මාලදිවයින් මුහුදේ ගිලුනු ටෙලි සිත්තම


ගායක, සංගීතඥ හා වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ

 

 

‘‘සාගර තරංගා’’ නම් ටෙලිනාට්‍යය බලාපොරොත්තු වූ පරිදි නිම කිරීමට අවස්ථාව ලැබිණි නම් එය ශ්‍රී ලාංකික ටෙලිනාට්‍යයක් එතෙරදී රූපගත කළ ප්‍රථම අවස්ථාව වන්නේය. ඊට කලින් ‘‘රට ගිය ඇත්තෝ’’ රූගත කර තිබුණද එහි රඟ පෑ බොහෝ දෙනා බ්‍රිතාන්‍යයේ පදිංචි වූවෝ වෙති.   


මෙය සිංහල, ඉංග්‍රීසි හා මාලදිවයින් භාෂාව වන දිවහි දෙබස් ද යොදා ගනිමින් රූපගත කිරීමද ශ්‍රී ලාංකික නළු නිළියන් මෙන්ම මාලදිවයින් කළු නිළියන් පමණක් නොව කාර්මික ශිල්පීන්ද දායක වීමෙන් නිෂ්පාදනය වන්නක්ද නිසා සුවිශේෂීය. අනෙක එය ශ්‍රී ලංකා - මාලදිවයින් හවුල් නිෂ්පාදනයකි. ඒ නිසා ‘සාගර තරංගා’ ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ මෙන්ම මාලදිවයිනේ රූපවාහිනියේ විකාශය කිරීමට එකඟත්වය පළකර තිබිණි.   
ශ්‍රී ලාංකේය නිෂ්පාදනය හා සංගීත අධ්‍යක්‍ෂණය සුනිල් ධර්මසේනගෙනි. මාලදිවයින් නිෂ්පාදනය අස්ලාම් රිෂීඩ් ය.   


ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ නිල්මිණි තෙන්නකෝන් මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නට නියමිතව තිබිණ. අනෙක් ප්‍රධාන චරිතයට සුප්‍රකට ගායක, සංගීතඥ හා වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ දායක විය. එකල ඔහු ගායකයකු මෙන්ම රූපවාහිනී නළුවකු ලෙසද රසිකයා දැන සිටියේය.   


ශ්‍රී ලංකාවේ අමිත්ත වීරසිංහ ද මාලදිවයිනේ ජනප්‍රියම නළුවා ලෙස සැලකෙන මූසා ද සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නට එකඟව සිටියහ. මූසා පසුකාලයේ මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙසත්, මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපති ලෙසත් කටයුතු කර ඇත. ඔහු එකලද නළු වෘත්තිය මෙන්ම ව්‍යාපාර කටයුතු වලද යෙදුණේය.   


සාගර තරංගා, සංගීතමය ටෙලි නාට්‍යයකි. එහි තේමා ගීතය වූයේ. ‘සාගර තරංගා’ ය. ඒ හැර තවත් ගීත කීපයක්ම පටිගත කිරීමට සංගීතය යොදා ගැනිණි.   


ඒවා ගායනා කරන්නට නියමිතව සිටියේ මිල්ටන් මල්ලවආරච්චි සහ මරියසෙල් ගුණතිලකය. මරියසෙල් ගායනා කරන්නේ මාලදිවයිනේ නිළිය වෙනුවෙනි.   


සියලු ගීතවල සංගීත පට සකස් කොට මිල්ටන්ගෙන් දිනයද වෙලාවද ලබාගෙන තිබිණ. එහෙත් හරියටම පටිගත කිරීම යොදා ගත් දිනයේ මිල්ටන් දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කෙරිණි.   


රූගත කිරීම සඳහා මාලදිවයිනට යන්නට ඇත්තේ දින කිහිපයකි. ගුවන් ටිකට් පත් පමණක් නොව හෝටල්ද වෙන්කර ඇති නිසා රූගත කිරීම් කල් දමන්නට නොහැකිය. මාසයක කාලයක් රූපගත කිරීම් සිදුවන නිසා ගීත කලින් පටිගත කරගෙන යා යුතුය.   


ඊළඟට අවධානය යොමු වූයේ සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙතය. එයද වැරැදී ගියේ ඒ වන විට සනත්-මල්කාන්ති යුවළ එතෙර සංදර්ශන කීපයක් වෙනුවෙන් පිටත්ව ගොස් සිටි බැවිනි.   


අන්තිමේදී ප්‍රධාන චරිතය රඟපාන ජගත්ටම ගායනයද පැවරිණි. එහි එක් ගීතයක් වූයේ පසු කලෙක ජනප්‍රිය වූ සාගර තරංගා යි. මරියසෙල්ගේ සාගර තරංගා ගීතයද ජනප්‍රිය විය.   


1995 අගෝස්තු 14 වැනිදා නිල්මිණි තෙන්නකෝන්, ජගත් වික්‍රමසිංහ, අමිත්ත වීරසිංහ, මධුමාධව අරවින්ද, කැමරා ශිල්පී සුමේධ ලියනගේ, නිෂ්පාදන හා සංගීතඥ සුනිල් ධර්මසේන තවත් කීප දෙනෙක් ඇතුළු අපි ගමනට සහභාගී වීමු.   


මාලදිවයින මාලයක් මෙන් පිහිටි දූපත් රාශියකින් සැදි රාජ්‍යයකි. එහි ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේද වෙනමම දූපතකය.   


කලින් දිනයේ අපි මාලේ නගරයේ රූපගත කිරීම්වල යෙදුණෙමු. මුළු නගරයේම පැය බාගයකින් ගමන් කර අවසන් කළ හැකිය. එකල මාලේහි බස් රථ සේවයක් තිබුණේ නැත. සුඛෝපභෝගී කුලී මෝටර් රථ සේවයෙන් රුෆියා 20කට නගරය තුළ ඕනෑම තැනකට යා හැකිය. දැන් නම් එම ගාස්තු වැඩි වී තිබිය හැකිය. වර්තමානයේ මාලදිවයින් රුෆියා එකක් ශ්‍රී ලංකා රුපියල් 12ක් පමණ වෙයි. දැන් නම් බස් රථ සේවයක් ඇත.   
ඒ හැරුණු විට බොහෝ දූපත්වලට යන්නේ විශාල බස් රථ වැනි මගී බෝට්ටුවලිනි.   


රූගත කිරීම් ඇරඹිය යුත්තේ උදේ පාන්දරය. එහෙත් මාලදිවයින් ශිල්පීන් උදෙන්ම වැඩ කිරීමට එතරම් කැමැති නැත. ඔවුහු රාත්‍රී කාලයේ වැඩ කරති.   


ඊට හේතුව උෂ්ණත්වය අධික වීමය. මේ නිසා දහවල් වන විට එළිමහන් රූගත කිරීම් නවත්වා ගෙවල් තුළ රූගත කිරීම්වලට යා යුතුය. 

 
අපේ රූගත කිරීම්වලින් වැඩිහරියක් යෙදී තිබුණේ මහිබදු නම් දූපතේය. එය කලින් අප තීරණය කළ දූපත නොවේ. එහෙත් නිෂ්පාදන පහසුව තකා එය වෙනස් කර තිබිණි.   
ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක් බෝට්ටු සවාරියක් යාමේදී කුණාටුවකට අසුවී අතරමං වෙයි. ඔවුන් බේරා ගනු ලබන්නේ මාලදිවයින් ධීවර කණ්ඩායමක් විසිනි. ඔවුහු ඉතා අසරණව ධීවර දූපතේ පසුවෙති. එහිදී හමුවන සංගීතයට ලැදි මාලදිවයිනේ තරුණයකුත්, තරුණියකත් ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමේ ජගත් සහ නිල්මිනි සමඟ ඇතිවන ආදරයක් වටා කතාව ගෙතීයයි.   


අපි අපේ ඇඳුම් ආයිත්තම් හා වෙනත් අත්‍යවශ්‍ය දෑ පුරවාගෙන දෙවැනි දිනයේ මහිබදු දූපතට යන්නට පිටත් වීමු. වෙලාව උදෑසන නවය පමණ විය.   
මාලේ නගරයේ උස් වූ ගොඩනැගිලි එකල නොවීය. එහෙත් දැන්නම් එසේ නොවේ ඊට හේතුව මාලදිවයින කාලයකදී මුහුදෙන් යටවන බවට අනාවැකි පළ කර සිටීමය. එවන් පරිසරයක සිට අප ආවේ බෝට්ටු අංගණයටය.   
එය හරියටම පිටකොටුව බස් නැවතුම්පොළ මෙනි. බස් තරමටම එහෙ මෙහෙ දිවයන බෝට්ටු එහිදී දැක ගත හැකිය. එතරම්ම කඩිසරය. බෝට්ටු ශබ්ද කනට අමිහිරිය. එම විශාල බෝට්ටු මාලදිවයිනේ හැඳින්වෙන්නේ දෝනි නමිනි.   


අපට යන්නට තිබුණේ දෝනියකය. දෝනියේ ඉදිරිපස හංසයකුගේ හොට මෙන් වකගැහිලාය. විහාර මහා දේවිය මුහුදට බිලිවෙන චිත්‍රවල ඇත්තේ දෝනියේ හැඩය ගන්නා මුහුදු යාත්‍රා විශේෂයකි.   
අප බස්වලින් දුර ගමන් යන්නාක් මෙන් මාලේ වැසියෝ දෝනිවල නැගී ගමන් බිමන් යති.   
මාලදිවයින් අවට සාගරය ඉතා සුන්දරය. නොගැඹුරුය. තද නිල් පැහැයෙන් යුතුය. මේ සොදුරු මූදු තීරය ඔස්සේ ‘සාගර තරංගා’ රූගත කිරීම් සඳහා මහිබදු දූපත කරා අප ගමන් ඇරඹුයේ මහත් සොම්නසකිනි.   
මාලදිවයිනේ කැමරා කණ්ඩායමේ කීප දෙනෙක්ද අප සමඟ වූහ. එහෙත් මූසා නම් ජනප්‍රිය නළුවා කලින්ම මහිබදු කරා පිටත්ව ගොස් තිබුණේය. මාලදිවයිනේ අනෙක් නළු නිළියෝද වෙනම දූපතට ගොස් සිටියහ.   
පැද්දෙන පෙරළෙන රැල්ල මතින් දෝනියද තාලයට පැද්දෙන්නට විය. අපේ පිරිස ගීත ගායනා කරන්නට පටන් ගත්හ. මුහුදු සුළං රැලි සුවදායක විය.   


දෝනිය පැය දෙකක පමණ කාලයක් රළ අතර පැද්දෙමින් තාලයට ගමන් කළේය. දැන් හතර වටින්ම පෙනෙනුයේ මහා සාගරය පමණකි. ගොඩබිමක් ​පේන තෙක් මානයක නැත.   
හිටිගමන්ම මුහුදු සුළඟ අමුතු වන්නට විය. සුළඟ තද ශීතල ගතියකින් මෙන්ම තරමක වේගවත් බවක් පළ කළේය. ඈත මුහුදේ විශාල රළගෙඩි ඉහළ නැගෙන්නට විය. අහස කළු වලාකුළකින් වැසී ගියේ යෝධ කළු ඇතිරිල්ලක් එළන්නාක් මෙනි. වැහි පොද වැටිණි.   
දෝනියේ උඩ තට්ටුවේ ගමන් කරමින් අවට සොදුරු දසුන් නැරඹූ අපි වැස්සත් සමඟ දෝනියේ පහළ කොටසට ආවෙමු.   


ක්‍රමයෙන් රළ පෙළ ප්‍රචණ්ඩ වන්නට විය. විශාල රළගෙඩි දෝනියේ හැපීම නිසා යාත්‍රාව පාලනයකින් තොරව පැද්දෙන්නට විය.   
දෝනියේ සිටි පදවන්නා හා සහායකයා ශ්‍රී ලාංකිකයෝ වූහ.   


‘‘කුණාටුවක් එන්න වගේ’’ මම කීවෙමි.   
‘‘ඔව් රැල්ල ගහනවා’’ ඔහු කීවේය.   
එයම ඉංග්‍රීසියෙන් මාලදිවයින් කණ්ඩායමේ සහායකයකුට කී විට ඔහු කීවේ එය සාමාන්‍ය දෙයක් බවයි.   
‘‘අපි ලංකාවට ආවම නුවරඑළිය පැත්තෙ යන කොටත් අපිට බය හිතෙනවා. ඕගොල්ලන්ටත් මුහුද ඒ වගේ දැනෙනවා.’’ ඔහු කීවේ එතරම් ගණනකට නොගනිමිනි.   
එහෙත් රළගෙඩි උසට නැගී දෝනිය පැද්දෙන්නට පටන් ගත්තේය.   
එක්වරම අඩි ගණනක් උස ජල කඳක් හෙණ හඬ නගමින් දෝනිය වටකර ඉහළට නැගුණේය. යාත්‍රාව කරණමක් ගසන්නට මෙන් ගොස් ඇළ වී යළි ජලකඳ මතටම වැටුණේය. මොහොතකට ජල කඳින් වට වූ කාමරයකට දැම්මාක් මෙනි.   


දෝනිය කොතරම් උඩ ගොස් පහළට වැටුණද කියතොත් නිල්මිණි යටිගිරියෙන් කෑ ගැසුවාය.   
තව මොහොතකින් යාත්‍රාව පෙරළෙනු ඇත. මට ගෙදරත්, බිරිඳත්, දරුවනුත් සිහිවිය. මට මගේ මරණය සිහිවිය. හැමෝගේම මුහුණ මරණ බියෙන් තැතිගත් විලාසය පෙනිණ.   
‘‘නවත්තන්න කියන්න. මට නම් බෑ යන්න’’ නිල්මිණි කීවේ හැඬූ කඳුළිනි.   
මඳින් මඳ මහ මුහුද යළි තරමක් නිශ්චල විය. ළඟම ඇති කුඩා දූපතක දෝනිය නතර විය. ගොඩබිමට පණිවුඩ යැවිණ.   


‘‘ තව කොච්චර වෙලා යනවද මහිබදුවලට’’  
මම ඇසුවෙමි.  
‘‘පැය හතක් විතර’’   
‘‘පැය හතක් මේ මහ මුහුදේද’’ මට හීන්දාඩිය දැම්මේය.  


 අස්ලාම් අධිවේගී යාත්‍රාවක් එවන්නට පොරොන්දු විය. අධිවේගී යාත්‍රාව පැයක පමණ කාලයක් තුළ කුඩා දූපතට ළඟා විය. එයින් පැය හතේ ගමන පැය තුනක පමණ කාලයකින් නිමාකර ගත හැකි විය.   
අධිවේගී යාත්‍රාවේ යෑමද වෙහෙසකරය. එය රැල්ල උඩින් පැන පැන යයි. වේගය තරමටම ගැස්සීමද අධිකය. දැන් නම් ඇත්තේ රූගත කිරීම් නොවේ. මරණයෙන් බේරීමය.   


මහිබදු ධීවර කර්මාන්තය කෙරෙන දූපතකි. එහි උම්බලකඩ ආදියද වේළනු ලබයි. සිංහල පවුල් කීපයක් පදිංචිව සිටියහ. ඔවුහු මාලදිවයින් වැසියන්ට ඉංග්‍රීසි උගන්වන්නට පැමිණි ගුරු පවුල්ය.   


ඔවුන්ගෙන් මහත් සැලකුම් ලැබුවද මෙතරම් ඈත දූපතක රූගත කිරීම් සඳහා නළු නිළියන්ට මානසිකත්වයක් නොතිබිණ.   


ඔවුනට අවශ්‍ය වූයේ ඉක්මනින් මේ දූපතෙන් පිටවී යෑමටය.   


රූගත කිරීම් සඳහා මාසයක් දින ලබා දුන්නද සතියකින් අපට ආපසු එන්නට සිදුවිය. මාලේ රූගත කිරීම් කිරීමෙන් අනතුරුව ඉදිරිය ශ්‍රී ලංකාවේ යොදාගන්නට යෝජනා වුවද එයටද නිෂ්පාදන කණ්ඩායමේ පූර්ණ එකඟත්වයක් හිමි නොවිණ.   


අධිවේගී යාත්‍රාවකින්ම අපි පැය හතරක පමණ කාලයකින් මාලේ නගරයට පැමිණ ඉන්පසුව ශ්‍රී ලංකාවට ආවෙමු.   


මවිසින් ලියන ලද සාගර තරංගා ගීතය මිල්ටන්ගෙන් සනත්ට මාරු වී, සනත්ගෙන් ජගත්ට පැමිණ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූයේය. එහෙත් මා අධ්‍යක්‍ෂණය කිරීමට බලාපොරොත්තු වූ සාගර තරංගා ටෙලිනාට්‍යය මාලදිවයින් මුහුදේ ගිලී සැඟවී ගියේය. ඒ අවුරුදු 25කට පෙරදීය.

 

 

රොඩ්නි විදානපතිරණ