කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය
අද වගේම එදත් ඉරිදාවක්. පාස්කු පූජාවට එක් වූ මේ අහිංසක මිනිසුන් හරිම ආසාවෙන්, භක්තියෙන්, දෙවියන් දකින්නට පෙරුම් පිරුව ඉරිදාවක්. එක් නිමේෂයකින් ඒ ගැන රටම හඬා වැටුණු රටම කඩා වැටුණු මිනිසුන් තුන්සිය ගණනකගේ ජීවිත පොළොව යට මිහිදන් වුණ හැම මාවතකම සුදු කොඩියෙන් සැරසුණු ඉරිදාවක් වුණා.
එකම මොහොතක අහිංසක මිනිසුන් අවසන් හුස්ම පොද වාතලයට මුදා හැර සැනසිලිදායක නින්දේ සැතපෙද්දී තවත් පිරිසකට ජීවත් වීමට වරම් ලැබුණත් අද ඒ ජීවිතවලට ඉතිරි වී තිබෙන්නේ සදාකාලික වේදනාවක් පමණයි.
එදා දෙවි සමිඳුන් නැමදීමට දෙවි මැදුරට ගිය පුංචි පැටවුන් බොහෝ දෙනා අද වෙනදා වගේ හිනාවෙන්නේ, දඟකරන්නේ, සෙල්ලම් කරන්නේ මනසින් විතරයි. රෝහලේ ඇඳ මත වැතිරිලා මාස ගණනක් පියවිලා තිබුණු ඇස්, තොල්වලට හිරවෙලා තිබුණ සිනහව මේ මූණුවලට ගේන්න හිතන තරම්ම ලේසි නැහැ.
බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිට නැවත මෙලොව දුටු දස හැවිරිදි රීගන් නිම්රෝත් පුතු අද අහිමි වූ බලාපොරොත්තු සියල්ල පුංචි හිතේ දරාගෙන යළි සිනහව දකින්නට වෙර දරන මල් කැකුළක්.
නිම්රෝත් පුතු පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගි වීමට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ පවුලේ අය සමගින්. දේව මෙහෙය අවසන් වීමට ළංවූ මොහොතේ කිසිවෙකු නොසිතූ මොහොතක ක්ෂණයකින් විනාශ වී ගිය දේවස්ථානය තුළ නිම්රෝත් පුතු දැක්කේ සුන්බුන් වී ගිය මිනිස් සිරුරු ගොඩක් විතරයි. බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස ඉනෙන් පහළට සහ පිළිස්සුම් තුවාලවලින් මුහුණට වූ හානියෙන් මේ පුංචි පුතා තවමත් පාසල් හීනය පසෙකට දාලා ප්‍රතිකාර සඳහා යොමුවෙනවා.
ඒ වගේම නිම්රෝත් පුතුගේ මාස 6 ක් වයසැති පුංචි නැගණිය ද පිළිස්සුම් තුවාල සඳහා තවමත් ප්‍රතිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි එදා නිම්රෝත් ළඟ ඉඳපු අම්මා අද රෝද පුටුවට සීමාවෙලා.
තම ආදරණීය බිරිඳත් හයමස් බිළිඳාත්, පුතණුවනුත් ජීවිතයත් මරණයන් අතර විශාල සටනක් කර කෙමෙන් කෙමෙන් මේ වන විට සුව අතට හැරෙමින් සිටින අතර අද මොවුන් පත්ව ඇති ඛේදනීය ඉරණම ගැන නිම්රෝත් පුතුගේ පියා කනගලිංගම් රීගන් මහතා අපට විස්තර කළේ මෙලෙසිනි.
‘එදා පවුලේ ඔක්කොමලා කොච්චිකඩේ පල්ලියට ගියා පූජාවට. බිරිඳයි ලොකු පුතයි, චූටි දියණියයි තුන්දෙනා හිටියේ මට ඉදිරිපස බංකුවේ. අනිත් පුතාලා දෙන්නයි මමයි වාඩිවුණේ ඔවුන්ට පිටුපස බංකුවේ. පූජාව ඉවරවෙන්න ආසන්නයේ තිබියදීම පුතාලා දෙන්නා ඉන්න බැහැ කියලා කරදර කළා. කරදර කරපු නිසා මම ඒ දෙන්නවත් අරගෙන පල්ලියෙන් එළියට ආවා. ඇවිත් තත්පරයක්වත් ගියේ නැහැ. ලොකු ශබ්දයක් එක්ක විශාල දුමකින් ඒ පළාතම වහගත්තා.
මම හිතුවා වරායේ මොකක් හරි ගෑස් එකක් පුපුරලා කියලා. එක පාරටම මිනිස්සු කෑගහගෙන එහෙ මෙහේ දුවන්න ගත්තා. පුතාලා දෙන්නව එතන තිබුණ ත්‍රීවීල් එකක දාලා මම පල්ලිය ඇතුළට දිව්වා. පුතාගේ ෙප්න්න ලොකු තුවාලයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. එත් පුතාවයි චූටි දුවවයි එළියට ගෙනල්ලා ත්‍රීවීල් එකකට කතා කළා කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ. බිරිඳගේ ඇඟේ ඇඳුමක්වත් තිබුණේ නැහැ. කෑගැහුවත් කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ.
ඒ වෙලාවේ මැරිලා හිටපු අයගේ රත්තරන් බඩු ගලවන මනුස්සයෙක් මම දැක්කා. මම ඒ එක්කෙනාට මගේ චූටි දුවව අල්ලගන්න කියලා මම ඇඳගෙන ඉඳපු ටී ෂර්ට් එක බිරිඳගේ ඇඟට දැම්මා. ඊට පස්සේ එතනට ආපු කෙනෙක් සරමක් දුන්නා. ඒකත් අන්දලා මම උදව් ඉල්ලලා කෑගැහුවම බිරිඳවවයි, දුවවයි, පුතාවයි කට්ටිය රෝහලට අරගෙන ගියා. ඒ වෙනකොට බිරිඳගේ මුළු ඇඟම ලේවලින් නෑවිලා තිබුණේ. මට ඒ වෙලාවේ පුතාව උස්සලා ත්‍රීවීල් එකට දාන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. මගේ මුළු ඇඟම පණ නැති වුණා.
අනිත් දරුවෝ දෙන්නා කොහෙද? මොකද වුණේ කියලාවත් කලබලේට මම නග්ගපු ත්‍රීවීල් මනුස්සයවවත් මට මතක තිබුණේ නැහැ. පිස්සුවෙන් වගේ පල්ලියේ ඇතුළේ අනිත් දරුවෝ දෙන්නව මම හෙව්වා. බැරිම තැන මම ගෙදරට දිව්වා. ගෙදර යනකොට දෙවියෝ එවලා වගේ කවුරු වුණත් අර ත්‍රීවීල් මනුස්සයා දරුවො දෙන්නගෙන් පාර අහගෙන ගෙදරට ගෙනත් දාලා ගිහින්.
ඊට පස්සේ ඒ හුස්මෙන්ම මම දුවලා ගියා ඉස්පිරිතාලෙට. බිරිඳව දොස්තරමහත්තුරු ඔපරේෂන් එකකට අරගෙන තිබුණා. එහෙමම දිව්වා ලොකු පුතා බලන්න. එයා ICU ඉඳලා තියෙන්නේ. ඒත් මම යනකොට හිටියේ නැහැ. ඉස්පිරිතාලෙන් කිව්වා මට මෝචරියේ බලන්න කියලා.
‘නැහැ නැහැ. මගේ දරුවා ජීවත් වෙනවා කියලා අඬ අඬා මුළු ඉස්පිරිතාලෙම පෙරළ පෙරළ මම දරුවව හෙව්වා. රෑ 10.30යි මම ලොකු පුතාව හොයා ගන්න කොට. ඒ දේවල් තවම මට හීනයක් වගේ.
දැන් නිම්රූත් පුතාට කරන ප්‍රතිකාරවලින් සුවයක් තියෙනව ද?
පුතාගේ දකුණු කකුලේ අස්ථියක් බිඳිලා ඇවිදින්න බැරුව හිටියේ. දැන් ටික ටික ඇවිදිනවා. පුතාගේ ඉණෙන් පහළ තමයි ගොඩක් තුවාල වෙලා තියෙන්නේ. පුතාට තවම කොලස්ටම් බෑග් (මලපහ කිරීම සඳහා එල්ලන බෑගය) දාලා තියෙන්නේ ටොයිලට් යන්න. පෙණහලුවල යකඩ බෝල 2ක් තියෙනවා. කකුලේ අතේ තව යකඩ බෝල කිහිපයක් තියෙනවා. ඒවා තවම ගත්තේ නැහැ. සමහර වෙලාවට හුස්ම ගන්න අපහසුයි කියලා අඬනවා. මූණේ සහ අතේ පිළිස්සුම් තුවාලවලට ගාන්න ඔයිල් එකක් දීලා තියෙනවා.
නිතරම කල්පනා කරනවා. ‘මට සෙල්ලම් කරන්න ඕන, මම ඉස්කෝලේ යන්නේ නැද්ද? ඇයි තාත්තේ මේ කොලස්ටම් බෑග් එල්ලලා තියෙන්නේ? කොච්චර කාලයක් මෙහෙම ඉන්න ඕනෑද? කියලා අහනවා.
ෙම්වට මම මොනවද දෙන උත්තර. අඬන්නේ නැහැ එයාට පේන්න එයාට එතකොට දුකයි. මම හිත හදනවා ඉස්කෝලේ යැව්වත් බයයි. ළමයෙක් ඇඟේ හරි හැපිලා වැටුණොත් කියලා. එක්තැන් වී සිටින බිරිඳගේ සහ දරුවන් හතර දෙනෙකුගේ වැඩකටයුතු, නිවසේ වැඩකටයුතු සියල්ල මේ වන විට පැවරී තිබෙන්නේ රීගන්ගේ කරමතටයි. කුලී නිවසක ජීවත් වන රීගන්ට නිවසේ වැඩකටයුතු කරගෙන යාමට සිදුවී ඇති නිසාවෙන් රැකියාව පවා මේ වන විට අහිමියි.
රීගන් මහතාගේ පවුල
‘මම මුලින්ම ජංගම දුරකථන අලුත්වැඩියා කරන ව්‍යාපාරයක් කළා. ඊට පස්සේ ග්‍රිල්, ගේට්ටු හදන තැනක වෙල්ඩින් වැඩ කළා. දැන් මම රැකියාවට යන්නේ නැහැ. බිරිඳ එකතැන් වෙලා නිසා එයාගේ වැඩයි, දරුවන්ගේ වැඩයි ඔක්කොම කරන්නේ මම. පල්ලියේ පියතුමන්ලා අපට ගොඩක් උදව් කරනවා. අපි මේ ගෙදර ඉන්නේ කුලියට. මාසෙට 18,000 මුදලක් ගෙවන්න ඕන.
දැනට නිවසේ කුලිය රාමනායක පියතුමාගේ අනුදැනුමෙන් සෙත්සරණ මගින් ගෙවනවා. දරුවෝ තුන්දෙනාවම මම පාසල් යැව්වේ International School එකට. රෑ එළිවෙනකන්ම වැඩ කරලා දරුවෝ තුන්දෙනාට උගන්වන්න තමයි මම මහන්සි ගත්තේ.
● තවම දරුවෝ තුන්දෙනාම පාසල් යන්නේ නැද්ද?
අප්‍රේල් 21 දායින් පස්සේ තාම දරුවන් තුන්දෙනාම පාසල් ගියේ නැහැ. පාසලේ මාසික මුදල් ගෙවාගන්නත් බැරි වුණ නිසා තවම පාසල් යැව්වේ නැහැ. කෑම බීම, බෙහෙත් අනෙක් අවශ්‍යතා, පල්ලියේ හිතවත් අය දෙන මුදලින් අරපිරිමැස්මෙන් පිරිමහගන්නවා. මට මෙයාලව දාලා රැකියාවකට යන්න බැහැ. බිරිඳව නාවන්න, පුතාව නාවන්න ඒ වැඩ කරන්න මම ඉන්නම ඕන. ගෙදර ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් ඕන.
චූටි දුවට දැන් මාස 6යි. වයිෆ් ඔපරේෂන් කරලා ඉස්පිරිතාලේ හිටිය දවස්වල දුවට දුන්නේ පිටිකිරි. දැන් මව්කිරි බොන්නෙම නැහැ. මාසෙකට පිටි ටින් 5ක් විතර යනවා. පල්ලියෙන් ගෙදර කෑම බීම අත්‍යවශ්‍ය බඩු ගන්න උදව් කරනවා. පල්ලියෙන් හැමදාම මේ දේවල් අපට දෙන්න බැහැ. රජයෙන් ඇයි අපි ගැන බලන්නේ නැත්තේ අපිට මෙහෙම වුණේ රටේ පාලකයන්ගේ වරදින්. අපි මේ ගෙවන්නේ රටේ පාලකයන්ගේ පව්.
ඉස්සර වගේ දරුවෝ ඉල්ලන දේවල් දෙන්න අපට දැන් බැහැ. දකින දකින දේ ඉල්ලලා අඬනවා. ගොඩක් දුකයි. ඒ වෙලාවට වෙනදා වගේ ආස කරන කෑම බීම, සෙල්ලම් බඩු අරගෙන දෙන්න දැන් මට විදිහක් නැහැ. දරුවෝ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසලකට දාන්න රාමනායක පියතුමා සොයා බලනවා කියලා කිව්වා.
ගෙදර මාසයට ලොකු වියදමක් යනවා. පිළිස්සුම් තුවාල නිසා නිතරම පිරිසිදුව තියන්න ඕන. වෙට් ටිෂූ, ටොයිලට් පේපර්, විෂබීජ නාශක ද්‍රව්‍ය, සනීපාරක්ෂක තුවා, චූටි දුවගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය කොලස්ටම් බෑග් (මල පිටකිරීමේ බෑග්) වගේ එදිනෙදා අත්‍යවශ්‍ය බඩු ගොඩක් තියෙනවා. පල්ලියෙන් මේ සියලුම දේ අපට දැනට දෙනවා. ඒත් ඒ දේවල් අපට හැමදාම බලාපොරොත්තු වෙන්න බැහැ.
මොනවද මම කරන්න ඕන කියලා මට තවම තේරෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ ලොකු පීඩනයකින්. දරුවන්ෙග් අම්මා අද ඇඳක් උඩ. ඇයව සනීප කරගන්න තමයි මගේ එකම උත්සාහය.
දරුවන් හතර දෙනෙකුගේ මවක් වන ඇය අද දෙපා වාරු නොමැතිව ස්වාමියාගේ ශක්තියෙන් ඇවිදින්ට වෙර දැරුවත් තවමත් ඇය ජීවත් වන්නේ බලාපොරොත්තු විරහිත හැඟීමකින්. ඇය රීගන් රූත් ‘මගේ දකුණු කකුලේ ස්ථාන දෙකකින් අස්ථි පිපිරීමක් වෙලා තියෙනවා. නැවත ශල්‍යකර්මයක් කරන්න ඕන කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. වම් කකුල දණහිසෙන් පහළ අප්‍රාණිකයි. දකුණු කකුල ඊළඟට කරන්න තියෙන ශල්‍යකර්මයෙන් පස්සේ සුව අතට හැරෙනවා කියලා වෛද්‍යවරු කියනවා. ඒත් අප්‍රාණික වම් කකුල ඇවිදින්න පුළුවන් තත්ත්වයට සුවකරන්න පුළුවන් ද කියලා මට වෛද්‍යවරු විශ්වාසයකින් කිව්වේ නැහැ. ඒත් මම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
ෙපාඩි පුතාලා දෙන්නා එදා බේරුණේ තාත්තා එක්ක එළියට ගිය නිසා. මාස තුනේ දූ එදා මගේ අතේ හිටියේ. ලොකු පුතා හිටියේ මට එහා පැත්තේ බෝම්බේ පුපුරනවාත් එක්කම මාව විසිවෙලා ගිහින් කකුල මොකක්දෝ එකකින් පසාරු කරගෙන යනවා වගේ දැනුණා. ඒත් මම චූටි දුවව අතෑරියේ නැහැ. චූටි දුවව තද කරලා අල්ලගත්තට පුතාව මට අතෑරුණා. ඒ වෙලවේ ඉඳලා මට ඉණෙන් පහළ කිසිම දෙයක් දැනුණේ නැහැ.
මාස දෙකක් කිට්ටුවෙන්න මම රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර ආපු ගමන් අපි ඔක්කෝටම උණක් හැදුණා. නැවත දරුවෝ 4 දෙනාවම රිජ්වේ රෝහලේ නතර කළා. මාවයි මහත්තයවයි නවලෝකෙට ඇතුළත් කළා. උණ සනීපවෙලා ගෙදර ආවේ දැන් සති 3 කට විතර කලින්. ලෙඩක් හැදුනම හරි ඉක්මනට අපේ ඇඟට එනවා. ඇඟ තවම දුර්වලයි.
මගේ ස්නායු ගොඩක් දුර්වල වෙලා. අක්මාවේ කොටසකුත් ඉවත් කළා. මගේ ශරීරයේ ශල්‍යකර්ම පහක් කරලා තියෙනවා දැනට. සුව අතට හැරෙන්න අවුරුදු දෙකකට කිට්ටුවෙන්න යනවා කියලා වෛද්‍යවරු කියනවා. ඉක්මනට අඩිය තියලා ගේ ඇතුළේ හරි ඇවිදගන්න පුළුවන් නම් ඒක ලොකු හයියක්.
මෙග් මහත්තයා ගැන මට හරිම දුකයි. එයා ඇස්දෙක තත්පරයකටවත් පියවන්නේ නැහැ. මාව නාවන්නේ කවන්නේ, බෙහෙත් ටික ළඟට දෙන්නේ මහත්තයා. රෑට ගෙදර ඔක්කොම වැඩ ඉවර වෙලා ඇස් දෙක පියාගන්න කොට චූටි දූ නැගිටිනවා. ඊට පස්සේ එයාගේ වැඩ කරනවා. සමහර දවසට රෑට පුතා කොලස්ටම් තුවාල කරගන්නවා. ඒනිසා මහත්තයා නිදාගන්නේ නැති තරම් දවසට පස් වතාවක් පුතාගේ කොලස්ටම් බෑග් එක මාරු කරන්න ඕන. ඒනිසා නිතරම පුතා ගැන අවධානයෙන් ඉන්න ඕන.
දවසට පැයක් වගේ තමයි මහත්තයා නිදාගන්නේ. උදේ 5.30 විතර නැගිටලා ගෙදර වැඩ කරලා. අපේ පිරිසිදු වැඩත් කරලා ඉවර වෙනකොට දවල් 12 විතර වෙනවා. අන්තිමට මහත්තයා මනෝ වෛද්‍යවරයකුට පෙන්නුවම නින්ද යන්න බෙහෙත් නියම කළා. ඒත් බෙහෙත් බොන්නේ නැහැ. නින්ද ගියොත් ගෙදර වැඩ කරන්නේ කවුද කියලා අහනවා.
අපි දැන් මාස තුනක් තිස්සේ වේදනා විඳිනවා. ඉදිරියටත් අපි විඳවනවා. සෙත්සරණ ආයතනයේ රාමනායක පියතුමා තමයි අපේ හැමදේම හොයලා බලන්නේ. ඒත් සෙත්සරණ ආයතනයේ පත්කරලා ඉන්න සමහරු අපේ හිත රිදෙන්න හරියට කෑගහනවා. අසරණ වෙලා ඉන්න අපි ඒ වෙලාවට තවත් අසරණ වෙනවා.
සමහරු ගෙදරට ඇවිත් කියනවා දරුවෝ දෙන්නෙක්ව බලන්න බැරි නම් ළමා නිවාසෙකට භාරදෙන්න කියලා. අපි දුප්පත් තමයි. ඒත් බොහෝම සතුටින් ජීවත් වුණු මිනිස්සු අපි. රටේ පාලකයන්ෙග් වැරදි නිසා විඳවන අපට ඇයි එහෙම කියන්නේ. බඩගින්නේ හිටියත් දරුවන් නම් මම දෙන්නේ නැහැ. කටක් ඇරලා දරුවන්ව දෙන්න කියලා කොහොමද කියන්නේ කියලා මට හිතාගන්න බැහැ. මමත් අම්මා කෙනෙක් දරුවෝ නැතුව මම ජීවත් වෙලා මොකටද?
රූත් මහත්මියගේ පාදයට සිදුව ඇති හානිය
ආණ්ඩුවෙන් දෙනවා කියපු සහන මුදල් ලැබුණ ද?
ආණ්ඩුවෙන් තුවාල ලැබූවන්ට ලබා දෙනවා කියපු වන්දි මුදල් රුපියලක්වත් තවම අපට ලැබුණේ නැහැ. ලියකියවිලි වගයක් ගේන්න කියලා රෝහලට ගියාම දවස් දෙක තුනකින් එන්න කියලා රස්තියාදු කරවනවා. චූටි දුවට ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කරන්න ඕන කියලා වෛද්‍යවරු කිව්වා. ඊට පස්සේ ක්‍රීම් එකක් දුන්නා. කැළැල් මැකෙනවා නම් ප්ලාස්ටික් ශල්‍යකර්මය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කිව්වා. ගෙදර දී කරන්න දෙන ප්‍රතිකාර නම් අපි ඒ විදිහටම කරනවා.
නිම්රූත් පුතා, නිම්රූත්ගේ චූටි නංගි, අම්මා ජීවිත කාලෙම මේ වේදනාවන්, තුවාල කැළැල්වලින් විඳවනවා. අද හොඳ වෙයි හෙට හොඳ වෙයි කියලා බලාපොරොත්තු දවසින් දවස හිතේ දලුලා මේරුවත් ඒකට තවත් කොච්චර කාලයක් නම් ගතවේවිද මේ ජීවිතවලට සාධාරණයක් ඉටුවෙන්නේ කවදාද? හැමදාම වගේ අදත් අපි අහන්නේ ඒ ප්‍රශ්නයමයි.
මේ පුංචි දරුවන්ෙග් හෙට දවස ගැන කියන්න ඔබටවත් අපටවත් බැහැ. ඒත් මුහුණට පුංචි සිනහවක් එකතු කරන්න පුළුවන් නම් මේ වෙලාවේ දරු පැටවුන්ට මේ දෙමාපියන්ට ඒක ලොකු ශක්තියක්. කළ හැකි උපකාරයක් තිබේ නම් ඔබ කතා කරන්න. (0112688999) සෙත්සරණ කර්ටාන් අගරදගුරු නිවස
නදීශා අතුකෝරළ,
ඡායාරූප - චානුක කුලසේකර