ලත් ආරාධනය කළා යාපනය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සිංහල අංශය පටන් ගමු කියලා.” ධර්මසේන පතිරාජ යාපනය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ එලෙසිනි.
යාපනයට එන ධර්මසේන පතිරාජ සහ මහාචාර්ය සුචරිත ගම්ලත් මුලින්ම නවාතැන් ගන්නේ යාපනයේ පිහිටි ජාතික රූපවාහිනියේ සංචාරක බංගලාවේය. කච්චේරි නල්ලූර් පාරේ නිවසට එන්නේ එයට පසුවය.
“අපි නතර වුණු නිවස බාලසිංහම් කියන නීතිඥවරයකුට අයිති වෙලා තිබුණේ. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ සර් බාලසිංහම් ගේ පුතෙක් තමයි ඒ නීතිඥවරයා. බාලා තම්පෝ, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා යාපනයට ආවාම ඒ ගෙදරයි නතර වෙන්නේ කියලා බාලසිංහම් කියනවා.” ධර්මසේන පතිරාජ ඔවුන් නවාතැන් ගත් නිවස පිළිබඳව විස්තර කරමින් පැවැසීය.
ඔවුන් නේවාසිකව සිටි නිවසේ ආහාර පිළියෙල කිරීම සඳහා මහාචාර්ය සුචරිත ගම්ලත්, කැලණියේ සිට සේනානායක නම් පුද්ගලයකු කැඳවාගෙන පැමිණියේය.
“යාපනයට එන්න ඉස්සරත් මට දෙමළ පුළුවන්. අපේ ආච්චිට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. මම පුංචිම කාලෙ පේරාදෙණිය ශ්‍රී භාරතීය පිරිවෙනේදී මට නම් පොත, බුද්ධගජ්ජය මුලින්ම කියලා දුන්නෙ දෙමළ හාමුදුරු නමක්.” ධර්මසේන පතිරාජ දෙමළ භාෂා දැනුම ලැබුවේ එසේය.
එම අවධියේ දෙමළ ජනතාව සමග ඔවුහු ඉතාමත් සමීපව කටයුතු කළහ. විශ්වවිද්‍යාලයේ දෙමළ ආචාර්යවරු ඔවුන්ගේ පවුල්වල උත්සවවලට පවා මේ සිංහල පිරිසට ආරාධනා කළහ.
එක්දහස් නවසිය හැත්තෑහයේදී ධර්මසේන පතිරාජ යාපනයේදී ‘පොන්නමනී’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඒ දෙමළ සුහදතාව නිසාය. ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම දෙමළ කලාත්මක චිත්‍රපටය ලෙස ‘පොන්නමනී’ සැලකෙයි. ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙය වූ එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ඩබ්ලිව්. ජයසිරි ය. නළු නිළියන් වැඩිදෙනා යාපනයේ දෙමළ ජාතිකයෝය.
“යාපනය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් දෙකක්ම ඒ කාලෙ උපාධිය ලබාගත්තා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජූඩ් පෙරේරා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.” ධර්මසේන පතිරාජ පැවැසුවේ මුල් කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අස්වැන්න පිළිබඳවය.
“අපි අවුරුදු පහක් බොහෝම සුහදතාවයෙන් යාපනයේ හිටියා. දෙමළ අන්තවාදීන් හිතුවා විශ්වවිද්‍යාලය තුළ තියෙන මෙම සිංහල දෙමළ සුහදතාව ඔවුන්ගේ අන්ත ජාතිවාදී කටයුතුවලට විශාල තර්ජනයක්ය කියලා. ඒවායේ ප්‍රතිඵලය වූයේ එක රැයකින් අපි කොළඹට පටවපු එක.” යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරුන් සහ සිසුන් යාපනයෙන් බැහැර වීම මහාචාර්ය සුනිල් ආරියරත්න විස්තර කළේ එසේය.
පීටර් කැනියුට් පෙරේරා