මරණය සිදු​ෙවන දිනය නිවැරැදිව හෙළි කළ දැරිය


පෙර භවයේ අනාවරණ

 

එක්දහස් නවසිය අසූඑකේ නොවැම්බර් 7 වැනිදා උපත ලද දියණියට දෙමාපියන් විසින් නම් තබන ලද්දේ පියුමි යනුවෙනි. ඇය පවුලේ තෙවැනි දියණිය විය. ඇගේ පියා ඉංජිනේරුවරයකු වූ අතර මව ගෘහණියක වූවාය. පියුමි සිය පියාට වැඩි ආදරයක් දැක්වූවාය. දෙවසරක් වනතුරු ඇයට කිසිදු රෝගී තත්ත්වයක් ඇති නොවිණි.   
ඉතා ශීඝ්‍රයෙන් ඇගේ සිරුරේ වැඩීම ද සිදු විය. එහෙත් දෙවසරකට පසු ඇයට සෙම් රෝගයක් ඇති විය. සාමාන්‍යයෙන් දරුවන්ට ඇති වන සෙම් රෝගයක් ලෙස පියුමිගේ එම රෝගී තත්ත්වය මාපියෝ සිතන්නට වූහ. වෛද්‍යවරුන් වෙත ඇය රැගෙන ගිය අතර සුළු ප්‍රතිකාරවලින් එම සෙම් රෝගය යටපත් විය. එහෙත් එම තත්ත්වය පැවැතුණේ ඉතා සුළු කලක් පමණි. වරින් වර ඇගේ සෙම් රෝගය මතුවන්නට වූ නමුත් වයසට වඩා සිරුර වර්ධනය ඇති විය.   


හත්වන වියට පත් වනවිට ඇය වැඩිවියට පත් වූ දරුවකු ලෙස ඇගේ රූප ලක්ෂණ ද මතු විය. වැඩිහිටියන් සමග උරෙන් උර ගැටෙමින් පැසුණු කතා කීමට ද ඇය පුරුදුව සිටියාය. කුඩා කල සිටම ඇය පැවැසූ ඇතැම් වදන් මාපියන්ගේ පුදුමයට හේතු වී තිබිණි.   


පශේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු 1992 වසරේදී ඇය හය වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඇයට ඇති වූ සෙම් රෝගය වරින් වර මතු වීම නිසා ඇයට නොකඩවා වෛද්‍ය ප්‍රතිකාර ද සිදු කැරිණි. දිනක් පියා වෙත පැමිණි පියුමි පියාගේ මුහුණට මුහුණ ළං කර ඔහු ඇමතුවාය.   


“තාත්තා මං නිසා හරියට කරදර වෙනවා. පව් ගෙවනවා. ඒත් තව ටික දවසයි.” යනුවෙන් කීවාය. දියණියගේ මෙම ප්‍රකාශය ද ඇය තුළ තිබූ පැසුණු කතාවක් ලෙස ඒ පිළිබඳව අවධානයක් යොමු නොවිණි. තවත් දිනක සෙල්ලම් කරමින් සිටි පියා වෙත පැමිණි දැරිය “තාත්තා මං නිසා පව් ගෙවනවා. පව් ඉවර වුණාම මම බුක් ගාලා යනවා” යැයි කීවාය.   


දියණියගේ මෙම ප්‍රකාශය පියා විසින් මවට ද සැල කර සි​ටියේය. දියණිය පවසන මෙම වදන් පිළිබඳව දෙමාපියන් ඇතුළු පවුලේ කිසිවකුගේ අවධානයට ලක් නොවිණි. ඒ සියලු වදන් ඔවුන් විසින් හඳුන්වන ලද්දේ පැහිච්ච කතා යනුවෙනි. ඇතැම් විට පියුමිගේ මෙම වදන් ඔවුහු හාස්‍යයට ද ලක් කළහ.   
දිනක් පියුමිගේ සො​හොයුරියට පාසල් වැඩ සඳහා පියා විසින් මේසයක් ගෙනැවිත් දුන්නේය. ඒ දෙස පියුමි​ මහත් ආසාවෙන් බලා සිටිනු දුටු පියා පසු දිනක ඇයට ද මේසයක් ගෙනැවිත් දුන්නේය. එය සතුටින් බාර ගනු ඇතැයි පියා සිතුවේය. එහෙත් එය දුටු විගස පියුමිගේ මුවින් පිටවූයේ මාපියන් කිසි විටෙකත් නොසිතූවකි.
මේසයට අත තැබූ පියුමි, “තාත්තා මට මේසයක් ගෙනත් දුන්නට ඔය මේසෙ වැඩ කරන්න මම ඉන්නේ නැහැ” යයි කීවාය. ඉංජිනේරුවරයකු වූ පියාට අැගේ මෙම වදන් තුළ ඇගේ වියෝවීමක් ගැන දෙනු ලබන සංඥාවක් ඇතුළත් වී ඇතැයි​ නොසිතුණි. පියුමි එවැනි වදන් නිතර නිතර හෙළි කරනු ලැබුවේ පියා සමග වීම ද විශේෂත්වයක් විය. දසවැනි වියට පත් වනවිටත් ඇගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වන බවක් දක්නට නොලැබිණි. සෙම් රෝගය හැරුණු විට උණ රෝගී තත්ත්වයක් හෝ ඇති නොවිණි.   


පියුමිගේ පියාට මතක තිබූ අයුරින් 1992 මාර්තු මාසයේ දිනෙක ඔහු වෙතට ළං වූ පියුමි ඔහුගේ අතක් පරීක්ෂා කළාය. අනතුරුව පියා ඇමතූ ඇය “තාත්තාට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ඒත් දරු ඵල තියෙන්නේ දෙන්නටයි. එක්කෙනෙක් යන්න ඕනෑ. ඒ යන්නේ මම තමයි” යනුවෙන් කීවාය. 

 
දියණියගේ අනෙකුත් පැසුණු කතාවලට වඩා එම වදන පියාගේ සිතට තදින්ම කාවැදුණි. එහෙත් ඔහු දියණියගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් නොකළේය. සිය බිරිය සමග හෝ ඔහු ඒ පිළිබඳව කිසිවක් නොකීවේය. තවත් සති කිහිපයක් ගත විය. සෙම් රෝගය නිසා ජම්බු වැනි පලතුරු වර්ග පියුමිට නොදෙන බැව් අසල්වැසියෝ ද දැන සිටියහ. 1992 අප්‍රේල් 3 වැනිදා පියුමි අසල්වැසි නිවසකට ගොස් පිනි ජම්බු ගෙඩි කිහිපයක් කඩාගන්නා අයුරු අසල්වැසියා දුටුවේය.   


“මම තාත්තාට කියන්නම්” යැයි ඔහු පියුමි දෙස බලා කීවේය. එයට ක්ෂණයෙන් පිළිතුරු දුන් දැරිය “තාත්තාට කිව්වාට කමක්නෑ. මම අද විතරයි ඉන්නේ. හෙට මැරෙනවා” යි පැවැසුවේ ඔහු පුදුමයට පත්කරවමිනි. එසේ පැවැසූ පියුමි ඇගේ නිවස වෙත දුව ගියාය.   


පසුදාට පහන් විය. එදින සේවයට ගිය පියුමිගේ පියා වරුවක සේවයෙන් පසු නිවසට පැමිණියේය. පියුමි ඇගේ කාමරයේ නිදා සිටිනු පියා දුටුවේය. මුහුණ සෝදමින් සිටි පියාට පියුමිගේ කාමරය තුළින් තදබල කැස්සක් ඇසුණි. එය දියණියගේ බැව් දැනගත් පියා වහාම දියණියව බලන ලෙස බිරියට කීවේය. ඇය වහා පියුමිගේ ඇඳ අසලට ගියාය.   


“දුවේ... දුවේ....” යයි මව කිහිප විටක්ම ඇයට ඇමතූ නමුත් කිසිදු පිළිතුරක් නොලැබිණි.   


“අනේ දුවට මොකක් හරි අසනීපයක්” යයි මව කෑගසන්නට වූවාය. වහා ඇගේ ඇඳ වෙත පැමිණි පියාට ද ඇය කිසියම් රෝගී තත්ත්වයකින් පසු වන බැව් දක්නට ලැබිණි. වහා පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන ගිය විට ඔහු පැවැසුවේ දියණියගේ ප්‍රාණය ගිලිහී ගොස් ඇති බවය. එහෙත් දෙමාපියෝ ඇය රාගම මහ රෝහල වෙත රැගෙන ගියහ. රෝහලේ දී ද ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පැවැසුවේ සුළු වේලාවකට පෙර ඇය මිය ගොස් ඇති බවය.   


මොළයේ ඇති වූ ආබාධිත තත්ත්වයක් නිසාවෙන් ඇගේ මරණය සිදු වී ඇති බැව් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.   


පියුමිගේ අකල් මරණයත් ඒ පිළිබඳව ඇය දිගින් දිගමට සිදු කළ ප්‍රකාශත් විමර්ශනය කිරීමට අපට අවස්ථාව ලැබිණි. ඒ අවස්ථාවේ පියුමිගේ පියා සමග කරන ලද සාකච්ඡාවේදී ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙහි දැක්විය හැකිය.   


ප්‍රශ්නය - ඔබේ දියණිය ​රෝගී තත්ත්වයට පත්වූයේ කෙසේ ද?   


පිළිතුර - එය සිදුවුණේ එයාට වයස අවුරුදු දෙකක් පසුවීමත් සමග සෙම් රෝගයක් නිසයි.   


ප්‍රශ්නය - රෝගය හඳුනා ගැනීමක් සිදු වුණේ නැද්ද?   


පිළිතුර - කුඩා කල දී ඇති වන සෙම් රෝගයක් ලෙසයි සිතුවේ. 

 
ප්‍රශ්නය - එය අසාධ්‍ය තත්ත්වයට පත්වුණේ කෙසේ ද?   


පිළිතුර - සෙම් රෝගය සුව වී ඉතා හොඳට හිටියා. පසුව නැවතත් වසර කිහිපයකට පසු එය වර්ධනය වුණා.   


ප්‍රශ්නය - රෝගී තත්ත්වය පිළිබඳව ඇයට අවබෝධයක් තිබුණා ද?   


පිළිතුර - ඔව්. එයාට ප්‍රතිකාර සඳහා අපි මහන්සි වීම ගැන එයා නිතරම කිව්වා.   


ප්‍රශ්නය - මරණය ගැන ඇය ප්‍රකාශ කළේ කෙසේ ද?   


පිළිතුර - එයා හරිම පුදුමයි. ‘තාත්තාට සල්ලි වියදම් වෙන්නේ තව ටික කාලයයි. මම ඉක්මනට යනවා’ යැයි ඇය පැවැසුවා.   


ප්‍රශ්නය - එම වදන් කියන විට ඔබ සිතුවේ කුමක් ද?   


පිළිතුර - කුඩා කල සිටම දුව නිතරම තරමට වඩා පැසුණු කතා කිව්වා. ඒ නිසා එම ප්‍රකාශත් ඇගේ පැසුණු කතා ලෙස අපි සිතුවා.   


ප්‍රශ්නය - ඇගේ එම ප්‍රකාශ මරණය පිළිබඳව ඇය කරන සංඥා ලෙස ඔබ සිතුවේ නැද්ද?   


පිළිතුර - නිතර නිතර එවැනි දේ කියන නිසා ඇගේ ප්‍රකාශ පිළිබඳව බිරිඳත් සමග අපි කතා කළා. එහෙත් ඒවා ඇගේ මරණාසන්න සංඥා ලෙස සිතුවේ නැහැ.  


ප්‍රශ්නය - එවැනි තදබල ප්‍රකාශයක් සිදු වුණේ කවදා ද?   


පිළිතුර - මරණයට පෙර දින ඇය අසල්වැසි නිවසකට ගිය දිනයේදී නම් පුදුම ප්‍රකාශයක් කර තිබුණා. 

 
ප්‍රශ්නය - ඒ ප්‍රකාශය කළේ කෙසේ ද?   


පිළිතුර - ඇයට සෙම් ගතිය ඇති නිසා ආහාරවලින් ඇය ප්‍රවේශම් කළා. එදා ඇය අසල්වැසි නිවසට ගිහින් පිනි ජම්බු ගෙඩි කඩාගෙන තිබුණා. එය දුටු අසල්වැසි නිවැසියා ඒ බැව් තාත්තාට කියනවා යයි කියා තිබුණා. එයට දුව එක්වරම දී තිබූ පිළිතුර වූයේ පසු දින එයා මැරෙන බවයි.  


ප්‍රශ්නය - එය පැවැසුවේ කෙ​සේ ද?   


පිළිතුර - ‘ඔයා අද තාත්තාට කිව්වට කමක් නෑ. මම හෙට මැරෙනවා’ යනුවෙනුයි. එලෙසම ඇය පසුදා මිය ගියා.

 
ප්‍රශ්නය - ඇයට අවසන් වරට ඇති වී තිබූ රෝගී තත්ත්වය කුමක්ද?   


පිළිතුර - මොළයේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඇගේ මරණය සිදු වී ඇති බැව් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.   


පියුමි සිහිවීම පිණිස දෙමාපියන් විසින් පූජනීය ස්ථානයක කුලුනක් ඉදිකරවා තිබේ.   

 

 

තිස්ස ජයවර්ධන