මරණය ගැන ගැමි ජන විශ්වාස


 

මාරාන්තික කොවිඩ් වෛරසය පැතිර යාමත් සමග අන් කවරදාටත් වඩා මරණය නමැති ශෝක ජනක සංසිද්ධිය ගැන දසතින් අසන්නට ලැබේ. දෙස් විදෙස් ජනයා මේ වන විට මරණයේ භීතියෙන් වෙලී සිටිති. දිනපතාම කලින් දින සිදුවූ මරණ ගණන මාධ්‍යය තුළින් ප්‍රචාරය කෙරේ.   


කොවිඩ් රෝගයට අමතරව වියපත් වීමෙන්, අනතුරුවලට ලක්වීමෙන් මෙන්ම මිනීමැරුම් නිසා සිදුවන ජීවිත හානිද අපමණය. ඒ අතර යුද සටන් වලින්ද ලොව කවර තැනක හෝ මනුෂ්‍ය ප්‍රජාව මරණයට පත්වන බව ප්‍රකටය. උපතත් මරණයත් අතර කාලය පුද්ගලයකු ජීවත්ව සිටින කාලයයි. ඒකාලය හිතන තරම් දිග නැති අතර මරණය කවදා කවර තැනක කුමන අන්දමින් සිදුවේ දැයි නිශ්චිතව කිව නොහැකි යැයි අපේ බෞද්ධ ජන සමාජයේ විශ්වාසයක් පවතී.   


ජීවිතය අනියතය, මරණය නියතය යන ප්‍රකට කියමනේ ඇත්තේද බෞද්ධාගමික පසුබිමකි. මෙලොව යම් කෙනෙක් උපත ලැබුවහොත් ඔහුගේ හෝ ඇයගේ නලලෙහි මරණයද කොටා ඇතැයි අපේ ගැමියන් අතර කියමනක් පවතී. එනම් මෙලොව උපන් හැම කෙනෙක්ම මරණයට අනිවාර්යයෙන්ම මුහුණදිය යුතු බවයි. කොතරම් නැදෑ හිත මිතුරු පිරිසක් වටකරගෙන දිවි ගෙවුවත් අවසන් ගමන (මරණයට මුහුණදීම) තනිවම කරන්නට සිදුවන බව බොහෝ අය කියන කතාවකි. පුද්ගලයකුගේ උපත සතුට ගෙන දුන්නත් මරණය නම් ශෝකය දනවන්නකි. බියගෙන දෙන්නකි. 

 
ඇතැම්විට මහා ධනකුවේරයන්, රාජ්‍ය නායකයින්, හමුදාවල ඉහළම තනතුරු දැරූවන්, ඉහළම පෙලේ වංශවතුන්, රජවරුන් මරණ මංචකයේදී මහත්සේ භීතියට පත්ව සිහි එලවාගත නොහැකිව සිහි මුලාවී හඬමින් දොඩමින් මරණයට පත්වන වාර කොතෙකුත් වේ. එසේ වන්නේ මුළු දිවියම අධර්මයෙන් නොමනා අන්දමින් දිවිගෙ වූ අයට යැයි දහමට ලැදි ජනාව විශ්වාස කරති. ‘‘මම මැරෙන්න බය නැහැ’’ යැයි වහසි බස් දෙඩූ ඇතමුන් සැබෑ ලෙසම මරණයට පත්වන අවස්ථාවේ බියෙන් තැති ගන්නා අවස්ථා කොතෙකුත් වේ.   
සිදුහත් කුමරුන් දුටු ‘සතර පෙරනිමිති’ අතර මළමිනිය හෙවත් මෘතදෙහයක් දැකීම එක් පෙරනිමිත්තක් විය. මරණයක් සිදු විය හැකි අවස්ථා හතරක් දහමේ දැක්වේ. ආයුක්ථය (නියමිත ආයුගෙවී යාම) උභයක්ඛය (ආයුෂ සහ ප්‍රතිසන්ධිය ලබාදුන් කර්ම ශක්තිය එකවර ගෙවියාම) උපච්ජේක (අතර මගදී නොසිතූ පරිදි වන මරණය) කම්මක්ඛය (කර්ම ශක්තිය ගෙවීයාම) යනුවෙනි. පස්පව්වලින් පළමුවැන්න හැටියට දක්වා ඇත්තේ ප්‍රාණඝාතය හෙවත් පරපණ නැසීමයි. පණ ඇති ජීවියකු මරණයට පත් කිරීමයි. පංචානන්තරිය පාපයන් අතර මුල්කරුණු තුන වන්නේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම වේ. 

 
පටිච්ච සමුප්පාදයට අයත් කරුණු අතර ‘භවය’ යනුවෙන් බොදුනුවන් හඳුන්වන්නේ මරණින් පසු සසර හා සම්බන්ධවීමයි. එහිම දැක්වෙන ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන ප්‍රකට ධර්ම කරුණු අතර ජරාවට පත්වීම යනු දිරීමයි. මරණය යනු බිදීයාමයි.   


මරණය යන සිදුවීමට මුහුණ දුන්විට අදාළ පුද්ගල චරිතයේ ස්වභාවය අනුව ඒ සඳහා සුදුසු පිළිගත් වචන භාවිත කෙරේ. සාමාන්‍ය පුද්ගලයකු නම් මියගියා මැරුණා, කලුරිය කළා, අන්ත්‍රා වුණා ආදී වචන වලින් හඳුන්වති. භික්ෂුවක් නම් අපවත් වුණා යනුවෙන්ද කිතුනු පියතුමෙක් නම් ‘‘ස්වර්ගස්ථ වුණා’’ යනුවෙන්ද හඳුන්වති. බුදු, පසේබුදු, මහරහතුන් නම් පිරිනිවන් පෑවා යනුවෙන්ද හඳුන්වන බව පෙනේ. කිතුනුවන් අවසන් ගමන් ගියවිට ‘‘දෙව්මව් තුරුලේ සැතපෙනවා’’ යන කියමනද අසන්නට ලැබේ. මරණයක් පිළිබඳ අවසන් කටයුතු කරන්නේද නොයෙක් ආකාරයටය. අතීත යුගවල ගමක මළගෙයක් සිදුවූ විට නෑ හිතවතුන් විසින් පවුලේ සුසාන භූමියේ හෝ පොදු සුසාන භූමියේ භූමදාන කරයි. පස් යටකර තරමක් උසට පස් කඳු ගසයි. ඒ ස්ථානය ශූද්ධ පවිත්‍ර කර ගොක් රැහැන් ඇද නිමවා ආගමික වතාවත් වලින් පසු වළදමනු ලැබුවේ. කිසිදු පාරිසරික හානියක් නොවන පරිදිය.   

 


පසු කාලයේ වත් පොහොසත්කම් අනුව සිමෙන්තියෙන් වළ බැඳීම සහ සොහොන්කොත් ඉදි කිරීමද කරනු ලැබීය. ඇතැම් සොහොන් කොත් ඉතා විශාල ලෙස අලංකාර කිරීමද කරනු ලැබීය. මළගිය අයට ඒවායෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. කවුරු මැරුණත් අන්තිමට ඉතුරු වෙන්නේ හතර රියන විතරයි. එදා ගැමියන්ගේ මුවින් නිතර අසන්නට ලැබිණි.   


භික්ෂූන්ගේ දේහයන් භූමදානය නොකර ආදාහණය කරනු ලබයි. ඇතැම් ගිහි ප්‍රභූන්ගේ අවසන් කටයුතුද අලංකාර දර සෑයක් තුළ ආදාහණය කරනු ලබයි.   
ඒ සඳහා විශාල වියදමක්, වෙහෙසක් හා විශාල වූ දර ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. පසු කාලයේ පොදු ආදාහණාගාර ක්‍රමය ඇතිවිය. අවසන් කටයුතු ඉතා චාම් අන්දමින් සිදුකොට දානමානාදිය හොඳින් කිරීම පිළිගත් බෞද්ධ චාරිත්‍ර විදිය වේ. එය පින් පැමිණ වීම’ යනුවෙන් හැඳින් වේ.   
පිනැති ක්‍රියාවක් ආගමානුකූල කටයුත්තක් සිදු කරන හැම විටම දෙවියන්​ටත් මළ ගිය ඥාතීන්ටත් පින්දීම සඳාහා අදාළ ගාථා කියා වන්දනා කිරීම කළගුණදත් ජනතාවගේ සිරිතයි. ඒ පින මියගිය ඥාතීන් අනුමෝදන්ව සැපතට පත්ව ජීවත්ව සිටින අයට ආශිර්වාද කරන බව පිළිගැනේ. විශේෂයෙන් දානමය පින්කම් ඒ සඳහා යොදා ගැනේ. අපේ නෑහිතවතුන් අපි අමතක කර නැහැ. අපි වෙනුවෙන් පින්කම් කරනවායි මළගිය අය සතුටු ​ෙවන බව විශ්වාස කෙරේ. එහෙත් මියගිය හැම කෙනෙකුටම එසේ පින් අනුමෝදන් විය නොහැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. දාන පිරිනමන්නේ නැතිව පිරිකර අටපිරිකර පූජා කරන්නේ නැතිව වසර ගනන් කල් යැවීමෙන් මහත් උපදාව ඇතිවන බව ඇතැම් අයගේ විශ්වාසයයි.   


මහායාන බුද්ධාගමට සම්බන්ධ එක්තරා ජපන් කතාවක ආගමික කටයුතු අතර මළගිය නෑ හිතවතුනට පින්දීම විශේෂිත ක්‍රියාවක් හැටියට සලකනු ලබයි. ඒ සඳහා මෛත්‍රි භාවනාව හා පරිත්‍යාග කිරීම් මුල්තැන්හිලා සලකනු ලබන බව දැකිය හැකිය.   


සිල්වත්ව මෙලොව දිවි ගෙවූ තැනැත්තකු හෝ තැනැත්තියක මරණින් මතු සුගතියක උපදින බව පිළිගැනේ. එබඳු අය වියපත් වූ විට කිසිදු දුකක් නොවිඳ ශාන්ත මරණයකට පත්වන බව ජන විශ්වාසයේ පවතී. බුද්ධ කාලයේ සිටි ධම්මික නම් උපාසකතුමාගේ මරණ මොහොත නිදසුනකි. ජීවිත කාලය පුරා පංචකාම වස්තූන්ට වහවැටී පව්කම්හි නිරතවූවන්ගේ අවසන් මොහොත අතිශය පිඩාකාරී වන බවද මරණින් මතු භයානක දුගතියකට පත්වන බවද පිළිගැනේ. අවි ආයුධ ඇතැතිව අනුන් බිය ගන්වමින් හොර මැරකම්වල නියුතු වූවන් මියයන්නේද එවැනිම වූ අවියකින් දිවි තොරවී ශෝකජනක අන්දමිනි. මෙලොවදීම විපාක දුන්නා යැයි කියන්නේ එවිටය.   


මාසේ පෝය හෙවත් අමාවක දා මිය යන අය අපාගත වන අය යැයි අපේ පැරණි සමාජයේ විශ්වාසයක් පැවතිණි. මියගිය අයගේ බැල්ම සතියක් යනතෙක් එම නිවසට බලපැවැත්වෙන බවද කියනු ලැබේ. මළ සිරුර තනි නොකිරීම තවත් එවැනිම විශ්වාසයකි. මිනීපෙට්ටිය තුන්වරක් මිනීවළ වටේ ගෙනයාම අදත් පවතී. ආදාහණාගාරයට යොමු කළ විටද දැන් ඒ විදියටම තුන්වරක් වටේට යාම සිදු කෙරේ.   
පාපකාරී ජීවිත ගත කළ අය ගැන සඳහන් කිරීමේදී ‘‘සොහොනටත් හෙණ ගහනවා’’ යනුවෙන් ගම්බද කියමනක් පවතී. යටත් විජිත යුගයේ එක්තරා සුදු ජාතිකයකු ලංකාවේ ඝණ කැලෑවල සැරි සරමින් විනෝදාංශයක් ලෙස අලි ඇතුන් දඩයම් කිරීමෙහි යෙදුනේය. සිය ගණනක් අලි ඇතුන් මරාදැමූ ඔහුගේ සොහොනට වසරකට වරක් අදත් අකුණු හෙවත් හෙණ පහර පතිත වන බව කියනු ලැබේ. ඇතමුන්ගේ අවසන් කටයුතු කරන විට මහවැසි වැටීමත් පැන්වඩන හා අනෙකුත් ආගමික කටයුතුවලට පවා බාධා පැමිනෙන බවත් එසේ වන්නේ ජීවිත කාලයේම පව්කම්වල නිරතවූ විට බවත් කියනු ලබන්නේද ගැමි ජන විශ්වාසයන් අනුවය. වසර හැටට අඩුවෙන් මියයන අය ‘‘මන්දායුෂ ඇති’’ අය බව ජනවිශ්වාසයයි.   
‘‘කාල මරණ අකාල මරණ’’ යනුවෙන් මරණය දෙවදෑරුම් වන බව තවත් විදියකින් කියැවේ. උපන් දවසේ පටන් වසර සියයක් දිවිගෙවා මියයාම කාල මරණ වේ. එය ​​ඖෂධ පුදපිළිවෙත් ආදී කිසිවෙකින් වළකාලිය හැකි නොවන බව විශ්වාස කෙරේ. වසර සියයක් හෝ එයටත් වඩා වසර ගණනක් ජීවත්වීම පූර්ණායුෂ දැරීමයි. අදත් එවැනි ස්ත්‍රින්, පුරුෂයින් අප රටේ වෙසෙ​ති. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ‘‘මාරක අපල’’ මාරක ස්ථාන ‘‘මාරකය බලවත්වීම’’ වැනි කරුණු ගැන තොරතුරු කිව හැකි බව ඒ පිළිබඳ විශ්වාසයක් ඇති ජනතාවගේ අදහසයි   
මරණය ගැන කියන විට මරණ දඬුවමට යටත්ව අවසන් ගමන් යන අයද අමතක කළ නොහැකිය. එල්ලුම් ගහ ක්‍රියාත්මකව පැවති කාලයේ දරුණු අපරාධවලට හසුව මරණ දඬුවමට නියම වූවන් මරණ දඬුවමට යටත්වන දිනය එනතෙක් සිතින් මැරි මැරී ඉපදෙමින් මහත් ශෝකයෙන් බියෙන් කල් යවති. අපේ නිදහස් සටනේ ඉතිහාසගත විරුවන් යටත් විජිත සුදු පාලකයන්ගේ මරණ දඬුවමට මුහුණ දුන්නේ මහත් එඩිතර විලාශයෙනි. වීරකැප්පිටිපොල, පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, කුඩාපොල හිමි එවැනි කිහිප දෙනෙකි. මරණය හමුවේ ආගමික වතාවත්කොට කඩුවට උණ්ඩයට ඔවුන් නොබියව මුහුණ දුන් අන්දම සුද්දන් විස්මයට පත්කරන්නක් විය. රජ අණින් මරණයට කැපවූ ළමාවියේ සිටි මද්දුම බණ්ඩාර කුමරු එඩිතරව කඩුවට ගෙලදුන් අයුරු ඉතිහාසයේ නොමැකෙන සටහනක් විය.   


මනුෂ්‍යයා මෙන්ම පණ ඇති අනෙකුත් සියලු සතුන්ද දඬුවමට මරණයට බියවන බවද එබැවින් තවත් පමාකොට සිතා අනුනට හිංසා නොකළ යුතු බවද ප්‍රාණඝාත නොකළ යුතු බවද බුදු දහමේ දැක්වේ. යම් පුද්ගලයකු මරණයට පත්වන වර්ෂය, දිනය, වේලාව හරියටම කල්තබා කිව හැකි දක්ෂ ජ්‍යොතිෂ ගණිත ඇදුරන් අතීත යුගවල මෙරට සිටි බව කියනු ලැබේ. සමාජයට සුවිශාල සේවාවක් නොමිලේ ඉටු කරමින් පංචශීල ප්‍රතිපත්තියට අනුව ජීවිතය ගෙන ගිය එක් වයෝවෘද්ධ පින්වතකු තම දැනුම අනුව මැරෙන දිනය දැන සිටියේය. හෙතෙම උදයේ පිබිද හොඳින් නා පිරිසිදුවී ආගමික වතාවත්වල යෙදී එම සුදුවතින්ම ඇදෙහි දිගාවූයේ මට අද දුර ගමනක් යන්න තියනවා කවදා එන්න වේද දන්නේ නෑ’’ යනුවෙන් පවසමිනි. මද වේලාවකින් ගෙදර අයට දැනගත හැකි වූයේ ඔහු නොඑන ගමන් ගොස් ඇති බවය.   
පැරණි සිංහල රජකෙනෙකු වූ රාජාධිරාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1780- 1798) රාජ සභාවේ කවටයා වූ සුප්‍රසිද්ධ අන්දරේගේ මරණය සිදුවී ඇත්තේ අමුතුම ආකාරයකටය. උණ රෝගයකට ගොදුරුවී මහත් සේ අසාධ්‍ය වූ ඔහු තම මරණය උපන් ගමේදී සිදුවිය යුතු යැයි අදහස් කොට රුහුණට පැමිණියේය. හම්බන්තොට උඩවලව වැව සමීපයේ දී ඔහුට මහත් දියපිපාසයක් ඇතිවිය. හෙතෙම එහි ඇති වීර ගසක් යට වැතිර සිටි අතර තම අවසන් මොහොත ළඟාවී ඇති බව වටහා ගත්තේය. දකින අය සිනහ ගැන්වෙන ඉරියව්වකින් වැතිර සිටි ඔහු මේ කවිය කියා ඇත.   


රිදී කළේ රන් කොතලේ බීපු මට   
නිකම් කළේ පැන් නැති විය පිපාසෙට   
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි ඇති මෙමට   
මෙහෙ​මත් කල යාද පළු වීර ගස් යට   


රජතුමා එහි පැමිණ බලද්දී විකට ස්වරූපයෙන් සිටි අන්දරේගේ දේහය දැක ශෝක වුවත් සිනහවක් මුවට නැගුනු බව කියනු ලැබේ. හෙතෙම මරුවා සමඟ ගියේද තම රාජකාරිය අකුරුටම ඉටුකරමිනි.   
මරණය පිළිබඳ ඇති ජන විශ්වාස ගැන කියන විට මාරයා ගැන යමක් සඳහන් නොකළොත් අඩුවකි. ‘‘මාරාවේශවුනා’’, ‘‘මාරයා නැග්ගා’’, ‘‘මාරයා වගේ ආ​වා’’ ‘‘මාරයත් එක්ක ගිය ගමනක්’’ වැනි වදන් ජනතාව අතර නිතර පවතී ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ‘‘මරු සිටින දිසාව’’, ‘‘මරුට පිටුපා කරන ක්‍රියාව’’ ආදී කරුණු ඉතා වැදගත් වේ. ජන විශ්වාසය අනුව ගුප්ත ශාස්ත්‍ර කටයුතුවලදී මරු සිටින දිශාවන්ද දක්වා අැත. ඉරිදා උතුර, සඳුදා වයඹ, අඟහරුවාදා බස්නාහිර, බදාදා නිරිත, බ්‍රහස්පතින්දා දකුණ, සිකුරාදා ගිනිකොණ, සෙනසුරාදා නැගෙනහිර වශයෙනි. මාරපරාජය ගැන කවුරුත් දන්නා නිසා මෙහි සඳහන් කරන්නේ නැත.   
මෙලොව උපන් හැම මනුෂ්‍යයකුම කුමන හෝ දිනයක මාරයාගේ නියෝජිතයකු පැමිණ රැගෙන යන බව විශ්වාස කෙරේ. පින්දහම් කොට තිබීම එහිදී ඉතා වැදගත් වේ. මාරයා කිව නොහැකි තරම් මහා බලසම්පන්න වූද දිව්‍ය වේශයක් ඇත්තාවූද මරණයට අධිපතිව වෙසෙන්නාවූද පාපයෙහි යෙදෙන්නට පොළඹවන සුළු වූද අයෙකි.   


බුදු රදුන්ට ‘‘පිරිනිවන් පෑමට කාලය පැමිණ ඇතැයි’’ මෙලොව හැර යන්නට ඇරයුම් කළේද මාරයා විසින් යයි අසන්නට ලැබේ. 

 
භාවනානු යෝගීන් දහම් මග නිවැරදිව හඳුනා ගෙන සාර්ථකත්වයට පත්වන විට එය වැළකීමට ‘‘මාරපාක්ෂික බලවේග’’ නොයෙක් අයුරින් කටයුතු කරන බව කියනු ලැබේ. ජන සමාජය කෙලෙස් බරිතව පාපයටම යොමු වන්නේ ‘‘මාර අණසක’’ යටතේ බවත් වර්තමානයේ මුළු මහත් සමාජයම මාර අණසකට ගොදුරුව තොගපිටින් විනාශය කරා යන බවත් ධර්මධර වියතුන් පෙන්වා දෙති. එසේ මරණයට මුහුණදෙන බොහෝ දෙනා හැඬූ කඳුළු යුතුව භීතියෙන් ඒ ගමන යති.

   
‘‘අද අද එයි මරු පින්කර ගන්නේ’’   


යන ලෝවැඩ සඟරාවේ කවි පදය ඉතාම ප්‍රකටය පිනක් තබා උන්හිටිතැන් පවා අමතක කොට මේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට පවා ඉඩ නොතබා සුළු මොහොතකදී තිස් දහසකට අධික පිරිසක් මරුවා සමග මරුකටට ගියේ සුනාමි විපතේදීය. ලක්දිව ඒ විපත සිදුවූයේ වෙරළ කලාපයේ පමණි.   


අද මුළු මහත් දිවයිනත් සමස්ත ලෝකයත් කොරෝනා නමැති මාර බලවේගයට නතුවී සිටින්නේ ඉතාම ශෝකජනක ලෙසිනි.   


ජීවත්ව සිටින හැම කෙනෙක්ම මොහොතින් මොහොත මරණයට ලංවේ. මරුවා දැක දැක උද්ඝෝෂ කරන, බල අරගල කරන, පස් පවෙහි යෙදෙ, වහසි බස් දොඩන, බල තණ්හාවෙන් කඳුවුරු බඳින, ආශාවන්හි වහලුන් බවට පත්ව සිටින, සිහින ලෝකව සැරිසරන, අන්ධ පෘතග්ජනයා කරන කියන දේවල් දෙස මාරයාට බිය නොවන ධර්මධර ගිහි පැවිදි සීමිත පිරිස උපේෂාවෙන් බලා සිටිති. දෙලොව යහපත පිණිස කටයුතු කරන ඔවුහු මරණයත් සමග සුගතියකට පත්වන්නේ නින්දෙන් පිබිදියාක් මෙනි. ඒ මෙත් සිත පෙරටුකොටගත් සුපසන් නිවුන සිතේ බලමහිමයෙනි.

 

 

 

දම්සිරි කරුණානායක
දෙවිනුවර