කොළඹ බොරැල්ල සොහොන් බිමෙහි දැකිය හැක්කේ ගුප්ත බවකි. එදා කෑලි කපන මේ කළුවර ඉකිබිඳින වර්ෂාවද සමගින් මේ බියකරු බව තව තවත් තීව්‍ර කරන්නට සමත් විය. අත්තම්මා මියගොස් මාස තුනකට ආසන්නව ඇත. නමුත් ආතම්මාගේ මායාව ගෙදර හැර ගියේ නැත. ඒ මායාව දැල් තිර අස්සෙන් නිවසේ දොරින් දොරට අසලට වී බල සිටින්නට විය. විටක සුදුම සුදු සාරියකින් සැරසී සිටින ආත්තම්මා තවත් විටක කළු කබායකින් සැරසි සිටින්නීය. එක්වර විවිධ වේශයෙන් මායාව පෙනී සිටියි.
ගේ දොරකඩ බුදු පහන තියන තැන බලා සිටින අම්මා, තවත් විටක මුළුතැන්ගේ බලා සිටින්නීය. දුවටද ආදරය ඇති අම්මා දුවගේ නිදි යහන අසලට එන්නේ සෙල්ලමට හෝ ආදරයට හෝ නොවන බව නිවසේ සිටි දුව ද දැන සිටියාය. විටක තම දියණිය අසලට ගමන් කරන මායාවේ අම්මා, තවත් විටක වෙස් වෙනස් කරගෙන මිනිබිරිය ළඟට ගමන් කරන්නේ බිල්ලක් බලාගෙනය. නැතිනම් උණුසුම් වූ උණුම උණු ලේ පිපාසාවෙනි. නව යොවුන් වියේ පසුවන මුනුපුරා අසල පෙනී නොපෙනී සිටින මායාවේ ආත්තම්මා සිටින්නේ දැල්වෙන පහන්වලට මුවාවෙමිනි.
මේ ඇවිදින් සිටින්නේ මෙයට මාස තුනකට ආසන්න කාලයකට පෙර මේ නිවසේ ජීවත් වූ මහලු මාතාවයි. ඇය මේ නිවසට එන්නේ යහපතක් කරන්ට නම් නොවේ. බිහිසුණු මායාවේ මායා ගැහැනිය මේ නිවසේ සියල්ලෝම ගොඳුරු කරගන්නා දිනය ළඟාවෙමින් තිබිණි. එය සිදුවන්නේ කෙසේද? මේ පිළිබඳව කිසිවකු දැන සිටියේ නැත. නමුත් මායාවේ මහලු කාන්තාව ක්‍රම ක්‍රමයෙන් ගොඳුරු කරා ළඟාවෙමින් සිටියාය. මේ ඒ බිහිසුණු මායාවේ මහලු කතගේ බිහිසුණු කතාන්දරයයි.
භූත, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ ආදී නොයෙක් නොයෙක් කතාන්දර බොහෝය. ඒවා ඔබ අසා ඇතුවාට සැක නැත. මියගිය වුන් ඇඟට වැසීම, නැතිනම් ආවේෂ වීම, මියගිය වුන් නින්දෙන් පෙනී සිටීම, මියගිය වුන් පෙනෙන්නට සැරිසැරීම, මියගිය වුන්ගේ බැල්ම වැටීම, මියගිය වුන් ජීවත්ව සිටින වුන් බියවැද්දීම ආදී මෙකී නොකී කතා එමටය. මේ ද එවන් සිදුවීමකි.
මෙය කොළඹ නගරයේ, දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක මීට වසර කීපයකට පෙර සිදුවූ සිදුවීමකි. මෙම පවුලේ වන්නේ අම්මාත් තාත්තාත් පුතණුවන් දෙදෙනාත් එක් දියණියක් පමණි. විජේවීර පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදෙන අතර, බිරිඳ නිර්මලා ස්වයං ව්‍යාපාරයක් නිවසේ සිටම කරනු ලබන්නීය. ඇය නිවසට ආසන්නයේ කුඩා කඩයක් දමා එහි සිල්ලර බඩු විකුණන්නීය. වැඩිමල් පුතා සඳුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන අතර, බාල පුතා කසුන් නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දියණිය ශානිකා හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. වැඩිමල් දරුවන් දෙදෙනාම කොළඹ නගරයේ එකම පාසලක අධ්‍යාපනය ලබන අතර, දියණිය වෙනත් පාසලක අධ්‍යාපනය ලබන්නීය. පවුලේ කිසිදු ආර්ථික අපහසුතාවන් නොපවතින අතර, සාමයෙන් සමඟියෙන් යුතුව පවුලේ සියලු දෙනා කටයුතු කරති.
නිර්මලාගේ මව මියගොස් මාසයක් පමණ ගතවන අතර, පියා මියගොස් වසර කීපයක් ගත වේ. සීයාටත් ආච්චිටත් සඳුන් හා කසුන් ද ශානිකා ද ඉතාමත් ආදරයෙන් සිටියෝය. සීයාගේ අභාවයෙන් වසර කීපයක් ගත වනවිට ඔවුන් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල යෙදුණහ. එහෙත් ආච්චිද ඔවුන්ගෙන් සදාකාලිකවම සමුගැනීම මුනුපුරන් දෙදෙනාටත් මිනිබිරියටත් දරාගත නොහැකි විය. අම්මාටත් තාත්තාටත් වඩා දරුවන් තිදෙනාම ළං වූයේ ආච්චිටත් සීයාටත්ය.
සමහර දිනවලදී ශානිකාව පාසලට කැටුව යන්නේද ආච්චිය. ආච්චිගේ අතේ එල්ලී සුරතල් වෙවී ශානිකා පාසලට යන්නීය. සඳුන් හා කසුන් ද සීයා මියයන තෙක්ම පාසල් ගියේ සීයා සමඟය. බොහෝ දිනවල නිවසේ ඉවුම් පිහුම් කටයුතු කෙරුණේද ආච්චි අතින්ය. නිර්මලා කඩේ වැඩ නිම කරන්නේ රාත්‍රී අටට පමණය. හදිසියේම ආච්චිට ඇති වූ පපුවේ අමාරුව නිසා ඇය සියල්ලන්වම සදාකාලිකවම අතහැර මිය පරලොව ගියාය. සති දෙකක් යනතෙක්ම නෑදෑයන්ගෙන් නිවස පිරී පැවතුණි. ඉන්පසු සුපුරුදු පරිදි නිර්මලාත් විජේවීරත් සඳුන් හා කසුනුත් ශානිකාත් තනිවූහ. පාසල් යනවිට ශානිකාට ආච්චි මතක් වන්නේ නිරතුරුවමය.
“අම්මේ, ආච්චි නැතුව හරිම පාළුයි නේද අම්මේ. ඇයි අම්මේ ආච්චි සීයා වගේම අපිව දාලා ගියේ. ආච්චි නැතුව මට හරිම පාළුයි...” ශානිකා හැඬුම් ස්වරයෙන් නිර්මලාගෙන් විමසන්නීය. තම මව තමන්ට හයියක් වී සිටි බව නිර්මලාට වැටහෙන්නේ දැන්ය. නිවසේ සියලු බර ඇගේ කරපිට වැටී ඇත. කඩේ වැඩ කරන්නටත් නිවසේ ඉවුම් පිහුම් කටයුතු හා පිරිසිදු කිරීම් ද දරුවන්ගේ වැඩ ද ඇයට තනිවම කරන්නට සිදුවිය. දවසේ වැඩකටයුතු නිමවන විට නිර්මලා සිටියේ හෙම්බත් වීය.
මේ අතර, නිර්මලාට තම මව නිවසේ එහා මෙහා ඇවිදිනවා පෙනෙන්නට පටන් ගත්තාය. කුස්සියට යන විට කුස්සියේ සිටින තම මව එක්වරම ඇය දෙස හැරී බලනවා ඇයට පෙනුණි. කෑම පිසින විට නිර්මලා එක්වරම තම මව තමන් දෙසට පැමිණෙනවා දකියි. තම මව ජීවත්ව සිටින විට ඇය පරිහරණය කළ ඇයගේ නිදන කාමරය වෙතට තම මව සාලයේ සිට යනවා පෙනෙයි. ඇය බොහෝ බියපත් වූවාය. මව මියගිය බව සැබෑවක් වුවද ඇය තවමත් නිවස හැරගොස් නැත. විටින් විට නිවසේ එහා මෙහා ඇවිදියි. මේ නිසා නිර්මලා බොහෝ බියපත් වූවාය. ඇය විජේවීරට මෙය පැවසූවත් විජේවීර එය විශ්වාසයකට ගත්තේ නැත.
නමුත් බාල පුතු ද ආච්චිව විටින් විට නිවසේ එහා මෙහා යනවා දුටුවේය. නිවසේ දොරකඩට වී ආච්චි අම්මා පාර දෙස බලා සිටින්නීය. තමන් පාඩම් කරන විට ආච්චි බලාගෙන ඉඳින්නීය. මේ නිසාම ඔවුන් දෙදෙනා රාත්‍රියට නිදාගන්නට ද බිය වූවෝය.
“අනේ අපි අම්මගේ මරණෙ කටයුතු හොඳට කළානේ. ඒත් ඇයි මේ අම්මා ගෙදර ඉන්නෙ...” නිර්මලා විජේවීරගෙන් ඇසුවේ මියගිය අම්මාගෙන් තම පවුලේ අයට හානියක් සිදුවේදැයි බියෙනි. “මනස්ගාත හිතන්නේ නැතිව නිදාගන්න නිරූ.. මොනාද මේ කියවන්නේ ඔයා.. ළමයින්වත් බය කරනවා ඒ මදිවට.” විජේවීර කිසිවක් ගණනකට ගත්තේ නැත. වැඩිමල් පුතාද කීවේ “ඔළුව විකාර වෙලා මෙයාලට” යනුවෙනි.
මේ අතර බාල දියණිය ද ආච්චිව විටින් විට දකින්නට පටන් ගත්තාය. ආච්චි අම්මා වෙනදා වගේම තමන් අවදි වූ විගස තමන්ව බැලීමට කාමරය වෙත එන්නීය. එහෙත් ක්ෂණයකින් ඇය අතුරුදන් වන්නීය. ආච්චි අම්මා තමන්ට වාඩිවී කතන්දර කියාදෙන විට සිටින අයුරින් දොරකඩට වී සිටින්නීය.
නමුත් මෙය දවසකින් දෙකකින් අවසන් වූයේද නැත. දිනකට එක්වරක් හෝ මියගිය ආච්චි නිවසේ පෙනෙන්නට දකින්නට ලැබෙයි. වැඩිපුරම මෙයට මුහුණදෙන්නේ නිර්මලාය. ඇය කුස්සියේ වැඩකරමින් සිටින විට අම්මා පෙනෙන්නට එහාට මෙහාට ඇවිදියි. රාත්‍රී කාලයේ දී නිර්මලා නාන කාමරය හා වැසිකිළිය පැත්තටවත් තනියම නොයන්නීය. කසුන්ද අම්මා හෝ අයියා නැතිව කොතනකටවත් නොයන්නීය. අම්මාගේත් අයියාගේත් වදන් නිසා පුංචි ශානිකා සිටින්නේ ද බියපත් වීය. ඇය ද අම්මා නොමැතිව නිවසේ කොතැනකටවත් තනියම යන්නේ නැත. “අම්මේ, ආච්චි අම්මා අපිව දාලා ගියේ නැහැ නේද අම්මේ” ශානිකා මවගෙන් අසන්නේ ඇස් දෙක ද ලොකු කරගෙනය.
තම බිරිඳත් පුතත් දියණියත් විටින් විට බියපත් වීම නිසා විජේවීර කුමක් කරන්නේදැයි කල්පනා කළේය. වැඩ මුරයේ සිටිද්දීත් ඔහු කල්පනා කළේ මොවුන් මෙයින් මුදවා ගන්නේ කෙසේද යන්නයි. එහෙත් ඔහුට මෙයට කළ යුතු පිළියමක් සිතට නැගුණේ නැත.
මේ අතර, නිර්මලාගේ වැඩිමල් සහෝදරිය හා ඇගේ සැමියා නිර්මලාගේ නිවසට පැමිණියේ දින දෙක තුනක් නැවතී සිට තම මවගේ තුන් මාසේ වැඩකටයුතු ගැන ද කතාබස් කොට යන්නටය. මෙය නිර්මලාට මහත් අස්වැසිල්ලක් විය. තම සහෝදරිය පැමිණි විගසම නිර්මලා තමන් හා බාල පුතුත් දියණියත් තිදෙනාම තම මව නිවසේ පෙනෙන්නටම එහා මෙහා සැරිසරනවා දකින බව ඔවුනට පැවසුවාය. නිර්මලාගේ සහෝදරිය රෝහිණිත් ඇගේ සැමියා සුදර්ශනත් කීවේ මෙය බලා සිටින්නට සුදුසු දෙයක් නොවන බවත් මෙය අමනුෂ්‍ය දෝෂයක් වන්නට ඇති බවත්ය. එම නිසා කපු මහතකු මුණගැසී මෙයට පිළියමක් යොදමු යැයි ඔවුන් කතිකා කරගත්හ. නිර්මලාත් රෝහිණිත් කපු මහතකු මුණගැසීමට ගියේ දෙමටගොඩ ප්‍රදේශයේම එක්තරා දේවාලයක් කරන තැනකටය.
තරුණ වියේ පසුවන කපු මහතා වෙත බොහෝ පිරිසක් පැමිණ සිටි බව දුටු ඔවුන් සිතුවේ මෙයට පිළියමක් කපු මහතා විසින් කරදෙනු ඇත යන්නයි. නිර්මලාගේ වාරය එළඹුණ පසුව නිර්මලා දේවාලය තුළට පිවිසියත් බුලත් ගෙන ආ යුතුයැයි ඇයට වැටහීමක් නොතිබූ නිසා දේවාලයෙන් ඇයට බුලත් ලබාදුන් අතර, පඬුරු එම බුලත් මත තබා දෙවියන් ඉදිරියේ තැබුවාය. ඉන්පසු කපු මහතා ඔවුන් පැමිණි කාරණය විමසා සිටියේය.
තම මව මියගොස් මසක් ඉක්ම වන්නටත් පෙරම නිවසේ පෙනෙන්නට එහා මෙහා ඇවිදින බව නිර්මලා පැවසුවාය. කපු මහතා ඔහුගේ වික්‍රමය පටන් ගත්තේය. දෙවියන් ඉදිරියේ වැඳගෙන එහාට මෙහාට පැද්දෙමින් පාදවල පැලඳි සළඹවල් සෙලවෙන අයුරින් දෙපා පොෙළවේ ගසමින් හිස ඉහළටත් පහළටත් සොලවමින් කපු මහතා දෙවියන්ට යාතිකා කළේය. විනාඩි දහයක් පමණ නොතේරෙන භාෂාවක් ජප කරනු ලැබූ කපු මහතා නිර්මලාට පැවසුවේ මියගිය මව පැමිණ සිටින්නේ හොඳකට නොවන බවත් ඇය පවුලේ අයට ඇති ආදරය නිසා කාට හෝ විපතක් සිදුවන බවත්ය.
නිර්මලාත් රෝහිණිත් එයින් බොහෝ බියට පත්වූහ. “අනේ කපු මහත්තයෝ අපි මොකක්ද මේකට කරන්නේ” රෝහිණි ඇසුවේ තම නැගණියත් ඇගේ පවුලත් පත්ව ඇති අනතුරෙන් ගලවා ගන්නේ කෙසේදැයි සිතමිනි.
“පූජාවක් තියලා කොහේ හරි බෝධියකට යවමු. හැබැයි ටිකක් වියදම් කරන්න වෙයි” කපු මහතා පැවසීය. “හොඳයි කපු මහත්තයෝ අපි කැමතියි. අපි කරන්න ඕන මොනවද කියලා කියන්න” නිර්මලා කීය. කපු මහතා නිවසට ආ යුතු බවත් ඔහු එන්නට පෙර අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර තබන ලෙසත් කපු මහතා නිර්මලාට පැවසුවේය.
විජේවීර පැමිණි පසු නිර්මලා තම සහෝදරිය සමඟ කපු මහතා මුණගැසීමට ගිය බවත් ඔහු නිවසේ පූජාවක් තබා මව නිවසින් පිටත් කර යැවිය යුතු බවත් පැවසූ බව කීවාය. පසුදින නිවසේ පූජාව තැබීම සූදානම් කෙරුණි. කපු මහතා ගෝලයෙකු සමඟ සවස හත හමාරට පමණ පැමිණියේය. පලතුරු, පොල්, බුලත්, මල්, කපුරු, හඳුන්කූරු, කහ මුසු කළ ජලය, වර්ණ හතරකින් යුත් නූල් සහ තවත් බොහෝ දෑ විණි. රාත්‍රී නවය පසුවී පූජාව පටන් ගත්තේය. පූජාව නිම වනවිට බොහෝ රෑ බෝ විය. සියල්ලන්ගේම අත්වලට නූල් ගැටගැසූ කපු මහතා දින හතක් එක දිගට බෝධි පූජාවක් ද තබන ලෙස පවසා ගෝලයා ද සමඟින් නිවසින් පිටත් වූයේ පොරොන්දු වූ මුදල් ද රැගෙනය.
නිර්මලා තම සහෝදරිය සමඟ දින හතක් එකදිගටම පන්සලට ගොස් බෝධි පූජා තැබුවාය. ඇය සිටියේ සැහැල්ලුවෙනි. එහෙත් මව නිවසින් පිටව ගොස් නැති බව ඇයට පෙනුණි. නිවසේ පූජාවක් ද ලෑස්ති කර තම මියගිය මව නිවසින් යැවීමට කටයුතු කළද බෝධි පූජා තැබූවද ඇය තවමත් නිවසේ සැරිසරනවා නිර්මලා දුටුවාය. මේ නිසා නිර්මලා මහත් පීඩාවක් වින්දාය. ගෙදර දොරේ කටයුතුද කරගැනීමට මානසිකත්වයක් ඇය සතු නොවීය. පොඩි පුතාද දියණියද ඉඳහිට ආච්චිව දකියි.
මේ කාරණය ගැන විජේවීර තමන් සමඟ සේවයේ යෙදෙන මිතුරාට පැවසුවේය. ඔහු කීවේ එයින් ඵලක් වූයේ නැතිනම් යකුන්, කුම්භාණ්ඩයන්, ප්‍රේතයන් යවන වෛද්‍යවරයෙකු සිටින බවත් ඔහු වෙතට ඇයව කැටුව යන ලෙසය. ඒ අනූව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත නිර්මලා ඇතුළු නිවසේ සියලුදෙනාම පැමිණියෝය.
සියලු කරුණු වෛද්‍යවරයා අසා දැනගත්තේය.
නිවසේ සියලුදෙනාම වෙන වෙනම කතා කළ වෛද්‍යවරයා විසින් සිදුවී ඇති දෙය හඳුනාගත්තේය. අම්මටයි, පුතාටයි, දුවටයි ප්‍රතිකාර කිරීමේ වගකීම වෛද්‍යවරයා විසින් භාරගැනුණි. විද්‍යාකුලපති මහතා විසින් සති කීපයක් ඔවුන්ට මනෝ ප්‍රතිකාර ලබාදුණි. ආච්චි ගෙදරින් පලා ගියාය. ඉන්පසු කිසිම දවසක ආච්චි නිවසේ තැනින් තැන පෙනෙන්නට සිටියේ නැත. නිවසේ කිසිවෙක් බිය වූයේද නැත.
මෙහිදී සිදුවූ සත්‍ය සිදුවීම විද්‍යාත්මකව මෙසේ යැයි විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කරදුනි.
අප දන්නා පරිදි මානසික රෝග, මානසික පීඩන හෝ මානසික රෝග පිළිබිඹු කරන හැසිරීම්, අත්දැකීම් ගැන කරන අධ්‍යයනය මනෝ ව්‍යාධි විද්‍යාවයි. සායනික මනෝවිද්‍යාවේ එන මානසික රෝග ගැන වර්ගීකරණය සහ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික සඟරාවක් ද මේ නමින් හැඳින්වේ. මනෝ ව්‍යාධි විද්‍යාව මානසික රෝග ගැන කරන අධ්‍යයනයක් ලෙස මානසික රෝග ගැන අධ්‍යයනය සඳහා බොහෝ විවිධ ආකාරයේ වෘත්තිකයින් පෙළඹී ඇත. බොහෝ විට මනෝ රෝග චිකිත්සකයින් සායනික මනෝවිද්‍යාඥයින් විශේෂයෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර සහ එහි සම්භවය සඳහා පර්ෙය්ෂණ කිරීමට සහ එහි වර්ධනය සඳහා උනන්දු වෙයි.
මනෝ ව්‍යාධි විද්‍යාවේ දී බොහෝ උපක්ෂේත්‍ර ඉවහල් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ස්නායු විද්‍යාඥයෝ මානසික රෝගවලදී මොළයේ සිදුවන වෙනස්කම් ඉලක්ක කොට අධ්‍යයනය කරති. එම නිසා මනෝ ව්‍යාධි විද්‍යාඥයෙකු ලෙස හඳුන්වනුයේ එම ක්ෂේත්‍රයේ විශේෂ පුහුණුවක් ලද බොහෝ වෘත්තිකයන්ගෙන් එක් අයෙකි.
මනෝ චිකිත්සකයින් බොහෝ විට විශ්ලේෂණාත්මක මනෝ ව්‍යාධි විද්‍යාව සඳහා උනන්දු වෙයි. එමගින් ඔවුන්ගේ ඉලක්කය වන රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ සමූහයක එකතුව සපුරා ගනී. එමගින් රෝගියාගේ අත්දැකීම් පවතින වර්ගීකරණය හා සසඳා බැලීම, රෝග නිර්ණක පද්ධතියක් සකස් කිරීම ද, කිසියම් රෝග නිර්ණයකට අදාළ අත්දැකීම් හා හැසිරීම් ගොනු කරන ආකාරය සඳහා ද උදව්වක් ලබාගනී.
නමුදු මෙය පෞරුෂත්වය පිළිබඳ රෝගයක් වන මනෝ ව්‍යාධික හැසිරීම හා පටලවා නොගත යුතුය. මනෝ ව්‍යාධික විද්‍යාව විශ්ලේෂණාත්මක පදයක් ලෙස ඇතැම් විට කිසියම් රෝගයක් නිර්ණය නොවූවද මනෝ ව්‍යාධික විද්‍යාව මගින් මානසික රෝගයට අදාළ හැසිරීම් විස්තර කෙරේ. මායාවන් හෝ භ්‍රාන්තිය (නොපවතින දෙයක් පිළිබඳ සංවේදනය) මනෝ ව්‍යාධියාගේ ලකුණක් ලෙස සැලකුව ද DSM වර්ගීකරණයේ එක් රෝගයකට අදාළ රෝග නිර්ණායක සියල්ල සපුරන්නේ නැත.
පොදුවේ ගත් කල ප්‍රජානනයේ හෝ ස්නායුක ප්‍රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයේ බිඳ වැටීමක් නිසා ඇතිවන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක්, අකර්මණ්‍යතාවක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැකියාව ඇත්තේය.
ඇත්තටම මෙතන සිදුවෙලා තිබෙන්නේ දෘෂ්ටි මායාවක්. මෙය මනෝ භ්‍රාන්තියකි. එනම්, Hallucination තත්ත්වයකි. මෙහිදී සිදුවන්නේ අධික භීතිය නිසා හෝ දැඩි විශ්වාසය නිසා අපට නොපෙනෙන දේ ඔවුන්ට පෙනිය හැක. අපට නොදැනෙන දේ ඔවුන්ට දැනිය හැක. අපට නොඇසෙන දේ ඔවුන්ට ඇසීමට පුළුවන්ය. මෙම Hallucination තත්ත්වය උග්‍ර මානසික රෝගීන්ට ඔවුන්ගේ මොළයේ රසායනික වෙනස්වීම මත කොහොමත් ඇතිවෙනවා. ඔවුන්ට අනිවාර්ෙයන්ම ඖෂධීය ප්‍රතිකාර ලබාදීමෙන් තමයි ඔවුන් සුවපත් කළ හැක්කේ.
නමුත් මෙම කතාවේ එන අම්මටත් පුතාටත් දුවටත් උග්‍ර මානසික රෝගයක් නැති වුවද සුළු මානසික රෝග තත්ත්වයන් යටතේ Hallucination එනම් මනෝ භ්‍රාන්ති ලෙස තමයි ආච්චිව පෙනෙන්නට ගත්තේ.
එම තත්ත්වයට ප්‍රතිකාර කළ පසු ආච්චි පෙනෙන එක නතර විය. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ මෙවැනි මිථ්‍යාවන්ට හසු නොවී තමන්ගේ මුදලුත් කාලයත් ඉතිරි කරගෙන විද්‍යාත්මකව ලෝකය දෙස බලා තම තමන්ගේ ජීවිත ජයගන්නා ලෙසයි.
(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් ආසන්න වශයෙන් වෙනස් කර ඇති අතර, වූ සත්‍ය සිදුවීමකි.)
සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත