නොපෙනෙන ලෝකය
හුදකලා වටපිටාවේ සිදුවන සියල්ලම හොල්මන් අවතාර හෝ භූත ක්‍රියාකාරකම් හැටියට යම් සාධාරණීය සාක්ෂියක් පරිසරය මාර්ගයෙන් ඉදිරිපත් නොකෙරෙන බව ඇත්තකි. එතෙක් මිනිස් ඇසට ගෝචර වන පරිසරයේ ඇතිවන යම් යම් වෙනස්කම් අත්භූත ස්වරූපයක් ගනී. සිදුවූ යමක සත්‍ය වටහා ගැනීමට නම් ඒවාට ප්‍රායෝගිකව මුහුණ දී අත්දැකීම් ලබා තිබිය යුතුය. තවද පියවි ඇසට ගෝචර නොවූ පමණින්ම එම ආකාරයේ ක්‍රියාකාරකම් නැතැයි ස්ථිරවම නිගමනය කිරීම අවිද්‍යාත්මක ස්වරූපයක් ගනී. පෙනෙන සහ නොපෙනෙන ලෝකයේ අපි මෙතෙක් නොදුටු අත්භූත සත්‍යයන් කොතෙකුත් තිබිය හැකිය. ඒවා ගැන විවාදයෙන් තොරව සත්‍ය වසන් කර තැබීම, මේවායේ පරීක්ෂණ සිදු කරන විද්වතුන්ට සහ සරලව ජීවිත ගත කරන මහජනයාටත් කරන මහත් අසාධාරණයක් බව පෙන්වා දීම වටී.
තරුණ වයසේ පසුවන පුරාවිද්‍යාඥයකු වන ඔහු නැගෙනහිර ත්‍රිමලයට නොදුරින් පිහිටි මුහුද මැදට වන්නට ස්ථාපිත වූ පාළු ස්වරූපයක් ගත් දූපතෙහි වැළලී තිබූ අතීත ශ්‍රී විභූතිය ගැන පරීක්ෂණ ඇරඹූ පළමු දිනය විය. එම දිනය වසරේ වසන්ත සමය එළඹි අප්‍රේල් මස දිනයකි. එදිනට යොදා තිබූ කැණීම් කටයුතු අවසන් වී රෑ බෝ වූ නිසා දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් සහාය කම්කරු පිරිසත් සමග වාඩිලා ගත්තැනට ගොස් ඔවුන් රාත්‍රී ආහාරය පිළියෙල කරන තෙක් මේ දූපතේ ඇවිද යම් නිරීක්ෂණයක යෙදීමේ ආසාවක් ඇති වූයෙන් නිස්කලංකව කඳවුරෙන් තනිවම පිටතට ආවේය.
දූපත් ප්‍රදේශ කොටසේ යම් දඩයමක් කර ගත හැකි වන සිවුපාවුන් ඇතැයි සිතූ ඔහු පුරාවිද්‍යා නිලධාරියෙකුට තමාගේම ආරක්ෂාව පිණිස ලබාදුන් ගිනි අවිය ද සමඟ හිසට දමන විදුලි පන්දම සහිත ගල් තොප්පිය ද දමා පිටවීමට අමතක නොකළෙමි. දහවල් කාලයේදී කුඩා සිවුපාවුන් මේ ප්‍රදේශයේ දුවනු පනිනු දුටුවද ඔහුට එවන් සතෙකු තබා රාත්‍රී කාලයේදී අහල පහළ ගසක අත්තක ලගින කුරුල්ලකුවත් දකින්ට නොලැබීම පුදුමයට කරුණක් විය. දූපතේ තමා සිටි කෙළවරේ සිට අනෙක් කෙළවරට ආවත් ඔහුට දඩයමක් තියා සතෙකුගේ මයිලක්වත් දැකීමට නොහැකි විය.
තරමක විශාල දූපතක් නිසා මඳක් වෙහෙස නිවීම පිණිස කුඩා ගල් පරයකට පිට දුන් ඔහු වටපිට බැලුවේ අත්භූත සුන්දරත්වයට ආකර්ෂණය වී ඇති සේයක් තමන්ට දැනුණු හැඟුණු හෙයිනි. පෙර දිනයේ එම දූපතට ඇතුළු වූ මොහොතේ සිට ඔහුට අත්දකින්නට ලැබුණේ පුදුමාකාරයේ අත්භූතජනක ක්‍රියාකාරකම් වලටය. මෙය ඉතාමත් අත්භූත වූ ජනයාගෙන් තොර දූපතකැයි ඔහුට සිතුණු වාර අනන්තය.
ඔහු මෙවැනි ප්‍රායෝගික පුරාවිද්‍යා පරීක්ෂණයක් කිරීමට අදහස් කරමින් සිටියේ විශ්වවිද්‍යාල අවසාන වසරේ සිසුවකු හැටියටය. තමාට පුරාවිද්‍යා විෂය ඉගැන්වූ මහාචාර්යවරයා ද ඔහුව මේ කාර්ය සඳහා වඩ වඩාත් උනන්දු කරවීමට යුහුසුලු විය. මෙම කැණීම් තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබුණොත් එනම් මෙම දූපතේ පැරණි දියුණු සංස්කෘතියකට අයත් නටබුන් සොයාගත හැකි වුවහොත් තමාම පැමිණ එම පර්යේෂණ කටයුතුවලට සහභාගි වන බවට පොරොන්දුවක් ද මහාචාර්යවරයා දී තිබූ හෙයිනි.
කැලෑවට ගොස් ඇති පාළු හුදෙකලා දූපතෙහි පැරණි සංස්කෘතියට අයත් නටබුන් තිබිය හැකි යැයි ඔහුට දැනගන්නට ලැබුණේ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිය හදාරමින් සිටි මුල් අවධියේදීමය. ඔහුට තිබූ කාර්යබහුලත්වය නිසා එම කාලය තුළ මෙයට සිත යොමු කිරීමට තරම් විවේකයක් නොවීය.
තමා පවත්වන්න යොදාගෙන ඇති අවසන් විභාග පර්යේෂණ ඇගයුම් තුළින් මෙම දූපතේ පැරණි ශ්‍රී විභූතිය භූමිය තුළින් මතු කරගෙන රටට අනාවරණය කිරීමට ඉදිරිපත් කිරීම ගැන පුරාවිද්‍යාවේ ඉතා දියුණු පැතිකඩක ආරම්භය බව මහාචාර්යවරයා ද පවසා සිටියේ ඉතා සතුට දනවන සිතකිනි.
පුරාණයේ රටටම ඈඳී තිබූ මෙම දූපත පසුකාලීනව දේශගුණික සහ කාලගුණික භූමි විපර්යාසයක් නිසා වෙන් වී ඇති බව සනාථ වූයේ පැරණි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එහි මූලික කරුණු සනාථ වන සාධක ඒ වන විටත් ලැබී තිබීම ඔහුට මෙම කැණීම් කටයුතුවලට තවත් රුකුලක් වන හෙයින් ප්‍රීතිය ගෙනදෙන්නක් විය. තවද පුරාවිද්‍යා මහාචාර්යවරයා කාලයේ තාලයෙන් වැසී ඇති පැරණි සංස්කෘතියට ඇලුම් කිරීමෙන් මේවා ගැන ඔහුගේ සිතෙන් ද ඈත් නොවීම තවත් හේතුවකි. මෙවැනි සිතුවිලි දහරාවක් ඔහුගේ සිතට ඇතුළු වනවාත් සමඟම විවේක ගත් ගල් පරයෙන් නැගී සිටියේ ආපසු ලැගුම්හල වෙත යාම පිණිසය. නමුත් යම් අනතුරක සේයාවක් දිස් වූයේ නොසිතූ අයුරිනි. යම් අත්භූතජනක ක්‍රියාවක් බලගැන්වෙන්නට අර අඳින බව ඒත්තු ගිය හෙයින්ය.
හිරිගඩු පිපෙන සීතල මුහුදු සුළං ප්‍රවාහයක් සමඟින් බියකරු අන්දමින් හමන්නට විය. බියකරු බව කෙසේද යත් ලෝකය පිහිටි දා සිට හමා ආ පළමු බියකරු සුළඟ මෙන් දැනෙන්නට පටන් ගත්තේය. සුළඟත් සමගම වනරොද දෙසින් සිහින් කෙඳිරිලි හඬකුත් එක්කම විශාල විලාප හඬක් මුසු කරමින් නිකුත් වී ආ ශබ්දය මද වේලාවකින් දැවැන්ත හඬක් බවට පරිවර්තනය වූයේ ඔහු නොදැනුවත්වමය. මහපොළොව දෙදුරුම්කමින් ඇති වූ විලාප හඬට දූපතේ සියලුම සත්ත්වයින් බිය වන්නට ඇතැයි ඔහුට සිතිණි. විනාඩි කීපයක් ක්රියාවේ ඇදබැඳ තබා තිබූ බියකරු විලාප හඬ තුනි වී සන්සුන් විය. එම අවස්ථාවේම දැඩි නිසසල බවක් දැනුණු අතර එම නිසසල නිහඬ බව අත්භූත යැයි ඔහුට සිතිණි.
තමන් හුන් තැනින් නැගී සිටියත් අඩියක් තබා අඩියක් ගැනීමට තරම් සිරුර ප්‍රමාණවත් නොවන බව ඔහුට හැඟී ගියේය. සිතට ධෛර්යය ගත් ඔහු වහ වහා නවාතැනට පියවර තැබීය. වචන මාලාවකින් ඇසුණු මේ බියකරු විලාපය කුමක්ද? විශාල සතෙකුගේ හඬක්ද? විය නොහැකිය. තම කම්කරුවන් දූපතට පය ගැසූ වෙලේ සිට කියන අත්භූත කතා වරින් වර ඔහුට සිහියට ආවේය. සතෙකුගේ හඬක් නොවේ නම් එය කුමක්ද? එහෙත් තමාට ඒවා ගැන කිසිදු විශ්වාසයක් නොමැති බව නම් සත්‍යයකි. එම නිසා තම කම්කරුවන්ගේ ප්රලාපයන් පිළිගැනීමට පුළුවන්ද?
දහසක් බියකරු සිතිවිලි අතරින් බබළන තරු එළියෙන් සහ තමන්ගේ විදුලි පන්දම ආධාරයෙන් කඳවුරු භූමියට සේන්දු විය. කඳවුරේ සියලුම ලන්තෑරුම් ආලෝකය නිවා දමා තිබිණි. තමාගේ කූඩාරම ඉදිරිපස පහන් කණුවේ පමණක් එක් ලන්තෑරුමක් දැල්වෙමින් තිබූ අතර සියල්ලෝම නිදි සුවය විඳිමින් සිටිති. තමන්ගේ අතවැසි සේවකයා පමණක් ලන්තෑරුම් පහන් කණුව යට නිදිකිරමින් සිටියේය. අතවැසි සේවකයා අවදිකරගත් ඔහු කූඩාරම වෙත ගියේය.
කොහෙද මහත්තයා ගියේ? මම හැමතැනම හෙව්වා. බැරිම තැන තමයි පහන් කණුව යටට වුණේ. ඔහු පැවසීය. මම වෙරළට ගියා... ඇයි ඔබ නිදානොගත්තේ? මම මහත්තයා එනකල් හිටියා. මහත්තයා කෑම හොඳටම සීතල වෙලා. ඔහු අතවැසි සේවකයා බෙදා දුන් කෑම පිඟානෙන් කටක් දෙකක් ගිල දැමීය. ඇති.
ඇයි මහත්තයා කන්න බැරිද? දැන් ගොඩක් රෑ වෙලා. අපි නිදාගමු තම සේවක අතවැසියාට වෙච්ච සිද්ධිය කිව යුතු යැයි ද ඔහු කල්පනා කළේය. කඳවුරේ සියල්ලෝම මෙම දූපතේ හොල්මන්, අවතාර, භූත ක්‍රියා ගැන ඉතාමත් දැඩි ලෙස විශ්වාස කළහ. කම්කරුවෝ සියල්ලම පුරාවිද්‍යා නිලධාරියා සමග වරින් වර නොයෙකුත් තර්ක ඉදිරිපත් කරමින් වාද විවාද කළ වාර අනන්තය. එහෙත් ඔහු කිසි දිනෙක නොපෙනෙන බලවේග ගැන විශ්වාස නොකළේය. එම නිසා තම අතවැසි සේවකයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොකීමට වගබලා ගත්තේය. කෙසේ වෙතත් යටි සිතෙහි නලියන චකිතය නිසා තම සේවකයා තමාගේ නිදන කුටියේ රාත්‍රී විවේක ගැන්වීමට ද ඔහු කටයුතු කළේය.
මහත්තයා සේවකයාගේ කටහඬ අවදි විය. මහත්තයට මම කියන්නමයි හිටියේ. ඔය අඳුර වැටුණට පස්සේ දූපතේ එහා මෙහා ඇවිදින එකනම් ඇඟට ගුණ දෙයක් නොවෙයි කියලා. අතවැස්සා බියමුසු ස්වරූපයෙන් කීවේය.
ඇයි ඒ? නිලධාරියා සේවකයාගෙන් ඇසුවේ පුදුමය දනවන ස්වරූපයකිනි.
මහත්තයා මේක මහා භයානක තැනක්. මට හිතෙන හැටියට මේ දූපත හැමතැනම හොල්මන්, භූතයෝ අරක්ගෙනයි සිටින්නේ. මම නම් අඳුර වැටුණට පස්සේ කඳවුරෙන් එක අඩියක්වත් පිටට තියන්නේ නෑ. අවුරුදු දහස් ගණනක් මහ මුහුද මැද හුදෙකලා දූපතක මොනවද මහත්තයෝ නොතිබෙන්න පුළුවන්. එම නිසා අපි මේ පරීක්ෂණය අවසන් වනතුරු ටිකක් ප්‍රවේශමෙන් කාලය ගත කරමු. සේවකයාගේ අවවාදය අසා සිටි නිලධාරියා තමන්ට රාත්‍රියේ ඇසුණ විලාප හඬ සේවකයාට කියන්නට සිතුවත් එය නොකියාම සිතේ සඟවා ගත්තේය.
හහ් මේකෙ මොන හොල්මන් අවතාරද මනුස්සයෝ.
නැහැ නැහැ එහෙම කියන්න එපා මහත්තයෝ. අපි හෙට මේ පළාතෙන් අපට දීපු දෙමළ කම්කරුවාගෙන් අහල බලමු. ඒ අය මේ වැලිතලාවත් එක්ක පොරබදන උදවිය. මිනිහෙක් බැරිවෙලාවත් රෑ බෝවුණාට පසුව දූපත අසලින් ඔරුවක්වත් පදින්නෙ නැතිලු. මේක මහා මරුමුස් හොල්මන් තිබෙන පාළු ගමක්ලු.
මතු සම්බන්ධයි....
කුලියාපිටියේ
එස්. ප්‍රබෝධ සමරක්කොඩි