භාරත දුම්රියේ නේවාසිකාගාරය


ලෝකෙන් ටිකක්

 

 

ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ඉන්දියාව අර්ධද්වීපයක් වුවද මහාද්වීපයක් තරමට විශාල රටකි. එසේ වුවද කලින් කල දේශපාලනීය වශයෙන් පාකිස්ථානය, බංගලිදේශය යනුවෙන් එම දේශය බෙදී ගොස් තිබේ. ඒ අතර ප්‍රාන්ත වශයෙන් ද කොටස් රාශියකට වෙන් වී ඇති රටකි ඉන්දියාව හෙවත් එදා භාරත දේශය. ඒ ඒ ප්‍රාන්ත බෙදී ඇත්තේ එම ප්‍රදේශවලට ආවේණික ඇවතුම් පැවතුම්, ජාති කුල භාෂා ආගම් අනුවය. ඒ ඒ ප්‍රාන්තයන් හි ප්‍රාදේශීයව උපභාෂා භාවිතා කෙරුණද එරට රාජ්‍ය භාෂාව හිංදිය. එබැවින් කුමන ප්‍රාන්තයක දී වුවද හිංදි භාෂාව භාවිත වෙයි.  


විශාල රාජ්‍යයක් වන බැවින් ගමනාගමනය ද සුවිශේෂීය. චෙන්නායි (එදා මධුරාසිය) දිල්ලි බුද්ධගයා නගරවල ප්‍රධාන ගුවන්තොටුපළ කිහිපයක් ඇති අතර එරට වැදගත්ම ප්‍රවාහන සේවාව දුම්රියයි. විශාල රටක් බැවින් සමහර විට දවස් දෙක තුනක්ම දුම්රියේ ගත කිරීමට සිදුවන අවස්ථා ද වෙයි. විශේෂයෙන් උතුරත්, දකුණු කෙළවරත් අතර දුම්රියෙන් යාම ඊට සුවිශේෂිය. දකුණේ සිට රාජස්ථාන් නවදිල්ලිය කරච්චි වැනි ඈත ප්‍රදේශ කරා යාම සුන්දර දේශ ගවේෂණකැයි සිතේ. බොහෝ විට කිලෝමීටර් 3000 කට වැඩි දුරක් ගෙවීමට ඇති අතර නියමිත ප්‍රධාන දුම්රිය ස්ථානයන් හි නියමිත වේලාවක් ගත කිරීමට සිදුවීමද භාග්‍යයකැයි සිතේ. දකුණේ සිට උතුරේ ඈත ප්‍රදේශ කරා ගමන් ගන්නා දුම්රිය ආරම්භ වන්නේ අප සාමාන්‍යයෙන් දන්නා චෙන්නායි හෝ එග්මෝර් නගරවලින් නොවේ. ඒ සඳහා මදුරායි මධ්‍යම දුම්රිය ස්ථානයට යා යුතුය. එමෙන්ම ආසන හෝ (මැදිරියකට සෑහෙන මගීන් ගමන් ගන්නේ නම්) මැදිරියක් කලින් වෙන් කරවා ගත යුතුව ඇත. එම වෙන් කරවා ගැනීමේදී ගමනට අදාළ තොරතුරු සියල්ල ලබාදෙයි. නියමිත වේලාවට දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් තමා යා යුතු දුම්රිය සහ තමාට හිමි ආසන අංක අනුව දුම්රිය මැදිරි දොරටුවට ළඟාවන විට ඒ ඒ ආසන එයට හිමි නම දුම්රිය මැදිරි අංක අනුව සියල්ල එහි සඳහන්ව ඇති බැව් දක්නට ලැබේ. ඒ හිංදි නොව ඉංග්‍රීසි භාෂාවෙනි. කුමන දේශයකින් පැමිණෙන අයකුට වුවද ඒ අනුව තම අසුන වෙත ගොස් හිඳ ගැනීම ප්‍රශ්නයක් නොවේ. එකිනෙකාගෙන් විමසීම අවශ්‍ය නොවේ.  


ආසන තුන බැගින් ඇති කොටස් කීපයකට එම මැදිරි වෙන් කර තිබේ. සමහර විට එම ආසන තුන රටවල් තුනක මගීන් තිදෙනෙකුට වෙන්ව තිබිය හැක. ස්ත්‍රී පුරුෂ භේදයක්ද නැත. ආරක්ෂිත විවෘත දොර කවුළු සහිත මෙම සුව පහසු අසුන් හි හිඳගත් විට මහ මග සුන්දර පරිසරය හොඳින් නැරඹිය හැක. අපූරු දෙය නම් මෙසේ සුව පහසු ඇති අසුන් රාත්‍රී වන විට සුව යහන් වීමය. වලාකුළක් පමණක් දැකීමට ඇති ගුවන් යානයකින් රටකින් රටකට ගමන් කිරීමට වඩා මෙවන් දුම්රිය ගමන් හි වැදගත්කම වැටහෙනුයේ ඒ තුළින් ලබන සතුට පමණක් නොව දැනුම නිසාය. අපූරු මංමාවත්, කම්හල් අක්කර ගණන් වගා බිම් සහ ඒ ඒ ප්‍රදේශයන් හි විවිධ ස්වභාවිකත්වයන් දැකගන්නට ලැබීම භාග්‍යයකි. එක රටක් වුවද සමහර ප්‍රාන්තවල ආහාර පවා වෙනස්ය. විශේෂයෙන්ම භාෂාවේ වෙනස ඉතාම වැදගත්ය. තමිල්නාඩු ප්‍රාන්තයේ භාෂාව නොවේ මහාරාෂ්ට්‍ර දැන්වීම් පුවරුවල දක්නට ලැබෙනුයේ. උත්තර ප්‍රදේශයේ වෙනත් දැන්වීම් පුවරුය.  


ආන්ද්‍රා ප්‍රදේශය පසු කරන විට ශ්‍රී ලාංකිකයකු සමහර විට සිතනුයේ එම දැන්වීම් සිංහල අකුරෙන් ලියා ඇත කියාය. එරට මලයාලි භාෂාවේ රවුම් අකුරු සමහරක් ඈතට පෙනෙනුයේ සිංහල අකුරුවලට සමාන බවකි. මේ තත්ත්වය අනුව අප මේ ගමන් කරනුයේ රටවල් කීපයක් පසු කරමින් යයි වරෙක සිතෙනුයේ එතරමටම වෙනසක් විශේෂත්වයක් එහි ඇති බැවිනි. රට තුළ එවන් වෙනසක් ඇතත් දුම්රියේ ගමන් කරන මගීන්ට නම් ඒ ඒ භාෂාව නොදැනීම ප්‍රශ්නයක් නොවේ. අතරමග දුම්රිය ස්ථානවල දුම්රිය නතර කළ විට ඒ ඒ දේශයන්ට ආවේණික සමහර ආහාර වර්ග, පලතුරු හෝ වෙනත් දෑ මිලට ගැනීමට හැකිය. විවිධ නිර්මාණ (අත්කම් වැනි) ඒ අතර වෙයි. එමෙන්ම ඒ ඒ ස්ථානවල දී දුම්රියට ගොඩවන වෙළෙන්දන්ගෙන්ද විවිධ දෑ මිලට ගත හැක. භාෂාව ප්‍රශ්නයක් නොවන්නේ එය තේරෙන නිසා නොව මුදල ගැන පමණක් සංඥා මගින් අදහස් හුවමාරු කරගත හැකි බැවිනි.  


අතරමගදී දුම්රියට ගොඩවන තවත් සුවිශේෂී පිරිසක් ගැනද මෙහිදී සිහියට නැගේ. කිසිදු බියක් සැකක් නැතිව දුම්රිය මැදිරිවලට එන මෙම කාන්තාවන් කට පුරා සිනාසෙන්නේ පෙර හඳුනන ලෙසටය. එතරම් වටිනාකමක් නැති සාරි හැඩට ඇඳගෙන එන මේ අය වඩාත් සමීප වන්නේ තරුණයන් වෙතය. ඒ ආදරය පෙන්වා ආධාර පතමිනි. දුම්රිය මගීන් සමහරෙකු මේ අය දෙස මඳක් විපරම්ව බලන විට මේ අයගෙන් සමහර කෙනෙකු තමා ඇඳ සිටින සාරියේ පොටවල් පවා එහා මෙහා කරනු දැකිය හැකිය. වැඩි වේලාවක් ගත නොකර කීයක් හෝ ලැබුණද නොලැබුණද වෙනත් මැදිරියට මාරු වී යන මේ අය කවුරුන්දැයි ඇඳුමෙන් හඳුනා ගත නොහැක. සමහර විට ඒ පිරිමින් විය හැක. නැතහොත් ගැහැනුන්ය. එසේ නැතහොත් ඒ දෙපාර්ශවයටම නැති අයය. ඒ උපතින් නොව සමහර විට හිතාමතාම සිදු කරගනු ලබන සැත්කම් නිසා බවක් ද අසන්නට ලැබේ. මෙවන් අය දුම්රිය තුළට ආධාර පතා ඒම එරට සාමාන්‍ය දෙයකි.  


දුම්රිය මැදිරිය අතුගා පවිත්‍ර කිරීමට එන අසරණයන් නම් මගීන්ට කරදරයක් නොවේ. ඔවුන් කුඩා කොස්සක් ගෙන ඒ ඒ ආසන අසල අතුගෑම කරයි. ඒ සඳහා ආධාර නොඉල්ලුවද බොහෝදෙනා කීයක් හෝ දෙන්නේ ඔවුන්ගෙන් වැඩිදෙනා ආබාධිත බැවිනි. ඒ හැර යාචකයන් හෝ වෙනත් අයගෙන් කරදරයක් මේ දුම්රිය තුළ නැත.  


අතරමග නැවතුම්පලවලින් විවිධ වාර්ගික මගීන් දුම්රියට ගොඩවනු දැකීම සතුටකි. විවිධ භාෂා කතා කරන විවිධ ප්‍රදේශ හරහා ගමන් කළ ද දුම්රියේ මුළුතැන්ගෙයි නම් කිසිදු වෙනසක් නැත. ගමනාරම්භයේ සිටම මගින්ට අවශ්‍ය කෑම්බීම් සියල්ල එහි පිළියෙල කෙරේ. මුළුතැන්ගෙයි සිට ඒ ඒ මැදිරි කරා යන තේ වෙළෙන්ඳා භාෂා භේදයකින් තොරව චායි චායි හඬ නගන විට ඒ තේ බව කවුරුත් දනිති. ඒ දකින විට අපට සිහිවනුයේ අපේ රටේ දුම්රිය තුළ යන කඩල විකුණන්නන්ය. මේ දුම්රිය නේවාසිකාගාරයේ මගීන්ට අවශ්‍ය ලෙසට රාත්‍රී, දවල්, උදය ආහාර වේල සපයනුයේ ඉතා පිරිසිදුවටය. කෑම සකස් කිරීමට පළමු මගී ආසන වෙත පැමිණෙන සේවකයකුගේ කාර්යභාරය වන්නේ ඒ ඒ මගීන්ට අවශ්‍ය ආහාර (තෝසෙ, මසල වඩේ, බත්) මොනවාද? කොපමණ අවශ්‍යද? සහ ඒ ඒ ආසන අංක ආදී සියලු තොරතුරු සඳහන් කරගෙන යාමය. නියමිත වේලාවට තමා ඇනවුම් කළ කෑම තම අසුන වෙතම ගෙනවිත් දෙනු ලැබේ. අවශ්‍ය නම් ජලය හා අතුරුපස සියල්ල සැපයේ. සමහර විට දුම්රියට ගොඩවන වෙළෙඳුන්ගෙන් ද රස කැවිලි හා පලතුරු ලබාගත හැක.  
මාර්ග තොරතුරු කෙතරම් නැඹුරුවද රාත්‍රී කාලයේ නින්දද අවශ්‍යය. දුම්රිය නේවාසිකාගාරයේ සුව පහසු නින්දක් සඳහා පහසුකම් සපයනුයේ අප නොසිතූ ලෙසය. දහවල් කාලයේ සුව පහසුව වාඩිවී සිටි ආසන තුන බැගින් වූ කොටස් හි එම ආසන තුනම ආවරණය වන පරිදි ඉහළින්ම සයනයක් ආරක්ෂිතව ඇති බව පෙනෙනුයේ එය අවශ්‍ය වූ විටය. පහළ ආසන තුනටත් ඉහළ නිදි යහනටත් අතර තවත් සයනයක් සෑදෙන්නේ එතෙක් නොසිතූ පරිදි ආසන තුනටම සම්බන්ධව තිබූ තවත් යහනක් ඉහළට ගැනීමෙනි. එය යකඩ දම්වැලකට සම්බන්ධ වෙයි. තෙවන සයනය එතෙක් අසුන් ලෙස තිබූ ස්ථරයයි. තිදෙනාටම තම තමන් කැමති පරිදි එම නිදන අසුන් තෝරාගත හැකිය. එක් පසෙකින් සැඟව ඇති කුඩා ඉනි මඟින් ඉහළ ඇඳන් වෙත සමීප විය හැක. දැන් දහවල් අසුන් තුනෙහි සිටි මගීන් තිදෙනාටම සුව පහසු ඇඳන් ලැබී ඇත. කිසිදු බිය සැකයකින් තොරව එළිවන තෙක් සුවසේ නිදාගත හැකිය. සුවපහසුව පෙර හිඳගෙන සිටි ආසන මතුපිට කොටසකින් මැද ඇඳ සෑදී ඇත. ආසන තුන දැන් එක ඇඳකි. ඉහළම තලයේ තවත් ඇඳකි. කොතරම් අපූරුද? කුමන රටකින් පැමිණිය ද දේශීය අයකු වුවද කිසිදු අවදානමක් අවහිරයක් නොමැතිව රැය පහන් කරන්නේ තම නිවස තුළ මෙනි.  


පසුදා උදය අවදිව වැසිකිළි යාම, මුහුණ කට සෝදා ගැනීම සහ ඇඳපැළඳගැනීම් කරනුයේ ද තම කාමරයක මෙනි. මෙවන් නේවාසිකාගාරයක් ඇති දුම්රියක දින දෙකක් තුනක් නොව සතියක් වුවද යාමට ඇත්නම් කොතරම් භාග්‍යයක්ද. එය කොතරම් සුන්දරද සමහර විට අසුන්දර යමක්ද මේ යන අතරමග නොපෙනෙනවා නොවේ ඒ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනෙකු මහ දවල් මළපහ කරනු දක්නට ලැබෙන එළිමහන් වැසිකිළිය. 

 

 

ජේ. ශීලා වික්‍රමරත්න