බැද්දේගෙදර යහෝනිස් ලෙස රඟ පාන්නට සුදත් රෝහණ විසින් කරන ලද ඇරයුම ශ්‍රියන්ත මෙන්ඩිස් කැමැත්තෙන්ම බාර ගත්තේය. ඒ ටෙලි නාට්‍යය පිටපත ලියවෙන්නේ ජයසේන ජයකොඩි මහතාගේ බැද්දේගෙදර නවකතාව ආශ්රයෙන් නිසා පොත ද කියවූයේය. බැද්දේගෙදර යහෝනිස් ලෙස රඟ පාන්නට සුදත් රෝහණ විසින් කරන ලද ඇරයුම ශ්‍රියන්ත මෙන්ඩිස් කැමැත්තෙන්ම බාර ගත්තේය. ඒ ටෙලි නාට්‍යය පිටපත ලියවෙන්නේ ජයසේන ජයකොඩි මහතාගේ බැද්දේගෙදර නවකතාව ආශ්රයෙන් නිසා පොත ද කියවූයේය.
එය බොහෝ ආශාවෙන් රඟ පෑ හැකි ටෙලි නාට්‍යයක් බැව් ඔහුට වැටහිණි. එහෙත් ඔහු ඉදිරියට තැබූ පය නැවතත් පස්සට ගත්තේ චරිතයට අනුව රඟ පාන්නට ඇත්තේ අමුඩය පමණක් ඇඳගෙන බැව් දැන ගත්තාට පසුවය.
“ඒ වෙනකොටත් මම ගුරුවරයෙක් විදියට රාගම පේරලන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරමින් හිටියෙ.. ඒක අපෙ ගම් පළාතෙමයි.. ඒකත් ප්‍රශ්නයක්.. ළමයි මොන වගේ ප්‍රතිචාර දක්වයි ද, කුසුම් මොනවා කියයි ද මේ වගේ ප්‍රශ්න රාශියක් මගේ හිතේ ඇති වුණා.. අපි කළු පාට මිනිස්සුනෙ.. ඉතින් කොහොමද තට්ටම් ප්‍රසිද්ධියේ පෙන්නන්නෙ..? මම සුදත් රෝහණ ළඟට ගිහින් ඇහැව්වා, ඉස්සරහයි පස්සයි දෙපැත්තම එක වගේ වැහෙන්න අමුඩෙ අඳින්න බැරි ද කියලා.. සුදත් රෝහණ පුදුමෙන් වගේ මගෙ දිහා බලලා ඊට පස්සෙ හිනා වෙලා කිව්වා, යකෝ මේක වෙල් අමුඩේ.. මේකෙන් යාන්තමට ඉස්සරහ වැහෙනවා, පස්සා පැත්තෙ මැද නාරටිය විතරක් වැහිලා තට්ටම් එළියෙ තියෙන්න ඕන.. කොඩි වැල් එල්ලුවා වගේ දෙපැත්තම වැහෙන්නෙ නෑ කියලා.. මට දැන් ලැජ්ජයි.. ඒත් කරන්න දෙයක් නෑනෙ.. අමුඩේ අඳින්න කැමති වුණා..”
බැද්දේගෙදර ටෙලි නාට්‍යයේ යහෝනිස් ගැන සිහිපත් කරමින් ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසුවේය.
අතීතයේ පැවති එක ගෙයි කෑමේ චාරිත්‍රය එනම් සහෝදරයන් කීප දෙනෙකු එක බිරිඳක් පාවා ගැනීමේ සම්ප්රදාය පාදක කරගෙන ජයසේන ජයකොඩි මහතා ඒ පොත ලියා තිබේ. එහි යහෝනිස් හා ටිකෝනිස් අයියාමලෝය. ඔවුන් ගේ අම්මා විසින් ඇගේ සහෝදරයාගේ දියණිය ඔවුන්ට බිරිඳ කර දෙනු ලබයි. බැද්දේගෙදර බිරිඳ ලෙස චම්පා ශ්‍රියානිත්, අම්මා ලෙස ට්‍රිලීෂියා ගුණවර්ධනත්, ටිකෝනිස් ලෙස ඉන්ද්‍රජිත් නාවින්නත් රඟ පෑහ.
මේ ටෙලි නාට්‍යයෙ ෂුටින් තිබුණෙ හික්කඩුවේ නාරිගම, ගෝනාපීනුවල, තෙල්වත්ත ආදී ප්රදේශවලය. ටෙලි නාට්‍ය කණ්ඩායම හික්කඩුවේ හෝටලයක නවාතැන් ගෙන සිටියහ.
“පළවෙනි දවසේ නාට්‍යයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා අපිට ඇඳුම් ගෙනත් දුන්නා.. වෙනදට නම් කමිස, කලිසම්, සපත්තු කාමරෙන් බාගයක් විතර පිරෙනවා.. ඒත් එදා තිබුණේ අමුඩෙයි දිය ලණුවයි විතරයි.. මට පුදුමත් හිතුණා.. හිනාත් ගියා.. මේ තරම් සරල, සැහැල්ලු ඇඳුමක් ලෝකේ වෙන කොහෙවත් නෑ නේද කියලත් හිතුණා.. ඔන්න ඉතින් පහුවදා මම අමුඩෙත් ඇඳගෙන කණ්ණාඩියෙන් බලනකොට පශ්චාත් බාගෙ සිතියම්, ඉරි, කඳුපල්ලම් ඕසෙට.. කොළඹින් ගමට ආව ජේත්තුකාර සූරසේනගෙ චරිතය රඟ පාල ජනප්‍රිය වෙලා හිටිය මට ලොකු අපහසුවක් දැනුණා.. ඉස්සර දැන් වගේ නෙමෙයි ටෙලි නාට්‍යයක ෂූටින් කියලා දැන ගත්ත ගමන් මිනිස්සු වට කර ගන්නවා.. ඒ කාලෙ දැන් වගේ පොටෝ ගන්න පහසුකම් නෑනෙ.. ඉතින් හුඟක් දෙනෙක් ඔටෝග්‍රාෆ් ගෙනත් අත්සන් කර ගන්නවා.. හැබැයි ඉතින් අපි අමුඩෙ ඇඳ ගත්තට පස්ස ඒ කවුරුවත් ළඟට ආවෙ නෑ..”
බැද්දේගෙදර වෙනුවෙන් කළ කැප කිරීම ශ්‍රියන්ත අභිරුචියෙන් විස්තර කළේ මා ද සිනා ගන්වමිනි.
එහි අංග රචකයා වූයේ කුමාර ගලහිටියාවය.
“කුමාර අපිව මේක් අප් කරලා ඉවර වුණා.. හැමෝම යනකම් ඉඳලා මම හෙමිහිට කිට්ටු වෙලා ඇහැව්වා මල්ලි පස්සා පැත්ත ටිකක් මේකප් කර ගන්න බැරි වෙයි ද කියලා.. ලෝක පුදුමයක් දැක්කා වගේ මගෙ දිහා බලාගෙන හිටපු කුමාර ඇහැව්වා ඔයාට පිස්සු ද ශ්‍රීයන්ත අයියෙ..? මූණට දාන මේකප් මිසක් පස්ස පැත්තට දාන ඒවා ලෝකේ කොහෙවත් නෑ කියලා.. ඒ වුණාට මගෙ හිතට හරි මදි.. මම මිනිහා ටිකක් එහාටමෙහාට වෙනකම් පඩියක් උඩ වාඩි වෙලා හිටියා.. එයා කාමරේට ගියාම ස්පොන්ජ් එක අරගෙන තට්ටම්වල රවුම් දෙකක් ඇඳ ගත්තා.. ඊට පස්සෙ කාමරේට ගිහින් කණ්ණාඩියෙන් බලනකොට තට්ටම් රෝස පාටයි.. ඒ රවුම් දෙක පොඩ්ඩක් විසිරුවා ගත්තම අර සිතියම්, ඉරි කෑලි ටික යටපත් වුණා.. දැන් ඉතින් හිතට සතුටුයි.. පළවෙනිම දර්ශනේ තිබ්බේ ටිකෝනිසුයි යහෝනිසුයි අමුඩ ඇඳගෙන උදලු දෙකකුත් අරගෙන කුඹුරට යන එකක්.. ටිකක් දුර යනකොට කට් කට් කියලා ඇහුණා.. අපි නතර වුණා..”
බැද්දේගෙදර කැමරාකරණය කරමින් සිටි දයා සූරියආරච්චි අධ්යක්ෂ වෙත ගොස් යමක් කීවේය.
“ශ්‍රියන්ත ඔයාගෙ පස්ස පැත්ත රෝස පාට වුණේ කොහොමද..?” සුදත් රෝහණ විමසුවේ සියල්ලන් සිනා ගන්වමිනි.
“ඔන්න මම නම් ඒ පැත්ත මේකප් කළේ නෑ.. ”
අංග රචකයා වහා නිදොස් වූයේය.
“මමත් මොකුත් කළේ නෑ.. සමහර විට ලැජ්ජා හිතිලා රෝස පාට වුණා ද දන්නෙ නෑ..” ශ්‍රියන්ත කීවේ අවට සිනා හඬ වැඩි කරවමිනි.
“යකෝ.. ලැජ්ජා හිතුණම රතු වෙන්නෙ මූණ මිසක් පස්ස පැත්ත නෙමෙයි.. පළ වෙනි දර්ශනේම කෑවනෙ ඉතින්.. ඉක්මනට මෙයාගෙ පස්ස පැත්ත හෝදලා ගන්න..”
ඔහු කලා අධ්යක්ෂ වූ වෙලේගෙදර රණසිංහට ද අණ කළේය. එතැන එකම සිනා සාගරයක් විණි.
“ලස්සනම වැඩේ කියන්නෙ මේකප් ආටිස්ට් දන්නෙ නෑනෙ මම පස්සා පැත්තෙ ගා ගත්ත ස්පොන්ජ් එක මොකක්ද කියලා.. අපේ සුන්දර නිළියකගේ මූණ හැඩ කරලා තියෙන්නෙ ඒකෙන් ආලේපන තවරලා.. හැබැයි එයා කවුද කියන එක සදාකාලික රහසක්..”
ඔහු කියද්දී මට ද සිනාව නවත්වා ගන්නට නොහැකි විණ.
එහෙත් පසුව අමුඩයට මොන තරම් හුරු වී ද යත් ඔහුට අමුඩය හැඳගෙන ගමේ ඇවිදීමත් සාමාන්‍ය දෙයක් බවට පත් වූයේය. ඒ ගමේදී හමු වූ සංග්‍රහශීලී සුහදශීලී, සුන්දර මිනිසුන් පිළිබඳව ද ඔහු කතා කළේ සෙනෙහසිනි.
‘අපේ වගේ උෂ්ණාධික රටකට අමුඩය මොන තරම් ගැළපෙන සැහැල්ලු ඇඳුමක් ද කියලා ඒක ඇඳගෙන හිටිය කාලේ මම තේරුම් ගත්තා.. ඒත් ඒ රඟ පෑම වෙනුවෙන් හිමි වුණ ඕසීඅයිසී හොඳම නළුවා සම්මානය ගන්න මම වේදිකාවට නැංගේ ෆුල් සූට් ඇඳගෙන..”
ඔහු කීවේ තමාටම සරදම් කර ගන්නාක් බඳුවය.
මේ දිනවල ඔහු සංගීතේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන අතර මගේ ආදරය නාට්‍යයේ සහ ආදර නිම්නය චිත්‍රපටියේ ඉදිරියේදී දැකිය හැකි වනු ඇත. ඔහු රඟ පෑ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ දේවි කුසුමාසන චිත්‍රපටිය ළඟදීම තිරගත වෙන්නට නියමිතය. ඊට අමතරව ශ්‍රියන්ත රඟ පාන රාස්ස පරාස්ස සහ සුබ සහ යස වේදිකා නාට්‍ය ද තවමත් වේදිකාගත වෙන්නේය.
චන්දි කොඩිකාර