මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා - එමාෂා සෙනවිරත්න


ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයක් සටහන් කළ සිරස නාළිකාවේ විකාශය වූ ‘‘මායාවි’’ ටෙලි නිර්මාණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා.

එයට හේතුව වූයේ එම නිර්මාණයට ප්‍රධාන චරිතයෙන් දායක වුණු රංගන ශිල්පිනිය ඉන් ඉවත්වීමත් සමගින්, එමෙන්ම ඒ අඩුව පුරවමින් එම නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වුණු රංගන ශිල්පිනිය සම්බන්ධවත් ඇති වුණේ දැඩි කතාබහක්. ඒ නිසාම අැය සමගින් කතාබහක යෙදෙන්නට සඳැල්ලෙන් අපි හිතුවා. මේ එමාෂා සෙනවිරත්න.

ප්‍ර එමාෂා කොහොමද අලුත් චරිත රංගනය

ඇත්තටම මේ මට ඉතාම හදිසියේ ලැබුණු චරිතයක්. ‘‘මායාවි’’ කියන්නෙ ටික කාලයක සිට විකාශය වෙමින් පවතින ටෙලි නිර්මාණයක්නෙ. ඉතින් මට මේ වෙනුවෙන් මෙහි අධ්‍යක්ෂවරයා කතා කරද්දී මුලින් මම හිතුවෙ අලුත් ටෙලි නිර්මාණයකට කතා කරනවා කියලා. නමුත් විස්තර කරලා අවසානයේදී තමයි ‘‘මායාවි’’ නිර්මාණය ගැන සඳහන් කළේ. එය ඉතාම අර්බුදකාරී තත්ත්වයක තමයි තිබුණේ. ඒ ගැන මට එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඇත්තටම මට මේ ලැබුණෙ ආරාධනාවකට වඩා බලවත් ඉල්ලීමක් කිව්වොත් හරි. මේ වෙනුවෙන් මගෙත් එක්ක තව රංගන ශිල්පිනියන් 4 දෙකේ යෝජනා වෙලත් තිබුණා. ඒ අතරින් තමයි මගෙනුත් මේ ඉල්ලීම කළේ. එදා ඒ කතා කරපු දවසට පහුවදා උදේ රූගත කිරීම් එහෙමත් සිදුවෙනවා. එහෙම නැති වුණොත් මේ නිර්මාණය නවතිනවා කියලත් ඔහු සඳහන් කළා. ඉතින් නාට්‍ය නතර නොවී විකාශය දිගටම ගෙනියන්න ඕනෑ කියන තැන මමත් නතර වෙලා ඒ ගැන කල්පනා කරලා තමයි අවසානයේ චරිතය භාරගත්තේ. 

ප්‍ර වෙනත් කෙනෙක් සම්බන්ධවෙලා හිටපු චරිතයකට සම්බන්ධවීමෙන් ප්‍රේක්ෂකයො එය කොයි විදියට බාර ගනියිද කියන ප්‍රශ්නය එමාශාට තිබුණෙ නැද්ද?

අනේ නැහැ. ඒ ගැන ඇත්තටම හිතුවෙ නැහැ. මොකද මට චරිතෙකට ආරාධනා කරද්දි මම බලන්නෙ ඒ චරිතය සහ ඒ තුළ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? එය කොයිතරම් දුරට මට කරන්න පුළුවන්ද වගේ දේවල්. ඉතින් ඒ දේවල් බලලා තමයි මට පුළුවන් කියලා හිතෙනවනම් ඒ චරිතය බාරගන්නෙ. විශේෂයෙන්ම මට මේ චරිත රංගනය ගැන ගොඩක් දේවල් කියන්න බැහැ. මොකද ‘‘මායාවි’’ හිතෛෂී කියන්නෙ කලින් ප්ලේ වුණු චරිතයක්. ඉතින් චරිතයක් නැතිවෙද්දි ඒ වෙනුවට ආපු චරිතයක්නෙ මේ. අලුතින් නිර්මාණය වුණු චරිතයක් නෙමෙයි. ඒ නිසා මට මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් මට්ටමකට එන්න නම් ඒක ටික කාලයක් කරගෙන යන්න ඕනෑ. එතැනින් පසුව ප්‍රේක්ෂකයන්ගේ මත විමසුම් ගැන හිතන්න වෙන්නෙ. රංගන ශිල්පිනියක් විදියට මට ආපු ඉල්ලීමක් තමයි මම මේ තුළ කළේ. එතැනින් එහාට කිසි දෙයක් ගැන මම හිතුවෙම නැහැ.

ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ ඒ නාට්‍යය විකාශය වීම නතර නොවී තව දුරටත් විකාශය කරන්න හැකිවීම ගැනත් සතුටුයි. මොකද ලස්සන නිර්මාණයක් අතරමැද නැවතීමෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වෙනවනෙ. එතැනදි කී දෙනකුට රැකියා අහිමි වෙනවද? ඒ වගේ ප්‍රශ්‍්න තියෙන තැනකට විසඳුමක් වෙන්න ලැබීමත් හොඳ දෙයක් විදියටයි මම හිතන්නෙ.

අපිට ලස්සන ගමනක් යන්න පුළුවන් කියන සිතිවිල්ලත් එක්ක අපි තීරණය කළා නීත්‍යනුකූලව විවාහ ගිවිසගන්න. ඉතින් අද මම නිසා ඔහුත්, ඔහු නිසා මමත් සතුටින් ජීවත් වෙනවා.

 

ප්‍ර මේ වෙද්දි කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා ඇත්තටම. ඒ කණ්ඩාමේ හැමෝම ගොඩක් හොඳයි. වැඩ කරන්නත් හරි පහසුයි. අධ්‍යක්ෂවරයාගේ සිට සියලුම දෙනාගේ සහය ලැබෙනවා. ඇත්තටම මම මෙහි අධ්‍යක්ෂවරයා සඳුන් රාජකරුණා යටතේ වැඩ කරන්නෙ පළමු වතාවට. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. මම මේ වෙනුවෙන් සම්බන්ධවෙලා තවම සති දෙකයි. ඉතින් මේ කෙටි කාලසීමාව ඇතුළත හැම දෙනාම සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. 

ප්‍ර මීට අමතරව නියැළෙන නිර්මාණ ගැන කිව්වොත්?

මේ දිනවල මම ප්‍රාර්ථනා ටෙලි නර්මාණය සමගින් තමයි එකතුවෙලා ඉන්නෙ. දෙරණ නාළිකාවෙ විකාශය වන එහි ප්‍රාර්ථනා චරිතයට තමයි සම්බන්ධවෙලා ඉන්නෙ. ඉතින් මේ නිර්මාණයටත් ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් මගේ චරිතය ප්‍රාර්ථනා එක්ක සහස් කියන චරිතය ගැනත් ප්‍රේක්ෂකයො කතා කරනවා. ඔවුන් ලොකු උනන්දුවකින් කුතුහලයකින් යුතුව නිර්මාණය රස විඳිනවා කියලා පේනවා ලැබෙන ප්‍රතිචාරවලින්. 

ප්‍ර මෙතෙක් පුංචි තිරයට පෙම්වතිය වුණු එමාෂාගේ සැබෑ ජීවිතේ ප්‍රේමයත් ජයගත්තා නේද?

ඔව්. ඇත්තටම පසුගියදා මගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා. මගේ ජීවිතේ අලුතින් පිටුවක් පෙරළුවා. ඔහු රුමේෂ්. ඔහුවත් ඉතින් ආදරෙන් මතක් කරනවා.

ප්‍ර එමාෂා හිතුවා වගේම ආදරයක් ලැබුණද?

අනිවාර්යයෙන්ම ඔව්. මම බලාපොරොත්තු වුණු විදියෙ ආදරයක් සහ සහකරුවෙක් මට ලැබුණා. අපි දෙන්නට එකට එක්ව ගමනක් යන්න පුළුවන් කියලා තේරුණා. ඔහුත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ටෙලිනාට්‍ය, චිත්‍රපට, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සියල්ලටම. ඉතින් අපිට ලස්සන ගමනක් යන්න පුළුවන් කියන සිතිවිල්ලත් එක්ක අපි තීරණය කළා නීත්‍යනුකූලව විවාහ ගිවිසගන්න. ඉතින් අද මම නිසා ඔහුත්, ඔහු නිසා මමත් සතුටින් ජීවත් වෙනවා.

ප්‍ර 2025 වසර එමාෂාගේ ජිවිතේ වෙනස්කම් රැසක් වෙලා වගේ නේද?

ඔව් ඇත්තටම. මේ ගතවුණු මාස දෙක, තුන ඇතුළත ගොඩක් දේවල් සිදුවුණා. පෞද්ගලික ජීවිතේ සහ කලා ජීවිතේ දෙකේම. ඉතින් ඉදිරියටත් මොනවා සිදු වෙයිද කියන්න දන්නෙ නැහැ. කොහොමත් කලාව පැත්තෙන් නම් මම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණයකුත් එන්න තියෙනවා. ඒවත් ඉදිරියේදී දැක ගන්න හැකිවෙයි.

ධනු විජේරත්න