මරණයේ සෙවණැල්ල ජෝතිට කලින්ම දැනුණාද?


එච්.ආර්. ජෝතිපාලයන් ගැන කොතරම් කතා කළ ද එය තවමත් ඔහුගේ රසිකයන්ට එපා නොවන්නකි.   


රියැලිටි තරග ඔස්සේ, විවිධ සංගීත කණ්ඩායම් ඔස්සේ විවිධ තරුණ ගායකයන් පමණක් නොව ගායිකාවන්ගේ හඬින්ද ජෝතිගේ ගීත තවමත් ඇසෙයි. ඒ ඇසෙන හැමවිටම අප කරන්නේ ජෝතිගේ කටහඬ සමග ඒ ගීත සමාන කර බැලීමය.   


එහෙත් තවමත් එවැනි සුවිශේෂී කටහඬක් රසිකයාට හමුවුණා ද‌ැයි සැක සහිතය. තව අවුරුදු කීයක් ජෝති රසිකයා අතර ජීවත් වේද?   


ජෝති තරම් තාඩන පීඩනවලට ලක්වූ වෙනත් ශිල්පියකු සිටී ද යන්න සිතෙන තරමට ඔහු දුක් කරදරවලට මුහුණ දුන්නේය.   


සුප්‍රකට ගීත රචකයකු වූ මර්වින් සේනාරත්න මා සමඟ පැවසුවේ ජෝති එකල නිතරම වසන්තා සන්ද්‍නායකගේ නිවසට යන එන බවය. එයට හේතු වූයේ වසන්තාට එකල බොහෝ සංගීත සාජ්ජවලට සහභාගි වීමට ලැබුණු නිසා ඇයගේ හැඳුනුම්කම ඔස්සේ ඔහුට ද ඒවාට සහභාගි වීමට අවස්ථාව ලැබීමයි.   
ඔහුගේ මුල්ම චිත්‍රපටයෙන් ඔහු කැපී ගියේය. ඒ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයයි. ජෝති වරක් මා සමඟ පැවසුවේ එහි පටිගත කිරීමට ගිය විට එහි සිටි අය ඔහුගේ හඬට එකී යන්ත්‍ර දෙදරන බව කී බවයි.   


එහෙත් ඔහුගේ ගමන වළක්වන්නට නොහැකි විය. ආර්ථික අපහසුතා කැපිලි කෙටිලි මැදින් ආ ඒ දුෂ්කර ගමන ඔහු සිහිපත් කළේ උපේක්ෂාවෙනි.   
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා වුව ද ඔහු ජීවත්ව සිටි කාලයේ නිසි ඇගැයීමක් නොවීය.   
එක් කාලයකදී හින්දි කොපි ගීත ගායනා කරන බව කියමින් ඔහුගේ ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම නවතා දැමිණි.   
එහෙත් ඒ වෙනුවට ඔහු ගැයූ ස්වතන්ත්‍ර නිර්මාණ හින්දි ගී තනුවලටත් වඩා මිහිරි විය. ඒ මිහිරි ගී තනු නිර්මාණය කර හින්දි රැල්ලට අභියෝග කරමින් නැවුම් ගී රැල්ලක නිර්මාතෘවරයා වූයේ සරත් දසනායකයන්ය.   


සංගීතා, කස්තුරි සුවඳ, සදහටම ඔබ මගේ වැනි චිත්‍රපට තුළින් එක රැයින් ප්‍රේක්ෂකයන් වසඟ කළ ජෝතිගේ ගී රැල්ලත් එක්වරම මතු වී ආවේය.   
එහෙත් සරත් දසනායකයන්ගේ සමහර ස්වතන්ත්‍ර නිර්මාණ ද ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම ඇතැම් විට නවතා දැමිණ.   
එකල බටහිර සංගීත භාණ්ඩ යොද‌ා ගැනීම ද ගුවන්විදුලියේ ගීත තහනම් කිරීමට හේතුවක් විය. බටහිර සංගීත භාණ්ඩ වූ විදුලි ඕගනය, ජෑස් ඩ්‍රම්ස් ආදිය යොද‌ා ගත්​තේ අවර ගණයේ වෙළෙඳ අරමුණු පරමාර්ථයෙන්ම නිෂ්පාදනය කරන නිර්මාණවලට යයි මතයක් පැවතිණ.   
එහෙත් සරත් දසනායකයන් පැවසුවේ බටහිර, පෙරදිග වශයෙන් නිර්මාණ කටයුතුවලදී සංගීතය බෙදාගත යුතු නැති බවයි.   
මිල්ටන් මල්ලවආරච්චි ස්වතන්ත්‍ර ගීත ගායනා කළ ද ඔහුගේ ඇතැම් ගීත ද ගුවන් විදුලියට නොගත්තේ බටහිර සංගීත භාණ්ඩ යොද‌ා ගැනීම වැඩි යැයි පවසමිනි. මේ නිසා මිල්ටන් එකල බොහෝ ගීත වැඩසටහන්වලට සහභාගි නොවීය.   


‘හැම සංගීත ක්‍රමයකම හොඳ දෙයක් තියෙනවා. මේ නිසා මම හැම සංගීත ක්‍රමයකම හොඳ දෙයක් අරගෙන පොදුජන රුචියට ගැළපෙන අයුරින් අලුත්ම සංගීත නිර්මාණයන් කරන්නැයි උත්සාහ කරන්නෙ.’ මේ සරත් දසනායක 1976 දී කී කතාවකි.   


 ‘මම සමහරද‌ාට තනු නිර්මාණය කරන්න උදේ ඉඳල පැය ගාණක් නොකා නොබී මහන්සි වෙනවා. මේ දුක දැනගන්න සංගීතකාරයෙක් විය යුතුයි. මේ තරම් අමාරුවෙන් කරන නිර්මාණවලින් පහක් ගුවන්විදුලියට දුන්නොත් ඒවායින් තුනක්ම තහනම් කරනවා.   
මම සංගීත නිර්මාණය කළ ‘නිල්ල සොයා’ චිත්‍රපටයේ ගීත හයෙන් පහක්ම තහනම් කරල. ඒවට හරියට හේතු කියන්නෙත් නෑ. උච්චාරණය බටහිර ක්‍රමයට කියයි. වචන හරි නෑ කියයි. ඒත් මේ ගීතවල බටහිර උච්චාරණයකුත් නෑ. තුට්ටු දෙකේ වචනත් නෑ.’ සරත් දසනායකයන් කීවේ හිතේ සතුටකින් නොවේ.   
 මේ එකල තිබූ තත්ත්වයයි.   


ජෝතිපාලයන් ඔහුගේ හින්දි ගී කොපි ගී තහනම ගැන කීවේ මෙවන් කතාවකි.   


‘මම විතරද මල්ලී කොපි සින්දු කියන්නේ. නිෂ්පාදකයො කියන්න කියන සින්දු මම කියන්නෙ නැතුව මම ඉල්ලගෙන කොපි සින්දු කියනව නෙමෙයි. මට ඔය කොයි සින්දුවත් කියන්න පුළුවන්.   


දැන් ඔය ප්‍රබුද්ධයි කියල කියන සමහර ගායකයො කොපි සින්දු කියල නැද්ද? ඒ ගොල්ලො කියන්නේ හින්දි කොපි නෙමෙයි. පකිස්තාන් මෙලඩි. ඒ සින්දු දන්නේ නැති නිසා ප්‍රසිද්ධ නැති නිසා ඕව කවුරුවත් දන්නෙත් නෑ. හොයන්නෙත් නෑ.’ ජෝති වරක් මට පැවසුවේ හිතේ අමාරුවෙනි.   
හැත්තෑ ගණන්වලදී හින්දි ගීත අනුකරණය මෙන්ම හින්දි, දෙමළ චිත්‍රපට කොපිකර චිත්‍රපට හැදීම ද තහනම් විය.   
 චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එහි තිර කතාව චිත්‍රපට සංස්ථාවේ තිරකතා මණ්ඩලයෙන් අනුමත කරවා ගත යුතු විය. චිත්‍රපට බෙද‌ාහැරීම මෙන්ම චිත්‍රපට නිෂ්පාදනය සඳහා අවශ්‍ය දළ සේයා පට ඇතුළු අමුද්‍රව්‍යය ද සංස්ථාවෙන් ලබාගත යුතු වීම නිසා ඒ නීතියට පිටින් යෑමට නොහැකි විය.   
‘මේ දෑස කුමටද, ‘සංගීතා’ යන චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත්වීම නිසා නිෂ්පාදක - අධ්‍යක්ෂ තිමති වීරරත්න එකල පසුවූයේ දැඩි සතුටකිනි. ඔහු ඊළඟ චිත්‍රපටයට සූද‌ානම් වූයේ ද දැඩි උනන්දුවකිනි.   


 දිනෙක පානදුර තිමති ඡායාරූප ශාලාවේදී ඔහු හමු වූ විටෙක ඔහු තම අලුත් චිත්‍රපටය ගැන මට කීවේය. එය ද  ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි ආදර කතාවක් බව ඔහු මට කීවේය.   


‘මේ ගමන මම ඉන්නෙ විජයයි, මාලනියි, ශ්‍රියානියි (ශ්‍රියානි අමරසේන) ප්‍රධාන චරිතවලට ගන්න. හොඳයි නේද?   
‘ඔව්. ඔව්. ජනප්‍රිය වෙයි.’ මම කීවෙමි.   


 තවත් දිනෙකදී ඔහු මට ටයිප් කරන ලද තිරකතා පිටපතක් අතට දුන්නේය.   


 ‘කියවල බලන්න.’ ඒ ඔහුගේ අලුත් චිත්‍රපටයේ තිරකතාවය. එය ලියා තිබුණේ ධර්මසිරි ගමගේය. එම චිත්‍රපටයට නමක් තබා තිබුණු බවක් මට මතක නැත.   
එහෙත් තිමති අතිශය බලාපොරොත්තුවෙන් සිටි එම තිරකතා පිටපත සංස්ථාවේ තිරකතා මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප විය. තිමති එම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ අදහස අත්හැර දැමුවේය. ඒ වෙනුවට තිරකතා මණ්ඩලයෙන් අනුමත වූ තිරකතාවකින් ඔහුගේ ඊළඟ චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන බව ඔහු කීවේය.   
එහෙත් ඔහු ඊළඟට නිෂ්පාදනය කළ ‘රජ දවසක්’ චිත්‍රපටයේ විජය - මාලිනී ප්‍රධාන චරිත රඟපෑව ද එය ජනප්‍රියත්වය ලද චිත්‍රපටයක් නොවීය.   
 කලාවට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙනවා හැරෙන්නට එයට නීති රීති දමා පාලනය කිරීමට යෑමේදී නිර්මාණාත්මක ගුණය බිඳ වැටෙන බවට එය ද හොඳ උද‌ාහරණයකි.   
මේ කාලය ඇතුළත දේශපාලන හා සමාජ පෙරළි සිදුවුවද ජෝති වැටුණේ නැත.   


ජෝතිගේ ගීත චාරිකාව එහෙමම ඇදී ගියේය. ඔහුට චිත්‍රපටවලින් මෙන්ම සංදර්ශනවලින් ද අඩුවක් නොවීය. ඔහු ගැයූ ස්වතන්ත්‍ර නිර්මාණ ද අතිශය ජනප්‍රිය විය.   
මුල්ම යුගයේ ගාමිණී ෆොන්සේකාට නැතිවම බැරි වූ ගී හඬක් වූයේ ජෝතිය. ජෝතිගේ ගීත ගාමිණීට හරියටම හරි ගියේය.   
කෙමෙන් විජය කුමාරතුංග සිනමා තිරය ආක්‍රමණය කරමින් එද්දී ජෝතිගේ කටහඬ හරියටම විජයට ද ගැළපුණේය. බොහෝ දෙනා පවසන්නේ ජෝතිගේ හඬ ඕනෑම නළුවකුට ගැළපෙන බවය.   


 පසුකාලයේදී ගාමිණී රඟ පෑ ඇතැම් චිත්‍රපටවලට ගීත ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චිය. නිල්ල සොයා, චංචල රේඛා, යළි හමුවන්නයි, මල්කැකුළු ඒ අතරින් කීපයකි. මිල්ටන් ගාමිණීට ගී ගැයූ චිත්‍රපට බොහෝමයක්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළේ සේන සමරසිංහයන්ය. සරත් දසනායකයන්ගේ එම තනු නිර්මාණ අතිශය ජනප්‍රිය විය.   
ඒ නිසා ජෝති පසුකාලයේ විජයටම සින්න වූවාක් මෙන් විය. විජය තිරයේ රඟපාමින් ගී ගයන විට ඒ කටහඬ සොයාගත නොහැකි තරමට විජයගේ රුව හා බද්ධ විය.   
විජය සිහින කුමරකු ලෙස තිරයේ ජයකෙහෙලි නංවද්දී ජෝති තව වටයකින් වඩාත් ජනප්‍රිය වන්නට විය.   
 මුල් කාලයේ ජෝති ලතා වල්පොළ සමග යුග ගී ගැයීමක් නොවීය. ජෝතිගේ සහාය ගායිකාවන් වූයේ සුජාතා අත්තනායක සහ ඇන්ජලින් ගුණතිලකය. පසුව ලතා - ජෝති යුග ගී ගායනා ද ජනප්‍රිය වන්නට විය.   


‘මිහිඳුම් සිහින’ චිත්‍රපටයේ ජෝති ගැයූ ‘සරා සඳේ’ ගීතයට 1984 වසරේ සරසවි උළෙලේදී සම්මාන ලද බව මට මතකය.   
 ‘මිහිඳුම් සිහින’ සරත් දසනායක නිෂ්පාදනය කළ අතර සංගීත අධ්‍යක්ෂණයද ඔහුගේමය. දයා විමලවීර අධ්‍යක්ෂවරයා වූයේය.   
 විජය මාලිනී එක්ව රඟපෑම මෙකල ගැටලුවක් වුවද සරත් දසනායකගේ ඉල්ලීම මත යළිත් ඔවුහු එකට රඟපෑහ.   
ජෝති ‘සරා සඳේ’ ගීතයට හොඳම ගායකයා ලෙස 1983 සරසවි සම්මාන ලද අතර ඔහු එම සම්මාන උත්සවයේදී එම ගීය ගායනා කළේය. එද‌ා එම උළෙලේදී ඉතා චාම් ලෙස සැරසී ඔහු මහත් සංයමයකින් යුතුව ආකර්ෂණීය ලෙස ඔහු ‘සරා සඳේ’ ගීතය ගැයුවේය.   
සම්මාන උත්සවයෙන් පසුද‌ා උදෙන්ම මා ජෝති හමුවීමට ගියේ සම්මානය ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමටය. එහෙත් එවකටත් ඔහු පැමිණ නැත.   
(සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ‘පාළු සුසානේ’ ගීයට ද හොඳම ගායකයා ලෙස 1986 දී  ඔහු සරසවි සම්මාන ලැබුවේය.)   
එකල ​ජෝතිගේ මාලිගාවත්ත මහල් නිවාසයේ ඔහු සමග සිටි හිතවත්ම පුද්ගලයා වූවේ ද‌ාස ය. ද‌ාස ජෝතිගේ හිතවතුන්ගේ මෙන්ම මාධ්‍යකරුවන්ගේ ද මිතුරෙකි. ජෝති යන එන තැන්, යන එන වෙලාවල් ජෝතිටත් වඩා දන්නේ ද‌ාස ය.   


පෙරද‌ා සම්මාන රාත්‍රියට ගිය ගමන් තවමත් ජෝති පැමිණ සිටියේ නැත.   
 ‘යාළුවොත් එක්ක ගිහිල්ලා ඇති. පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩෙන් එයි.’   
ජෝති මහල් නිවාසයට ආවේ උදේ දහයත් පසුවීය. ඔහු පඩිපෙළ නැග ගෙතුළට ආවේ සම්මානය ද තුරුලු කරගෙනය.   
‘මේක හරියට බරයි බං’ ඔහු ද‌ාසට කීවේය.   


‘තාම එනවා මල්ලී. දන්නැද්ද සම්මානයක් ගත්තම...’ ජෝති කීවේය.   
ජෝතිට මා අමුත්තකු නොවූයේ මා වසර කීපයක්ම මාලිගාවත්ත මහල් නිවාසයේ කාමරයක නැවතී සිටි හෙයිනි.   
එකල බොහෝ දිනවලට ජෝති මට හමුවෙයි. මා උදේ පුවත්පත් කාර්යාලයට යන්නේ ජෝතිගේ මහල් නිවාසය පසුකරගෙනය.   
රාත්‍රී සංදර්ශනවලට ගොස් උදේ පාන්දර පැමිණ ටික වේලාවක් විවේකීව ජනේලයෙන් පාර දෙස බලා සිටීම ජෝතිගේ පුරුද්දකි.   
උඩුකය නිරාවරණව සිටින ඔහු පාරේ යන බොහෝ දෙනකු හා වචනයක් දෙකක් කතා කරයි. නැතිනම් ‘ගුඩ් මෝර්නින්’ යයි කියයි. අත වනා ආචාර කරයි.   
විශේෂ පුවතක් ඇත්නම් ඔහු කතා කරයි. ඒ ඔහුගේ විවේකී වෙලාවයි.   


ඉන්පසුව යළි රාත්‍රී සංදර්ශන හා පටිගත කිරීම් සඳහා පිටත්ව යන්නේ හැන්දෑ වරුවේය.   
 එකල බොහෝ පටිගත කිරීම් තිබුණේ රාත්‍රී කාලයේදීය. එහෙත් පසුව නව තාක්ෂණයත් සමග ඒවා උදේ වරුවේ ද පටන් ගැනිණි.   
කෙසේ හෝ එද‌ා සම්මානය පිළිබඳව මම ජෝති සමග කතා කළෙමි.   
ජෝති සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙද්දී ඔහු පිළිතුරු දෙන්නේ අවංකවය. තමන්ට හැඟෙන දේ ඔහු එහෙමම කියා දමයි. සඟවන්නට දෙයක් නැත. ඇතැම් පෞද්ගලික දේ පවා ඔහු මාධ්‍යකරුවන් සමග කියයි. බොහෝ විටෙක ඔහු විශ්වාස කළේ මාධ්‍යකරුවන් ඔහුට අපකීර්තියක් දෙන පුවත් පළ නොකරන බවයි.  ඒ අතරතුර මා ජෝතිට කීවේ පෙරදා රැයේ සිනමා උත්සවයේදී ඔහුගේ ගායනය ඉතා ආකර්ෂණීය බවයි.   


‘ළා පාට ඇඳුමත් හරියටම ගැළපුණා. ‘සරා සඳේ’ ටිකක් අමුතු සින්දුවක් නිසා ගායනා කළ හැටිත් හරිම ලස්සනයි.’ මම කීවෙමි.   
ජෝති එයින් මහත් ප්‍රමෝදයට පත් විය.   


‘ඇත්තද මල්ලී. මම හොඳට සිං කළා ද?’ ජෝති ඇසුවේ මහත් සතුටකිනි.   


ශ්‍රී ලංකාවේ වැඩ අධිකම, ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන වසර ගණනාවක් පුරා ජනප්‍රිය ගායකයා ලෙස සම්මානයට පත් වූ ජෝති හොඳින් ගී ගැයුවා යැයි කීමෙන් ප්‍රමෝදයට පත්වීම ඔහුගේ අව්‍යාජ බව හෙළිකරන්නකි. ජෝති හොඳින් ගී ගයන බව මා නොකීවාට මුළු රටක්ම දැනගෙන සිටි කරුණකි.   
 තවත් වරෙක ජෝති හමුවීමට මා ගිය විට ද‌ාස කීවේ, ජෝති රෝහණ සිරිවර්ධනගේ ‘ඔබේ අතගෙන’ ගීතයට ඉතා ප්‍රියකරන බවත් ඔහු එම ගීතය ගායනා කරන බව ද මට කීවේය. එවෙලේ ජෝති සිටියේ ගේ තුළය.   


‘ඒක ලස්සන සින්දුවක් මල්ලී’ යි කියමින් ඔහු එම ගීය ගායනා කළේය. ඔහු එක් චිත්‍රපටයකදී හරූන් ලන්ත්‍රා ගයන ‘මගෙ නාමලී’ ගීතය වාද්‍ය භාණ්ඩ කිසිවක් නොමැතිව ගයමින් රඟපෑවේය.   


අසූව දශකයේදී ‘තරුණයා’ පුවත්පත මගින් පැවැත්වූ ගීත රචනා තරගයකින් තෝරා ගත් ගීත කැසට් පටයක් නිෂ්පාදනය කෙරිණ. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමද‌ාසයන්ය. ජෝතිට ද එහි ගීතයක් වෙන්කර තිබිණ.   


අද ජනප්‍රියව සිටින සමහර ගීත රචකයන්ගේ මුල්ම ගීත එහි ඇතුළත්ව තිබිණ. පණ්ඩිත් අමරදේව, ජෝති, ටී.එම්. ආදී ජනප්‍රිය ගායක ගායිකාවන් ගායනා කළ ගීත රචනා කළ, ගීත රචකයන් අතර මට මතක ඇත්තේ පල්ලේගම හේමරතන හිමි, සමන්ත හේරත්, බන්දුල නානායක්කාරවසම් පමණකි.   
එදින උදේ වරුවේ පටිගත කිරීම් යොද‌ාගෙන තිබිණ. අමරසිරි පීරිස් ගුවන් විදුලියෙන් වාහනයට නංවාගෙන ජෝතිත් රැගෙන අප නුගේගොඩ නෙලූ ශබ්ද‌ාගාරයට යාමට පිටත් වූයෙමු.   


‘අද මල්ලි මම ඇමෙරිකා යනවා. මේක ඉක්මනට ඉවර කරන්න ඕනෑ. දැන්නැද්ද ඊයෙ පාටිය ටිකක් දුරදිග ගියා.’ ජෝති කීවේය.   
ඒ අතරතුර ඔහුට මහාචාර්ය සනත් නන්දසිරිගේ ගෙදරට ද යෑමට වුවමනා විය. එහි මඳ වේලාවක් ගත කළ ඔහු මුලින්ම පටිගත කිරීමට සහභාගී වූයේය. ඔහුගේ කටහඬ  වෙනද‌ා තරම් ආකර්ෂණීය නොවීය. ඔහු ගීතය ගායනා කළේ අපහසුවෙනි.

   
‘ඊයේ පාටිය රෑ වෙනකම් ගියා.’ යළිත් ඔහු කීවේය.   


මේ කාලය ඇතුළත ජෝති වරින්වර රෝගී විය. ඔහු රෝහල්ගතව සිටියේය. විජය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන්ම සොයා බැලුවේය. මා දන්නා තරමින් විජය මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කියා ජෝතිගේ සම්පූර්ණ පරීක්ෂාවක් කෙරිණ.   


මේ මොන ලෙඩ රෝග තිබුණ ද ඔහු සංදර්ශනවලට සහභාගි විය. එහි ගීත ගැයුවේය.   


වරක් මාධ්‍ය මිතුරකු වූ තිස්ස කුඩාතිහි සමග මා ජෝති හමුවීමට ගියේ කිසියම් කාර්යාලයීය කටයුත්තක් සඳහාය. ඔහු එවෙලේ සිටියේ මහල් නිවාසය තුළ නොවේ.   
 සුපුරුදු බතික් සරමෙන් සැරසී ඔහු එළිමහනේ පිරිසක් සමඟ කතා කරමින් සිටියේය.   


‘මේ දවස්වල හරියට ෂෝ එනව මල්ලී. මේ දැනුත් ෂෝ එකක් කතා කරලා ඇඩ්වාන්ස් දීලා ගියා. ස්ටේජ් එකට නැග්ගමත් මම යන්නේ සින්දු තුනක් නැතිනම් හතරක් කියල බහින්න. කෝ ඕඩියන්ස් එක කෑ ගහනවා තව සින්දු කියන්න කියලා. අන්තිමට සින්දු හත අටක් කියල තමයි බහින්න වෙන්නෙ.’   
‘ඒක කොච්චර හොඳද? මම කීවෙමි.   


‘නෑ මල්ලී කවද‌ාවත් නැතිව මේ තරම් පොපියුලර් වෙන්නෙ අන්තිම කාලෙට.’   
‘එහෙම කියන්නෙ කොහොමද? ටිකක් පරිස්සම් වෙන්න. කනබොන දේවල් අඩුකරලා.’   
‘දැන් ඉස්සර වගේ නෙමෙයි මල්ලී. පරිස්සම් වෙනවා. ඒ වුණාට මට තේරෙනවා.’   


කිසි දිනක කලකිරීමෙන් කතා නොකළ ජෝති එදා‌ කතා කළේ කිසියම් ශෝකී ස්වරයකිනි. ඔහු නොකියා කීවේ මෙතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ ඔහුගේ මරණය ආසන්න වීමේ පෙරමඟ ලකුණක් හැටියට බවය.   


 ඔහු ජීවිතය ඉල්ලා බැගෑපත් වූ කලාකරුවකු නොවේ. උද‌ාවන දවස ඔහු සතුටින් ගත කෙළේය. ඔහු කැපිලි කෙටිලිවලදී පවා සසල නොවීය.   


එහෙත් ​​ජෝති එද‌ා කී ඒ වදන් තවමත් මා සිත තුළ රැව්දෙයි. ඒ හමුවීමෙන් ඉතා කෙටි කාලයක් තුළදී ‘ගම් උද‌ාව’ සංගීත ප්‍රසංගයකදී හෘදයාබාධයක් වැලඳීමෙන් ජෝති අහිමි වූ පුවත දැනගන්නට ලැබිණ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 51 ක් විය.   


 ඉමහත් ජනප්‍රියත්වයක් ලබද්දී පවා කිසියම් ආකාරයකින් මරණයේ සෙවණැල්ල ඔහුට දැනුණාද? 

 

 

 රොඩ්නි විද‌ානපතිරණ