මහ සෑයේ ධාතු ද්‍රෝණයේ අසිරිය සහ ඇනියුස් ප්ලෝකේමස්


හෙළ දෙරණ

ඉතිහාසයේ පිටු අතරින් සැඟවුණු අපූරු සිදුවීම් පෙළක්  

 

නැව් බඳ සයුරු දිය මත නැළවෙමින්ය. ලිහිණින් රෑනක් අහසින් යනු පෙනේ. මුහුදු ලිහිණින් දු‍ටු ප්ලෝකේමස් ඒ අපූරු දූපත් රාජ්‍යයට ආසන්නව ඇති බව සිතුවේය. සත් මසක්ම මුහුදු ගමනින් ගෙවී ගොස්ය. කුඩා වියේ පටන් කන වැකුණු ග්‍රීක අන්දර ඔහු හදේ දෝංකාර නංවයි. රෝමයට රාජ්‍ය සේවයට යන්නට ප්ලෝකේමස් සිහින දු‍ටුවේ ලොව වට පිට සවාරි යන දූත මණ්ඩලයකටය. ඔහුගේ හීනය සැබෑ විය. ඔගස්ටස් අධිරාජයාගේ රාජ්‍ය දූත මණ්ඩලයට යන ගමන උදා වී ඔහු දැන් ඒ ගමන යන ගමන්ය. නිල් සයුරේ ඈතින් ඈතට දෑස් විහිදා ප්ලෝකේමස් බලන්නේ සෙරෙන්ඩිප් දූපතය. ඈත යුගයේ පටන්ම ග්‍රීක යවනයන් හාද බැඳීම් බැඳගත් සෙරන්ඩිබ් දූපතේ මන කමනීය වත සිහිවේ. දන්නා තරම් සෙරන්ඩිබ් ගැන කියවන්නට පෙළඹුණේ එබැවිණි. ග්‍රීක යවනයන් ‘‘තැප්‍රෝබේන්’’ යැයි පවසන රාජ්‍යය රෝම අරාබියන් ‘‘සෙරන්ඩිබ්’’ යැයි පවසන විට ඒ රට හරි පුදුම යැයි සිතුනේය. නැව්පතියන් අතර උන් ඊජිප්තුවානුවා කීවේ ඒ රට සෙයිලාන් කියාය. එකම රටක් නම් ගොඩක එක්ක එකට බැඳි ලෝක තාලයේ තාල අතර මෙහෙම සරන්නේ මන්ද ? ඇනියුස් ප්ලෝකේමස් සිතුවේය.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ඒ අතර ඔහු සංදේශ පත ගෙන නෙත එබීය. අනුලා ‍රැජිණ විසින් රෝමයට එවන රාජ දූත පත්‍රයට පිළිතුරු ලෙස තමන්ට මෙහි එන්නට වරම් ලැබුණු හැටි ඒ ඇසිල්ලේ ප්ලෝකේමස්ට හිතට නැඟු‍ණි. ඊජිප්තුවේ සිට රෝමයට ගොස් එහි විසූ තමාට සෙරන්ඩිබ් රටට යන්නට හීනය මැවුනේ ඒ රටේ මුතු පරය ගැන රෝමන් වාර්තා වල තිබූ රසාලිප්ත සටහන් නෙත ගැ‍ටුණු විටය. ඒ හැඟීම තවත් තීව්‍ර වූයේ අනුරපුර යවනපුර ගොඩනැංවූ තම මී මුතු පරපුරේ “යවන විනීස“ ගේ බැඳීම නිසාය. යවන විනීස සේ තමන්ද එහි ගොස් සිංහල රජුගෙත් රෝම අධිරාජ්‍යාගෙත් නෑ බැඳීම බන්ධන තීරකයා තමන්ම වන්නෙමි යැයි සිතුවේය. සිතුම් සඵල වේ. පැතුම් ඉ‍ටුවේ. ඇනියුස් ප්ලෝකේමස්ට සිරිලක බලා එන්නට වරම් ලැබුණේය. ඔහු නැව් නැඟී එන්නේ අනුලා ‍රැජිණගේ රාජ්‍ය දූත සංදේශය නිසාය. නමුත් ඔහු ලංකාවට එවන්නට ඔගස්ටස් අධිරාජයා තීරණය කරන්නේ අනුලා ‍රැජිණගේ දූත සංදේශය ලැබී තුන් වසරකින්ය. මේ අතර අනුලා ‍රැජිණ හද දවන පුරුෂ අනුවේදනයකට මුහුණ දේ. එහි ප්‍රතිඵලය වනුයේ තම සිරි යහන සඳුන් තෙලින් නහවා ගිනි අවුලාගෙන එහිම සැතපී මිය යෑමය. ඇගේ මිය යෑමෙන් අනතුරුව රජපදවි ලබන්නේ මකලන් තිස්ස රජුය. මකලන් තිස්ස රජුගේ රජ පදවිය සැබැවින්ම අහම්බයක්ය. ඔහු නාරද තිස්ස යැයි පැවිදිව සිටි භික්ෂුවකි. අනුලා ‍රැජින රජ පදවියට පත්වීමත් සමඟ ඇයට බියවී පලා ගිය මහ චූලික රජුගේ පුත්‍රයාය. සිවුර සැඟවී සිටීමට සුදුසුම මඟ සේ දු‍ටු මකලන් තිස්ස තම පුත් භාතිකාභය මවට දී අනුලාට රහසින් මහණව දිවි ගෙවීය. අනුලා ‍රැජිණියගේ මරණයත් සමඟ අනුරාධපුරයට විත් සිවුර හැර රජවන්නේය. නාරද තිස්ස මකලන් තිස්ස සේ පැවිදි වෙස් අතහැර ගිහි වෙස් ගෙන රජ වූයේ මෙලෙසය. මකලන් තිස්ස රජු ලෙස ලංකා ද්වීපයෙ හි කිරුළ දැරූ දා තවත් අපූරු සිදුවීමක් සිදුවේ. එනම් මකලන් තිස්ස රජුගේ මව දන්තා මෙහෙණිය ලෙස එදිනම මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වීමය. පුතු සිවුරු හැර යෑමේ පාඩුව පිරිමසන්නට මව පැවිදි වීමේ මෙවන් සුවිශේෂී සිදුවීමක් අන් කවර කලෙකවත් ලෝක ඉතිහාසය තුළ දක්නට නැති තරම්ය. මකලන් තිස්ස රජුගේ රාජ්‍යය පදවි උදානය සමීපයේම මහ මුහුදේ සිටි ‘‘ප්ලෝකේමස්’’ ලක්දිව පා තබන විට නව දේශපාලන වෙනස සැලවිය.   
අනුලා ‍රැජිණගේ දේහය ආදාහනය කරන විට ‘‘ඇනියුස් ප්ලෝකේමස්’’ අනුරාධපුරයට පැමිණ සිටියේය. ඔහුට අනුලා ‍රැජිණ දිවිමන්ව දක්නට නොහැකි විය. අනුලා ‍රැජිණ මිය ගියදා මකලන් තිස්ස රජ වූදා මෙහි පැමිණි ලක් වැසියෙකු වූ ප්ලෝකේමස් රාජ්‍ය සේවයේ පදවි ලැබීය. ‘‘ප්ලෝකේමස්ගේ’ හිත වහා බැඳගත් අරුමැසියා භාතිකාභය ය.   


මල්සර සිතුම් ඇති භාතිකාභය සහ ප්ලෝකේමස් අතර බැ‍​ඳෙන බැඳීම ලංකා රාජ්‍යය අලු‍ත් කළ කතාවකි. ග්‍රීකයන් රෝමවරුන් සහ පර්සියානු ඊජිප්තු ශිල්ප පරපුර සහ ලංකා ශිල්ප පරපුර එකට මුහුවූ කාල සමය ලක් ඉතිහාසයේ අයස්කාන්ත සිදුවීම් වලින් සාරසුබා විය. මකලන් තිස්ස රජුගේ විසි දෙවසරක රාජ්‍ය පාලනය භක්තිමය ආගමික නැඹුරුතාවකින් සපිරිය. ඒත් අනුලා ‍රැජිණ විසින් විවෘත කළ අරුමැසිමය පාලන ව්‍යුහය නිසා අපරදිග බන්ධන මේ සමයේද නොකඩවා ගලා ගියේය. ග්‍රීක මිසර ඊජිප්තු රෝම පර්සියානු ආර්ථික හා කලාත්මක ලෝක පර්ෂද සමඟ ලංකාව බැඳී තිබුණි. ඒ බැඳීම මැදින් සිට ගෙත්තම් කළ චරිත ද්විත්වය වන්නේ සැබැවින්ම භාතිකාභය සහ ඇනියුස් ප්ලෝකේමස්ය. මේ දෙදෙනා විසින් ලංකාවේ තාලය තාලවත් කළ සෞන්දර්ය රිසි පාලන රිද්මය ලංකාවේ අමුතු යුගයකි. මේ යුගය පිරිසද දක්නට හැකි ජීවමාන චරිතයක් ලෙස මෙම දෙදෙනා කතිකාවට බඳුන් කර නැත්තේමය.   


අභය වැවට මද නල හමයි. ශ්වේත තඹුරු පද්ම යාය දෙස බලාගෙන භාතිකාභය සමඟ ප්ලෝකේමස් ඇවිද විත් නතර විය. වාසල රහස් සලන්නා අසීමාන්තික වේගයෙන් අසු පන්නමින් අභය වැව ඉවුරට පැමිණේ. එසේ පැමිණි වාසල රහස් සලන්නා කුමරු ඉදිරිපිට එකත්පසව සිටගෙන සෝබරව බැලු‍වේය. ඒ භාතිකාභය කුමරුගේ පියාණන් ලංකා රාජ්‍යයේ පාලකයා මකලන් තිස්ස මියගිය මොහොතය. මකලන් තිස්ස රජු තම විසි දෙවසරක රාජ්‍ය පාලනය නිමවා මිය ගියේය. භාතිකාභය රජ වන පුවත දැන ගත් දෙවැන්නා වනුයේ යවන විනීසගේ මී මුණුපුරු වූ ප්ලෝකේමස්ය. ඔහු මේ උණුසුම් පුවත ඉන්දු සාගරයේ සරන දූත නාවිකයන් අතට පත් කළේය. දූත නාවිකයෝ විසින් ඔගස්ටස් අධිරාජයාගේ සවන් පත් දක්වා පුවත ක්ෂණික විය. ලක්දිව මුතු පරය රෝමයන්ගේ මුතු හිනාවට පායපු මල් හිනාව වූයේය. සශ්‍රීක ධන ආඪ්‍යයෙන් සිරිලක පිනා යන්නට පටන් ගති. ධනය ඉසුරුමත් වූයේ කලාවේ සිතුම් උපදවමිනි. සෞන්දර්ය සිතුවිලි වඩා ඔපමට්ටම් වීමට ප්ලෝකේමස්ගේ ළබැඳි බවත් රාජ්‍යතාන්ත්‍රික බවත් භාතිකාභය රජුට අත්වැල විය. ලංකාවේ සංගීතය රෝම තාල සමඟ භාරත රාග සමබර වූයේ මෙහි ප්‍රතිඵලයකිනි. දිනෙක රාජසභා මළුවේ පැවති නාද රිද්ම වරුණක අවසන භාතිකාභය රජ මැඳුරින් නික්ම අභය වැවට පානැඟීය. භාතිකාභය රජු කුඩා වියේ පටන් කාත් කවුරුත් නැති අභය වැව් ඉවුරේ මනෝරාජිකව වසන බව ප්ලෝකේමස් දනී. භාතිකාභය රජුගේ රෝමය ඇතුළු විදේශ දේශ භාර තානාපතිවරයා ලෙස ප්ලෝකේමස් කටයුතු කළේය. ඒ සියල්ලටමත් වඩා රජුගේ ආත්මීය මිතුරෙකු හෘද සගයෙකු මෙන්ම සදාර්ශණික භාව සඟයෙකු සේද ඇනියුස් ප්ලෝකේමස් රජුට බැඳුනෙකි. භාතිකාභය රජුගේ සිතුවිලි මැනවින් වටහාගත් ප්ලෝකේමස්ට මේ හුදකලා වාසය විවර කර ගන්න අවැසි විය.   


‘‘කුමරෙකු සේද රජ සේද මම ඔබ වහන්සේ ඇසුර පත් සේවකයෙකි, ප්‍රාණ සේ රාජ රහස රකින්නෙමි.’’   
දනිමි ප්ලෝකේමස් ඔබ ලංකා පොළවේ මිනිසෙකු බඳුය..   
මෙසේ අසන්නේ ඉ‍ටු කරන්නට යමක් ඇතැයි සිතාය රජාණන් වහන්ස .......... 

 
‘‘කිමක්ද ප්ලෝකේමස් ?’’  


කුඩා කුමර වියේ පටන් ඔබ වහන්සේ අභය වෑදිය ඉවුරට අඳුර වැටෙන යාමයෙහි මෙසේ හුදකලා වසන්නේය. එය හද දවන රාජකීය පැනයක් නොව හිත පුරා පොපියන ප්‍රාර්ථනාවක හුදකලාව යැයි මට සිතේ රජතුමනි. !   
සැබෑමය. එය පොපියන ප්‍රාර්ථනාවක හුදකලාවය ප්ලෝකේමස්...   


ඇනියුස් ප්ලෝකේමස් සහ භාතිකාභය රජතුමා සංවාද ගතවන අභය වැව් ඉවුර වසා සඳ එළිය පතිත වේ. සඳ පතිත වන සැඳෑ යාමයේ මහ සෑය උඩින් පුර හද පුළුල් කත්මිණ විහිදුවයි. සඳ සිසිලට තෙමන හාත්පස දෙස බලා සිටින රජතුමා දෙසම ප්ලෝකේමස් බලා හිඳියේය. මහා සෑය රන්කොත සඳ එළියේ මිණි ‍රැස් විහිදුවාලයි. ‍රැස් අහුරේ වලා කුළු ද දිලිසේ. දිලිසෙන වලා අහසේ මැද රන් තරුය. රන් තරු අහසේ පාවී පාවී ගිය දෙයැස යළිත් විත් ප්ලෝකේමස්ගේ දෑස අතර නතර විය. තම නෙත් බැල්මේ බලා හිඳින රජතුමා දෙසම බැලූ ප්ලෝකේමස් නිහඬ බව බිඳ දැමීය.   


‘‘පොපියන්නේ ප්‍රාර්ථනාවක හුදකලාව බව දනිමි. එය එසේය රජතුමනි... දන්නා තරම් ඈත සිට ඔබ පතන ප්‍රාර්ථනාව තෙපලනු මැනවි !’’   


ප්ලෝකේමස්, පොපියන්නේ මහ සෑය මුතු පබළුවෙන් මලින් වසා පැනින් පුදන ප්‍රාර්ථනාවය !   


එසේ නම් හුදකලාව කුමක් වේද රජතුමනි ?   


මහ සෑ ගර්භයහි වැඩ වසන මහා ආශ්චර්ය නේත්‍ර දැක්මය.

   
භාතිකාභය රජතුමාගේ හදවත අගිස්සේ කුඩා වියේ පටන් දළුලා වැඩුන ප්‍රාර්ථනාව දු‍ටුවේ, දැනුනේ, මේ යවන මිනිසාටය. රජුගේ මුවින් හද ගැබ්බර ඒ හැඟු‍ම් පැතුමන් ඇසූ දා පටන් ප්ලෝකේමස්ගේ ඉලක්කය රජුගේ පොපියන සිහිනයම භාතිකාභය රජුට උදා කර දීමය. එදා පටන් දෙදෙනා සැලසුම් සැදුවේය. රුවන්වැලි මහා සෑය දෑසමන් සහ සීනි ඉද්ද මල් වද්දා මල් ගුලාවක් කිරීමය. එයට මත්තෙන් තල තෙලින් සුදු හුණු කලවම් කොට මහාසෑය සුදු පිරියම් කොට කිරි සුදට සුදෝ සුදු කිරීමය. මල් නටුවෙන්ම මහසෑයේ මල් ඉන්දවන්න ඇවැසි බව දෙදෙනා කතිකා කළේය. ඒ සඳහා මහා සෑය මත බොල් ගඳ කලලින් ආලේප කරවා ලීමට තීරණය කළේය. ඒ කලලින් ආලේපය මත නටුවෙන් මල් ගවසා ලීමට සැලසුම විය. ඒ මල් වසා පසුව සෑයේ හිණිහිස පටන් ධූරච්ඡත්‍රය තෙක්ම මල් රාශිය විසුරුවා මල් ‍රැසින් සෑය වැසීමට දෙදෙනා කතිකා කළේය.   
“එපමණක් නොවේ. මට අභය වැව් දියේ සිසිලසින් මහා සෑයේ ගවසන මල් යාය දෝවනය කළ යුතුය. සැඩ හිරු එළියට මල් වියළි නොයා යුතුය. එයට ඇති මඟ මල් මත දිය සිලි සිළිය අඩ හෝරාවකට වරක් ඉසීමය..... !   
මහ රජතුමනි රුවන්වැලි මහ සෑ මුදුන් තලේ සිට මුළු මහා සෑය මත්තෙහි සිසිල් දිය යන්ත්‍රානුසාරයෙන්ම මල් වැසි වස්සන සේ ඉසිය යුතුයේය.   


‘‘එය එසේයි ප්ලෝකේමස් එසේයි. අභය වැව් දිය මල් වැසි සේ අඩ හෝරාවකට වරක් වැස්සවිය යුතුය !’’   
රුවන් වැලි මහා සෑය විෂයෙහි සිදුවන කලාත්මක පූජාව එසේ නිර්මාණය වූයේය. එතෙක් මෙතෙක් මහා සෑයට නොවූ මේ පූජාව සඳහා මුතු දැලක් පබළු දැලක් රන් පියුම් ද වලින් මහ සෑය පිදීම රජුගේ ප්‍රාර්ථනාවය. පොපියන ප්‍රාර්ථනාවේ අභියෝගය මහ සෑය දක්වා උසට උඩින් අඩ හෝරාවකට වරක් දිය මල් වැස්සක් සිරිපොද වැස්සක් සේ වැස්සවීමය. එය ඉ‍ටු කිරීමට අභය වැවෙන් ජලය අහසින් ගෙන යන යාන්ත්‍රික ක්‍රියාවක් අවශ්‍ය විය. එපමණක් නොව පිපුණු සුගන්ධවත් දෑසමන් හා සීනි ඉද්ද මල් සුපික්ෂිතව මහ සෑයේ මල් නටුවෙන්ම සි‍ටුවා තබන්නට අපූරු තාක්ෂණයක් අවැසි විය. මේ සියළු පූජා සිදු කිරීමෙන් භාතිකාභය රජතුමා අපේක්ෂා කරන සේ මහා සෑය ගැබ ආශ්චර්ය දෑසට පෙනේවා යන්න ඉ‍ටු වනු ඇතැයි ප්ලෝකේමස්ද පැතුවේය. මේ සියල්ල සඳහා අවශ්‍ය ලෝක තාක්ෂණික ශිල්ප සොයා බලන්න දෙදෙනා ගිවිස ගනී. පබළු මුතු කැටයම් සඳහා දූත පිරිසක් රෝමය බලා යවන්නට රජතුමා තීරණය කළේය.   


භාතිකාභය රජතුමාගේ පොපියන ප්‍රාර්ථනාව සඳහා නැව්පතියා ලෙස නව නැවක් තනා ගනු ලැබීය. ඒ ඇනියුස් ප්ලෝකේමස් විසිනි. මහා සෑයේ කැටයම්ද ඇත් පවුරද මේ නෞකාංගනාවේ කැටයම් කිරීමට ඔහු පියවර ගත් කල භාතිකාභය රජතුමා තම හද පැතුම් ඉ‍ටුවන බවටම හද උතුරා සිතා ගත්තේය. සිංහලයන් සිවු දෙනෙකු සමඟ ඇනියුස් ප්ලෝකේමස් රෝම අධිරාජ ඔගස්ටස් සොයා යන්නට නැව් නැග්ගේය. ඒ මාන්තොට වරායෙනි. නැව රෝමය බලා ඇදී ගියේය. භාතිකාභය රජතුමා තමන් විසින් හද සිත්තම් කරමින් කුඩා වියේ පටන් වියමන් බැඳි ප්‍රාර්ථනාවට ඇරඹුම තැබුවේය. මුළු මහමෙව්නා උයන පුරා දෑ සමන් හා සීනිද්ද මල් වගා කරන්න පටන් ගති. මහා සෑය වසා මලින් වසන්න අවැසි තරම් කෝටි සංඛ්‍යාත මල් නෙළා ගත හැකි තරම් මල් වැව්වේය, කල් යත්ම මුළු මහා මේඝ උයනම මලින් පිපී සුගන්ධවත්ය. මලින් පැහැ ගැන්වෙමින් වර්ණ සුගන්ධවත් වේ. හොඳම තල වගාවක් සොයා එයින් තල ගෙන තල තෙල සිඳවාලීමට රජ කටයුතු කළේය. පබළු දැල් පියුම් දැල් මුතු වැල් දැල වියන්නට නාග සන්නාලියන් පුහුණු කරවන්නට විය. මේ සියල්ල මැද මල් මහා සෑයහි නටුවෙන් සි‍ටුවන්න ගඳ කළල සොයා එය මහා සෑයේ ආලේප කරවීමේ ශිල්ප පරපුරක් සොයා ගන්න වෙහෙස විය. ශිල්ප පරපුරට ශිල්ප දෙන්න පැමිණියේ නාඔ‍ටුන්නේ නාග කිඳුරන්ය.   
මේ සියලු දේ මෙලෙස සිදුවන අතර රෝමය බලා ගිය නැව යළි ලංකාවට සේන්දු විය. ඇනියුස් ප්ලෝකේමස්ගේ නායකත්වයෙන් රෝමය බලා ගිය දූතයන් ගොඩවාය වරායෙන් ලංකාවට සේන්දු විය. ගොඩවාය රම්බා නුවරට ගොස් සිටි භාතිකාභය රජතුමා සමීපයට පැමිණි ඊජිප්තු හා යවන ශිල්ප පරපුරකි. භාතිකාභය රජු ඔවුන් තුටින් පිළිගත් අතර මේ ශිල්ප තාක්ෂණිකයන් සමඟ ප්ලෝකේමස් අනුරාපුරයට පැමිණියේය. ඒ වලවේ ගඟ දිගේ දිය පවුරු පෙරහැරකිනි. දිය පවුරු පෙරහරින් අනුරාධපුරයට පැමිණි පිරිස සමඟ ලක්දිව ශිල්ප පරපුරු එකට එක්විය.   


අභය වැව් දිය අහසට විද අහසින් මල් වැසි වස්සන ශිල්පය එක මහ ‍රැයක රජුට පෙන්වීය. ප්ලෝකේමස් හරිම තාක්ෂණවේදය සොයා ගෙනය. රජුගේ සිහිනය රජුගේ පමණක් නොව මහ සෑය බැඳී ගිය සියළු ශිල්ප පරම්පරා වල සිහිනයද විය. මන්ද ධාතු ධ්‍රෝණය මහාසෑයෙහි පිහිටා සිටි තරු සොළොසක් එකට හමුවූ නැකතින් පසු ඒ ආශ්චර්ය දු‍ටුවෙක් නැත. මහ සෑය ගර්භයෙහි ධාතු ධ්‍රෝණය සමඟ මනහර පූජා භාණ්ඩ සිතුවම් හා සිංහ තෙල් පහන නිධන් වූ පසු දු‍ටුවෙක් නැත. මේ මහ පූජාව ඒ දසුන යළිත් පෙන්වමින් ආශ්චර්ය උදාකරවන බවට ‍රැව් පිළි‍රැව් පැතිර තිබුණේය. පැතුම ලෙසම දිනය උදාවිය.   
ඒ දිනය අනුරාධ නුවර සතර දිගට සතර අතින් ජන මුළුවෙන් වැසීගිය දිනය ය. මවිත දනවන ලෙසටම රුවන්වැලි මහා සෑය මල් සි‍ටුවා වූ වැනිය. සුපිපි දෑසමන් මලින්ද සුපිපි සීනිඉද්ද මලින්ද පිපුණු මල් යායක් වැනිය. ඒ මතට සිරිපොද වැසි වස්සන්නා සේ අහස් තලෙන් පැන් ඉසේ. මුතු පබළු දැලින් අලංකාර කර ඇත්තේ මහ සෑයට පබළු ඉන්දවා සේය. මහ සෑයට මුතු කාවැද්දුවා සේ ය. අසිරිමත් පූජාව ඇරඹීය. මවිතයෙන් මවිතය අභය වැව් දිය අහස් ගන්වන විස්ම තාක්ෂණය ය. මලින් සුපිපි මහා සෑය පුදුමය. භාතිකාභය රජතුමා දසුනින් මවිතව මහා සෑයට වැඳ වැ‍ටුණේය. එසේ වැඳ වැ‍ටුණු රජ අසලම ඇනියුස් ප්ලෝකේමස්ද වේ.   


‘‘මම එය නොදැක නැඟී නොසිටින්නෙමි.!’’   


භාතිකාභය රජතුමා මුමුණා තමාටම තෙපලනු ඇනියුස් ප්ලෝකේමස්ගේ දෙසවනට ඇසුණේය. එසේ තෙපලා ගත් රජතුමා රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර ගල්ටැඹ මුල නිරාහාරාව වැද හොත්තේය. රජුට අවශ්‍ය මහා සෑයේ සැබෑව සාක්ෂාත් කර ගැනීමටය. මහ රහතුන් වහන්සේලාගේ පිරිත් හඬක් මතු වූයේය. මළුවේ වැඩ වසන කිසිදු ස්වාමීන් වහන්සේ නමකගේ මුවින් පිරිත් නද මුදා නොහරින නමුදු පිරිත් නද ඇසේ. පිරිත් නද ඇසෙන්නෙ මහ සෑයේ ගැබ මස්තකයේ සිටය. මහ සෑ ගැබ අභ්‍යන්තරයෙන් නින්නාද වන්නාවූ පිරිත් ස්වරය රජතුමාට තමන්ගේ දිරිය ප්‍රාර්ථනාව සෑබෑම බව කීවේය. ඔහු වැඳ වැටී හද ආශාව පෙන්වන ලෙස යදින්නට විය. රජුගේ පොපියන ප්‍රාර්ථනාව ඉ‍ටු කිරීමටද කුතුහලය සැබෑ කර ගැනීමටද සුහුරුම තාක්ෂණයද කලාවේ පෙරදිග අපරදිග යා වනු දැනුමද එක්කළ ප්ලෝකේමස්ගේ දෑතද එසවුණේ වැඳ වැටී ය. මහා සෑයේ මස්තකයේ ද්වාරය විවර විය. භාතිකාභය රජතුමා රුවන්වැලි මහා සෑයේ ගර්භය මස්තකයට පිවිසීය. ඒ මහා ධාතු ධ්‍රෝණයේ ආශ්චර්ය ඔහු දු‍ටුවේය.   


භාතිකාභය රජතුමාට ඒ මහා ආශ්චර්යට මග පෑදුණේ ඇනියුස් ප්ලෝකේමස්ගේද නොපසුබස්නා උත්සාහයෙනි. මෙම උත්සාහයන් හා විශ්මය කෙතරම් විශ්මාන්විත දැයි කියන්නේ එය තත්කාලීන ලෝකයා කැළඹූ සිදුවීමකි. මෙම සෞන්දර්ය තාක්ෂණවේදී පූජාව ඒ නිසා ලිඛිතය. තත්කාලීන ලෝකය තුළම සිරිලකට අවධානය ගෙනා අපූර්වත්වයේ අසිරියකි. ඒ අපූර්වත්වයේ විශ්මාන්තිකය නිසා රෝම ඉතිහාසයද ලංකා ඉතිහාසයද ඊජිප්තු ලේඛන එක ලෙසම මෙම සිදුවීම ලියා තබා ඇත. එනමුත් මේ යවන විනිසයේ පරපුර ලංකාවේ මතක පොතින් බැහැරට යෑම අනුවේදනයක් ම ය. මහා සෑය වඳින කිසි සිතකට ඇනියුස් ප්ලෝකේමස් මතක නැත.