“චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න තීරණය කරලා අවුරුදු පහක් ගත වෙනකම්ම රූගත කිරීම් ආරම්භ කරන්න බැරි වුණා.. ඒ මූල්‍යමය ප්‍රශ්නයක් නිසා.. මමත් ඒ ගැන බලාපොරොත්තු අත් ඇරලා දාලා හිටියේ.. ආයෙමත් නිර්මාණය පටන් ගන්නවා කියලා ආරංචි වුණාම මම හිතුවා මගේ චරිතය වෙන කෙනෙකුට දෙන්න ඇති කියලා.. ඒත් ඒක මටම ලැබුණම දැනුණ සතුට අසීමිතයි..”
එසේ පැවසුවේ මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවී චරිතයට පණ දුන් කුසුම් රේණුය.
මහරජ ගැමුණු අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිය. නිෂ්පාදනය කළේ ගුණපාල රත්නසේකරය. උද්දික ප්‍රේමරත්න ගැමුණු රජු ලෙසත්, ශ්‍රියන්ත මෙන්ඩිස් කාවන්තිස්ස රජු ලෙසත්, ජැක්සන් ඇන්තනි එළාර රජු ලෙසත්, යශෝධා විමලධර්ම එළාර රජු ගේ බිරිඳ ලෙසත් බුද්ධදාස විතානාරච්චි මහාසිව තෙරුන් ලෙසත්, සාරංග දිසාසේකර තිස්ස කුමරු ලෙසත් රඟ පෑ මෙය නොමඳ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තේය.
“රුවන් වැලි සෑයට යන හැම දවසකම මට හිතෙන්නෙ මේ ගැමුණු රජතුමාගේ විහාර මහා දේවියගේ ආත්ම තවමත් ඒ වටේ සැරිසරනවා කියන හැඟීම.. ඒ වගේම ඒ වීර චරිත එක්ක මොකක්දෝ සාංසාරික බැඳීමක් තියෙනවා කියලා හිතෙනවා.. ඒ හින්දම විහාර මහාදේවී චරිතය රඟ පාන්න ලැබුණම මට පුදුමෙකුත් දැනුණා..” කුසුම් රේණු පැවසුවාය.
එම චරිතයට මොන තරම් ඇලුම් කළේ ද යත් ඇය මාස කිහිපයක් තිස්සේම සිරුරේ බර අඩු කර ගනිමින්, භාවනා ආදියෙන් අධ්‍යාත්මික ශක්තිය වැඩිදියුණු කර ගනිමින් ඒ සඳහා සූදානම් වූවාය.
“මේ චිත්‍රපටියේ මුහුරත් උළෙල පවත්වන්න නියම වෙලා තිබුණේ ජනවාරි නව වෙනිදාවක.. ඒ වෙනකොට මගේ දුව ගැබිණියක්.. ඇය එංගලන්තෙ ඉඳලා ලංකාවට ආවේ දරුවා මෙහෙදී ලැබෙන්න හිතාගෙන.. එංගලන්තෙ වගේම ලංකාවේ වෛද්‍යවරුත් ප්‍රසූත දිනය ජනවාරි අට කියලා නියම කරලා තිබුණේ.. ඉතින් මට හිතුණා නව වෙනිදා මුහුරත් උළෙලට යන්න බැරි වෙයි කියලා.. මම ජයන්තගෙන් ඇහැව්වා මම ආවෙ නැතුවට කමක් නෑ නේද කියලා.. එහෙම වුණොත් මුහුරත් උළෙල මනමාලි නැති මඟුල් ගෙදර වගේ වෙයි කියලා ජයන්ත කිව්වා.. ඒ වචන මගෙ හිතට තදින්ම වැදුණා..”
චිත්‍රපටියේ මතක අවදි කරමින් කුසුම් රේණු පැවසුවාය.
දියණියට අට වෙනිදාට කලින් දරුවා ලැබෙන බැව් සවැනි ඥානයකින් මෙන් ඇයට දැනිණි.
“පුතේ.. ඔයාට දරුවා ලැබෙන්නෙ ජනවාරි හත් වෙනි දා..”
ඇය අවධාරණයෙන් කියද්දී දියණිය සිනාසුණේ වෛද්‍යවරුන්ට වඩා අම්මා දන්නවාදැයි සිතමින් විය යුතුය. එහෙත් කුසුම් රේණු සිය සිතට කා වැදුණ අදහස තදින්ම පෝෂණය කළා මිස මොහොතකටවත් බැහැර යන්නට ඉඩ දුන්නේ නැත.
හය වෙනිදා ඇය බැබිල මුල් ටිකක් සොයා ගෙනවිත් අංගුලිමාල පිරිත සජ්ජායනා කරමින් ඒවා සෝදා සුදුළුෑණු ටිකක් ද සමඟින් තැම්බුවාය. එයින් ටිකක් දියණියට පානය කරන්නට දුන්නේත් පිරිත සජ්ජායනා කරමින්මය. පුදුමයකි. එදා සවස් වන විට ඇයට ප්‍රසූත වේදනා දැනෙන්නට පටන් ගත්තේය.
“ඉතුරු බැබිල මුල් වතුර ටිකත් බොන්න දීලා අපි ඇයව රෝහල්ගත කළා.. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න.. හත් වෙනිදා හවස දරුවා ලැබුණා.. අට වෙනිදා එයාලව ගෙදර එක්කන් ආවා.. නව වෙනිදා මම මහරජ ගැමුණු මුහුරත් උළෙලට ගියා..”
ඇය කියාගෙන ගියේ හපන්කමක් කළ කුඩා දැරියකගේ කටහඬිනි.
ඓතිහාසික චරිතයකට පණ පෙවීම සැබැවින්ම අභියෝගයකි. එහෙත් කුසුම් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නාය.
“වර්තමානයේ ජිවත් වෙමින් අනාගතය දකින චරිතයක් විදියට තමයි මට මේ චරිතය දැනුණේ.. මම චරිතයට ආරූඪ වුණේ කිසිම කෙනෙක් එක්ක කතා නොකර දුරකථනයෙන් පවා මිදිලා හිත එක්තැන් කරගෙනයි.. චරිතය වෙනුවෙන් නිර්මාණය වුණ ගාම්භීරත්වය මුසු වුණ වටපිටාව හරිම සුන්දරයි.. ඕනම කෙනෙකුගේ දක්ෂතාවන් ඉස්මතු කර ගන්න හැකියාවක් ඇති තියුණු ඇහැක් තියෙන අධ්‍යක්ෂවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ.. ඉතින් මට චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න අසීරු වුණේ නෑ..” ඇය කීවාය.
කාවන්තිස්ස රජු සිය පුතු දඟ ගෙයට දමන්නට නියම කළ විට විහාරමහා දේවිය හඬමින් දිව යන දර්ශනය අදටත් සිය දෑසට කඳුළු නංවන තරමට හැඟීම්බර බැව් කුසුම් රේණු පවසන්නීය. දරුවන් වෙනුවෙන් හදවතින් හඬා වැටුණ මව්වරුන්ගේ කතාන්දරය ඒ තුළ නොමඳව සටහන් වී තිබිණි.
කාවන්තිස්ස රජු මිය යන දර්ශනය ද ඇයට කවදාවත් අමතක වන්නේ නැත.
“මැරෙන්නෙ කාවන්තිස්ස රජ්ජුරුවෝ බව ඇත්ත.. ඒත් ඒ චරිතය රඟ පෑවේ ශ්‍රීයන්තනෙ.. ඒ හින්දා හිත ටිකක් සසල වුණා.. පෙරහුරුවේදී මම හිත හදා ගත්තා.. ඒ ඉන්නෙ ශ්‍රියන්තවත් මම කුසුම් රේණුවත් නෙමෙයි කියලා කීප සැරයක්ම හිතට කියා ගත්තට පස්සෙ මට ඒ දර්ශනය තාත්විකව රඟ පාන්න හැකියාව ලැබුණා..” ඇය පැවසුවාය.
චිත්‍රපටියේ තමා වඩාත්ම කැමති අවසාන දර්ශනයට බැව් ඇය කියන්නීය. සැබැවින්ම එහි ඇය දිස් වන්නේ දේවාත්මයක් බඳුවය. තෙරුන් වහන්සේට වැඳ සාමනේරවරුන් දෙස ද දයාන්විත බැල්මක් හෙළා ඇය බෝධිය දෙසට ඇවිද යන්නේ ඒ ශාන්ත පරිසරය සමඟ ඒකාත්මික වූවාක් මෙනි. විහාර මහා දේවී වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සම්මානය ද ලැබුණි.
“මගේ අම්මා මිය ගිහින් අවුරුදු දෙකක් පිරුණ දවසේ තමයි මට ඒ සම්මානය ලැබුණේ.. ඒකත් විශේෂත්වයක්.. ” ඇය පැවසුවාය.
චන්දි කොඩිකාර