ශෝකී අවස්ථාවක් අන්‍යයන්ට කියන විට තමා තුළද ශෝකයක් ඇතිවෙයි. මරණයක් දැනුම් දීම පවා පැරැන්නා විශ්වාශ කළේ අසුභ, මෙන්ම වැරදි ක්‍රියාවක් ලෙසටයි. මේ සඳහා පැරණි ජනරූප සංජානනයේ අක්ෂරයක් නිර්මාණය කළෝය. මෙය පුරාණ සිංහල හෝඩියේ හෝ බ්‍රාහ්මී අක්ෂර හෝඩියේ නැති එකකි.
මළ පොත අකුර යනු මරණයක් දැනුම්දීමට පුරාණයේ තල්පත් ඉරුවක ලියූ මෙම අකුරයි.
ආදාහනය සහ භූමදානය
වර්තමාන සම්මතය අනුව ‘‘ආදාහනය’’ යනු මළ සිරුරු දැවීමයි. සංස්කෘත භාෂාවෙන් එන මෙම ආදාහන ශබ්දය පාලියෙහි එන ආළහන ශබ්දය අනුව හැඩගැසීමෙන් ‘‘ආදාහන’’ යි සිද්ධ වූ බව සඳහන්ය.
දහනය යනු දැවීමයි. ආදාහනය ඉතා පුරාණයේ පටන් පැවැත එන්නක් බවට සාක්ෂි තිබේ. ආදාහනයේ කතාව හෙවත් සුසාන චාරිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවැත එන බව රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා විසින් කරණ ලද පර්ෙය්ෂණ වලින්ද පැහැදිලිය.
මහාචාර්ය තුසිත මැන්දිස් මහතා සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකීය සංස්කෘතියේ තීරණාත්මක සංස්කෘතික අවධිය ලෙස පිළිගැනෙන මූල ඓතිහාසික (Proto) සංස්කෘතික අවධිය තුළ වඩාත් නිශ්චිත ලෙසම අවමඟුල් චාරිත්‍ර හා වළලෑම් ක්‍රමවිධි සිදුවූ බවට පිළිගත හැකි පුරාවිද්‍යාත්මක සාධක තිබේ.
ක්‍රි.පූ. 900-400 දක්වා වූ කාලයත්, ශ්‍රී ලංකාවේ මුල්බැසගෙන තිබුණ මෙම සංස්කෘතිය ලංකාවේ උතුර, උතුරුමැද, උතුරු මලය රට, වයඹ, බටහිර, අග්නිදිග මෙන්ම නැගෙනහිර පළාත්වලද ක්‍රියාත්මක වී තිබේ. මේ සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වූ අවමඟුල් චාරිත්‍ර හඳුනාගෙන ඇත්තේ මළගියවුන් උදෙසා ඉදිකරන ලද විවිධ සුසාන තුළිනි.
ආදාහනය ඉතා පුරාණයේ පටන් පැවැත එන්නක් බවට පැරණි සංස්කෘතීන්ගෙන්ද සාක්ෂි ලැබේ. පුරාණ හින්දුවරුන් මළසිරුර කෙරෙහි පිළිපැදි සිව් වැදෑරුම් ක්‍රම අතර ආදාහනය වූ බව ‘‘යෙතිධාතා යෙ පරොජතා, යෙදග්ධා යෙ චොද්ධිතා’’ භූමදානය කරනු ලැබූ යමෙක් වේද, අමුසොහොනෙහි ලන ලද යමෙක් වේද, දහනය කරනු ලැබූ යමෙක් වේද, ගුහාවල හෝ ගස්වල තැන්පත් කරනු ලැබූ යමෙක් වේද යන අර්ථව වේද පාඨයෙන් පෙනේ. ගිනි දෙවියාට පිදීමෙන් මියගිය හු පවිත්‍රත්වයට පත්වෙතැයි යනාදී ආගමික අදහස් මළසිරුරු ආදාහනය කිරීමේ සිරිතට පදනම් වන්නට ඇතැයි සිතිය හැක.
උසස් පවුල්වල ඇත්තන් මියගිය විට දේහය ආදාහනය කැරේ. ආදාහනාගාරය සකස් කළේ පොල්කටු, පොල්ලෙලි හා වෙනත් විවිධ දරවලින්ය. අඩි තුනක් හෝ හතරක් උසට දර ලී අතුරවයි. වටේට සිටුවන්නේ පොල් කොටන්ය. බොහෝවිට කජු ලී මේ සඳහා යොදාගැනේ. කජු ලී එහි කිරි ගතිය නිසා වහා දැල්වේ. අනෙක සුලබය, දේහය තැන්පත් කිරීමෙන් පසු ඒ මතට තවත් දරකොටන් වලින්ම වසාලයි. මෙය හඳුන්වන්නේ දරසෑය නමිනි.
අසිරිමත් ආදාහන උත්සවයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ වර්ණනාවන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එන සම්බුද්ධ ශරීරය දැවුණ ප්‍රාතිහාර්ය ආදාහනයයි.
ඓතිහාසික සාධක අනුව ලංකාවේ ආදාහන උත්සවයක් වාර්තා වන්නේ උත්තිය රජතුමාගේ කාලයේදීය (ක්‍රි.පූ. 199) අසූ වයස් පිරි මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වප්පුර අටවකදා පිරිනිවීයහ. ලංකාවේ වැඩ සිට අපවත් වී වදාළ මහා මහේන්ද්‍ර රහතන්වහන්සේගේද, සංඝමිත්තා ස්ථවීරින් වහන්සේගේද, කාවන්තිස්ස, දුටුගැමුණු, එළාර රජවරුන්ගේද මෘත ශරීර ආදාහනය කරවනලද බව මහා වංශ ආදී ග්‍රන්ථයන්ගෙන් පෙනේ.
මහනුවර විසූ රජුන්ගේ ආදාහන චාරිත්‍ර පිළිබඳව යම් යම් කරුණු පොත පතින් හෙළිවේ. මහනුවර රාජධානි සමයෙහි රජවරුන්ගේ මෘත ශරීර දවා භෂ්මාවශේෂ තැන්පත් කළ භූමිය ආදාහන මළුව ලෙසට හැඳින්වේ. මෙය පිහිටියේ මහනුවර ත්‍රිකුණාමල වීදියට බටහිරින් ත්‍රිත්ව විද්‍යාලය ඉදිරිපිට අස්ගිරි විහාරයට නැගීමට ඇති පඩිපෙළට ආසන්නවය.
ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1347-1375) ගේ මවු බිසවසේ සලකනු ලබන චන්ද්‍රාවතී දේවියගේ ආදාහනය සිදුකරන ලද්දේ මෙතැන බව කියැවේ. දෝන කැතරිනා බිසවගේද, සේනාරත්න (සෙනරත්) ක්‍රි.ව. 1604 - 1635, දෙවන රාජසිංහ (ක්‍රි.ව. 1635-1687), දෙවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1687-1707), වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707-1739), ශ්‍රී විජයරාජසිංහ (ක්‍රි.ව. 1739-1747), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1782), රාජාධිරාජසිංහ (ක්‍රි.ව. 1780-1798) ආදී රජවරුන්ගේ ආදාහන කටයුතු සිදු කරන ලද්දේ මේ ස්ථානයේදීය. රජ, බිසව, රාජමාතාව, රජුගේ වැඩිමහලු සොහොයුරිය පමණක් මෙම ආදාහන මළුවේ සිදුකළ බවත්. අනෙකුත් රාජකීයයන් සඳහා උඩවත්ත කැලේ රාමවිහාරය පිටුපස පිහිටි ඉඩමේ සිදුකළ බවත් සඳහන්ය.
සිරිත් විරිත්
කෙනෙකු මිය පරලොව ගියවිට පවත්වන සිරිත් විරිත් රාශියකි. මියගිය විගස මෘත ශරීරය විරූප නම් හැකිතාක් දුරට එය සකස්කර බස්නාහිරට සිටිනසේ තබනු ලැබේ. මෙය පැරැන්නෝ කීවේ ‘‘ඉද්දර පාමුල් කිරීම’’ කියාය. මෘත ශරීරයේ දෙපා නැගෙන හිර දෙසටත් හිස බස්නාහිරටත් සිටින සේ තැබුවේ හිරු නැගීම, බැසීම සංකේතවත් කරමිනි. අවරගිර, බැසයාම, අනියත බව සංකේතවත් කරයි. මෘත ශරීරය ගෙදරින් ගෙනයන තෙක්ම දෙපස පහන් දෙකක් දල්වයි.
එසේ කරන්නේ මළසිරුරෙන් පිටවන විෂබීජ දැවීම පිණිසයි. මරණයක් වුණ තැනට ‘‘කිලි ගෙදර’’ යැයි ව්‍යවහාර කරනු ලැබේ. කිල්ල යනු සංස්කෘත “ක්ලිෂ්ට” යන වචනයෙන් බිඳී ආවෙකි. කිලුට යනු එහි අර්ථයයි. මරණය සිදු වූ විගස ඥාති මිත්‍රයන්ට දැනුම් දෙනු ලැබේ.
මලපත අකුර
පුරාණයේ බොහෝ විට මරණය දැනුම් දුන්නේ ‘‘මළස්නය” යැවීමෙනි. මළපත අකුර පැරණි ජනරූප සන්නිවේදනයෙහි වැදගත් යෙදුමකි. ‘‘මළස්නය’’ හෙවත් මලපත අකුර මරණය දැන්වීම සඳහා ගෙයින් ගෙට යැවුණ තල්පතකි. මෙය සිංහල හෝඩියට සම්බන්ධ අකුරක් නොවේ.
පැරණි ගැමියන් වැඩිදෙනා අකුරු ලියන්නටවත්, කියවන්නටවත් දැන සිටියේ නැත. එබැවින් එකල සන්නිවේදනයේදී විවිධ සංකේත ව්‍යවහාර විය. ශෝකී අවස්ථාවක් අන්‍යයන්ට කියන විට තමා තුළ ශෝකයද ප්‍රකට වන බැවින් සන්නිවේදන ගැටලුවක් ඇතිවේ. අනෙක් අතින් මරණයක් කීම පවා පැරැන්නන් විශ්වාස කළේ මූසල කටයුත්තක් ලෙසය. මළතැනැත්තාට නිගරුවක් ලෙසය. ඒ සඳහා ගම්මානවල පොදු සංකේත බිහිවිය. ‘‘පේරු දන් සීට්ටුව’’ ද එවැනි සංකේතයකි.
ආරංචියක් ලැබුණත් නොලැබුණත් දැනගත් සියලුම දෙනා මළගෙදරට යාම සිරිතකි. ඔවුන් හිස් අතින් යන්නේ නැත. මළගෙදරට අවශ්‍ය, සීනි, තේ කොළ, කෝපි, ඉඟුරු, කොත්තමල්ලි ආදී සියලුම දේවල් තමතමන්ට හැකි පමණින් ගෙන යාම සිදුකෙරේ. ගම්පළාතම මළගෙදරට එක්වූ ගැමියෝ කුමන හෝ කටයුත්තකට සහභාගීවෙති.
මිනීපෙට්ටිය සෑදීමේ පටන් ගේ දොර, වත්තපිටිය පිරිසුදු කිරීමේ සෑම කාර්යකම යෙදෙන්නේ ගැමියන්ගේ උපරිම කැපවීමෙන්ය. භූමදානය කරනවා නම් වළකැපීම, ආදාහනය කරනවා නම් දරසෑය ඇතුළු සියලුම කටයුතුද සිදුකරන්නේ උපරිම කැපවීමකින් හා ශෝකයකින් යුතුවය. එය ඔවුන් සලකන්නේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙසටයි.
මළසිරුරේ හිස බස්නාහිරට හැරවීම, මළසිරුර දර දඬුවීමට පෙර පයේ මාපට ඇඟිලි එකට බැඳීම, දෑත් එකතුකර පපුව මත තැබීම, ඇරුණු කට සකස්කර හිසේ සිට නිකට දක්වා රෙදි පටියකින් බැඳීම, ඇස් දෙක වසා දැමීම ආදී කරුණු ප්‍රධාන කරගෙන සිරුරේ අවයව මනා ලෙස සකස් කැරේ.
කෙනෙකු මිය ගියවිට බිත්තියේ එල්ලා ඇති පින්තූර ගලවා දැමීම හෝ කණපිට පෙරළීම කළ යුතුය. බුලත් හෙප්පුවේ බුලත් කණපිට හැරවිය යුතුය. මිනිය තනි නොකිරීමට පැරැන්නෝ හැම විටම වගබලා ගත්හ. මිනියක් තනි කිරීම බරපතළ වරදක් ලෙසට එදා සැලකූහ. මළ පුද්ගලයාගේ තරාතිරම අනුව ආරක්ෂා සංවිධාන ක්‍රමවත්ව සම්පාදනය කොට තිබුණි. මේ අනුව අවසන් දිනය වනතුරුම මිනිය තනි නොකර නිවසේ තබාගැනේ.
බෞද්ධ ගිහියන්ගේ අවමඟුල් උත්සවවලදී සිරිත් පරිදි කෙරෙන ආගමික කටයුතු ‘‘පාංශුකුල’’ චාරිත්‍රය ලෙසට හැඳින්වේ. ඇතැම් ප්‍රදේශවල මේ සිරිත සොහොන් බිමේදී කෙරෙන අතර වැඩිපුරම සිදුවන්නේ මියගිය අයගේ නිවසේදීය. පාංශුකූලයට ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළ යුතුය. උන්වහන්සේ අවශ්‍ය ගණනට අනෙක් භික්ෂූන් වහන්සේට ආරාධනය කරති.
අසුන් පනවා භික්ෂූන් වහන්සේ පිළිගත් පසු මෘත කලේබරය රැගත් දෙණ භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට තබනු ලැබේ. පිරිස තිසරණ පන්සිල් පිහිටුවා මතක වස්ත්‍ර පූජා කෙරේ. මතක වස්ත්‍රය භික්ෂූන් වහන්සේලාට සිවුරු මසා ගැනීමට යොදාගනු ලැබේ. මියගිය අයට මතක වස්ත්‍ර පූජාවෙන් අනිත්‍ය මෙනෙහි කිරීමෙන් ලද කුසලය අනුමෝදන් කරවති.
“යම්සේ දියෙන් පිරී ගංගා ගලාගොස් මහමුහුද පුරවාද එසේම මෙහිදී පමුණුවන ලද පිං මියගිය ඥාතීන්ට ලැබේවා !
‘‘යථාවාරී වහා පුරා - පරිපුරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං - පේතානං උපකප්පතී....’
’
ඉන්පසු මියගිය අයගේ ඥාතීන්ගේ ශෝකය තුනී කිරීම පිණිස ධර්ම දේශනයක් පවත්වති. දේහය නිෙවසින් පිටතට ගෙන යාමට පෙර අඹුදරුවන් ඇතුළු පවුලේ නෑදෑයෝ ඊට ආචාරකොට අවසර ගනිති.
නොයෙකුත් ලතෝනි, විලාප මැද සරසන ලද මාර්ගයෙන් ගරුබුහුමන් සහිතව පෙරහරෙන් දේහය චිතකය වටා තෙවරක් පැදකුනුකොට පෙට්ටිය දර සෑයේ තබනු ලැබේ. ගිනිදල්වන්නේ මළතැනැත්තාගේ බෑනලා දෙදෙනෙකි. ඔවුන් එය කරන්නේත් පිටුපසට කරගත් ගිනි පන්දම් අතේ ඇතිව දරසෑය වටා තෙවරක් ගමන්කොට පිටුපස හරවාගෙනය. මෙය දෙණකෙටීම ලෙස හඳුන්වති.
මෘත ශරීරය බහාලූ පෙට්ටිය හඳුන්වන්නේ ‘‘දෙණ’’ යන නමිනි. දරසෑයේ දෙණ තැන්පත් කළ පසු බෑණවරු සුදු තලප්පාවක් හිස බැඳ හුළු අතු දල්වාගෙන පොරෝ අතැතිව චිතකය වටා යති. හිස ආවරණය කරන්නේ මළගිය පරාණකාරයාගේ දිෂ්ටිය ඔවුන් වෙත යොමු නොවීම පිණිස බව කියැවේ. මේ අතර තුරේ බෑණ කෙනෙකු දර සෑයේ කොටයකට පොරෝ පහරක් එල්ල කරයි. ඔවුන් අතර දෙබසක් ඇතිවෙයි.
‘‘හඃ මොකද්ද ඔය කොටන්නෙ?’’
‘‘අපේ මාමගෙ දෙණ කොටනවා’’
‘‘ඔය කෙටුව මිසක් ආයෙ කොටන්නෙ නෑ’’
එවිට අනෙක් බෑණද කොටයකට පොරෝ පහරක් එල්ලකරයි. මෙසේ තුන්වාරයක් කොටමින් ගමන් කිරීමෙන් පසු පොරෝ දෙක දරසෑයේ දෙපැත්තට විසිකරති. පිටුපස්සට ගමන් ගන්නා මේ දෙදෙනා දරසෑයේ දෙකොනට දෑත් පිටුපසට කර ගිනි තැබීම කෙරේ. පවුලේ සමීප නෑ හිත මිතුරෝ දවස පුරාම මිනිය ළඟට වී පහන්වලට තෙල් පිරවීම, අමුත්තන් සමග ශෝකය බෙදාහදා ගැනීම කරති.
මෘත ශරීරය ගෙදර තිබියදීත් ඉන් පසු සතියක් පමණ ගතවන තුරුත් මළපොත කියවීමද පුරාණ චාරිත්‍රයකි. මළපොත වශයෙන් කියවන්නේ වෙස්සන්තර ජාතකයයි. මෙය ශබ්දනගා කියවීමේදී ඇතිවන්නේ ශෝකයයි. සතියක් යනතුරුම මළගෙදරදී වෙස්සන්තර ජාතකය කියවති.
භූමදානයකදී නම් මිනිය වළට බැස්ස වූ කෙනෙහි නෑ මිතුරන් විසින් වළට පස් පිඩ බැගින් දැමීම සිරිතකි. සමහරවිට ‘‘පඨවි ආදී මහාභූතයන්ගෙන් සෑදුණ සිරුර නැවතත් ඒ තත්ත්වයට පත්වේ’’ යන බෞද්ධ අදහස එයින් සිහිපත් කෙරේ යැයි අදහස් කළ හැකිය.
ආදාහන හෝ භූමදාන අවමඟුල් කටයුතු අවසන් වූ පසු නෑදැයින් හා හිතවතුන් මළතැනැත්තාගේ ගෙදරට ගොස් ඔහුගේ පවුලේ නෑදෑයින්ගේ ශෝකය තුනී කිරීමට කතා බහකිරීමද සිරිතකි.
ලංකාවේ බොහෝ ප්‍රදේශවල අවමඟුල් කටයුතු අවසන් වූවායින් පසු රැස් වූ නැදෑහිතවතුන්ට එදිනම සවස පිළියෙල කරගත් ආහාර වේලක් සපයනු ලැබේ. මෙයද ගෝදානයේම කොටසකි. කෙනෙකුගේ මරණය සිදුවන අවස්ථාවේ පන්සලේ වැඩවසන භික්ෂූන් වහන්සේට දෙන දානය ‘‘ගෝදානය’’ ලෙසට සම්මත වුවද මිය ගිය පසු ගෙදර දෙන ඉහත දානයටද ගෝදානය කියා කියති.
අවමංගල උත්සවය අවසන් වූවාට පසු වරින්වර අාගමික කටයුතු කොට මළගිය ප්‍රාණකාරයාට පින් පැමිණවීම කරන්නේ දානමාන පිංකම් වලින්ය.
තුන් දවසෙ දානය, හත් දවසෙ දානය, තුන්මාසෙ දානය, හත්මාසෙ දානය, අවුරුද්දෙ දානය ආදී වශයෙන් මෙම පිංකම් වර්ග කර ඇත. මහා සංඝරත්නය විෂයෙහි පවත්වන දානමය පිංකම්වලට නෑදෑ හිතවතුන්ට ආරාධනා කැරේ. මෙම පිංකම්වලදී පවත්වන ධර්ම දේශනා හඳුන්වන්නේ ‘‘මතක බණ’’ නමිනි.
බෞද්ධ ඉගැන්වීම් අනුව පරදත්තූපජීවී, නිජ්ඣමතන්හිත, ඛුප්පිතාසික, පාංශු පිශාචික, කාලකඤ්ජ අසුර, ආදී වශයෙන් ප්‍රේතයෝ පස් කොටසකි. බොහෝ විට මළගිය අයට පිංකම් කර පින් අනුමෝදනා කරන්නේ ඉහත කී ප්‍රේත ආත්මයක ඉපදෙතැයි යන බිය නිසාය.
භූමදානය
අවමඟුල් චාරිත්‍ර සහ වළලෑම් ක්‍රම ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවත එන බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. ශිලා මංජුසා සුසාන, බරණි සුසාන, ව්‍යාජිතක සුසාන, වළසුසාන, ගල්කැට රවුම් සුසාන සහ සොල්මන් සුසාන ආදී වශයෙන් පුරාවිද්‍යා පර්ෙය්ෂණ අනුව ලංකාවේ මූල ඓතිහාසික සමය තුළ (ශ්‍රී ලංකාව තුළින්) හඳුනාගෙන තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කරන්නේ මෙම සුසාන අතරින් ශිලා මංජුසා සුසාන ප්‍රධාන බවයි. එම සුසාන පිහිටි ස්ථාන ලෙස පින්වැව, ඉබ්බන්කටුව, කදිරවේලි, මාච්චාල්ගම, රඹෑව, ගුරුගල්හින්න, කොක් ඇබේ, තම්මැන්නා, ගොඩැල්ල, අලුත්බොබුව, වඩිගවැව, දිවුල්වැව යන ප්‍රදේශයි.
සිංහල බෞද්ධ පිළිවෙත අනුව අඟහරුවාදා, සිකුරාදා දිනවල මෙන්ම පොහොය දිනවලද භුමදාන කටයුතු සිදු නොකෙරේ. ආදාහනයද එසේමය.
මළසිරුරු කැලේට ගෙන ගොස් දමන යුගයේ පටන් මිනී වළලෑම සිදුවී ඇත. පැදුරක හෝ මාගලක ඔතන ලද මළසිරුර තුන් පොටකින් ගැටගසා ලීයක එල්ලාගෙන වළලෑමට ගෙන ගියහ. ඒ සමගම කැත්තක්, උදැල්ලක් ගත් අයෙක් මිනිය සමග ගියෝය. මිනීවළ කැපුවේ කැලේට ගිය පසුවයි. විශේෂයෙන් මිනීවළලෑම එකල සිදුවූයේ වසූරිය වැනි වසංගත රෝගවලින් මියගිය වුන් උදෙසාය. මහාගල්යුගයේ (මෙතලිතික) පටන් සුසාන චාරිත්‍ර විධි වලින් ලංකාවට බුදු සමය ලැබීමට පෙර සිටම මළවුන් ඇදහීම වැනි ජන ඇදහීම් ක්‍රම තිබූ බව සන්නිවේදනය වෙයි.
ශ්‍රී ලංකාවේ ලේ්ඛනගත ඉතිහාසය තුළ පුරාණ ලංකාවේ බලපෑම් චාරිත්‍ර පිළිබඳව මුල්වරට සටහන් වන්නේ පණ්ඩුකාභය රාජ යුගයේදී වේ. එම රජදවස අනුරාධපුර නගරයේ බටහිර පස සොහොනක් තිබූ සාධක මහා වංශයේ සඳහන් වේ.
වෛදික යුගයේ පටන් පැවැති සුලබ චාරිත්‍රය නම් ආදාහනය හෝ භූමදානය කිරීමයි. එදා පිළිගැන්ම අනුව මිනී රෙදිවල ඔතා සොහොන් පිටිවල දැමූ පසු ඒවා සත්තු කා දමති. මහාවංශ ප්‍රකාශවලින් භාරතයේ පමණක් නොව ලංකාවේත් අමුසොහොන් පැවැති බව සිතාගත හැකිය.
බුදුසමයේ පවා සඳහන් වන අමු සොහොන් ක්‍රමය ලංකාවේ හැඳින්වූයේ ‘‘මිනිය කැලේ ගැසීම’’ යනුවෙනි. මේ සිරිත පැවැත්වීමේදී නෑයෝ පළමුකොට මිනිය නාවති. අනතුරුව ඇඳුම් අන්දවා කටට හාල් දමති. මුළු සිරුරම රෙදිවලින් හා පැදුරුවලින් වෙලා පහසු ලෙස ගෙන යා හැකි පරිදි සකස් කරති.
‘‘උණ ලීයක වෙලී තුන් පොටක එල්ලියේ
කරපිට අනිත් උන්ගේ සෙල්ලි සෙල්ලියේ
ඉරණම් ගමන් නුඹ යනවාද වල්ලියේ
වාවා ගන්ඩ බැරිය කිරිබණ්ඩ මල්ලියේ
ඒ කාලයේ ඉඩම් පේනතෙක් මානයේ ඒ මේ අත යායෙන් යාය වනාන්තරයයි.
එබඳු වනාන්තරයක් අලි, කොටි, වලස්, කුළු මී ආදී රුදුරු වන සතුන්ගෙන් ගහණ වූයේය. මෙවැනි කැලෑවක් මැද්දෙන් මිනියක් ‘‘කැලේ ගසන්නට’’ යාම ඉතාම දුෂ්කරය. වන සතුන්ගෙන් එල්ලවන්නට තිබුණ ආපදාවන් වලක්වා ගන්නට බොහෝ දෙනෙකුගේ කෑ ගැසීම් වෙනුවට සාමූහිකව අඬමින් යාමෙන් කැලේ සතුන් බියට පත්ව පළා ගියහ. සතුන් බයේ ඔවුන් මුලින්ම හුළු අතු, පන්දම් දල්වා ගියෝය. බෙර දවුල් ගැසුවෝය. වෙඩි හඬ නගන්නට බීරංග ගැසුවෝය. මේ වෙලාවෙම කැලෑව කැතිගාමින් යාම නිසා මංමාවත් පෑදුණි.
මේ කාලයක් කරගෙන යද්දී කැලේ ගැසීම වෙනුවට කැලේ මිනී වළලෑමට මිනිසුන් පුරුදු වූහ. සත්තුන් බය කිරීමට ගෙනා බෙරය මළබෙරය බවට පත්විය. හුළුඑළි පසුව විලක්කු බවට පත්විය. වර්තමානයේ ආදාහන පෙරහැර වූයේ එදා මිනියක් කැලේ ගසන්නට ගිය ප්‍රාථමික ගමනයි.
මිනී වැළලීමේදී (භූමදානය) ලංකාවේ ජනතාව අතර පවතින සිරිත් රාශියකි. මිනිය වළලා ඒ වළ ළඟ සිට පාරවල් දෙකක් පොඩියට කපයි. උදලු තලයක් පමණ පළල්වූවකි. කපන ප්‍රමාණය වැඩි දුරක්ද නොවේ.
නෑදෑයෝ එසේ පාරවල් දෙක කපා එක පාරක කටුදමති. අනෙක් පාරේ මල්දමති. කටු දාන්නේ අපායට යන මාර්ගයේය. මල්දැමූ පාර දෙව්ලොවට යන පාරයි. ලංකාවේ ආදිවාසීන් අතරද මෙවැනි කටුදමන සිරිතක් තිබේ. මිනිය වළදමා දෙපැත්තේ අරලිය ගස් සිටුවීම කනත්තක සාමාන්‍ය දෙයකි. පොල්මලක් සිටුවීම, පහන් පත්තු කිරීම, සුවඳ දුම් ඇල්ලීම වැනි ගෝත්‍රික සිරිත් බොහෝය.
මිනී භූමදානය නිසා ජල උල්පත්වලට හා පසට හානි වෙතැයි යන මතය මතු වූයේ කොරෝනා වසංගතය මතුවූවාට පසුවයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ගංගා නිම්න අසල ආදාහනයන් කොයිතරම් සිදුවන්නට ඇත්ද. ඉන්දියාවේ ගංගානම් නදියේ පාවෙන මිනී අළු ප්‍රමාණය ගිනිය නොහැකි තරම්ය. එහෙත් භූමදානය නිසා මතුවිය හැකි පරිසර ප්‍රශ්නය මතුවන්නේ වසංගත වෛරසයේ ආයුකාලය හා එහි ප්‍රබල බව අනුවය.
පී.ඇම්. සේනාරත්න