තලවතුගොඩ හෝකන්දර පාරේ තැනක පිහිටා තිබූ එම දෙමහල් නිවස වටා ඝන ළඳු කැලෑවක් වැවී තිබුණි. නිවස ඉදිකර එතරම් කාලයක් ගතවී ඇති බවක් නොපෙනුනත්, තමන්ටත් තේරුම් ගත නොහැකි කිසියම් ගුප්ත බවක් නිවසේ ඇතිදෝ යන සිතුවිල්ල එහි පදිංචි වූ ජයසුන්දරගේ සිතේ කොනක ඇති නොවුණාමත් නොවේ.
නිවසේ මාසික කුලිය රුපියල් තිස්පන්දාහක් විය. මාස තුනක අත්තිකාරම් මුදලක් සෑහේ යැයි නිවසේ හිමියා ජයසුන්දරට පැවසීය. ජයසුන්දර එම අත්තිකාරම් මුදල සමග ඉදිරි මාස තුනක් සඳහා ද මාසික කුලිය ගෙවා දැමීය.
තම හිතවත් සේවකයින් දෙදෙනකු ලවා නිවස වටා වැවී තිබූ වන බූටෑව කපා දැමූ ජයසුන්දර ඔවුන් ලවාම නිවසේ අභ්‍යන්තරයද පිරිසිදු කර ගත්තේය.
දෙමහල් නිවසක් වූ එම නිවසේ සැලැස්ම තරමක් අමුතු යැයි ජයසුන්දරට එයට පයගැසූ දිනයේම සිතුණි. දෙමහල් නිවසක් වූ එම නිවසේ මුළුතැන් ගෙය පිහිටියේ විසිත්ත කාමරයෙනුත් පහළ කොටසකය. වෙනත් නිවෙස්වල මුළුතැන්ගෙයින් බැහැර වීමට දොරටුවක් තිබුණත් එහි එවැන්නක් නොවීය. නිවසට ඇතුලුවීමට සහ පිටවීමට තිබුණේ එකම දොරකි. බිරිඳත්, පුත්‍රයාත් සමග නිවසේ පදිංචි වූ ජයසුන්දරට සිතුණේ මුළුතැන්ගෙය සහ තවත් කාමරයක් කෙතරම් පිරිසිදු කළත් ඒවා පිරිසිදු නොකළ ආකාරයෙන් දිස්වන බවය. නමුත් කාර්ය බහුල ජීවිතයක් ගතකළ ඔහුට ඒ දිනවල ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවස්ථාවක් නොවීය.
ජයසුන්දරට බොහෝ මිතුරෝ සිටියහ. ඔහු මිතුරු ඇසුර බෙහෙවින් ප්‍රියකළ අයකු විය. මේ නිසා ඔහුගේ නිවසේ සාද පැවැත්වූ අවස්ථා විය. වෙනත් තැන්වලදී නම් එවැනි සාද, පාන්දර දෙක තුන ෙවනතුරු පැවැත්වෙයි.
එහෙත් ජයසුන්දරගේ අලුත් නිවසේ සාදවලට පැමිණෙන මිතුරන් රාත්‍රී දොළහට පෙර නිවසින් බැහැරවීමට උත්සාහ කරන වග ඔහුට වැටහී ගියේය. තවත් වේලාවක් රැඳී සිටින ලෙස ඔහු මිතුරන්ට පෙරැත්ත කළත් ඔවුහු කෙසේ හෝ එය මඟහැර ගියහ.
‘මොකද මචං උඹල ඊයේ රෑ ඉක්මනටම ගියේ? එවන් අවස්ථාවක ඊළඟ දිනයේදී ජයසුන්දර තම මිතුරන්ගෙන් අසයි.
නෑ මචං හුඟාක් රෑ වෙනකොට උඹලගෙ අලුත් ගෙදර අමුතු ස්වභාවයක් ගන්නවා. හරියටම මේකයි කියල කියන්න තේරෙන්නෙ නැහැ. අපි හැර තවත් කවුරු හරි ළඟම ඉන්නව වගේ දැනෙනවා. ඒක මහ අමුතු අත්දැකීමක්. එතකොටයි උඹලගෙ ගෙදරින් යන්න හිතෙන්නේ. බොහෝ මිතුරන් ජයසුන්දරට දුන්නේ එවැනි පිළිතුරකි.
ජයසුන්දර වැඩිදුර අවධානය යොමු නොකළාට ඔහුටද එවැනි අත්දැකීම් ලැබුණ අවස්ථා තිබුණි. සමහර රාත්‍රියක විසිත්ත කාමරයේ ඔහු සිටිනවිට කිසිවකු තමන් අසල සිටින්නාක් වැනි හැඟීමක් ඇතිවෙයි. එවන් විටක ඔහු සිතීමට උත්සාහ කළේ එය හුදෙක් තමන්ගේ සිතෙහි ඇතිවන මනස්කාරකයක් පමණක් බවය.
නමුත් ඒ සියල්ලම එක්තරා දිනයකදී කණපිට පෙරළුණි.
එදින ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා බිරිඳගේ දෙමාපියන්ගේ නිවස බලා පිටත්ව ගියහ. කාර්යාලයේ වැඩ අවසන් කර ඔහු නිවසට එනවිට රාත්‍රී එකොළහද පසුවී තිබුණි. නාන කාමරයට වැදී ඇඟපත සෝදාගත් ජයසුන්දර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී උඩුමහලට වී සැහැල්ලුවෙන් සිටියේය. රාජකාරිමය අවශ්‍යතාව නිසා ජංගම දුරකතනය ඔහු අසලම විය. එනිසාම එම භයංකර මොහොත එළඹුණේ හරියටම රාත්‍රී දොළහට පමණ බව ඔහුට නිශ්චිතය.
එකවරම ඇසුණු කාන්තාවකගේ ගෙල සිර කරන විට ඇති වෙන්නක් වැනි වූ විලාප හඬකින් ජයසුන්දර තිගැස්සී ගියේය. සමීප නිවසේ සිටින දෙමහල්ලන් නිතර රණ්ඩු දබර සිදුකර ගන්නා නිසා එම නිවසේ බිරිඳගේ විලාපය දෝ යන සැකය ජයසුන්දර තුළ ඇතිවිය. ඔහු ඉඳසිටි අසුනින් නැඟිට උඩුමහලෙහි වූ කවුළුවක් අසලට ගොස් එම නිවස වෙත නිරීක්ෂණ බැල්මක් හෙළුවේය. නිවස පට්ට අඳුරේය. කිසිම හැල හොල්මනක් නිවසින් ඇසෙන්නේ නැත. එම නිවසේ බිරිඳ ඒ මරළතෝනිය නැගුවා නම් ඒ නිවස මෙතරම් මරණීය නිහැඬියාවක පැවැතීමට නොහැකි බව ජයසුන්දරට ක්ෂණයකින් වැටහී ගියේය.
ඔහු ආපසු පැමිණ එතෙක් හිඳගෙන සිටි අසුනෙහි නැවතත් වාඩි විය. ඔහු බීර වීදුරුවක් සෙමින් සෙමින් තොලගාන්නට විය.
බොහෝ නිසලව විනාඩි කීපයක් ගතවී ගියේය.
ගැහැනියකගේ බෙල්ල මිරිකන විට ඇති වෙන්නාක් වැනිවූ මරළතෝනිය නැවතත් ඇසුණේය.
එය නිසැකය.
එවර නම් ඒ මරළතෝනිය නැගුනේ තම නිවසේම පහළ මාලයෙන් බව ජයසුන්දරට නිසැකය. තද සිතැත්තෙකු වූ ජයසුන්දරගේ සිත ස්වල්පයක් තිගැස්සී ගියේය.
බීර වීදුරුව අසල වූ ටීපෝව මත තැබූ ජයසුන්දර තමන්ගේ නිදන කාමරයට ගියේය. එහි කෙලවරක තබා තිබූ ඇඳුම් අල්මාරිය විවෘත කළ ඔහු අල්මාරිය තුළ වූ අභ්‍යන්තර ලාච්චුවක් විවෘත කළේය. ගෙවී යමින් තිබූ ජයසුන්දරගේ ජීවිතයට මරණීය තර්ජනය පවා තිබූ වකවානුවකි. එනිසා ඔහුගේ ජීවත ආරක්ෂාව සඳහා රජයෙන් ඔහුට පිස්තෝලයක් ලබාදී තිබුණි. අල්මාරියේ ලාච්චුවෙන් එය එළියට ගත් ඔහු එයට උණ්ඩ පුරවා ගත්තේය. දකුණතින් පිස්තෝලය තරයේ අල්ලාගත් ඔහු පඩිපෙළ දිගේ පහළට ආවේය.
පඩි පෙළ දිගේ පහළට බසින ගමන් ඔහු පහත මාලයේ වූ වීදුරු ජනේලය තුළින් මුළුතැන්ගෙය සමීපයහි බැඳ සිටි තමන්ගේ දැවැන්ත බල්ලා දෙස නෙත් හෙලුවේය. මීයෙකු අසලකින් දිව්වත් මේ බල්ලා මහ හඬින් බුරයි. නමුත් වීදුරු ජනේලය තුළින් ජයසුන්දර දුටුවේ ඒ දැවැන්ත බල්ලා කිසිවකට බියවූ ආකාරයෙන් වීදුරු ජනේලය තුළින් විසිත්ත කාමරය දෙස බලා සිටින ආකාරයයි. බල්ලා එවැනි අසරණ ස්වභාවයකින් සිටිනු කිසි දිනක ජයසුන්දර දැක නැත. ඒ සමගම ඔහුට සිතුනේ මෙම නිවසේ පදිංචියට පැමිණි දිනයේ පටන් බල්ලාගේ ක්‍රියාශීලීභාවයේ කිසියම් වෙනසක් සිදුවූවා නේද යන්නය.
ජයසුන්දර විසිත්ත කාමරය හරහා ගොස් ඉදිරිපස දොරටුව විවෘත කළේය. ආලින්දයට ඇතුළු වෙත්ම ඇඟ හිරිගඩු නංවන සීතල සුළං රැල්ලක් තමා වටා එතී යන්නාක් සේ ඔහුට දැනුණි.
ආලින්දයේ එහා මෙහා ගිය ඔහු ඉදිරිපස දොර වසා නැවතත් විසිත්ත කාමරයට ඇතුලු විය. ශීතකරණය විවෘත කර ශීතල වතුර වීදුරුවක් පුරවාගත් ඔහු විසිත්ත කාමරයෙහි සුව පහසු අසුනෙහි ගිලී හිඳිමින් නිකමට මෙන් ඉදිරිපස ජනේලය දෙස නෙත් හෙලුවේය.
දැඩි සිතැත්තෙකු වූවන් එවර නම් ඔහුගේ සිත තිගැස්සී ගියේය.
සුදු පැහැති ඡායාවක් නිවසේ පිටතින් ඇදී යනු ජනේලය තුළින් ඔහු දුටුවේය. එය සිදුෙවන විට පාන්දර එකයි දහයට පමණ විය. සිතෙහි වූ තිගැස්ම නැතිකර ගැනීමට ඔහු ගීතයක කොටසක් සෙමින් මුමුණන්නට විය. නමුත් ඊට පසුව අර අද්භූත ඡායාව ඉදිරිපස ජනේලයෙන් එහා මෙහා වෙනු ඔහු දුටුවේ නැත.
ටික වේලාවක් විසිත්ත කාමරයේ රැඳී සිටි ඔහු නැවතත් උඩු මහලට ගියේය. උඩු මහලේ සිට ඔහු පහත මහල දෙස බලා සිටියේය. කිසිදු හැල හොල්මනක් නැත. නිවසම මරණීය නිහැඬියාවක ගිලුනා සේ විය. නමුත් ඔහු නිදන කාමරයට ඇතුළු වී එහි දොර වසා ගනිත්දී, පහත මාලයෙන් නැවත වරක් කෙඳිරිල්ලක හඬ නැගී ආවේය. නිවසේ කිසියම් අද්භූත චරිතයක් සැරිසැරූ බව ඔහුට හොඳටම පැහැදිලි විය.
තවත් දිනක ජයසුන්දර තනිවූ මොහොතක ඔහුට බෙල්ල මිරිකන විට කාන්තාවක් නගන්නා වූ විලාප හඬක් වැනි වූ එම අඳෝනාව ඇසුණි. නිවසේ අය අනවශ්‍යය ලෙස කලබලවේ යැයි සිතා ජයසුන්දර මෙම තොරතුරු තම බිරිඳටවත් නොපැවසීමට පරිස්සම් විය.
මෙම නිවසේ පිහිටීම කිසියම් ගුප්ත ස්වභාවයක් ගන්නා බව මුලින්ම පැවසීමි. එහි ගුප්ත බව කෙසේදැයි පැවසුවහොත් එහි උඩුමහලේ බාහිර බිත්තියක අඩි දහයක පමණ උසකින් අඩි හතරයි අඩි දෙක ප්‍රමාණයේ ජනේල දෙකක් ඇත. පිහිටි ගෙබිමේ සිට එම ජනේලය විවෘත කිරීමට හෝ වැසීමට නොහැක.
‘‘තාත්තේ අපි අර ජනේල දෙක ඇරල බලමුද?’’ දිනක් ජයසුන්දරගේ පුතු ඉසුරු විමසා සිටියේය.
‘‘උසයිනේ පුතේ, කොහොමද ඒක කරන්නේ’’ ජයසුන්දර අතුරු ප්‍රශ්නයක් නැඟීය.
‘‘ඇයි අපි ඉනිමගක් තියල බලමුකෝ’’ ඉසුරු කීය.
ඉණිමඟ උඩු මහලට රැගෙන ආ ජයසුන්දර එය බිත්තියට හේත්තුකර ජනෙල් දෙක විවෘත කළේය.
විස්මකි
එම ජනේලදෙක විවෘත වූයේ තවත් අඩි දහයයි දහය ප්‍රමාණයේ කාමරයකටය.
එහි ජනේල හෝ දොරටු කිසිවක් නොවීය.
පුදුමය වූයේ එහි අකුලන ලද පැදුරක් සහ ඒ මත කොට්ටයක් තිබීමය. නිවසේ පිටතින් බලද්දී මෙවැනි කාමරයක් ඇතැයි කිසිවකුට පෙනෙන්නේ නැත. ජයසුන්දර කුලියට ගත් නිවසේ අයිතිකරුවාද එවැනි කාමරයක් තිබෙනවාය කියා ඔහුට පවසා තිබුණේ නැත.
ජයසුන්දරලා එම නිවසේ රැඳී සිටි කාලයද ඔවුන්ට බෙහෙවින් කරදර පැමිණි කාලයක් විය. සමහර කාල වකවානුවල ඔහු දින ගණනාවක් නිවසින් බැහැරවී පුත්තලම වැනි ඈත ප්‍රදේශවල මිතුරන්ගේ නිවෙස්වල රැඳී සිටි අවස්ථා විය.
මෙලෙස කරදරකාරී වකවානුවක් ගත කරද්දී තමන් රැකියාව කරන ස්ථානයට සම්බන්ධව කටයුතු කරන වාස්තු විද්‍යාඥයකුට පැවසුවේ නිවසට ගොස් එහි ගුණ දොස් පිළිබඳව තොරතුරු පවසන ලෙසය.
නිවසට පැමිණි එම පුද්ගලයා, නිවසේ ගෙපත්තට අඩිය තියා නැවතත් එය පස්සට ගත්තේය. ඊළඟට ඔහු ජයසුන්දරගේ බිරිඳගෙන් වතුරු වීදුරුවක් ඉල්ලාගෙන පානය කළේය.
‘‘නංගි මේ ගෙදරින් යන්න’’ වීදුරුව ආපසු දෙන අතරතුර ඔහු පැවසීය.
‘‘ඇයි ඒ’’ ජයසුන්දරගේ බිරිඳ විමසුවාය.
‘‘මේ ගෙදර හිටියොත් ප්‍රශ්න ගොඩකට පැටලෙන්න වෙනවා.’’
‘‘මොනව හින්දද ඒ?’’ ජයසුන්දරගේ බිරිඳට තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.
‘‘මේක භූත බංගලාවක්. ඉක්මනින් මෙහෙන් යන්න’’ ඔහු නැවත නැවතත් පැවසීය. ජයසුන්දරගේ කේන්දරය පරීක්ෂා කළ ඔහුගේ හිතවත් වාස්තු විද්‍යාඥයකුද පැවසුවේ මුළුතැන්ගෙයින් පිටතට යෑමට දොරටුවක් නැති එම නිවසින් වහාම බැහැර වන ලෙසය. එළඹ තිබුණ කරදර හා හිතවතුන්ගේ උපදෙස් සැලකූ ජයසුන්දරලා එම නිවස අත්හැර වෙනත් නිවසක පදිංචියට පැමිණියහ.
අලුත් නිවසට පදිංචියට පැමිණ ටික කාලයකට පසු ජයසුන්දරට පරණ නිවසේ අයිතිකරුවා මුණ ගැසුණි.
‘‘කොහොමද දැන් ගෙදර කවුද පදිංචි’’ ජයසුන්දර ඇසීය.
‘‘කවුරුත් නැහැ මහත්තයා.’’
‘‘ඇයි ඒ?’’
‘‘මහත්තයලා තමයි ඔය ගෙදර අවුරුද්දක්වත් හිටියෙ. ඊට පස්සේ එන හැම කෙනෙක්ම සතියකින් දෙකකින් ආපසු යනවා. ගෙදර හොල්මන් තියෙනවය කියලා.’’
‘‘ඔයාලමද ඔය ගෙය හැදුවේ?’’ ජයසුන්දර නිවස හිමියාගෙන් ඇසුවේ නිවසේ අද්භූත සැලැස්ම සිහිවීම නිසාය.
‘‘නැහැ මහත්තයා. ඕක පොලිසියේ ඩී.අයි.ජී. මහත්තයෙක් හදපු ගෙයක්. ඒගොල්ලො ගේ හදල අවුරුදු දෙක තුනකට වැඩිය හිටියෙ නැහැ. ගේ මට විකුණලා යන්නම ගියා. අපි ගේ ගත්තට පස්සෙ මහත්තයා තමයි ඉස්සරවෙලාම පදිංචි වුනේ’’ නිවසේ අයිතිකාරයා අතීත තොරතුරු ජයසුන්දරට පවසන්න විය.
එදින නිවසට පැමිණි ජයසුන්දර පැරණි නිවසේ අයිතිකරු පැවසූ දෙයත් අවස්ථා දෙකකදී තමන් දුටු අද්භූත සිදුවීම් ද බිරිඳට පැවසීය.
‘‘ඔයාට නොකීවාට ඔයා නොහිටිය දවස් දෙකක්ම මට ගෑනු කෙනෙකුගේ අඳෝනාවක් ඇසුණා.’’ බිරිඳ පැවසුවේ ජයසුන්දර විශ්මයට පත් කරමිනි.
එය සිදුවී සති කීපයකට පසු පැරණි නිවස අසල හිතවතකු ජයසුන්දරට හමුවූයේ ඔවුන් සිටි නිවස අසලම වූ පලතුරු කඩයදීය.
‘‘මහත්තයලා ඔය ගෙදරින් ගිය එක හොඳයි.’’ ජයසුන්දර දුටු විගසම ඔහු එය පැවසීය.
‘‘ඇයි එහෙම කියන්නෙ.’’
‘‘ඕක භූත බංගලාවක් මහත්තයා. ඔය ගේ වටේ තියෙන තාප්පය ළඟට යන්නවත් අහල පහල අය බයයි.’’
‘‘ඇයි ඉතින් එහෙම වෙනවා ඇත්තෙ?’’
‘‘ඔය ගේ හැදුවෙ හිටපු ඩී.අයි.ජී. කෙනෙක්. ඒ මහත්තයයි. නෝනයි ලොකු පුතයි ඔය ගෙදර හිටියෙ’’
‘‘ඉතින්’’
‘‘ගෙදරට ඇවිල්ල ටික කාලයකින් පුතා මනමාලියක් කැන්දක් ආවා’’
‘‘කියන්නකො මුලු විස්තරේම’’ ජයසුන්දර පැවසීය.
‘‘කසාදෙ සිද්දවෙලා දවස් දෙකකට විතර පස්සෙ අර ඩී.අයි.ජී. මහත්තයා මනමාලි පිටිපස්සෙ පිස්තෝලයක් අරගෙන දුවනව දැක්කා. ඊට පස්සෙ දවසක පුතයි එයාගේ බිරිඳයි යටිගිරියෙන් මරහඬ දෙනවා ඇසුණේ.’’
‘‘ඊට පස්සෙ’’
‘‘ඊට පස්සෙ පුතාවයි, එයාගෙ බිරිඳවයි දැක්කෙ නැහැ. ගෙදර අය කිව්වෙ ඒ දෙන්න ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියාය කියලා’’
‘‘හරි පුදුමයිනේ’’ ජයසුන්දර විෂ්මයෙන් ඇස් ලොකුකර ගත්තේය.
‘‘ඊට මාස දෙක තුනකට පස්සෙ මහ ජෝඩුවත් ගෙදරින් ගියා. ගේ විකුණලා. ඊට පස්සෙ තමයි ඔය ගෙදරින් අද්භූත සද්ද ඇහෙන්න පටන් ගත්තෙ’’ පැරණි හිතවතා ජයසුන්දරට පැවසීය.
පීටර් කැනියුට් පෙරේරා