බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා


මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙසු සියලු සතුන්ට භෞතික වස්තූන් දැකීම සඳහා මසැස් යුගලයක් ඇති අතර ඒවායේද සුවිශේෂතා පවතින බව ජීව විද්‍යාඥයෝ පවසති. 

මිනිසාට මසැසින් බොහෝ දේ ත්‍රිමාන රූපානුකූලව දැකිය හැකි වුවත් ඇතමුන්ට වර්ණ අන්ධභාවය නිසා සියලුම වර්ණ පැහැදිලිව දැකීමට බාධා ඇතිවේ. කිසියම් වර්ණ පදාසයක් තුළ ඇති එක් වර්ණයක් නොපෙනී යාම වර්ණ අන්ධභාවය ලෙස සැලකේ. 


මිනිසා ස්වකීය මනස සංවර්ධනය කර ගත හැකි සත්ව විශේෂයක් වන හෙයින් පියවි ඇසට හෙවත් මසැසට අමතරව භෞතික ලෝකයේ දකින දේට අමතරව තවත් බොහෝ දේ දැකීමේ ශක්තියක් ඇති කර ගත හැකිය. මිනිස් දිවියේ අග්‍රම ඵලය මනස බවත් එය ශ්‍රේෂ්ඨ බවත් බෞද්ධ දර්ශනයේ දැක්වේ. එය සංවර්ධනය කිරීමෙන් නැණස සහ දිවැස වැනි අප සරලව නොදකින බො​හෝ දේ දැකීමේ ශක්තියක් ඇතිකරගත හැකියි. ආගමික ශාස්තෘවරුන් හා දාර්ශනිකයින් මේ තත්ත්වයට පත්වූ අය ලෙස සැලකේ. අධ්‍යාපන දර්ශනය යනු මනසින් දැකීමයි. සත්‍ය කරා යන සංකල්පීය විග්‍රහය කෙරේ යොමුවූ මානසික ක්‍රියාවලිය දර්ශනය ලෙස සැලකේ. 


මේ අනුව මසැස නොදකින බොහෝ දේ දැකීමේ ශක්තියක් මනසට ඇති අතර කෙනකු මිය ගිය විට මසැස සෙසු ඉන්ද්‍රියයන් මෙන් අක්‍රියව ගියද මනසෙහි වූ ශක්තිය ඒ ආකාරයට අක්‍රිය නොවන බවක් මනෝ විශ්ලේශකයෝ දක්වති. 


ශරීරයෙන් ඉවත්වන මනෝකායෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු අඩංගු පර්යේෂණ රැසක් පෙරදිග මෙන්ම අපරදිග රටවලින්ද නිරන්තරයෙන් වාර්තා වී තිබේ. 
කෙනකු මිය යන විට මනසෙහි පවතින චුති චිත්තය හෙවත් කයෙන් වෙන්වී යන සිතිවිල්ල ඉතා ප්‍රබල බව මෙම පර්යේෂණවල දැක්වෙන අතර ඒ හා සම්බන්ධ වාර්තාද බොහොමයක් තිබේ. 


පුනර්භවය පිළිබඳ සංකල්පය විමසා බැලෙන බෞද්ධ දර්ශනයේද කෙනකු මිය යෑමත් සමග ඇති වන ප්‍රබල චිත්ත ශක්තිය ඊළඟ ආත්මයටද බලපාන බව කියැවේ. මේ නිසාම මියයන මොහොතේ ආසන්න බණ දෙසීමෙන් හෝ තමා කරන ලද පුණ්‍යකර්ම පිළිබඳ පිංපොත කියවීමෙන් ඔවුන්ට සුගතිගාමී උපතකට පදනම දැමීම බෞද්ධ චාරිත්‍ර හා බැඳී පවතී. 


චුති චිත්තයේ හාස්කම් පිළිබඳව කියැවෙන අපූරු අත්දැකීම් ද සමාජය තුළ පවතී. පසුගියදා අපට අසන්නට ලැබුණු එබඳු සත්‍ය සිදුවීමක් මෙසේය.
මාතර නගරාසන්නව පදිංචි වී සිටි ඔහු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. සිය ව්‍යාපාරයට සම්බන්ධ ආයතන රැසක් දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කීපයකම වූ අතර මෙම ව්‍යාපාරික ස්ථාන කරා සිය ලොරි රථ මගින් සේවකයකු සමඟ ඔහු එහි යාම සිරිතක් වශයෙන් සිදුවිය. 


මේ කාලය වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාර්ගික අර්බුද පැන නගිමින් පැවති අවධියක් නිසා ප්‍රදේශය හරහා ගමන් බිමන් යාමේ ගැටළු මතුවෙමින් තිබිණ. එහෙත් ඉන් ඔහුගේ ව්‍යාපාරවලට බාධාවක් සිදුවූයේ නැත. ඒ නිසාම ඔහු තම රියැදුරුත් සේවකයාත් සමඟ නිදහසේ එහි ආගිය අතර වරක් ආයතනික ගැටළුවක් නිසා හදිසියේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට යාමට ඔහු සිදුවිය. 


ඔහුගේ රියැදුරු නොසිටියෙන් තම සේවකයකු සමග තම ලොරි රථය පදවාගෙන දඹුල්ල ප්‍රදේශයට යනවිට පොලිසිය විසින් දින තුනක් දක්වා ත්‍රිකුණාමලයට යාම තහනම් කොට ඇති බවට නියෝගයක් විය. දින තුන එහි රැඳී සිටීමට නොහැකි හෙයින් ඔහු කල්පනා කළේ අනුරාධපුර පූජා නගරයට ගොස් වන්දනා මාන කරගෙන ත්‍රිකුණාමලයට යාමටය. 
මේ බව මාතර නිවසේවූ දරුවන්ට ලියුමකින් දන්වා අනුරාධපුරයට ගිය ඔහු තෙදින ගතකොට ත්‍රිකුණාමලයට යාමට පිටත් විය. 


මේ අතර පසුදින උදෑසන ඔහු ජීවත් වූ මාතර නිවසේ අපූරු සිදුවීමක් විය. ඒ වනවිට නිවසේ සිටි ව්‍යාපාරිකයාගේ බිරිඳ එම සිදුවීම විස්තර කළේ මෙලෙසිනි. 
‘‘එදා උදේම දූල දෙන්නා ඉස්කෝලෙ ගිහිං මම විතරයි ගෙදර හිටියේ. අටට විතර ගෙයි විදුලි සීනුව නාද වුණා. ඒ එක්කම ඒ සීනුව හයි කරපු පෙට්ටිය ඇතුළේ තිබිල යතුරු කැරැල්ලක් බිමට වැටුණා. ඒක ගෙයි සල්ලි, රත්තරං බඩු දාපු අල්මාරියේ යතුරු කැරැල්ල. කලින් දවසේ මේ අල්මාරියේ යතුරු හොයලා අන්තිමට අපි හිතුවේ මහත්තයා ඒක ගෙනියන්න ඇති කියලයි. 


මේ සීනුව නාද කළේ කවුදැයි බලන්න මම එළියට ආවාම ගේට්ටුව ළඟ හාමුදුරු නමක් හිටියා. මම පුටුවකට සුදු රෙද්දදක් දාලා හාමුදුරුවො කැඳවාගෙන එන්න ගියාම ගේට්ටුව ළඟ කවුරුවත් නෑ. වට පිටාවෙ කවුරුවත් පේන්න හිටියෙත් නෑ. 


දූල​ දෙන්න ඉස්කෝලෙ ඇරිල එනතුරු මම මේ ගැන හිත හිතා හිටියේ. දරුවො ගෙට ඇතුළු වෙනකොටම වගේ මාතර පොලිසියේ කොස්තාපල්වරු දෙන්නෙක් ඇවිත් අපට කලබල වෙන්න එපා, මහත්තයගෙ ලොරිය බිම් බෝම්බයකට අහුවෙලා විනාසවෙලා ගිහිං කිව්වා. 


​ලොරියෙ සහායට ගිය සේවකයයි ලොරියයි මුළුමනින්ම කුඩු පට්ටම් වෙලා. මහත්තයගෙ බෙල්ලෙ ලොකු තුවාලයක් තිබිල තියෙනවා. එයත් මිය ගිහිං. 
මට හරි පුදුමයි. අර අල්මාරියෙ යතුරු කැරැල්ල ඒ වෙලාවෙම බිම වැටුණ එක. හරියට ගෙට විසිකරල ගියා වගේ’’ ඇය කතාව නිම කළේ දැඩි සංවේගයෙනි. 
මියගිය ව්‍යාපාරිකයාගේ අවසන් ප්‍රබල සිතිවිල්ල වූයේ මේ යතුරු කැරැල්ල නිවසට ලබාදීම විය යුතු යැයි අපට සිතේ. 


තිහගොඩ
උපසේන ලියනගම