මඩුගල්ලේ උඩගබඩා නිලමේගේ වලව්ව


ලංකාවේ පුරාණ වලව්

මඩුගල්ලේ වලව්ව

 

 

ක්‍රී.ව 1818 වසරේදී, ඉංග්‍රීසින් ගේ පාලනයට එරෙහිව ඌවේ සටන්කරුවන් ආරම්භ කළ අරගලයට හිටපු සත් කෝරලේ දිසාව පිළිමතලව්වේ, හිටපු අදිකාරම් ඇල්ලේපොළ සමග හිටපු උඩගබඩා නිලමේ මඩුගල්ලේ ද එකතු වීම, එම අරගලය ශීඝ්‍ර වශයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බව වෛද්‍ය ජොන් ඬේව් ගේ “ද කැන්ඩියන් ” පොතේ සඳහන් කර ඇත. ඒ අනුව මෙවර “ලංකාවේ පුරාණ වලව්” යටතේ සොයා බැලීමට අදහස් කළේ තම රට වෙනුවෙන් ජිවිතය පූජා කළ උදාර පුරුෂයෙකු ගේ වලව්ව ගැනය. ඒ, 1818 නොවැම්බර් මස 26 දින මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් සමග ගහලයෙකුගේ කඩු පහරින් ජිවිතයට සමුදුන් මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ ය. ඔහු ජීවත් වූ, වලව්ව අදටත් වෙනස් නොවී ඒ ආකාරයෙන් ම පැවතීම විශේෂත්වයකි.


ක්‍රි.ව 1815 මාර්තු මස 02 දින අස්සන් තැබු කන්ද උඩරට ගිවිසුමෙන් එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කිරිමට ගිවිස ගත් ඉංග්‍රීසිහු පසුව ඉතා කපටි අන්දමින් එය උල්ලංඝණය කළේ ය. ඊට එරෙහි අරගලයට සම්බන්ධ වූ මඩුගල්ලේ නිලමේ ගේ වලව්ව මොන වගේ වෙන්න ඇතිද ? මේ ඒ ගැන සොයා බැලීමකි. එහෙත් ඊට පෙර, එතුමා කවරෙක්ද යන්න ගැන කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ.


මැද දුම්බර, උඩිස්පත්තුව ග්‍රාමයේ නිල්ගල වසමේ, මඩුගල්ලේ ගම පිහිටා ඇත. එදා වෙල්ලස්සේ දිසාව වූයේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේය. ඔහුට ඒ නම ලැබී ඇත්තේ රජතුමාගේ මිල මුදල්, රත්‍රන් ආභරණ, ආයුධ ඇතුළු වටිනා බඩු භාහිරාදිය රැස්කර තබන ගබඩාව භාරව සිටි නිසාය. ජනතාවගෙන් ආදායම එකතු කර රජවාසලට රැගෙන යන්නේ ද මෙතුමාය. ඒ සඳහා බිල්පත් නිකුත් කිරිම ආදී ය සිදු කෙරේ. දුම්බර මහියංගණය පාලම, කටුගස්තොට පාලම නැතිනම් ගංඟාවන් අතර විශාල කොටසක් ඔහුට එදා ආවරණය කිරීමට සිදු විය.

 


මෙම නිලමේ ගැන ආනන්ද එස් පිළිමතලව්වේ මහතා විසින් රචිත සිංහලේ නොහොත් උඩරට රාජධානියේ අවසන් සමය සහ ප්‍රථම නිදහස් සටනේ නායකවරුන් යන කෘතියේ මෙසේ සඳහන් කර ඇත.
ඉංග්‍රීසි පාලනය බිඳ හෙළීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් ඊට පෙර ද ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ 1816 දී එක්නැලිගොඩ නිලමේ විසින් සපයන ලද තොරතුරකට අනුවය.


දන්ත ධාතුන් වහන්සේ මහනුවරින් ඉවත් කිරිමට මල්වත්ත මහා විහාරයේ මහා නායක හිමිපාණන් වහන්සේට යෝජනා කිරිම හා නැවතත් සිංහල රාජ පෙළපත හා බුදු දහම මෙරට පැවති ශ්‍රී විභූතියට ප්‍රතිෂ්ඨාපනය කර දෙන ලෙසට දේව කන්නලව් කිරීමට බින්තැන්නේ හා කතරගම පිහිටි විහාරස්ථාන වලට පූජා භාණ්ඩ යැවිම, 1816 දී ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවන්ය.


අවසානයේ දී, ඒජන්තවරයාගේ උපදෙස් අනුව මඩුගල්ල නිලමේතුමා විසින් දරන ලද තනතුරු වලින් ඔහුව ඉවත් කොට, ඔහුගේ දේපළ රාජසන්තක කර යාපනයේ වසර 2 ක කාලයක් සිර දඬුවම් නියම කළේය. එහෙත් මහා බිතෝයයේ උපරාජයාගේ උපන් දින උත්සවය හේතුවෙන් සහ මඩුගල්ලේ ගජනායක නිලමේ ප්‍රධාන ඔහුගේ ඥාතීන් විසින් ඉංග්‍රීසි පාලකයන්ට දක්වන ලද පක්ෂපාතිත්වයත්, එවකට රටේ පැවති සාමාකාමි වාතාවරණය නිසාත් 1817 අගෝස්තු මස 12 දින නිදහස් කරන ලදී.

 


ඒ ආකාරයෙන් ඔහු නිදහස් වී ගත වූයේ මාසයක වැනි කෙටි කාලයකි. හදිසියේ ම එම තත්ත්වය වෙනස් වූයේ මහනුවර සිහසුනට උරුමයක් තිබෙන විල්බාවේගෙදර දොරේසාමි නමින් හැඳින් වූ පුද්ගලයෙක් බින්තැන්න සහ වෙල්ලස්ස ප්‍රදේශවලට ගමන් කිරීමත්, ජනතාව ඔහු වටා සංවිධානය වීමත් සමග ය.
මෙවන් වාතාවරණයක් පවතින සමයේ එවකට දුම්බර තම ග්‍රාමයේ පදිංචිව සිටි මඩුගල්ලේ නිලමේ ද ඉංග්‍රීසින් විසින් මහනුවරට කැඳවුවද, එය ප්‍රතික්ෂේප කර අරගලයට එක් විය. ඉන් උරන වූ ඉංග්‍රීසින් මඩුගල්ලේ උඩගබඩා නිලමේ අල්ලා දෙන්නෙකුට පගෝදි 1000 ක් ගෙවන බවට ප්‍රසිද්ධ කෙරිණි.
එවකට සිංහල නායකයන් අතර මතබේද පැවතිය ද, මඩුගල්ලේ නිලමේ හා එක් වී කැරැල්ලට සම්බන්ධ වී නායකත්වයත්, මග පෙන්විමටත් ලබා දීමට කැප්පෙටිපොළ මහා නිලමේ තුමා කටයුතු කළේ රට හා ජාතියේ ආරක්ෂාව වෙනුවෙනි.


ඒ අනුව 1818 අගෝස්තු මාසයේදී කැප්පෙටිපොළ නිලමේ, මඩුගල්ලේ නිලමේ සහ සිහසුනට උරුමකම් කියු පුද්ගලයා සමග එක්ව වලපනේ පාලනය සියතට ගත්හ. පසුව සිහසුනට උරුමකම් කියු පුද්ගලයා සැබවින්ම රාජවංශිකයෙකු නොව, විල්බාවේ ග්‍රාමයේ උපත ලද සිවුරු හැර පැමිණි පැවිද්දෙකු බවට මඩුගල්ලේ නිලමේ දැන ගැනීමෙන් පසු, දොරේසාමි මහාදිකාරම් තනතුරෙන් ඉවත් කිරිමටත්, අත් අඩංගුවට ගැනීමටත් කටයුතු කරන්නේ ඇහැළේ​ෙපාළ අදිකාරම් සමග එකතු වී, මඩුගල්ලේ නිලමේය. මේ සම්බන්ධයෙන් වූ කරුණු තමන් ගෙන් වසන් කිරිම නිසා, කැප්පෙටිපොළ නිලමේ සමග ආරවුලක් ඇති කර ගත්තද, පසුව ඔවුන් අතර වු එදිරිවාදිකම් අතහැර තවදුරටත් ඉංග්‍රීසින්ට එරෙහිව සටන ඉදිරියට ගෙන ගියහ. නමුත්, සිංහල නායකයන් අතර කෙටි කාලයක් පැවති ආරවුල වාසියට හරවා ගත් ඉංග්‍රීසින් බලවත් වූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවු ආකාරයෙනි. තවද කැරැල්ලට නායකත්වය ලබා දුන් පුද්ගලයන් ගැන ඉංග්‍රීසින්ට තොරතුරු ලැබීම නිසා තව දුරටත් කැරැල්ල සාර්ථක කර ගැනිමට නොහැකි විය.


ඉංග්‍රීසින් ගේ මහනුවර නේවාසික නියෝජිතයා වු ජෝන් ඩොයිලි විසින් 1819 ජනවාරි මස 8 දින බැතර්ස්ට් වංශාධිපති වෙත යවන ලද ලිපියේ කොටසක් පහත දැක්වේ.
“මඩුගල්ලේ කළ රාජද්‍රෝහී කුමන්ත්‍රණයේදී ප්‍රධාන තැනක් ගෙන ඉක්බිති සිවුරු හැර දමා සන්නද්ධ කැරලි කරුවන් සමුහයක් පිරිවරාගෙන මේ කැරැල්ලේ දී උද්යෝගයෙන් ක්‍රියා කළ ඉහගම තෙරුන්ටත් කැරැල්ලේ ප්‍රධාන නායකයන් තිදෙනාටත් විරුද්ධව පවරන ලද නඩු ඉහත සඳහන් කරුණු ගැන සාකච්ඡා පවතින විට යුද්ධ නීතිය අනුව නොකඩවා විසදන ලදී. නිසැක සාක්ෂි උඩ කැප්පෙටිපොළ, මඩුගල්ල යන දෙදෙනාට මරණ දඬුවම දෙන ලදී. මා නුවරින් පිටත් වු දිනට ( නොවැම්බර් 25 වෙනිදාට )පසු දින එය ක්‍රියාවේ යෙදවීමට ද අණ කළෙමි.”


කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේලා ගේ, හිස ගසා දැමු තැන වර්තමානයේ බෝගසක් දක්නට ලැබේ. එය කැප්පෙටිපොළ බෝධිය ලෙස ව්‍යවහාරයේ පවතී. මහනුවර කැප්පෙටිපොළ අනුස්මරණ ශාලාව ඉදිකර ඇත්තේ මෙම බෝධිය ඉදරිපිටය.


ඔවුන්ගේ හිස ගසා දැමීම සම්බන්ධයෙන් විශ්‍රාමලත් දිසා විනිසුරු( විශේෂ ශ්‍රේණිය ) පර්ල් කරල්ලියද්ද මහත්මිය පවසන්නේ මෙවන් අදහසකි. මැය කැප්පෙටිපොළ පරපුරේ සාමාජිකාවකි.
මඩුගල්ලේ සහ කැප්පෙටිපොළ නිලමේවරුන් දංගෙඩියට හිස තැබුවා යන්න ගැන ලිඛිත සාක්ෂි කිසිවෙක් සොයා ගත නොහැකියි. එහෙත් හෙන්රි මාෂල් විස්තර කරන ආකාරයට “කැප්පෙටිපොළ නිලමේ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් බැඳ බිම වාඩි වී ඒ සමග ම පතුල( දෙපා ) අසල තිබු “කුඩා පඳුරක් පාද ඇඟිලි වලින් අල්ලා ගෙන” තිබෙනවා.” යනුවෙන් සඳහන් කරනවා. දංගෙඩියක හිස තැබුවේ නම් බිම වාඩි වීමට නොහැකි බවත්, මඩුගල්ලේ ගේ හිස ගසා ඇත්තේ තවත් වධකයෙකු විසින් හිස අල්ලා ගැනීමෙන් පසුව” නිසාත් දංගෙඩිය භාවිතා කර නැති බවයි මගේ අදහස යනුවෙනි.


මඩුගල්ලේ උඩගබඩා නිලමේ ජිවත් වු වලව්වේ වත්මන් අයිතිකරු වන විජේරත්න ගුණතිලක රාජනායක මහ රාලහාමිලාගේ අමුණුගම චන්දන බණ්ඩාර මඩුගල්ලේ( 56 )මහතා,
මඩුගල්ලේ 6 වෙනි පරම්පරාව මම නියෝජනය කරන්නේ. පවුලේ දෙවනියා..මට සහෝදරයෙක් සහ සහෝදරියන් 2 ඉන්නවා.


වර්තමානයේ මඩුගල්ලේ වලව්ව ලෙස භාවිතා කළත්, පේරදෙණිය වලව්වේ මුල්තැන්ගේ වශයෙන් පළමුව හඳුන්වනු ලැබුවා. ඒ මේ ප්‍රදේශයේ මුලින්ම නිර්මාණය වූ වලව්ව නිසා විය යුතුයි. ඊට පස්සේ කැලෑ එජන්ත කෙනෙක් හිටිය නිසා කැලෑ ඒජන්තගේ වලව්ව කීවා. මෙය හදල තියෙන්නේ එක්දහස් හයසිය ගණන් වල මුහන්දිරම් නිලමේයි. ඔහු දෙවන රාජසිංහ රජතුමා( ක්‍රී.ව 1635-1687) ළඟ සේවය කර තිබෙන බව අත්තා පවසා තිබෙනවා. අද වගේ ආයුධ තිබුණේ නැති කාලයක කියත, යතුකැටය, වෑය වැනි ආයුධ කිහිපයක් පමණක් භාවිතා කර දොර, ජනෙල්, උළුවහු සාදා තිබෙන්නේ.


ඒ අනුව පළමු පරම්පරාවේ මුහන්දිරම් නිලමේට කැලේ පැනපු රටේ මහත්තයෙක්. කුඩා බණ්ඩා නමින් හළුවඩන නිලමේ කෙනෙක්, කෝර නිලමේ කෙනෙක් වශයෙන් පිරිමි දරුවෝ තිදෙනෙක් සහ ගැහැනු දරුවෙක් සිටියා. මෙම ගැහැනු දරුවා ගේ නම කුමාරිහාමි. ඇය විවාහ වී හාලිඇල ප්‍රදේශයට ගියා. පිරිමි දරුවන් තිදෙනාගෙන් එක් කෙනෙක් වන මැද්දුම බණ්ඩා, මඩුගල්ල ප්‍රදේශයට ගොස් වලව්වක් සාදා ගෙන එහි පදිංචි වුණා. කුඩාබණ්ඩා හළුවඩන නිලමේ මෙම වලව්වේ ජීවත්ව සිට ඇති අතර, ඔහු ගේ දරුවෙක් තමයි මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ වශයෙන් 1818 අරගලය නිසා ජීවිතය පූජා කරන්නේ. මොහු හලංගොඩ වලව්වේ කුමාරිහාමි කෙනෙක් හා විවාහ වුණා. ඔවුන් දෙදෙනාට බස්නායක නිලමේ, නොතාරිස් යන තනතුරු දැරූ දරුවන් දෙදෙනෙක් ,මැද්දුම් බණ්ඩා නමින් පුතෙක් සහ දියණියක් සිටියා.


මඩුගල්ලේ උඩගබඩා නිලමේ මුත්තා, 1815 ගිවිසුමට පමණක් නොවේ 1818 ගිවිසුමටත් අස්සන් කළේ නැහැ. එදවස වලව්වේ අලි ඇතුන් සිටියා. අරගලය කරන කාලයේ වලව්ව සුද්දෝ වට කර තිබුණා. ඒ මුත්තා අල්ලා ගැනිමටයි. එහෙත් ඔහු ගේ ගමන වළක්වන්න ලැබිල නැහැ. මාතලේ සිට කිතුල් කොළ මිටියක් ඔලුවේ තියා ගෙන ඇවිත්, වලව්වට ගොඩ වෙලා බිරිඳ සහ දරුවන් බලලා ආපසු යනවලු.


මෙම වලව්වට ගොඩ සහ මඩ ඉඩම් වී බුසල් 300 ක් වගේ ප්‍රමාණයක් තිබුණ බවට සාක්ෂි සොයා ගත හැකියි. ඊට එක උදාහරණයක් තමයි “පරවහගම” නැමති ග්‍රාමය. එය අපේ පරම්පරාවට අයත් නින්ද ගමක්. මඩුගල්ලලේ උඩගබඩා නිලමේ ඉන්න තැනක් ගැන හෝඩුවාවක් දුන් කෙනෙකුට තාරකා පගෝදි 1000 ක් දෙන බවට ඉංග්‍රීසින් පොරොන්දුවක් දුන්නා. ඒ අනුව ඔත්තුවක් ලබා දුන් මුස්ලිම් ජාතිකයාට එම වටිනාකමට වෙනුවට දීල තිබෙන්නේ, මෙතුමාට අයිති අක්කර 1000 ක නින්දගමයි. එය අද “පරවහගම” යනුවෙන් හැඳින්වෙනවා.


ඉංග්‍රීසින් අපේ ඉඩම් රාජසන්තක කළත් පවුල් අනෙක් අයට ජීවත් වෙන්න උඩදුම්බරින් සහ හාලිඇලෙන් වී අමුනු හතර බැගින් දී තිබුණා. දැන් වලව්ව සමග අක්කරයක පමණ ගොඩ ඉඩමක් සහ වී බුසල් 5 ක මඩ ඉඩමක් හිමිව තිබෙනවා.


වලව්ව ගොඩනගා තිබෙන්නේ කළු ගල් සහ මැටි භාවිතා කරලා. කපරාදු කරල තිබෙන්නේ මැටි වලින්. ඒ මැදින් තලාදක් ගොස් තිබෙනවා. බිත්ති අඟල් 18 ක ගනකමින් යුක්තයි. බිත්ති උඩ අඩි 10 යි. ප්‍රධාන දොර කෑලි 9 දොර වශයෙන් හඳුන්වනවා. දොරට ඇණ ගසා නැහැ. දිසා හතරට දොරවල් 4 ක් තිබෙනවා. ප්‍රධාන දොරේ උඩ කැටයම් තිබෙනවා. දොර සම්පූර්ණයෙන් ම ගලවනවා නම් පළමුව ඉවත් කළ යුතු වන්නේ වහලයයි. ඊට හේතුව නම් දොර වහලයට සම්බන්ධ කර තිබීමයි. මේ සඳහා භාවිතා කර තිබෙන්න් වල් දෙල් ලී යි. උළුවස්ස අඩි 10 ක් උසයි. දොරේ අගුලත් සාදා ඇත්තේ ලී වලින් වීම විශේෂත්වයක්. ජනෙල් රාමු සඳහා වල් දෙල් ලී ද, කූරු වලට කිතුල් ලී ද භාවිතා කර තිබෙන අතර, වල්දෙල් සහ කිතුල් ලී. භාවිතා කර සාදා ඇති ජනෙල් 7 ක් මෙම වලව්වට අයිතියි.


මඩුගල්ලේ වලව්වට කාමර 5 ක්, ඉස්තෝප්පුවක් , කෑම සාලයක් අයත් වෙනවා. අඩි 15 ½ 15 මැද මිඳුළක් ද, කුස්සිය සහ මඩුව වෙනම ම ද සාදා තිබුණා. කළු ගල් කඩල තිබෙන්නේ කැලෑ බෙහෙත් භාවිතා කරලයි. අද වගේ වෙඩි බෙහෙත් තිබිල නැහැ. වහලයට සිංහල උළු සෙවිලි කර තිබෙනවා.


අද මේ ආකාරයෙන් ඉතා අබලන් තත්ත්වයක තිබුණත්, එදා මෙම පළාතට තිබුණු වරිච්චි බිත්ති බැඳ, සිංහල උළු සෙවිලි කළ එකම නිවහන මෙයයි. වර්ෂා කාලයේ දී තෙමෙනවා. කිසියම් හේතුවක් නිසා, උළු කැඩුනොත් මාරු කරන්න බැහැ. ඊට හේතුව වන්නේ මෙම වර්ගයට අයත් උළු සොයා ගැනීමට අපහසු නිසයි. අනෙක ඒවා මාරු කළ යුත්තේ ඒ පිළිබඳ දැනුම්වත් තිබෙන අයයි. ඒ සඳහා වියදම් කරන්න මා ළඟ මුදල් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ සංස්කෘතික ත්‍රිකෝණයෙන් මෙම වලව්ව අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලා සිටියා. තෙල්දෙණිය, මැද දුම්බර ප්‍රාදේශිය ලේකම් තුමාටත් මේ ගැන දැනුම් දුන්නා. එහෙත් තවමත් උත්තරයක් ලැබුණේ නැහැ.

 

ප්‍රධන දොරේ ලී වලින් සාදා ඇති අගුල

 

 

මඩුගල්ලේ උඩගබඩා නිලමේ, පවුලේ අනෙක් සහෝදරයන් ගෙන් වෙනස් චරිතයක්. රට ගැන පුදුම කැක්කුමක් තිබුණා. පළමුව ඌව වෙල්ලස්සට ගොස්, ඉංග්‍රීන්ට එරෙහිව කැරැල්ල සංවිධානය කළේ මෙතුමායි. ඉන් පස්සේ තමයි මොනරවිල කැප්පෙටිපොළ එම කැරැල්ලට නායකත්වය ලබා දුන්නේ.


අපේ අප්පච්චි මට කියා තිබෙනවා, මොනරවිල කැප්පෙටිපොළ නිලමේ සහ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යන දෙදෙනා දෙමස්සිනාලා කියලා. මුත්තා අඩි හතක් පමණ උසයිලු.


මෙම වලව්වේ එදා අලි කිහිප දෙනෙක් ම ඉදලා තිබෙනවා. උන් මෙල්ල කිරිම සඳහා භාවිතා කළ හෙණ්ඩු කිහිපයක් තවමත් හොඳ තත්ත්වයෙන් පවතිනවා. එපමණක් නොව උඩගබඩා නිලමේ නැතිනම් අපේ මුත්තා කෑම ගත් ලොකු පිගාන අදටත් සුරක්ෂිතයි. ඊට අමතරව එතුමා පරිහරනය කළ ඇඳ, මේස, පුටු, අල්මාරිය, වී අටුව ඇතුළු භාණ්ඩ කිහිපයක් ද මා ආරක්ෂා කර ගෙන සිටිනවා.
පසු කාලීනව දුම්බර රටේ මහත්තයා, උඩුනුවර රටේ මහත්තයා, ගජනායක නිලමේ, යන තනතුරු බොහොමයක්ම මඩුගල්ලෙ පරම්පරාවේ සාමාජිකයන් විසින් උසුලා තිබෙනවා.
1818 කැරැල්ල පැවති කාලයේ දළදා වහන්සේට ආවතේව කිරීම සඳහා භාර වුණේ. මඩුගල්ලේ උඩ ගබඩා නිලමේට යි. එවිට දළදා වහන්සේ වැඩසිටියේ හඟුරන්කෙතයි. හිස ගසා දැමීමට පෙර දළදා වහන්සේ දැක, වැඳ පුදා ගැනීමට ඉංග්‍රීසින් ගෙන් ඉල්ලා සිටියත් ඊට අවසර ලැබී නැහැ. පසුව ඉනේ ගැට ගසන ලද පටියක් සහ කරේ තිබුණ ලේන්සුව ගලවා, දළදා වහන්සේට පූජා කරන ලෙස අසල සිටි අයෙකුට ලබා දී, දුකට අඬපු බව කියනවා. එවිට මුත්තා ගේ වයස අවුරුදු 60 ක් පමණ ඇති.


මුත්තා ඉංග්‍රීසි රජයට එරෙහිව කැරළි ගැසුවා යැයි පවසමින් මේජර් ජෙනරාල් එඞ්වඞ් බාන්ස් විසින් 1818 පෙබරවාරි මස 21 දින, මඩුගල්ලේ උඩගබඩා නිලමේට අයත් ගොඩ සහ මඩ ඉඩම්( ගම්බිම් මුළුමනින්ම)රාජසන්තක කළ බව පවසමින් ආඥාවක් ද නිකුත් කර තිබෙනවා.
මුත්තා ගේ හිස ගසා දැම්මාට පසු හලංගොඩ කුමාරිහාමි අාත්තම්මා නැවතත් විවාහ වී මාතලේට ගියා. එතැණින් මාතලේ මඩුගල්ලේ

 

පරම්පරාව ආරම්භ වෙනවා. ඒ නිසා මාතලේ බර්නාඞ් මඩුගල්ලේ ඇතුළු බොහෝ දෙනෙක් අපේ ඥාතීන් වශයෙන් වශයෙන් සඳහන් කළ හැකියි.


මුත්තා ගේ හිස ගසා දැමීමෙන් පසු, එංගලන්තයට හිස් කබල් දෙකම ගෙන ගොස් තිබෙනවා. පසුව කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස ලංකාවට ගෙනාවත් අපේ මුත්තා ගේ හිස තවමත් තිබෙන්නේ ඒ රටේ. මුත්තා ගේ හිසත් ගෙන්වා ගත හැකි වුවත්, ඒ වෙනුවෙන් වියදම් කරන්න තරම් අපට මුදල් නැහැ.
උඩදුම්බරට එක සහෝදරයෙක් ගිහින් තිබෙනවා. ඒ පැත්තෙන් පැවත එන අය තමයි පර්සි මඩුගල්ලේ ඇතුළු ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ ඥාතීන්.


ස්තුතිය - ඉතිහාස පර්යේෂණ, ගවේෂක ශාස්ත්‍රවේදී චන්දිම බිබිලේ මහතාට සහ විශ්‍රාමලත් දිසා විනිසුරු( විශේෂ ශ්‍රේණිය ) පර්ල් කරල්ලියද්ද මහත්මියට

 

 

සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර