පෙනෙන නොපෙනෙන ලෝකය
එම සත්‍ය සිද්ධිය සිදුවූයේ වර්ෂ 1970 එක් ශීත අඳුරු රාත්‍රියකදී ය. වේලාව මැදියම් රැය ද ගෙවී ගොසිනි. මෙම කථාවේ ප්‍රධාන චරිතය වන ඔහු එවකට රත්නපුර, කුරුවිට, කරපිංච කෘෂිකර්ම විදුහලේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු මෙය ලියන මගේද ඥාතියෙකි. ඔහුගේ බිරිඳ බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක සේවය කළ බැවින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය වූයේ බණ්ඩාරවෙල, වැලිමඩ පාරේ, ගොල්ෆ් ලින්ක් පාරේ නිවසකි.
සතියේ වැඩ කරන දින පහ කෘෂි පාසලේ නිලනිවස්නයේ නතර වන ඔහු සෑම සිකුරාදා සවසකම තම නිවහන බලා යාමට, රත්නපුරයෙන් බදුල්ල බලා ගමන් ගන්නා ලංගම බස්රියට ගොඩවෙයි. එම කාල වකවානුවේ දිවයින පුරා ධාවනය වූයේ රජයේ බස් රථ පමණකි.
පැය ගණනාවක වෙහෙසකර බස් ගමනින් පසු බණ්ඩාරවෙල නගරය වෙත ළඟාවනවිට රාත්‍රී දොළහ පසු වෙයි. වර්තමානයේ මෙන් ත්‍රිරෝද රථද නොමැති බැවින් නගරයේ සිට කිලෝමීටර් දෙකක පමණ වූ දුර ද පයින්ම යාමට සිදුවෙයි.
මුළු නගරය පුරාම ඇත්තේ පාළු බවකි. එහෙන් මෙහෙන් දැල්වෙන මලානික විදුලි පහනක් දෙකක් ඇරෙන්නට බොහෝ තැන් අඳුරින් වැසීගොස් ඇත. කොළඹ බලා යන බස්රියක් බලාපොරොත්තුවෙන් රැඳී සිටින අයෙකු දෙන්නෙකු දකින්නට ඇතද මුස්පේත්තු පාළුව අවට රජයයි.
ගත හිරිගඩු නංවා හමාඑන ශීතලය, මුළු ගතම වෙලාගෙන හිරිවට්ටයි. කාර්යාලීය බෑගය එක් අතකට ගත් ඔහු එය ඇර, එතුළ වූ විදුලි පන්දම එළියට ගත්තේය. එකඑල්ලේම අසුන් ගෙන ආ බැවින් දෙපා හරිහැටි දිග නොඅරෙන සේ ය.
මුළු පරිසරයම නිහඬ ය. පාර දෙපසවූ නිවෙස්ද අඳුරේ ගිලී ඇත. ශීතලය උරාගත් පින්න හිමකැට මෙන් තම හිස මත සට සට ගා පතිත වෙයි. ශීතලය මැඩ ගන්නට කර වටා ඔතාගෙන සිටි මෆ්ලරය හිස වටා ඔතා ජටාවක් සේ බැඳගත් ඔහු මඳක් වේගයෙන් පිය ඔසවන්නට වූවේය. තම බිරිඳ නිදි නොමැතිව ඔහු එනතෙක් මග බලා සිටින බව ඔහුට සිහිවෙයි. තමන් ළඟ එන බව කියන්නට වර්තමානයේ මෙන් ජංගම දුරකථන ඒ කාලයේ නොවීය.
අවසන් වංගුවෙන් හැරෙත්ම, හන්දියේ කවුරුන් හෝ රැඳී සිටිනු ඔහුට පෙනේ. මේ වෙලාවේ කවුද මේ? ඔහුට කිසියම් කුකුසක් දැනෙයි. එහෙත් දුර වැඩි බැවින් කවුරුන්දැයි හඳුනාගැනීමටද නොහැකි සේ ය. දුර බැහැරක සිට එන කවුරුන් හෝ කෙනෙකු එනතුරු බලාසිටින අයෙකුවත්ද!
විඩාපත් දෙපය ඔසවමින් ඔහු හන්දිය වෙත ළංවෙයි. තම නිවෙස වෙතට යාමට හන්දියෙන් මැද පාර වෙතට ඔහු අවතීර්ණ වියයුතුය.
හිටිහැටියේ හමා ආ වේගවත් සුළං පහරින් ඔහු අත වූ විදුලි පන්දම බිමට වැටී බෑවුම් දිගේ රෝල් වී ගියේ නිමේෂයකිනි. රුව ඉදිරියේ නතර වූ ඔහු එකඑල්ලේ එදෙස බැලීය.
තම බිරිඳ හා එකම පාසලේ සේවය කරන සෙල්වරාජ් මහතාගේ බිරිඳ ඔහු වහා හඳුනාගත්තේ වික්ෂිප්තවූ සිතකිනි. ඔහුගේ දියණිය ද එම පාසලේම සේවය කරන අතර ඇය තම බිරිඳගේ හොඳම යෙහෙළියයි. ඔවුනගේ එකම පුත්‍රයා වූ දිනාශ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙක් වන අතර සෑම සිකුරාදාවකම තම නිවෙස බලා එයි. බොහෝ සිකුරාදා දිනවල ඔහු කැටිව යාමට සෙල්වරාජ් මහතා හන්දියට පැමිණ සිටින බව අප කථා නායකයා ද දනී.
‘මිසිස් සෙල්වරාජ්.......?’
වික්ෂිප්තවූ හඬින් විමසමින් ඔහු ඇය ඇමතීමය. වෙනදා දකින සුහද සිනහව ඇය වෙත දකින්නට නොමැති බවත්, අවුල්ව ගිය හිසකේ හා රත්ව ගිය දෙනෙතත් ඔහු තුළ කුකුසක් පහළ කරයි.
‘ඇයි මේ තනියම.......... මිස්ට සෙල්වරාජ් ආවෙ නැද්ද?’
ඇයගේ මුහුණ වෙනස් විය. එහි ලියැවී ඇත්තේ වේදනාත්මක බවකි. වික්ෂිප්ත බවකි.
‘එයා වෙනුවට අද මම ආවා....’
ඇයගේ ස්වරයේ වූයේ ගොරහැඩි බවකි.
පැය ගණනාවක බස් ගමන නිසාම මහත් සේ විඩාවට පත්ව සිටි ඔහුට අවැසිව තිබුණේ වහා තම නිවෙස වෙතට යන්නටය.
‘එහෙම නං...... මම යන්නම් ...... මිසිස් සෙල්ව රාජ් ..... මගෙ ටෝච් එකත් අතන පල්ලමට වැටුණනෙ....’ එසේ කියමින් ඇයගෙන් සමුගත් ඔහු පහළ බෑවුමට තිබුණු මාවතට ගොඩ වූයේය. එහා කඳුවැටිය දෙසින් නරින්ගේ හික්කි හූවත් ඒ සමගම මතුවූ බල්ලන්ගේ උඩුබුරාලෑමත් එක් කළේ අද්භූත බවකි. පහළ මිටියාවතේ දේවදාර ගස් අතරින් තම නිවෙස ඉදිරිපස දැල්වෙන විදුලිපහන් එළිය ඔහු තුළට මහත් සහනදායී බවක් දැනවූවේය.
ඔහු දෙරට තට්ටු කළේ තම සෙනෙහෙබර බිරිඳගේ මුහුණ දකින්නටය. එහෙත් දොර ඇරියේ තම නිවෙසේ සේවිකාව වූ කැතරිනා නැන්දාය. ඔහු අත වූ බෑගය ගෙන මේසය මත තැබූ ඇය නැවත දොර වසා දැමුවාය.
‘කෝ..... නෝන.... නිදිද?’
අවට දෙනෙත් විදහලමින් ඔහු ඇසීය.
‘නෝනා.... මළගෙදර ගියානෙ.. මට කිවුව මහත්තයා ආවම කෑම බෙදල මේසෙට අරින්න කියලා.... මං විජහින් කෑම ටික රත්කරල ගන්න. මහත්තයා ඇඳුම් මාරු කරන් එන්නකො මහන්සිත් ඇතිනේ....’
සේවිකාව වුවද ඇය ඔවුනට බොහෝ හිතවත්ය.
‘කාගෙද මළගෙදර නැන්දෙ...?’ කුතුහලයෙන් යුතුව ඔහු ඇසීය.
‘ඇයි මහත්තයො.... සෙල්වරාජ් නෝනා හවස අන්තරාවෙලා නෙ.... පපුවෙ අමාරුවකින්...... හවස හයාමාරට විතර තමයි සෙල්වරාජ් මහත්තයගෙ දුව කෝල් කරලා කීවේ.... දෙන්න හොඳ යාළුවො නෙ... අනේ හරිම යහපත් මනුස්සය’
එම වදන් ඔහුගේ දෙසවන් තුළට දැනුණේ හෙණ පහරක් පතිත වූවාක් ලෙසිනි. කන් අදහා ගත නොහැකිව ලොකු කර ගත් නෙතින් ඇය දෙස බලා ගත්වනම ඔහු වහා එතැනවූ පුටුව මතට ඇද වැටුණේ කපා දැමූ කෙසෙල් කඳක් මෙනි.
‘මොනවා! මං එතකොට හන්දියෙදී දැක්කෙ අවතාරයක්ද?
සෙල්වරාජ් නෝනා හන්දියෙ හිටියනෙ මං දැන් එනකොට..’
ඒ වදන් ඔහුගේ මුවින් පිටවූවා පමණකි. වහා ඉදිරියට පැන්න කැතිරින් නැන්දා අත දිගු කර වැරෙන් පහරක් ඔහුගේ කම්මුල වෙත පතිත කළාය. සැනෙකින් ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්විය.
‘මහත්තයා දැකල තියෙන්නෙ සෙල්වරාජ් නෝනගෙ අවතාරෙ..... ඒත් මහත්තයො ඕං තේරුණද අම්ම කෙනෙකුගෙ දරු සෙනෙහස..... තමන්ගෙ පුතා මහ රෑ එනව කියල දන්නවනෙ....... හන්දියට වෙලා දරුව එනකල් බලා ඉන්නවා....’
ඇය මවකගෙ දරු සෙනෙහස විග්‍රහ කළාය.
දියලගොඩ ස්වර්ණා ජයවර්ධන