භූත ලෝකයෙන් ආ පණිවිඩයක්


 

 

මරණය සමග කෙනකුගේ සියලුම ක්‍රියාවලියන් සදහටම නවතිනවා ද?  


මිනිසුන් මියගිය පසු කිසියම් භූත ලොවක හෝ වෙනත් ස්ථානයක හෝ උපදිනවා ද?  


මියගොස් කිසියම් භූත ලොවක සැරිසරන පුද්ගලයකුට ජීවත්වෙන ඥ‌ාති මිත්‍රාදීන් සමග හෝ වෙනත් පුද්ගලයන් සමග ගනුදෙනු කළ හැකි ද?  


මෙබඳු දේ කෙරෙහි විද්වතුන්ගේ අවධානය ඈත අතීතයේ සිටම යොමු වී ඇත. 
 


බ්‍රිතාන්‍යයේ විසූ එංගලන්ත (ක්‍රිස්ත්‍රියානි) සභාවේ නායකයකුව සිටි කොස්මෝ ලෑං අගරදගුරුතුමා ද මෙවැනි ප්‍රශ්න ගැන අවධානය යොමුකළ අයකු විය. 1930 දී එතුමන් විසින් මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා බාත් සහ වේල්ස් නගරවල රදගුරු වශයෙන් කටයුතු කළ ආචාර්ය ප්‍රාන්සස් අන්ඩර්වුඩ් දේවගැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරන ලදී.  


බ්‍රිතාන්‍යය පුරා භූතාවේෂය ලබන ප්‍රවාහක, ප්‍රවාහිකාවන් සිටින ස්ථානවල ද භූත විද්‍යා පර්‌යේෂණවලට ද ගිය මෙම කොමිසම, පුරා වසර දෙකක්ම තම පර්‌යේෂණ කටයුතුවල නිරත විය. මෙවැනි භූතයින්, ජීවත්වන පුද්ගලයන් හා අදහස් හුවමාරු කරගනිමින් සම්බන්ධතා පවත්වන බවටත් සාක්ෂි ඇති බව අවසානයේ මෙම පූජක කොමිසමේ අදහස විය.  
 කොමිසම් වාර්තාව අතට ගත් කොස්මෝ ලෑං අගරදගුරුතුමා මැදිවූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. එම වාර්තාව පිළිගෙන ප්‍රකාශයට පත්කළහොත් කිතුණු බැතිමතුන් අතර විශාල ආන්දෙ‌ා්ලනයක් ඇතිවන බව එතුමන්ට වැටහුණි.  


 එයින් තම අගරදගුරු පදවිය පමණක් නොව පූජක ලෝගුව ද ගැලවී යා හැකි බව එතුමන්ට අවබෝධ විය. එම නිසා එතුමා අද‌ාළ කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් වැළැකී සිටියේය.  


 එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි මේ වාර්තාවේ පිටපතක් හොරෙන් ලබාගත් ලන්ඩන් නුවර භූත විද්‍යා සංගමය, සිය නිල පුවත්පතෙහි මෙම වාර්තාව අකුරක් නෑර පළ කළේය.  


 බ්‍රිතාන්‍යයේ ඉහළ මට්ටමේ විද්වතුන්ගේ සහ සත්‍ය ගවේෂකයින්ගේ සාමූහිකත්වයෙන් ලන්ඩන් නුවර අධි මානසික පර්‌යේෂණායතනය ආරම්භ කෙරුණි. මේ සංගමයේ සාමාජිකයන් බහුතරයක් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවල උපාධිධාරීහු වූහ.  


අදත් අපර මනෝවිද්‍යාව පිළිබඳව හද‌ාරන්නන් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන භූත ලෝකය පිළිබඳව පොත් රාශියක් ලියා ඇති සර් ඔලිවර් ලොප් සහ ෆෙඩ්රික් මියර්ස් මෙම ලන්ඩන් නුවර අධි මානසික සංගමයේ කීර්තිමත් සාමාජිකයෝ දෙදෙනෙක් වූහ.  


කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ සර් ඔලිවර් ලොප්, අපර මනෝ විද්‍යාව පිළිබඳව ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කළ අයකු විය. 1918 පැවැති පළමු ලෝක මහා යුද්ධයේදී ඔහුගේ කනිටු පුත් රේමන්ඩ් ලොප් ප්‍රංශයේදී මියගියේය. පසුව සර් ඔලිවර් ලොප්, ප්‍රවාහිකාවන් කීපදෙනකුගේ මාර්ගයෙන් මියගිය පුතා සමග එංගලන්තයේදී කතාබහෙහි යෙදුණේය. මෙහිදී ඔහු තමන් වෙනත් ලොවක ජීවත් වෙන බව ඔප්පු කළ අතර සර් ඔලිවර් ඒ සිද්ධිය අරභයා ඉතාමත් වැදගත් ග්‍රන්ථයක් රචනා කළේය.  


 අපර මනෝවිද්‍යාව පිළිබඳව ඉතාමත් ඇල්මක් දැක්වූ ඔහු තම ජීවිතයේ අවසාන කාලයේදී ලන්ඩන් නුවර අපර මනෝවිද්‍යා සංගමයට පොරොන්දුවක් වූයේ තමා මියගොස් භූත ලෝකයක ජනිත වූ විට ඒ බව සනාථ කිරීමට අවශ්‍ය සාධක සපයන බවය. ඔහු මියගියායින් පසු 1963 මාර්තු මස හතරවන දින ලන්ඩන් නුවර ජෝර්ජ් වුඩ්ස් සහ බේට් ග්‍රීන් නමැති ප්‍රවාහක ප්‍රවාහිකාවන් දෙදෙනාගේ මාර්ගයෙන් භූත ලෝකයේ සිට ඇමතීය. දීර්ඝ විස්තරයක් අන්තර්ගත අද‌ාළ කතාව පටිගත කෙරුණු අතර ඒ හඬට සවන් දුන් බොහෝ දෙනා පැවැසුවේ භාෂා ශෛලිය, කටහඬ හා කතා කරන විලාසය සර් ඔලිවර් ලොප්ගේම බවය.  


තම මියගිය සැමියාගේ භූතාත්මය සමග සම්බන්ධතා පවත්වමින් සැමියාගේ භූතාත්මයෙන් නිතරම උපදෙස් අවවාද අනුශාසනා ලැබූ කාන්තාවක් ගැන අපූරු වාර්තාවක් අපර මනෝවිද්‍යාඥයින්ගේ සටහන් අතර ඇත.  


 ඈන් ඩෙන්ගෝ නමැති මේ කාන්තාවට තමන්ගේ මියගිය සැමියාගේ භූතාත්මය සමග සම්බන්ධකම් ඇති කරගැනීමේ සුවිශේෂ හැකියාවක් තිබුණි. සමහර අවස්ථාවක ඒ භූතාත්මයෙහි පණිවිඩ දූවිල්ලෙන් ලියැවෙන්නාක් මෙන් බිත්තියේ ලියැවුණි.  


 දිනක් ඇය නගරයේ තරමක් බැහැරක ජීවත් වූ ඥ‌ාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට යෑමට සූද‌ානම් විය. තරමක දුර බැහැර ස්ථානයක මංගල උත්සවය පැවැත්වෙන නිසා වෙනත් ඥ‌ාතියකුගේ රථයකින් එම ගමන යෑමට ඇය කලින්ම සූද‌ානම්ව සිටියාය. ඥ‌ාතියා උදෑසන හතට පැමිණීමට නියමිතව තිබුණි.  


 උදෑසන හයයි හතළිස් පහ වනවිට ගමනට සැරැසෙන ඈන් ඩෙන්ගෝ තම ඥ‌ාතියා බලාපොරොත්තුවෙන් විසිත්ත කාමරයේ අසුනකට බරව සිටියාය. ඉදිරිපස සුදු පැහැති බිත්තිය මත දෙනෙත් යොමා සිටින ඇය බිත්තිය මත යමක් ලියැවෙනවා දක්නට ලැබුණි.  


‘අද මේ ගමන යන්න එපා’  


දූවිල්ලෙන් බිත්තියේ ලියැවුණ පණිවිඩය එයයි. එම පණිවිඩය තම සැමියාගේ භූතාත්මයෙන් ලැබුණ එකක් බවට ඇයට ස්ථිරය.  


 මේ මොහොතේ තමන් කැඳවාගෙන යෑම සඳහා පැමිණි ඥ‌ාතියාගේ රිය නිවස ඉදිරිපිට නතර කරනවා ඇයට ඇසුණි. ඇය නිවසේ දොරටුව විවෘත කර ආලින්දයට ගියාය.  
 ‘ඔයා ලෑස්තියි වගේ.. ඔන්න අපිත් වෙලාවටම ආවා. එහෙම නම් යමු.’ රථයේ සිටි ඥා‌ාතියාගේ බිරිඳ රිය කවුළුවෙන් හිස දමා පැවැසුවාය.  


‘නැහැ අක්කේ මම අද යන්නේ නැහැ. මම මනාල ජෝඩුවට සුබ පැතුවා කියන්න.’ ඈන් ඩෙන්ගෝ ස්ථිර හඬින් පැවැසුවාය. ඇයගේ කටහඬෙහි වූ ස්වරයට ඇයට පෙරැත්ත කිරීමට ද රථයෙහි සිටි ඥ‌ාතියාට නොසිතුණි.  


‘එහෙම නම් ඔන්න අපි ගියා.’ රථය පණගන්වමින් ඥ‌ාතීහු ඇයගෙන් සමුගත්හ.  


එදින දහවල් වනවිට ඈන් ඩෙන්ගෝ මහත්මියට අසන්නට ලැබුණේ මංගල උත්සවයට සහභාගි වනු පිණිස තමන් කැඳවාගෙන යෑමට පැමිණි රථය වෙනත් මෝටර් රථයක හැපී රථයේ ගමන් කරමින් සිටි ඥ‌ාතීන් දෙදෙනාම එම ස්ථානයේම මියගිය බවය.  


 ඔබ භූතයින් පිළිබඳව කතා අසා ඇතත් භූතයින් චිත්‍රයට නැඟූ පුද්ගලයකු පිළිබඳව අසා නැතිවා විය හැක.  


භූත රූපයක් චිත්‍රයට නැගූ පුද්ගලයකු පිළිබඳව අපූරු කතාවක් එච්.ටී. හැලිෆැක්ස් සාමිවරයාගේ ‘ලොව සැරිසරන භූතයෝ’ නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි.  
 රෙජිනෝල්ඩ් ඊස්ටන් එංගලන්තයේ වෙෂයර් ප්‍රාන්තයේ වාසය කළ දක්ෂ සිත්තරකු විය. මිනිස් රූ සිත්තමට නැඟීමට ඔහු විශේෂ දක්ෂතාවක් දැක්වීය. මේ නිසා ඔහු ජීවත් වූ ප්‍රදේශයේ අය පමණක් නොව, බැහැර ප්‍රදේශවල අය ද ඔහු ලවා තම රුව සිත්තමට නඟා ගත්හ.  


මෙම ප්‍රදේශයේම ජීවත් වූ ඉයන් කොන් යුවළට සිය විවාහ සංවත්සරයේදී දෙදෙනා එකට සිටින සිතුවමක් ඇඳගැනීමට අවශ්‍ය විය. මේ සඳහා රෙජිනෝල්ඩ් ඊස්ටන්ට තමන්ගේ ඕල්ඩ් හෝල් නමැති නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළහ. රාත්‍රී සාදයෙන් පසු සිතුවම ඇඳීමට සිටියත් පැමිණ සිටි අමුත්තන් පිටව නොයෑම නිසා එය ඉටුකර ගැනීමට නොහැකි විය. ඒ නිසා එදින නිවසේ නැවැතී පසු දින සිතුවම අඳින ලෙස ඉයන් කොන් යුවළ සිත්තරාගෙන් ඉල්ලා සිටියහ. එයට එකඟ වූ ඊස්ටන් රාත්‍රී ආහාරයෙන් පසු නිද‌ා ගැනීමට කාමරයකට ඇතුළු විය. එය තෙත සහිත තරමක් ශීතල කාමරයක් වුවත් ඊස්ටන් ඒ ගැන තැකීමක් නොකළේය.  


 නින්දටවන් සුළු මොහොතකින්, තමන් නිද‌ා සිටි සයනය මත කිසිවකු ඉඳගන්නාක් මෙන් දැනුණ නිසා ඊස්ටන් සෙමින් දෙනෙත් හැර බැලුවේය. තමන්ගේ සයනය මත බෙහෙවින් සුරූපී කාන්තාවක් හිඳ සිටිනු දුටු ඔහු මවිතයට පත්විය.  


‘නෝනා ඔබට වැරැදිලා මේ කාමරයට ඇතුළු වෙලා වගේ. මේක මට වෙන් කරල දුන්න කාමරේ.’ ඔහු පැවැසීය.  


 එහෙත් මුවින් කිසිදු වදනක් නොදෙඩූ ඇය ශීතල වාතයත් සමග මුසු වී ක්ෂණයකින් අතුරුදන් විය.  


උදෑසන අවදි වූ විගසින් ඊස්ටන් රාත්‍රියේ තමන් විඳි අපූරු අත්දැකීම කොන් යුවලට පැවැසුවේය.  


‘අපිත් ඔයාට ඔය කාමරේ දෙන්න ටිකක් අකැමැති වුණේ ඒකයි. නමුත් අනික් කාමරවල අමුත්තෝ හිටියනේ. ඔය නපුරු ගෑනි හැමද‌ාම වගේ එනවා. අපිත් ඔය ගෑනිට බයවෙලා තියෙනවා.’ ඔවුහු පැවැසූහ.  


 ‘එතකොට කවුද ඒ ගෑනු කෙනා?’ ඊස්ටන් විමසිලිමත් විය.  


 ‘අවුරුදු ගණනාවකට පෙර මේ නිවස අයිති වුණේ ඔය ගෑනු කෙනාට.’  


‘ඉතින් ඉතින්?’  


‘ඔය ගෑනු කෙනාට පුංචි දරුවෙක් හිටියා.’ ඉයන් කොන් පැවැසීය.  


‘දිගටම කියන්නකො’  


‘දවසක් ඔය ගෑනි ඔය දරුවගෙ බෙල්ල හිරකරලා මරලා මළසිරුර හැංගුවා.’ කතාව මොහොතකට නතර කළ ඉයන් කොන් සුළු වේලාවකට දෙනෙත් පියා ගත්තේය.  
‘මේ නපුරු පාපය හින්දා ඇය පසු කාලීනව හුඟාක් දුක් වින්ද‌ා. ටික කාලයකින් මරණාසන්නව ඇය තමන් කළ පාපය හෙළිකළා.’  


‘ඇය ඉක්මනින් මැරුණා ද?’ ඊස්ටන් අතුරු ප්‍රශ්නයක් නැගීය.  


‘හුඟාක් දුක් වින්ද‌ා. අපරාධයක් කළොත් ඒකට දඬුවම් විඳිය යුතුමයි.’ ඉයන්ගේ බිරිඳ පැවැසුවාය.  


‘ඇයගේ මරණයෙන් පස්සේ මේ නිවස වෙන්දේසියේ විකුණුනා. මගෙ සීයා තමයි වෙන්දේසියේදී මේ ගෙය මිලදී ගත්තේ.’ ඉයන් කොන් පැවැසීය.  


‘මරණෙන් පස්සේ භූතාත්මයක් වෙච්ච ඇය හැම රැයකම මේ ගෙදර සැරිසරනවා.  


‘එහෙනම් අද රෑටත් ඔය භූතාත්මය එයි නේද?’ සිත්තරා විමසීය.  


‘මොනවා කියනවා ද? මේ හැම රාත්‍රියකම ඔය නපුරු ගෑනිගෙ අවතාරය මේ ගෙරදට එනවා.’  


එදින රාත්‍රියේ නින්දට යෑමටම පෙර රෙජිනෝල්ඩ් ඊස්ටන් චිත්‍රයක් ඇඳීමට අවශ්‍ය පැන්සල් කඩද‌ාසි ආදී උපකරණ ඇඳ අසලම තබාගෙන නින්දට ගියේය. 

 
නියමිත වෙලාවට ගැහැනියගේ අවතාරය කාමරයට ඇතුළු විය. කාමරයේ මුල්ලක වූ අසුනක ඉඳගෙන ඇය වහලයේ සිවිලිම දෙස බලා සිටියාය. මේ අතර ඊස්ටන් සිතුවමට අවශ්‍ය කටු සටහන ගසා ගත්තේය. එය නිමවීමත් සමග අවතාරය අතුරුදන් විය. අවතාරයේ සිතුවම සම්පූර්ණ කරගත් ඔහු එය තම මිත්‍ර හැලිෆැක්ස් සාමිවරයාගේ ග්‍රන්ථයෙහි පළ කිරීමට තෑගි කළේය.  

 

 

 

 පීටර් කැනියුට් පෙරේරා