මැදවල ටැම්පිට විහාරයේ වෙස්සන්තර ජාකතය ඇතුඑ චිත්‍ර කිහිපයක් මැදවල විහාරයේ චිත්‍ර
අපේ අතීත උරුමයක් වන මහනුවර යුගයේ චිත්‍ර බොහොමයක් ම මේ වනවිට විනාශයට යමින් පවතී. තවත් සමහරක් විනාශ වී අවසන් ය. එය කනගාටුවට කරුණකි. දෙගල්දොරුවේ බිතු සිතුවම් එයට එක් උදාහරණයක් පමණි. මහනුවර යුගයේ බිතුසිතුවම් පිහිටා ඇති විහාරස්ථාන කිහිපයකි. ශ්‍රී දළදා මාළිගය, මැදවල, සූරියගොඩ, කුණ්ඩසාලය, දන්තුරේ, පල්කුඹුර, මාලගම්මන, දියකෙළිනාවල, කුළුගම්මන, ගඩලාදෙනිය, හිඳගල, ලංකාතිලකය, නාගවිමානය, සුදුහුම්පොල, නිත්තවෙල, මල්වත්ත, දළුක්ගොල්ල, පුසුල්පිටිය, හඟුරන්කෙත, බඹරගල, දළදාගම, අරත්තන යන විහාරස්ථාන ඒ අතරින් ප්‍රධානය.
පැරණි විහාරස්ථානවල ඇති බිතුසිතුවම් වලින් අතීතය ගැන බොහෝ කරුණු අපට දැන ගත හැකිය. දෙගල්දොරු විහාරයේ තුවක්කුවක් අතින් ගෙන සිටින මාර සේනා භටයෙකු සහිත වියන් සිතුවම එයට එක් උදාහරණයක් පමණි. එපමණක් ද නොව එදා මදුරු දැල් භාවිතා කර ඇති බව ද බිතු සිතුවම් වලින් පෙන්වා ඇත. අපේ චිත්‍ර කලාව සම්පූර්ණයෙන්ම බෞද්ධ ස්වරූපයක් උසුලයි. සිංහලේ අන්තිම රජු වූ නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව 1707-1739) මහනුවර දළදා මාළිගාව සාදා එහි ජාතක කතා තිස් දෙකක් (32) කර වූ බව චූලවංශය සඳහන් කරයි. උම්මග්ග, විදුර, මහා පදුම, සුතසෝම, ගුත්තිල, දධිවාහන, මහාකණ්හ, සූතනු, ඡද්දන්ත, ධම්මද්වජ, ධම්මපාල, මහාජානක, පදමානවක, දහම්සොඬ, මහා නාරඳ, තෙලපත්ත, චුල්ලපදුම, සත්තුභත්ත, අන්ධභූත, චම්පෙය්‍ය, සස, විසහ්හ, කුස, සිරි, තේමිය, චුල්ලධනුද්ධර, සච්චංකිර, දුම්මේධ, කාලිංගබෝධි, සීලව, මණ්ඩව්‍ය, වෙස්සන්තර එම ජාතක කතාය.
බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32 කි. දළදා මාළිගාවේ දිනපතා පූජාවට ගනු ලබන්නේ ද ව්‍යාංජන තිස් දෙකකි. එපමණක් ද නොව එයට සමානව ජාතක කතා 32 ක් සිතුවම් කිරීමෙන් පැහැදිළි වන්නේ කුමක්ද? බුදු දහම එදා සමාජයේ මිනිසුන් සමඟ බැඳී පැවති ආකාරය නොවේද? එහෙත් ඒ ආකාරයෙන් සිතා, සිතුවම් කර ඇති විහාර චිත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා වර්තමාන සිංහල බෞද්ධයන් විසින් ගෙන ඇති පියවර කුමක්ද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතු කරුණකි. මෙය කාලීන අවශ්‍යතාවක් නොවේද ?
රජ දවස අඳින ලද විහාර චිත්‍ර අතර අට ජාතකය සහ දස ජාතකය ඇතුළත්ව පැවති බව පැරණි ලියකියවිලි වල සඳහන් වේ. විහාර ගෙයක් තුළ මුල් ම විෂ්ණු රූපය දක්නට ලැබෙන්නේ සෙංකඩගල ගංඟාරාමයේ ය. කෙසේ වෙතත් බිතුසිතුවම් කලාවට කන්ද උඩරට රාජධානියෙහි සිටි රජවරුන් ගෙන් ලැබුණේ නොමඳ අනුග්‍රහයකි. දළදා මාලිගය, මැදවල, දෙගල්දොරුව ආදී විහාර ගෘහ හතලිහක පමණ චිත්‍ර අතරින් විහාර තිස් අටක පමණ ඇඳ තිබෙන්නේ ජාතක කතා ය. මෙම ජාතක කතා අතරින් අවම වශයෙන් ස්ථාන විස්සකදීවත් වෙස්සන්තර ජාතකය චිත්‍රයට නගා ඇත.
ඊළගට දහම්සොඬ, චුල්ලධර්මපාල, දේව ධම්ම, සස, ඛන්තිවාදී තේලපත්ත, සාම, මනිචෝර, මහාකණ්හ, කදිරංගාර, කට්ඨහාරී ආදී ජාතක කතා සඳහන් කළ හැකිය. දඹුල්ල, ලංකාතිලකය, මැදවල වැනි විහාරස්ථානවල දී බුද්ධ චරිතය නිරූපණය සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයකි.
මේ ආකාරයෙන් ජාතක කතා ඇඳ තැබීමෙන් අපේ මුතුන් මිත්තන් බලාපොරොත්තු වූයේ කුමක්ද? මෙයින් පැහැදිළි වන්නේ පාරම්පරික ලෙස පැවත එන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් බෞද්ධයන් තුළ හොඳින් පුහුණු කිරීම බව පෙනී යයි. මූලික වශයෙන් බුද්ධිමය හෝ අාධ්‍යාත්මික වශයෙන් සෑම දෙනා තුළ ම ශ්‍රද්ධාව ඇති කිරීම මූලික අරමුණ වූවාට සැක නැත.
පොළොන්නරු කාලයෙන් පසු වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන් ගේ අනුග්‍රහයෙන් ඇඳ ඇති සියලු සිතියම් චිත්‍ර පරංගීන් විසින් විනාශ කර දමා තිබීම කනගාටුවට කරුණකි. පසුව එම චිත්‍ර යළි නඟා සිටුවීම සිදු කළේ ද සරණංකර හිමියන් විසින් වීම ද විශේෂත්වයකි. ඒ සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විශේෂ අනුග්‍රහයක් ලැබුණි. එහිදී පැරණි වෙහෙර විහාරස්ථාන සිය ගණනක් නැවත අලුත්වැඩියා කරන ලදී.
මල්වතු, අස්ගිරිමහා විහාර, කැලණිය, දෙවනගල, සූරියගොඩ, රිදී විහාරය, දඹුල්ල, හඟුරන්කෙත පත්තිනි දෙවාලය, මැද්දේපොල ආදිය ඉන් කිහිපයකි. මේවාට වියදම් කළේ ද රජුගේ අනුග්‍රහයෙනි. එපමණක් ද නොව එම විහාරස්ථානවලට අයත් ඉඩකඩම් සියල්ලත් නිරවුල් කෙරිණි. ඒ අතර අලුතින්ම විහාරස්ථානයන් ද ඉදි කරවන ලදී. සෙංකඩගල ගංගාරාමය, කුණ්ඩසාලේ රජමහා විහාරස්ථානය, හන්තාන, නාරම්මල, අල්ගම, වටපුළුව, දොළුගල පව්ව තෙල්දෙණියේ බඹරගල මල්වත්ත, ඒ ආකාරයෙන් ගොඩනගන ලද අලුත් විහාර කිහිපයකි.
චතුර්නාරි පල්ලැක්කිය, කාන්තා රූප හතරකින් සෑදෙන පල්ලැක්කියකි. (දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාවේ උඩු මාලේ පිහිටි චිත්‍රයකි.)
දෙගල්දොරුවේ ලෙන් විහාරයේ බුදුන් වහන්සේට වෙඩිතැබීමට තුවක්කුවක් අතින් ගෙන සිටින මාරයෙකු ගේ චිත්‍රයකි
දළදා මාලිගාවේ පිහිටි අඹරාව
එසේ වුවත්, මහනුවර යුගයේ චිත්‍ර ශීල්පීන් මනුෂ්‍ය ශරීරයේ කායික ස්වභාවයන් ගැන හැඟීමක් හෝ දැනීමක් ඇතිව සිටි බවක් නොපෙනේ. එයට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන්නේ මිනිස් සිරුර ඇඳීම පිළිබඳව එදා චිත්‍ර ශිල්පියාට විශේෂ උගත්කමක් හෝ පුහුණුවක් ලබා නොතිබීම ය. එහෙත් බුද්ධ රූප හා දේව රූප ඇඳීමේදී හා බැඳීමේදී විශේෂ සැළකිල්ලක් සහ ගණන් මිනුම් ඇතිව සිදු කළ බව පෙනෙන්නට ඇත.
මහනුවර යුගයේ චිත්‍රවල විශිෂ්ට ලක්ෂණය වනුයේ මූලික වර්ණ පටිපාටියක් උපයෝගී කර ගැනීම ය. ඒවා ගැඹුරු වර්ණ මෙන්ම පැතලි වර්ණ ද විය. චිත්‍රවල ඉතා විසිතුරු ලෙසත්, ප්‍රමාණවත් අයුරිනුත් නොනවතින රේඛා ඇඳ තිබේ. මේ අනුව පෙනී යන්නේ මෙම යුගයේ චිත්‍ර ශිල්පියාට රේඛාව පිළිබඳ අසීමිත දැනුම් සම්භාරයක් තිබූ බවය.
චිත්‍ර ඇඳීමට තෝරා ගත් ස්ථාන එම යුගයේ විහාර සෑදීම සඳහා තෝරා ගෙන ඇත්තේ උස් බිම් නැතිනම් ගල් පර්වතයන් ය. එයට හේතුව නම් එවන් ස්ථාන ස්ථිරව ආරක්ෂා සහිතව පවතී යැයි යන විශ්වාසයත්, පූජනීය බව සහ රමණීය දර්ශනයක් ගෙන දෙන නිසාත් විය යුතු ය. තවද ජනතාවගෙන් ඈත්ව උස් ප්‍රදේශ වල පිහිටි නිසා සංඝයා වහන්සේලා ගේ ආගමික වතාවත්වල නිරතවීමේ පහසුව සැලසේ. මහනුවර යුගයේ චිත්‍ර කලාව හමුවන ස්ථාන තුනකි. එනම් ලෙන්, ටැම් පිට විහාර හා ගොඩනැගිලි ආදියයි. ඒ ආකාරයෙන් චිත්‍ර නිර්මාණය කර ඇති වැදගත් ප්‍රධාන ස්ථාන කිහිපයක් පහත දැක්වේ.
දළදා මාලිගාවේ සිතුවම්. කන්ද උඩරට සිත්තරුන් ගේ දක්ෂතා මෙහිදී දැක ගත හැකියි. නරේන්ද්‍රසිංහ රජතුමා ජාතක කතා 32 ක් දළදා මාලිගාවෙහි ඇඳ තිබුණු බව ඉහත දී සඳහන් කළෙමු. එහි පැරණි චිත්‍රවල මතුපිට ගින්නකින් පිලිස්සුණු සළකුණු දක්නට ලැබෙන බවත්, ඒ ක්‍රි.ව. 1766 ලන්දේසින් දෙවැනි වර මහනුවර ආක්‍රමණය කර, නගරය විනාශ කොට දළදා මාලිගාවට ගිනි තැබීම නිසා විය හැකිය.
කෙසේ වෙතත් දළදා මැඳුරෙහි බිම්මාලයේ පිටත බිත්තිවල හා සිවිලිමේ බිතුසිතුවම් රැසක් දක්නට ලැබේ. නරේන්ද්‍රසිංහ රජතුමා එහි දොරවල් පවා බිතුසිතුවමින් සරසා තිබීම අගය කළ යුත්තකි. මෙහි පහත මාලයේ පිටත බිත්තිවල සිංහ රූප යෙදූ මැටි කැටයම් පුවරු චතුරස්‍රාකාර රටාවකට අල්ලා තිබෙන අතර, ඒවා අතර ඇති හිස් අවකාශයෙහි ඉර සහ හඳ රූප කහ සහ කළු පැහැයෙන් සිත්තම් කර තිබේ. මෙහි බිත්තියෙන් පිටතට පන්නවා ඇති සිවිලිම මහනුවර යුගයේ චිත්‍ර මෝස්තර රාශියකින් යුක්තය.
ප්‍රධාන දොරටුවෙහි මකර තොරණ සහ ඒ අසල වියන දීප්තිමත් කහ, රතු, නිල්, කලු භාවිත කරමින් වර්ණවත් කර තිබීම එදා චිත්‍ර ශිල්පීන් ගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමකි. මෙම චිත්‍ර මෑත අතීතයේ ප්‍රතිසංස්කරණය කර තිබෙන බව දක්නට ලැබේ. දළදා මැඳුරෙහි පිටුපස වියන් චිත්‍ර ඉදිරිපස ඒවාට වඩා පැරණි ය. එම චිත්‍ර රතු, කලු, කහ, සුදු යන වර්ණයන් භාවිත කර ඇත. මහා බ්‍රහ්මයා, මල්ලවපොරකරුවන්, නාරිලතා මල්, හංස පූට්ටුව, පංචනාරිඝටය වැනි චිත්‍ර ඒ අතර පවතී. මෙම චිත්‍රවලට අමතරව චතුර්නාරී පල්ලැක්කිය, නවනාරි කුඤ්ජරය, භේරුණ්ඩ පක්ෂියා, ඇත්කඳ ලිහිණියා, කින්නර රූප ද, නැගෙනහිර ප්‍රදේශයේ එක් පේකඩයක දළදා පෙරහරෙහි පැරණි සිතුවමක් ද ඇත.
මෙම සිතුවම් සියල්ල එකම කාලයකට හෝ එකම පරම්පරාවකට අයත් ඒවා ද නොවේ. මාළිගාව කළින් කළට අලුත්වැඩියා කර ඇති නිසා සිතුවම් කලාවෙහි ද වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. එසේ වුවත් මෙහි ඇඳ ඇති චිත්‍ර ද වෙනත් බෞද්ධ වෙහෙර විහාරවල චිත්‍ර මෙන්ම බුද්ධ චරිතය, ජාතක කතා, දෙවි දේවතාවන්, මිනිසුන්, සතුන් ගේ පමණක් නොව නොයෙකුත් මෝස්තර රටාවල චිත්‍ර ද ඇතුළත් ය. හඳුන්කූඩමේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ බුද්ධ රූප ය. එහි බිත්තියේ උඩින්ම සූවිසි විවරණ ඇඳ තිබේ. මෙහි ජාතක කතා කිහිපයකි.
ඉන් එකක් නම් වෙස්සන්තර ජාතකයයි. එහි පූජක බමුණා රජතුමාගෙන් ලිපියක් රැගෙන එන ආකාරයත්, වනාන්තරයේ දී ඔහු දඩයම් කරුවෙකුට ගොදුරුවෙන හැටිත්, වැඩසිටින මාලිගාවේ සිවිලිමේ දක්නට ලැබේ. එහි හඳුන්කූඩමේ බ්‍රහ්ම රාජයාත්, ශක්‍ර දෙවියා පමණක් නොව වෙනත් දෙවි දේවතාවුන් ද සිතුවම් කර ඇත. නවග්‍රහ මණ්ඩලයේ සිතුවමක් වැඩසිටින මාලිගාවේ වම් පැත්තේ සිවිලිමේ දක්නට ලැබේ. වැඩසිටින මාලිගාවට ඇතුල් වන දොරටුවට ඉහළින් ඇති සිවිලිමේ, කීර්ති ශ්‍රී රාජසිංහ, විමලධර්මසූරිය යන රජවරුන් සිතුවම් කර ඇත.
පල්ලේමාලෙ බුදු ගෙයට වම් පැත්තේ බිත්තියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගේ තවත් චිත්‍රයක් දැක ගත හැකි අතර, එතුමා අසළම වැලිවිට සරණංකර හිමියන් ගේ ද සිතුවමකි. එහි විෂ්ණු දෙවියන්ගෙ රූපයක් ද, එක වගේ දේව රූප දෙකක් ද දක්නට ලැබේ. එම රූප පිටුපසින් සුදු ඇතෙකි. එමනිසා මෙය සමන් දෙවියන් ගේ රූපයක් විය හැකි බව බොහෝ දෙනෙකු ගේ අදහසයි. මෙහි සූවිසි විවරණ සත් සතිය ද දක්නට ඇත.
මල්ලව පොරයක හෝ වෙනත් ක්‍රීඩාවක යෙදෙන සාමාන්‍ය පිරිමින් දෙදෙනෙකු ගේ චිත්‍ර දෙකක් වැඩ සිටින මාලිගාවේ සිවිලිමේ දක්නට ලැබේ. දළදා මාලිගාවට ඇතුළු වන අඹරාව තුළ උඩ කොටසේ මල් වියනකි. එය නෙළුම් මලින් හා ලියවැලින් සරසා ඇත. දෙපස ඇඟෙහි උඩ කොටස නිරාවරණය වූ තුප්පොට්ටියෙන් සැරසුණු මල් වට්ටි අතින් ගත් එක් පසෙක අට දෙනෙකු ගෙන් සමන්විත පුරුෂ රූප ය. එම චිත්‍ර මෑත භාගයේ අඳින ලද ඒවාය.
දෙගල්දොරුවේ බිතු සිතුවම් මෙය ලෙන් විහාරයකි. මහනුවර යුගයේ මුල්ම වකවානුවට අයත් චිත්‍ර මෙහි දී දැක ගත හැකිය. දළදා මැඳුරෙහි ඇති සිතුවම් වලට පසුව නිශ්චිත ලෙස කාලය තීරණය කළ හැකි චිත්‍ර හමුවන්නේ මෙහිදී ය. චිත්‍ර ශීල්පින් හතර දෙනෙකු ගේ සහාය එයට ලැබී තිබෙන බව ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. යුගයේ වැදගත් ම චිත්‍ර ඇති ස්ථානයකි. බොහෝ චිත්‍ර විනාශ වී ගොස් අවසන් ය. මෙම විහාරයේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය දක්වා වූ ඈත අතීතයට දිව යයි. විහාර සන්නසෙහි සඳහන් පරිදි ඇතුළු මණ්ඩපයෙහි 12 රියන් සැතපෙන පිළිමයකි. හිඳි පිළිම දෙකක් සහ හිටි පිළිම සතරකි.
විහාරය දකුණු ප්‍රදේශයේ සොළොස්මස්ථානය ද, විහාරයේ වම් පාර්ශ්වයේ සත් සතිය ද නිරූපිතය. මෙම මාලයේ ක්ෂාන්තිවාදී හා මහා ශීලව ජාතක කතා සිතුවම් ද, විහාර සිවිලිමේ මාර පරාජය ද, විරල හා ඉතාමත් වැදගත් ප්‍රකාශනයක් දැක්වෙන චිත්‍රයකි. ඒ බුදුන් වහන්සේට වෙඩි තැබීමට තුවක්කුවක් මානා ගෙන සිටින මාරයෙකු ගේ ය. එම තුවක්කුව පිටරටක එකක් නොවන බව ඉතිහාසඥයන් ගෙන් සමහර දෙනෙක් ගේ අදහසයි. සිවිලිමේ හිස් අවකාශය නෙළුම් මලින් හැඩ කර තිබීම නෙතට සිසිලසක් ඇති කරයි.
මෙහි පිටත මාලයේ වෙස්සන්තර හා සුතසෝම ජාතක කතා ඇඳ තිබෙන අතර. වෙස්සන්තර ජාතකය දැක්වෙන ගුහාවෙහි දුනු හී ද, එහි ළිඳ අසළ චිත්‍රයේ කාලිය ඇතුළු යෙහෙළියෝ හැම උඩු කය නග්නව සිටිති. නීලගම පටබැන්දා, දෙවරගම්පල සිල්වත් තැන, කොස්වත්තේ සිත්තර නයිදේ හා නම සඳහන් කර නොමැති සිත්තරෙක් විසින් චිත්‍රයට නඟා ඇත. තවද මෙහි ලන්දේසින් ගේ චිත්‍ර ද දැක ගත හැකියි.
මැදවල ටැම්පිට පිළිමගෙය. මෙම පිළිමගෙය පිහිටා තිබෙන්නේ මැදවල රාජ මහා විහාරයේ ය. දර්ශනීය කඳු ගැටයක් මුදුනේ පිහිටි අලංකාර විහාරස්ථානයකි. ටැම්පිට විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ වළගම්බා රජු දවස දක්වා ඈතට දිවයයි. තඹ සන්නසට අනුව සම සතරැස් සැලසුමකට අනුව සිටුවන ලද මිටි ගල් කුලුණු (ටැම්) මත ලෑලි අතුරා දැව බාල්ක සහිත වහලක් යොදා වරිච්චි බිච්චි බැඳ කරනු ලැබූ පිළිමගෙයකි.
හංස පූට්ටුව, දළදා මාලිගාවේ යටි මාලයේ සිවිලිමේ දැක ගත හැකි චිත්‍රයකි
සූවිසි විවරණය, දළදා මාලිගාවේ හඳුන්කූඩමේ බිත්තිවල ඉහළ තීරුවල දැකගත හැකි චිත්‍රයකි
මෙම ටැම්පිට විහාරයේ ඇතුළත නැගෙනහිර බිත්තියෙහි සත් සතිය, වෙස්සන්තර ජාතකය, වංක ගිරිය සහ රහතන් වහන්සේලා ප්‍රමුඛ මුගලන් මහ රහතන් වහන්සේලාගෙන් ද, වට්ටියක් රැගෙන යන දානපතියෙකු ගේ චිත්‍රයකින් ද සමන්විත ය. එසේම බටහිර බිත්තියෙහි සොළොස්මස්ථානය, උරග ජාතකය සහ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කිහිප නමකි. තව්තිසා දෙව්ලොව දෙවිවරු හා බෝධිසත්වයන් වහන්සේ සිවිලිමේ රූප වල දැක්වේ.
මහනුවර ගංගාරාම විහාරය මෙහි සිතුවම් ඇඳ ප්‍රධාන පිළිමයෙහි නේත්‍ර ප්‍රතිෂ්ටාපනය සිදු කර ඇත්තේ ක්‍රි.ව. 1752 වසරේදී ය. එය දෙගල්දොරුවෙහි චිත්‍ර අඳින ලද කාලයට වඩා දශකයකට හෝ දෙකකට පමණ පෙර කරන ලද්දක්. ගංඟාරාමයේ පිහිටා ඇති සෙල්ලිපියෙන් කියැවෙන ආකාරයට ලේවැල්ලේ තොටුපොළෙහි දිය නෑම සිරිතක්ව පැවති කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එක් දිනක් දිය නා එන අතර මග දී තල් වන උද්‍යානයේ තිබූ ගල් තලාවක බුදු පිළිමයක් තිබෙනු දැක පැහැදී මෙම විහාරය කරවූ බව කියවේ.
මෙහි චිත්‍ර ශිල්පියා ගන්නෝරුවේ ලොකු මුහන්දිරම් ය. මෙම විහාරයේ ඇතුල්මාලය බුද්ධොත්පත්තියේ සිට පරිනිර්වාණය දක්වා සිතුවම් කර ඇත. දකුණු පැත්තේ බිත්ති තීරුවක මාර යුද්ධය පෙන්වයි. මෙම යුගයේ ස්ත්‍රීන්ට තිබූ පහත් ඇඳුම් විලාසිතා වෙනුවට ළමා සාරි ඇඳගත් ගැහැනු දරුවන් දැක ගත හැකියි. සමහර චිත්‍ර භාවාත්මක ය. තීරු චිත්‍ර වලට ඉහළින් සිතුවම් කොට, වැඩ සිටින බුද්ධ රූප තුන්සිය හැත්තෑ පහකි. අභය මුදාාවෙන් ඉදිරියට මුහුණ ලා පද්මාසනය මත වැඩි සිටින අඩි විසි දෙක හමාරක් උස බුද්ධ ප්‍රතිමා නිරූපණය, මකර තොරණ විහාර ශෛලියට පිටුපා ගිය නව අරුතක් පෙන්වයි.
ස්තුතිය - මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ මැදවල රජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය දෙහිගම චන්දාරතන, ශාස්ත්‍රපති මඩාටුගම සෝරත යන හිමිපාණන් වහන්සේලාට සහ දළදා මාලිගාවේ ප්‍රාචීණ පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට.
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර