බිල්ලට රතු කුකුළා අරගන්නේ


සියලු භූත දොස් දුරුවී යන්නේ   
බිල්ලට රතු කුකුළා අරගන්නේ   


යකුන්ට අඬගසන විට හා යකුන් එළවා දමනවිට බලි තොවිල් ශාන්තිකර්ම ආදියේදී රතුකුකුළා නැතිවම බැරිය. මහා සම්මත රජ්ජුරුවන්ගේ කාලයේ සිටම පැවත එන්නාවූ සිරිතක් වන යකුන්ට රතු කුකුළු බිල්ල දීම අද දක්වාම පැවත එන්නාවූ සිරිතකි. මේ පිළිබඳ ඉතිහාස කතාව විමසීමේදී එය ඉතා රසවත් සිද්ධිවලින් ගහනවූ එකක් බව පෙනී යයි.   


යක්කු මේ තරම් කුකුළාට ආදරයක් දක්වන්නේ ඇයිද? යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. අපට පමණක් නොව සන්නියකුම් ආදියට කුකුළා ගැනීම යකැදුරන්ටද ප්‍රශ්නයකි. ප්‍රසිද්ධ යකැදුරු මහතුන්ගෙන් ඒ පිළිබඳව විමසූ විට ලැබෙන පිළිතුර වන්​නේ එය මහ සම්මත නිරිඳුගේ කාලයේ පටන් පැවත එන සිරිතක් බවයි. යකුන් එළවීමේදී බිල්ලට ගන්න කුකුළා හොඳ පෘෂ්ටිමත් සතෙකු විය යුතුය. එසේම කරමල හොඳින් තිබිය යුතුය. යකුන්ට බිලි පුදදීම සඳහා සැවුලන් නිර්දේශ කරන ලද්දේ ඔඩ්ඩිස රුසිවරුන්ය.   


අද වනවිට කුකුළා බලි බිලිවලට පමණක්ම නොව මාංශ පරිභෝජනයේදී නැතිවම බැරි සතකු බවට පත්ව ඇත. දල වශයෙන් දිනකට ලක්ෂ පහත් දහයත් අතර ප්‍රමාණයක කුකුළන්ගේ බෙලි කැපේ. ඒ මිනිස් පරිභෝජනය සඳහාය. නමුත් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ ආදී භූත බිලි සඳහා ගන්නේ ඉතාමත් සීමිත කුකුළන් ප්‍රමාණයකි. අද බලි බිලිවලට වඩා කුකුළන් පණදෙන්නේ මිනිසුන් වෙනුවෙන්ය. අපේ ජීවන ඉතිහාස කතාව විමසා බැලීමේදී වසර දහස් ගණනක සිට මිනිසා සමග ළංව ජීවත්වන සතුන් පිළිබඳව මානව විද්‍යාඥයන් කරුණු පෙන්වාදී ඇත. බල්ලා, බළලා, හරකා, එළුවා, කුකුළා යන සතුන් එදා සිටම මිනිසුන් ඇසුරේ ජීවත්වූ සතුන්ය. ඉනුත් කුකුළා ඔරලෝසුව නැති අවධියේ මිනිසාට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වූ සතාය. 

 
පුරාතන යුගයේදී සුබ කටයුතු සඳහා හිමිදිරි උදයේ සූදානම් වනවිට කුකුළා විසින් කරනු ලබන වේලාව දැනුම්දීම ඉතාමත් වැදගත්ය. ඒ මැදියම හා අළුයමත් හිමිදිරියේදීත් හඬලෑමයි. මේ හඬලෑම් එකල මිනිසුන් වෙලාව දැනකියා ගැනීම සඳහා උපයෝගී කරගති. අපේ මුතුන් මිත්තන් කුකුළාට සැලකුවේ ඉතාමත් ආදරයෙනි. කන්ට බොන්ටදී ඌට වෙනම නි​ෙවසක්ද තනා කලවැද්දන් හෝතඹුවන් ආදී සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒ කුඩා නි​ෙවස ගස් දෙකක එල්ලා තැබුවේ කටුකම්බිවල උදව් ආධාර ඇතිවයි. 

 
එදා හැම ගෙදරකම වගේ කුකුළෙක් දෙන්නෙක් හදාගත්තේ මේ වුවමනාකම් පිරිමසා ගැනීම සඳහාය. සමහර විට ආදරයට හදන කුකුළාට නම් පවා දමා තිබුණි. ඩිංගා, චූටා, දිගා, පෙඳකොටා ආදී නම් එකල කුකුළන් සඳහා භාවිතා කළ නම්ය. සමහර අය කුකුළාගේ පාදයේ කුඩා මිනිගෙඩියක් රඳවා තිබුණේ ඌ ඉන්නා දිහා දැනගැනීම සඳහාය. එදා කුකුළන්ට අපේ අය එතරම්ම ආදරය කළා.   


අප මෙහි මුලින් සඳහන් කළ පරිදි අරුණට පළමුව නැගිට වැඩ ඇරඹීම කුකුළාගේ සිරිතයි. එසේම පැරණි උදවිය කුකුළාගේ හඬලෑම ජය සංකේතයක් ලෙසට පිළිගත්හ. ගමනක් පිටත්ව යනවිට යම් වැඩක් ආරම්භ කරන විට හා නැකැත් වේලාවකදී ඉදිරියටම විත් කුකුළෙක් හඬලෑවේ නම් එය ඉතාමත් සුබ ය. කුකුළාගේ පාදයේ උගේ ආරක්ෂාව සඳහා උල් කටු දෙකක් පිහිටා ඇත. මේ නිසා ඌට සරණවී යන නමද භාවිත වේ.   
දිවි නොතකා යුධ වැදීමත් හිරුට පළමු අවදිවීමත් ලද දේ සිය ඥාතීන් සමග බුදීමත් සිය දිවි දෙවැනි කොට බිරිඳ ආරක්ෂා කිරීමත් යන ගුණාංග සතර කුකුළා සතුව ඇති බව පැවසුවේ කෞටිල්‍ය හෙවත් චාණක්‍ය පඬිවරයා ය.   


යුද්ධඤ්ච ප්‍රාතරුත්ථානං - භෝජනං සහ බන්ධුහිඃ   
ස්ත්‍රියමා පද්ගතාං රක්ෂේච්චතු ශික්ෂතෙ කුක්කුටාත්   


චාණක්‍ය ශතකය 72 ශ්ලෝකය   


චාණක්‍ය පඬිවරයා මෙසේ දකින්නේ අප මේ කතා කරන කථානායකයා වූ කුකුළාගේ ඇති ගුණයන්ය. ඒත් අප අතර ඇති එක් කතාවකින් කුකුළාගේ කරමලය පිළිබඳව සෝපහාසය දක්වා ඇත. දෙවේලේ දකින කුකුළාගේ කරමලත් සුදුයිලු. මේ ගමේ අය කියන කතාවකි. එනම් කුකුළාගේ කරමල තද රත් පැහැවුවත් එය උදේ හවස දකින විට පෙනෙන්නේ සුදු පාටින්ය. මෙය වැදගත් කියමනකි. මේ කතාවෙන් හැඟෙන්නේ ඕනෑ දෙයක් පමණට වඩා පෙනෙන විට එහි පැහැය වුවත් වෙනස්වන බවයි. ඒ වගේම ගමේ අය අතර මෙවැනි කතාවක්ද ඇත. ඌ මහ කුකුල් කේන්තිකාරයා මේ ඉක්මනට තරහා යන අය ගැන කියන කතාවකි.   


ඒ වගේමයි ඕක මහ කුකුළා යයි කාට හරි කීවහොත් ඒ පුද්ගලයාගෙන් ගැහැනු ළමයි ටිකක් පරිස්සම් කරගත යුතුය. කුකුළා බොහෝ විට කැමති කිකිළියන් පිරිවරා ඉතාමත් ගරු ගාම්භීරතාවයෙන් සිටීමටයි. යම්විටෙක ප්‍රතිමල්ලවයකු තම භූමියට ආවේ නම් තටු ගසා හඬලා පොරට වැටීම අභිමානවත් කුකුළාගේ හැසිරීම් රටාවයි. අපේ සන්දේශ කාව්‍යවල පවා කුකුළා වර්ණනාවට පාත්‍රවී ඇත.   


සක හරවෙන් පවා දිව තද තෙද බලැතී   
ගෙන අවිනන් සෙන් සහ විරිදුන් නසතී   
පද පහරින් රුපු වනසන අබිමනැ තී   
තොප විකුමෙන් නතමුත් කව්රු පවස තී   


යාග සාහිත්‍යයේ කුකුළා වංශවත් සතකු බවත් ඔහුගේ උපත එසේ මෙසේ එකක් නොවන බවත් පවසා ඇත. යකුන්ට බිලිදුන්නාට කුකුළාගේ උත්පත්ති කතාවේ හැටියට මුල්ම කුකුළාගේ මව රාක්ෂියකි. ඒ නිසා උත්පත්තිය එසේමෙසේ වූ එකක් නොවේ.   


අසුර ලොවේ කුකුළා උපදින්නේ   
අම්බල රුසියට ජාතක වෙන් නේ   
කාලරාක්ෂිය මව්ය කියන්නේ   
කුකුළු උපත මේ ලෙස සිදුවන් නේ   
අසුර භවනයේ උපතිය කුකු ළා   
අසුර රජුට ජාතක වුණි කුකු ළා   
අසුර රජුගෙ තොරණේ සිටි කුකු ළා   
අසුර කොඩිය පිට හැඬලූ කුකු ළා   


යන්ත්‍ර මන්ත්‍ර භූත විද්‍යාවට අනුව අසුර රජුගේ කොඩියේ වසන කුකුළා හැඬළුව පසුව හිරු උදාවන බව විශ්වාසයයි. කුකුළ හඬින් සියලු දොස්ද දුරුවේ.   


යාග සාහිත්‍යයේ දැක්වෙන කුකුළු විස්තරයට අනුව ඌ ලගින්නේ ගස්මුදුන්වලය. ඒ කුකුළා වංශවතකු නිසාය. ඒ නිසා කොයි හැටි වෙතත් කුකුළා ගස්වල අතුරිකිලි ආශ්‍රයේ රාත්‍රිය ගතකිරීමට බොහෝ කැමැත්තක් දක්වයි.   


පෙර සිට නම පැවතුනි කුකුළන් නේ   
දුරසිට තැන තැන අවුලන් කන් නේ   
මෙර උස තරමට උඩයි ලගින් නේ   
කුකුළු උපත මේ ලෙසින් කියන් නේ   


මේ අංගෝපාංග නිසා කුකුළාට හිමිවන්නේ ඉහළම පිළිගැනීමකි. මංගල කටයුතුවලදී දල්වනු ලබන පහනට කියන්නේ කුකුළා පහන කියායි. ඒ පහනේ මුදුනේ සිටින්නේ අලංකාර කුකුළෙකි. අද කුකුළා පහනක් විකිණෙන්නේ ඉතා ඉහළ මිලකටය. කතරගම කඳ දෙවිඳුගේ අතේ ඇති කොඩියේද සැවුල් රුවක් ඇත. දැඩිමුණ්ඩ දෙවිඳුගේ ලාංඡනයද සුදු කුකුළාය. මේ නිසා හින්දු ආගමික ස්ථාන ආදියේත් සැවුල් රුව දැකිය හැකිය. පුරාණයේ සිටම මිනිසා කුකුළන් ඇතිකළ බවට තොරතුරු ගතහැකි ඉතාමත් හොඳ ජන කතාවක් අපේ වටපිටාවේ ඇත.   


කොළඹ කුරුණෑගල අංක පහ මාර්ගයේ නාරම්මලට ළංව මිණිකුකුළාව නම් ගමක් ඇත. එදා අනුරාධපුරයේ සිට මිනිගෙඩියක් බැඳි කුකුළෙක් විත් මෙතැනට බැස්සාලු. අද එතැන මිණිකුකුළාව වී ඇත. (මිණි කුකුළා > ආවා> මිණි කුළාවා> මිණිකුකුළාව) මේ අනුව බලනවිට අපේ රටේ කුකුළාට ඇති තැන කොතෙක්දැයි ඔබට සිතාගත හැකිය. ශාන්තිකර්ම සාහිත්‍යයේ දැක්වෙන පරිදි බිල්ලට ගත්තත් යකා කුකුළාට බියක් දක්වයි. ඊට හේතුව උගේ මවද බලගතු රාක්ෂියක් වීමයි. 

 
රාත්‍රිය පහන්වන්නට සත් පැයක් තබා පෙරයමදී කුකුළන් හැඬලීම යකුන්ට මහත් කරදරයක් බව කියනු ලැබේ. මේ නිසා යකා සදාකාලිකවම කුකුළා සමග වෛරයෙන් පසුවේ. ඒ නිසා සතුන් අතරින් බිල්ලට ගැනීමට කැමති සතා කුකුළාය. මෙහිදී විශේෂයෙන් රතු කරමල සහිත රතු පිහාටු සහිත රතු කුකුළකු තෝරාගැනීම යකැදුරන්ගේ සිරිතයි.   


අරින්ඩ නං රුසියා මේ වැත් තේ   
කරන්ඩ අණ වින ලොවට කැමැත් තේ   
මෙලංකාවෙ දෙවි සමගව නිත් තේ   
කුකුළට හැම ලෙඩ නංවාගත් තේ   
විපාකයෙන් ලොව නසමි සිතා ලා   
උපායකින් ඉටි රූප අඹා ලා   
දපා ඇදුරු කුකුළන් බිලි දී ලා   
කපා හරිම් වින බිලි පුදදී ලා   


යක්කු බොහෝ කෑදරය. ලේ රීරිවලට ඉතාමත් ගිජු ය. මේ බව දන්නා දක්ෂ යකැදුරන් බිල්ල පෙන්නා යකුන් රැවටීම සිදුකරනු ලබයි. ඒ නිසා අහිංසක සතා නොමරා උගේ ලේ පමණක් ගෙන යකුන් රවටා යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ලෙඩ සුවකිරීම කරනු ලබයි.  


එක්තරා ගමගෙදරක බොහොම ආදරයෙන් කුකුළෙක් ඇතිදැඩි කළා. මේ කුකුළා එක දවසක් පාන්දර කරන හැඬලීම කළේ නෑ. ගෙදර මූලිකයා එදා උදේ බොහොම හොඳ වැඩක් යොදාගෙන තිබුණා. නමුත් ගෙදර කුකුළා හැඬලුවේ නැති නිසා ඉරපායනතුරු නින්ද ගියා. පස්සෙයි වැඩේ තේරුණේ. පස්සෙ ගෙහිමියගෙ කටට මෙන්න මේ වගේ කවියක් ආව.   


කුකුළා ඇති කළත් යයි තැන තැන කන් ඩ   
රිංගූ කල අකුල්වල බෑ අල්ලන් ඩ   
කකුලේ කටු දෙකක් එනවා පොරකන් ඩ   
කුකුළෝ මතක නැතිවද අද අඬලන් ඩ   


ගම්වල වෙසෙන ගැමියන් ගෙදර ඇති කරන කුකුළාට මහත් ආදරයක් දක්වයි. ඒ නිසාම ඌ වෙනුවෙන් තේරවිලි කවි පවා ගොතා ඇත. මේ තේරවිලි කවිය බොහෝදෙනා අතර ජනප්‍රිය වූ තේරවිලි කවියකි.   


ගසමුල තිබෙන කටු සකි නුඹ දන්නව ද   
කඳමැද තිබෙන වැල සකි නුඹ දන්නව ද   
අතු අග තිබෙන කටු සකි නුඹ දන්නව ද   
මුදුන් ගිරාමල සකි නුඹ දන්නව ද   


අප කව්රුත් දන්නා පරිදි දෙවැනි රාජසිංහ රජු තරමක මනමාලකම් ඇති රජකෙනෙකි. මේ රජතුමා දිනක් එක්තරා සළෙලු ස්ත්‍රියක සමග රාත්‍රි නිදාගත්තා. අර ස්ත්‍රීයත් රජුගේ පැමිණීමට බොහෝම කැමැත්තෙන්මයි හිටියෙ. රජුට හොඳට නින්ද යන්ට කොට්ට මෙට්ට ආදිය සැප පහසුවට හැදුව. ඒ කාලෙ ලන්දේසි හටන් පැවති යුගයක්. රජුට නින්ද ගියත් කුකුළන් ජාමෙට අඬලන විට රජු ඇහැරුණා. කලබලයෙන් නැගිටලා රජු යන්ට හැදුවා. ‘ඇයි අනේ මේ හදිසියේ දුවන්ට හදන්නේ, තවම පාන්දර ජාමනේ’ කියල ගෑනි කෙඳිරි ගෑව. රජු ගෑනි දිහා බලල මෙහෙම කීව. ‘ඇයි යෝදියෙ ඇහුන්නැද්ද අපේ මුර ජාරම්වල වෙඩිහඬ. ඒත් ගැහැනියට හරියටවත් දුකයි තව ටිකක් රජතුමත් එක්ක තුරුලු වුනා නම්? කියල හිතල මෙන්න මෙහෙම කීව.   


කුකුළන්නේ කුලේ රජු දන්නේ නැති ද   
උන් කන කෑම ගැනවත් දන්නේ නැති ද   
කුකුල් මාළු උයලා කන්නේ නැති ද   
ඇයි යන්නේ මා හා තරහා උනි ද   


රජ්ජුරුවො හිතුව මේ ගෑනිට මොකවත් තේරෙන් නෑ මම ඉන්නෙ මහ ගිනි ගොඩක කියල හිතල ගෑනිට උත්තර දුන්න.   


තව මොහොතකින් හිර පායන ඇසිල් ලේ   
සැව්ලොත් තරගයට හඬලන ඇසිල් ලේ   
තවමත් ඉන්ට හිතුවද මගෙ තුරුල් ලේ   
ඇහුනේ නැද්ද මහ හඬ මුර වෙඩිල් ලේ   


සිංහලයන්ගේ ත්‍රාසජනක ක්‍රීඩා යනුවෙන් පොතක් ලියන කොළඹ කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි පී.ඊ.පී. දැරණියගල මහතා කුකුළන් පස් වර්ගයකට කාණ්ඩ කොට බෙදා දක්වා ඇත.   


1. සිංහලවංශය   
2. කිකිළි වංශය   
3. තැලි වංශය   
4. රැවුල් වංශය   
5. දැති වංශය   


යනුවෙන්ය. මෙසේ වර්ග කොට දක්වා ඇත්තේ පොරට හදන කුකුළන් තෝරාගැනීම සඳහාය. පුරාතන යුගයේ මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවූ බව කියවෙන අතර දෙවැනි රාජසිංහ රජුද හොඳ කුකුළන් කෙටවීමේ රුසියෙකි.

 

 

ධර්මරත්න තෙන්නකෝන්