දින 42ක් හිමාලයේ අතරමංව - 2
ඒ නත්තල් දිනයයි. නත්තල් කෑම මේසය ඔහුගේ සිත තුළ මැවී පෙනෙයි. කළුකුම් මසින් හා රස මසවුළු වලින් සමන්විත වූ දිවා භෝජනය පිළියෙල කරමින් තම සොයුරිය මව සමඟ ප්‍රීතිමත් කතා බහේ යෙදෙමින් ඇති. ඒ අතරේදී නිදන බෑගයේ කාමරයට එකතු කර ගත් හිමකැට දියවුණු ජලය තමන්ගේ එකම ආහාරය වී තිබෙන බව ඔවුන් දන්නවා නම් මේ අනුවණ ගමන ඇවිත් නොසිටියා නම් තමනුත් ඔවුන් හා එක් වී නත්තල් සමරනවා නොවේද?
මේ අයුරින් සෑම දිනකම පතිත වන හිම කැට එකතු කර ගන්නා ජේම්ස් ඒවා දිය වී එකතු වන ජලයෙන් තම කුසගිනි නිවා ගන්නට පුරුදු වී සිටියේය. ඉන් පසුව ඔහු තම අත පය දිග අරිමින් ව්‍යායාම් කළේ තම සිරුර දුබල වී එන බව දැනුනු නිසාවෙනි.
තමා ගොදුරු කරගන්නට මාරයා එනතුරු කාලය, තම ඔලොගුවේ දමාගෙන ආ පොත් දෙක ඔහු නැවත නැවතත් කියවා දමමින් කාලය ගෙවා දමන්නට විය. ඔහු හොඳ කියවන්නෙකි. ‘‘ග්‍රේට් එක්ස්පෙක්ට්‍රේෂන්ස්’’ කියවා අවසන් වීමටද ආසන්නය. ඒ අතරතුරේ දී ඔහු ගෙනැවිත් තිබූ හිමාල තරණය පිළිබඳ ලියැවුණු මාර්ගෝපදේශ පොත් පිංචද කියැවීමට අමතක නොකළේය.
බොහෝ විට මධ්‍යහ්නයේදී ඔහු නිදා ගනුයේ ශීතලය අඩු නිසාය. ඒ අතරතුරේ සමහර දිනවලදී ඔහු නොයෙකුත් සිහිනද දකී. දිනක් ඔහු තම නිවසේ කෑම මේසයේ අසුන්ගෙන තම පවුලේ සාමාජිකයින් සමඟ සතුටු සාමිචියේ යෙදෙමින් ආහාර ගන්නවාද දිටීය. සවස් කාලය එළැබී ආලෝකය මඳින් මඳ වියැකී යනතුරුම ඔහු තමා ළඟ තිබෙන කෘතීන් දෙක නැවත නැවත කියවයි. දැන් ඒවායේ පිටුද දිය වී යන්නට ආසන්නය. ඉන්පසුව එළබෙනුයේ දැඩි හිම පතනය හා එක් වී ගලා එන ශීතලය මුසු වූ සුළඟයි. සිරුරේ ඇට මිදුලු ගල් කරගෙන අප්‍රාණික වූ දුර්වල ගතින්, නිදන බෑගය තුළට ගුලිවන ඔහු සුපුරුදු පරිදි තම ආදරණීය දෙමාපියන්, සොයුරිය හා ඇගේ සැමියා සමගින් තම මිතුරන් රැක ගන්නා ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ දෙකොපුල තෙමමින් නෙත් දෙකින් දෝරේ ගලා එන කඳුළු කැට ඔහේ ගලා යන්නට ඉඩ හරිමිනි.
ගත වූ 1991 වර්ෂයට සමුදෙමින් 1992 වර්ෂය මුළුලොවටම එළඹුණේය. අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ජොඈන් හා ඇයගේ සැමියා වන කලුම් ඇයගේ දෙමාපිය නිවෙසට ගිය විටදී, ශෝකීව සිටි ඇගේ පියා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ජේම්ස් ගැන කිසිදු වදනක් කතා කිරීමෙන් වැළකී සිටිනා ලෙසටයි. මම කොහොම දරා ගන්නද.. මට ඉවසන්න බැහැ... මගේ පුතාට වෙච්ච දේ.. යයි කඳුළු වැල් ඔහුගේ කම්මුල් දෙපසින් ගලා ගියේ ඔවුන සැම දෙන දුක්ඛ දෝම්නස්ස සයුරක ගිල්වමිනි. තම දෙමාපියන්ගේ සංතාපය දකින ජොඈන්ට තවත් දරා ගැනීමට නොහැකිය. ගොවිපළේ සියලු කටයුතු පසෙකට දමා, මෙසේ ඔවුන්ගේ දුක් කන්දරව මැද දින දින ඔහේ ගෙවී ගියේය.
එදින ජනවාරි 02 වැනිදායි. එය බ්‍රහස්පතින්දාවක් විය. ඔවුන් සැම කිසියම් ආරංචියක් ලැබේ යයි අපේක්ෂා සහගතව සිටියේ. එහෙත් දවස ගෙවී ගියේ කිසිදු ආරංචියක් නොමැතිවය. ජනවාරි 03 වැනිදා වන විට ජොඈන් හට දැනුණේ තවත් මේරට සිට බලා සිටිය නොහැකි බව හා තම ඉවසීමේ සීමාව, මායිම් පැන ගොස් හමාර බවය.
බ්‍රිස්බේන් හි පිහිටා තිබූ නේපාල තානාපති කාර්යාලය වෙත ඇමතුමක් දුන් ජොඈන් තමනට නේපාලය වෙත යාමට වීසා ලබාගැනීමට අවශ්‍ය බව හා එයට හේතු වූ හද කකියවන තම සොයුරාගේ අතුරුදන් වීම ගැනත් විස්තර කර සිටි අතර එම තානාපති කාර්යාල නිලධාරීන් මේ සම්බන්ධව උදවු ලබාගත යුතු පිරිස ඉක්මණින්ම ඇය වෙත සම්බන්ධ කර දුන්නේ ක්‍ෂනිකව ක්‍රියාත්මක වෙමිනි.
‘‘ඒ අය අතුරුදන් වූ මගේ සොයුරාව සොයා ගන්න මට උදවු කරාවිද?" ජොඈන් බලාපොරොත්තුව පිරි හඬින් විමසා සිටියාය.
‘‘ඔවු.. ස්ථිරවම... නමුත් හොඳම දෙය තමයි පවුලේ කෙනෙක් නේපාලයට ගිහින් ඒ දේවල් සම්බන්ධීකරණය කිරීම’’ එම නිලධාරීහු කාරුණිකව පවසා සිටියහ.
මේ අතරතුරේදී සිත් සනසාලන ශුභදායී ආරංචියක් කත්මන්ඩු හි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වෙතින් ඔවුන් වෙත ගෙන එනු ලැබීය. ඔහු සොයා ගිය ගවේෂණ කණ්ඩායමකට, කැනේඩියානු ජාතික කඳු නගින පිරිසක් හමු ව තිබූ අතර දෙසැම්බර් 30 වැනි දින හිමතීරුවක් අසලදී ජේම්ස් වැනි අයෙකුව දැක ඇති බවත් හා ඔහු කත්මන්ඩු දෙසට ගමන් කරමින් සිට ඇති බවත් ඉන් කියැවින.
එම පණිවුඩය ජොඅෑන් වහා තම මවුපියනට හා දුකෙන් බරව සිටි ගේයි හට දැනුම් දුන්නේ සහනදායි බවකිනි.
එහෙත් තවත් දින ගණනාවක් ගත වී යද්දී එයද මිරිඟුවක් බවට පත්ව ගියේය. ඉක්මණින්ම විසඳා ගත යුතු ගැටලු කිහිපයක් පැන නැගී තිබිණ. තමන්ව සොයමින් ගවේෂණ කණ්ඩායම් යොදවා ඇති බවට ඔහු උපකල්පනය කර තිබුණාට කිසිදු සැකයක් නැත. එසේ තිබියදී ඔහු එම කැනේඩියානුවන්ට කතා නොකළේ ඇයි?
මේ අතරතුරේදී ඔහු සෙවීමේ හුදු පරමාර්ථයෙන්ම තවත් කණ්ඩායම් යොමු කරවීම සඳහා ජොඅෑන් හා ඇගේ සමීපතමයින් තවත් මුදල් නේපාලය වෙත යවන ලදී. ඔහු සෙවීමේ අරමුණින්ම හිමතලය හරහා හෙලිකොප්ටරයක් යැවීමටද කතාබහක් ඇරඹී තිබිණ. මේ අයුරින් අවශ්‍ය දෑ සම්පාදනය වුවද ඔවුන් සැම දෙනාම ද මළවුන් අතරේ ඉන්නා වුන් අයුරකිනි දවස් ගත කළේ.
එම දුංඛදායි සෝබර ගමන යාමට පෙර ජේම්ස් විසින් කත්මන්ඩු සිට තැපැල් කරන ලද ලිපියක් ජොඈන් වෙතට ලැබිණ. තම ආදරණීය සොයුරාගේ සුපුරුදු අත් අකුරු ඇස ගැටුණු විගස එය තම ලයට තුරුළු කරගත් ඇය ඉකිබිඳිමින් හඬන්නට පටන් ගත්තාය.
ලිපිය තමා වෙතට ලැබී කල්පනාවේ නිමග්නව සිට මඳ වේලාවකට පසු ජොඈන් නේපාලය බලා යාමට තීරණය කළාය. ඒ වන විට ඇය හට වීසා ද ලැබී තිබිණි. අධිෂ්ඨානය මුසු හඬින් ඇය තම පියා ඇමතුවාය.
‘‘තාත්තේ මම නේපාලයට යනවා...’’ ඇය කියා සිටියාය. ඇයගේ තීරණාත්මක ස්වරය හඳුනා ගත් පියා, ‘‘එහෙ ගියාම ඔයා හොඳටම පරිස්සම් වෙන්න ඕනැ... ඔයා හිමේ නං යන්න එපා.. ඔයාටත් මොනව හරි වුණොත් අම්මටයි මටයි ඒක දරා ගන්න බැරි වේවි.’’ දුක්බර හඬින් පවසා සිටියේය.
ලබන සතියට...
ස්වර්ණා ජේ. ජයවර්ධන