මිනිස් ඉතිහාසය දෙස බලනවිට මිනිස් ලොව එළිය කළ මිනිසුන් දිවියට ජීවය කැවූ පුද්ගලයන් වරින් වර ලොව පහළ වී ඇති බව පෙනී යයි. අදුර ලොවක දැවැන්ත පහන් කුලුනු මෙන් ඔව්හු මිනිස් ජීවිත ආලෝක කළහ.
මෙවැනි මහා ප්‍රාඥයින් බිහිවීම අහම්බෙන් වෙන දෙයක් ද? කිසියම් සුවිශේෂ බලවේගයක් නිසා ඔවුන් එම හැකියාව ලැබුවෝ ද? ඔවුන් එම බුද්ධිමත් බව උපතින්ම දායා ද කරගෙන පැමිණියේ ද? එසේ නැතහොත් බාහිර පරිසරයෙන් ලද කිසියම් උත්තේජනයක් නිසා එම බුද්ධිමත්භාවය ලැබුවෝද?
අතිශය බුද්ධිමතුන් බිහිව ඇති කාල වකවානුව පරීක්ෂා කරන විට එම බුද්ධිමතුන් බොහෝමයක්ම පෙබරවාරි මාර්තු මාසවල ඉපිද ඇති බව පැහැදිලි වෙයි. මෙම කාලයේ දී සෞරග්‍රහ මණ්ඩලයෙහි සිදුවන අධික්‍රියාකාරීත්වයක් නිසා මෙලෙස සිදුවන බව පර්යේෂකයන්ගේ අදහසයි.
සූර්යාගෙන් නිකුත්වන විශේෂ කිරණ වර්ගයක් ජන්මානු කෙරෙහි බළපා සුපිරි බුද්ධිමතුන් බිහිවන බවට සමහර වෛද්‍ය පර්යේෂකයන් තුළ විශ්වාසයක් ඇත. ඔවුන් පවසන ලෙස සූර්යයා මෙම විශේෂ කිරණ නිකුත් කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ආසන්නයෙහිය. එය සනාථ කරන සාධක බොහොමයක් ඉදිරිපත් කළ හැක.
ග්‍රීක දර්ශනිකයන් බොහෝමයක් බිහිව ඇත්තේ එකම කාල වකවානුවකය. ඇරිස්ටෝටල් ඉපදුනේ ක්‍රිස්තු පූර්ව 384 දීය. හිපොක්‍රටිස් ඉපදුණේ ක්‍රිස්තු පූර්ව 377 දීය. ආකිම්ඩිස් ඉපදුණේ ක්‍රිස්තු වර්ෂ 1452 දීය. මයිකල් ආන්ජලෝ ක්‍රිස්තු වර්ෂ 1474 දීය. අයිසෙක් නිව්ටන් ක්‍රිස්තු වර්ෂ 1642 දීය. මයිකල් ෆැරඩේ ක්‍රි.ව. 1791 දීය. කෙල්වින් ක්‍රි.ව. 1824 දීය. ඇල්වා එඩිසන් ක්‍රි.ව. 1847 දීය. චාල්ස් ඩාවින් ක්‍රි.ව. 1809 දීය. ගුග්ලිමෝ මාර්කෝනි ක්‍රි.ව. 1874 දීය. ඇල්බට් අයිස්ටයින් ක්‍රි.ව. 1879 දීය.
මෙතෙක් බිහිව ඇති බොහෝ බුද්ධිමතුන් පිළිබඳව පරීක්ෂා කිරීමේ දී පැහැදිලිවී ඇත්තේ ඔවුන් වැඩි සංඛ්‍යාව පවුලේ වැඩිමහල් අය එනම් කුළුඳුල් දරුවන් බවය.
ලිලියන් බෙල්මන්ට් සහ ෆ්‍රැන්සිස් වෙරෙල්ලා යන මනෝ විද්‍යාඥයන් විසින් ඕලන්දයේ තරුණයන් හාර ලක්ෂයක් සමග සහභාගී කරවාගෙන සිදු කරන ලද පරීක්ෂණයක දී පවුලේ කුළුඳුල් අය විශේෂ බුද්ධියකින් යුක්ත වූ අය බව පැහැදිලිවී ඇත. වැකෙව් සහ ක්‍රෙචර් යන විද්‍යාඥයන් පවසන අන්දමට පසුව උපදින දරුවන්ට වඩා කුළුඳුලේ උපදින දරුවන් මවගේ හෝර්මෝන විශාල ප්‍රමාණයක් ලැබීම නිසා ඔවුන්ගේ බුද්ධිය වැඩියෙන් වර්ධනය වන බවය.
ව්ලැඩ්මීර් ඉපොයිම්සන් නැමැති ජීව විද්‍යාඥයා නිරීක්ෂණය කළ අන්දමට සමහර රෝගාබාධ ද බුද්ධිමත් බව හා සම්බන්ධව ඇත. ඔහුගේ නිරීක්ෂණයට අනුව වාත රක්තය බුද්ධිමත් බව හා සම්බන්ධව ඇති එක රෝග තත්ත්වයකි. බිතෝවන්, මයිකල් අන්ජලෝ, තෝමස් මෝ, අයිසෙක් නිව්ටන් චාල්ස් ඩාවින් වාතරක්තයෙන් පෙලුණු බුද්ධිමතුන්ගේ සංඛ්‍යාවට එක්වෙති.
වාත රක්තනය නිසා කෙනෙකුගේ රුධිරයෙහි යූරික් අම්ල ප්‍රතිශතය ඉහළ නගී. මෙම යූරික් අම්ලය නිසා මොළයෙහි ක්‍රියාකාරිත්වය වැඩිවීමෙන් එම තැනැත්තන් බුද්ධිමතුන් බවට පත්වෙති.
කෙනෙකුගේ සමේ වර්ණය අනුව ද බුද්ධිය තීරණය වන බව නොබෙල් ත්‍යාගයේ භෞතික විද්‍යාඥයකු වූ විලියම් ශෙක්ලි සහ මනෝ විද්‍යාඥයකු වූ ආතර් ජොන්සන් පැවසූහ. කෙනෙකුගේ සමේ වර්ණය තවත් අන්දමට කියනවා නම් තමන් අයත්වන ජාන වර්ණය අනුව කෙනෙකුගේ බුද්ධි මට්ටමේ උස් පහත් වෙනවාය යන්න සමහරුන්ගේ තර්කයට භාජනය වූවක් විය.
ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍යවරයකු වු රිචර්ඩ් හර්න්සිටින් සහ චාල්ස් මුරේ යන දෙදෙනා ප්‍රකාශයට පත්කළ ‘‘බෙල් කර්ච්’’ නැමැති ග්‍රන්ථයෙන් ද කෙනෙකුගේ වර්ණය අනුව බුද්ධි මට්ටම උස් පහත් වන බව පෙන්වා දෙන ලදී. ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ සාමාන්‍ය බුද්ධිමට්ටම ඇමෙරිකානු සුදු ජාතිකයින්ගේ වඩා අඩු තත්ත්වයක තිබෙන බව එයින් විස්තර කෙරුණි. සුදු ජාතිකයන්ගේ සාමාන්‍ය බුද්ධි අගය 102 ක් වන අතර ඇමෙරිකානු කළු ජාතිකයින් ගේ සාමාන්‍ය බුද්ධි අගය 87 කි.
නමුත් මෙයට විකල්ප මත ඉදිරිපත් කරන ඇතැමුන් පවසන්නේ කළු ඇමෙරිකානු ජාතිකයන්ගේ පහත් බුද්ධි මට්ටමට හේතුව ඔවුන් වෙසෙන පහත් ආර්ථික මට්ටමක බවය. ඔවුන්ගේ බුද්ධි මට්ටම අඩුවීමට හේතුව එය මිස සමෙහි වර්ණය හෝ ජාතිය නොවන බවය. මෙයටම අදහස් එකතු කරන සමහරුන් සුදු ජාතික ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කළු ජාතික ශිෂ්‍යයන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම නිසා ඔවුන්ගේ බුද්ධි ප්‍රභාව ප්‍රදර්ශනයට ඉඩ නොසැලෙන බවය.
වර්ජිනීයා විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍යවරියක් නව පර්යේෂණ තොරතුරු නිවුස් වීක් සඟරාවේ පළකරමින් පැවසුවේ කිසියම් පුද්ගලයෙකුගේ බුද්ධිමත්භාවය තීරණය වීමට ඔහුගේ ප්‍රවේණිය සාධකය සියයට හැත්තෑවක්ම බළපාන බවය. ඇය කරුණු දක්වන අන්දමට නූගත් ග්‍රාමීය පරිසරයක ජීවත් වුවද කෙනෙකුගේ බුද්ධි මට්ටම වෙනස්වීමට පරිසරයෙන් එතරම් දායකත්වයක් නොලැබෙන බවය.
බුද්ධිමත් බව පිළිබඳව කලින් කලට බුද්ධිමතුන් අතර පැවත මතයන් ද වෙනස්ය. බුද්ධිමත් බව යනු ඉගෙනීමට සහ කරුණු ගොඩනංවා ගැනීමට ඇති හැකියාව බවත් එය පුහුණු කිරීමෙන් ලබන ප්‍රතිපලයක් බවත් ස්පාඤ්ඤ ජාතික කායික වෛද්‍යවරයෙකු වූ ජුවාන් හුආට් පැවසීය.
සමහර ජීව රසායන විද්‍යාඥයන් දක්වන ලෙස මිනිස් මොළය තුළදී ග්ලුකෝස්වලින් ශක්තිය නිදහස්වීමේ වේගය කෙනෙකුගේ බුද්ධිමත්භාවය අඩු වැඩිවීමට බලපාන බවය.
පීටර් කැනියුට් පෙරේරා