මීගමුවේදී මිනී මැරූ පාකිස්ථාන පාතාලය


දඩබ්ම

 

  • විරුද්ධ කල්ලි සගයා ඝාතනය කරන්න ලංකාවට ඇවිත් ආපසු පාකිස්ථානයටත් ගිහින්

 

2016 වසරේදී පකිස්ථානයේ සිට බට් සංවීර් නමැත්තා මෙරටට පැමිණ ඇත්තේ සරණාගතයකු වශයෙනි. මොහුත් සමග පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණි සංඛ්‍යාව 300 කට ආසන්න බව කියති.   


ඔවුන් පැමිණියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙනි. පකිස්ථානයේ සිට ආ මේ සරණාගතයින් පිරිස ලැගුම් ගෙන සිටියේ මීගමුව හා ඒ අවට ප්‍රදේශවලය.   


පාස්කු ප්‍රහාරයත් සමගම බියට පත් වූ පකිස්ථාන් සරණාගතයින්ගෙන් පිරිසක් ආරක්ෂාව පතා මීගමුව මූලස්ථාන පොලිසියට ද ඉතිරි පිරිස පස්යාල ප්‍රදේශයේ ආගමික ස්ථානයකටද ගොස් ලැඟුම් ගත්හ.   


මීගමුව පොලිසියට ආරක්ෂාව පතා ආ පිරිස අතරේ ඝාතනයට ලක් වූ පකිස්ථාන් ජාතිකයා ද සිටියේය.   
මීගමුව පොලිසියේ රැකවරණය පැතූ පිරිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයට යැවූ අතර බට් සබීර් මීට මාස හයකට පමණ පෙර මීගමුව කට්ටුව හිර ගෙදර පාරේ ගොඩනැගිල්ලක කාමරයක් කුලියට ගෙන එහි පදිංචියට පැමිණ තිබේ. දිනය පසුගිය 23 වැනිදාය. වේලාව රාත්‍රී 10.30 ට පමණ ඇත.   
ස්ථානය - මීගමුව කට්ටුව සිර කඳවුර පාරේ දෙමහල් ගොඩනැගිල්ලකි.   


ඒ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි කාමරයක මර ළතෝනි හඬක් ඇසුණේ එදින රාත්‍රියේ පරිසරයේ නිසලතාව බිඳ දමමිනි.   
මර ළතෝනිය කන වැකුණු අසල්වැසි කාන්තාවක් නින්දෙන් අවදි වී ඒ ගැන අවට පිහිටි නිවාස වල අයට ද දැනුම් දුන්නේය.   
අවට සිටි පිරිස් පැමිණ විපරම් කර බැලූ විට දුටු දර්ශනයෙන් ඔවුහු භය බිරාන්ත වී ගියහ.   
ගොඩනැගිල්ලේ උඩු මහලේ කාමරයක පදිංචි වී සිටි සරණාගත පකිස්ථාන ජාතිකයා ලේ විලක් මැද මරා දමා තිබිණ.   
ඒ මොහොතේම මීගමුව මූලස්ථාන පොලිසිය දැනුම්වත් කර ඇත. මීගමුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්.එස්. ජයනාත් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය දැනුම් දුන් මොහොතේම අපරාධය සිදු වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ. පකිස්ථාන් ජාතික සරණාගතයා මරා දමා ඇත්තේ කපා කොටා බව පොලිස් කණ්ඩායමට පෙනී ගොස් ඇත.   


මළ සිරුර තිබූ කාමරයේ දී හමු වූ ලේ තැවරුණු මන්නා පිහිය ඊට හොඳම සාක්ෂිය විය.   
කුමන හේතුවක් මත කවුරු විසින් මේ ඝාතනය කළා ද යන්න පොලිසියට විසඳා ගතයුතු කරුණු කාරණා විය.   
ඒ නිසා එය ලොකු අබිරහසක් බවට පොලිසියට එ්ත්තු ගියේය.   
බට් සබීර් නැමැත්තාගේ සහෝදරයෙක් පදිංචිව සිටින්නේ ජර්මනියේය. ඔහු සුල්පිකාර් හමායම් බට්ය. තම සහෝදරයා ශ්‍රී ලංකාවේ දී ඝාතනය කර ඇති බව දැනගත් ඔහු ජර්මනියේ සිට දුරකථනයෙන් මීගමුව මූලස්ථාන පොලිසියට කතා කර මේ ඝාතනය ගැන පරීක්ෂණ මෙහෙයවන පොලිස් පරීක්ෂක ජයනාත් මහතා සම්බන්ධ කරගෙන ඇත.   
මගේ සහෝදරයා පකිස්ථානයේ ජෙකී බුරා නගරයේ කේබල් රූපවාහිනි සේවාවක් කරගෙන ගියා. ඒ ඉදිරිපිටම තවත් කෙනෙක් ද කේබල් රූපවාහිනි සේවාවක් ආරම්භ කර තිබුණා. මගේ සහෝදරයාගේ කේබල් රූපවාහිනි සේවාව නතර කරන්න කියා එම තැනැත්තා තර්ජනය කර තිබුණා.   
එම සේවාව වසා නොදැමුවොත් සහෝදරයා මරා දමන බවට ද ඔහු තර්ජනය කර තිබුණා. ඒ බව මගේ සහෝදරයා මට ජර්මනියට කතා කර කිව්වා යැයි සුල්පිකාර් පොලිස් පරීක්ෂකවරයාට කියා තිබේ.   


බට් සබීර්ගේ වැඩිමල් සහෝදරයා වන හමායම් බට් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පකිස්ථාන ජාතිකයින් තිදෙනෙකුට රටින් පිට වී යාමට තහනම් කරමින් නියෝගයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට පොලිසිය කඩිනමින් පියවර ගත්තේය.   
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ තුන් දෙනාම රටින් පිටවීම වළක්වා ලමින් ලබා දුන් අධිකරණ නියෝගය යවා ඇත.   
පකිස්ථාන් ජාතික සරණාගතයා ගැන ද පොලිසිය තවත් තොරතුරු සොයා ගත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගෙනි. මෙම ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයා ද බට් සබීර්ගේ ගජ මිතුරෙකි. බට් සබීර් මගේ හොඳම යාළුවෙක්. අපි දෙන්නා ළඟින්ම අැසුරු කළා. ඔහු පකිස්ථානයේ මිනී මැරුම් දෙකකට සම්බන්ධ කෙනෙක්. ඒ විතරක් නෙමේ. ඔහු තවත් අපරාධ 15 කට විතර සම්බන්ධ වෙලා එරට පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටියා. මේ තොරතුරු බට් සබීර් මාත් එක්ක කියා තිබුණා.   
බට් සබීර්ගේ ශ්‍රී ලාංකික මුස්ලිම් මිතුරා ඔහුගේ කැරැට්ටුව පොලිසියට හෙළි කර ඇත්තේ එලෙසය.   
එ් අතරතුර බත්තරමුලේලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට වීසා දික්කර ගැනීමට පාකිස්ථාන ජාතිකයෙකු පැමිණියේ ජනවාරි මාසයේ 2 වැනිදාය.   
අාගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයේ පරිගණක පද්ධතියේ මෙම පකිස්ථාන ජාතිකයා බට් සබීර්ගේ ඝාතනයේ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ලෙස ඇතුළත්ව තිබිණි.   


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොලිස් මුර පොළේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම පකිස්ථාන් ජාතිකයා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත බාර දී ඇත. මොහු කොළොන්නාවේ පදිංචි වහබ් අබ්දුල් නමැති 31 හැවිරිදි පකිස්ථාන් ජාතික සූපවේදියෙකි. ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවක් විවාහ කරගෙන 2012 වසරේ සිට කොළොන්නාවේ පදිංචිව සිටින මෙම සූපවේදියා එක් දරු පියෙකි.   
පකිස්ථාන් ජාතික සරණාගතයාගේ ඝාතනය සම්බන්ධව පොලිසියට අවශ්‍ය කරන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලෙස සැලකෙන මොහාමඩ් ෂාරුක් සහ වකාස් අලි යන දෙදෙනා ඝාතනයෙන් පසු දින එනම් දෙසැම්බර් 24 වැනිදා පකිස්ථානයට පලා ගොස් ඇත.   


ඒ කටුනායක ගුවන් තොටුපොළෙනි.   


මොහොමඩ් පාරුක් හා වකාස් අලි යන දෙදෙනා පකිස්ථාන් පාතාල කල්ලියක සාමාජිකයන් බවට ද තොරතුරු පොලිසියට ලැබී තිබිණ.   
මොවුන් දෙදෙනා බට් සබීර්ගේ ඝාතනය සඳහා පකිස්ථානයේ සිට පැමිණ ලැඟුම් ගෙන ඇත්තේ කොළොන්නව විජයපුර පිහිටි වහබ් අබ්දුල් නමැත්තාගේ නිවසේය.   
ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය ගැන සාකච්ඡා කර සැලසුම් කර ඇතැයි කියන්නේ එම නිවසේ සිටය.   
මෙම ඝාතනය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව බාර ගත් බව කියන කොළඹ 12 කුමාර දොරටුව පදිංචි මොහොමඩ් ෂරිප් මොහොමඩ් නිස්මි (අවු. 53) නමැත්තා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 04 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.   
මොහොමඩ් නස්මි නමැත්තා පොලිසිය කොටු කර ගත්තේ වහබ් අබ්දුල් නමැත්තා හෙළි කළ තොරතුරු අනුවය.   
ඊළඟට පොලිස් අත්අඩංගුවට පත් වන්නේ කොළඹ මට්ටක්කුලියේ පල්ලිය පටුමඟ පදිංචි මොහොමඩ් පරිෂාන් මොහොමඩ් නුස්කින් (23) නමැත්තෙකි. අවසානයේ පොලිසිය කොටු කර ගත්තේ ඝාතකයින් දෙදෙනා මීගමුවට රැගෙන ගිය බව කියන මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාරේ පදිංචි මොහොමඩ් සිදර් මොහොමඩ් ඉර්ෆාන් (අවු. 37) යන ත්‍රිරෝද රථ රියැදුරාය.   


එක් පකිස්ථාන් කාරයෙක් කොළඹදී මගේ ත්‍රීවීල් එකට ගොඩ කර ගත්තා. අනෙකා මීගමුවේදී ත්‍රීවීල් එකට ගොඩවුණා. මීගමුව දළුපත සිර ගෙදර පාරේ ගොඩනැගිල්ලක් ළඟ ත්‍රීවීල් එක නතර කළා. අපි තුන් දෙනාම ඉහළ මාලයට ගොඩවුණා. කාමරයක් පෙන්වලා ඒ කාමරයේ දොරට තට්ටු කරන්න කියා කිව්වා. මම දොරට තට්ටු කළාම පකිස්ථාන ජාතිකයෙක් ඇවිත් දොර ඇරියා. ඒ වෙලාවේ එක පාරටම මාත් එක්ක ත්‍රීවීල් එකෙන් ආ පකිස්ථාන් ජාතිකයන් දෙන්නා මාවත් පෙරළාගෙන කාමරයට කඩා වැදුණා.   
කාමරයේ හිටිය පකිස්ථාන් කාරයාට දිගට හරහට මන්නා පිහි වලින් කොටන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ දෙන්නා මගේ ත්‍රීවීල් එකේ නැගලා ඇවිත් පෙරියමුල්ල හංදියෙන් බැහැලා ගියා. මම ගෙදර ආවා. මේ වැඩේට ආවාට ලක්ෂ 03 ක මුදලක් මට ලැබුණා. පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා සිද්ධිය ගැන එසේ පොලිසියට පාපොච්චාරණය කර ඇති බව කියති.   
එම ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.   
පකිස්ථානයට පලා ගිය දෙදෙනා එරටේ සිට උන්ඩිල් ක්‍රමයට ලක්ෂ 02 ක පමණ මුදලක් ද මුලින්ම සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාට එවා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.   


ඉතිරි ලක්ෂයක මුදල මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ බැංකු ගිණුමකට එවීමෙන් පසු ඔහු එම මුදල සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා අතට පත් කර තිබෙන බවට ද තොරතුරු අනාවරණය විණි යැයි ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් කීය.   
පකිස්ථාන් ජාතික සරණාගතයා ඝෘතනය කිරීමට ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම ආධාර උපකාර කිරීම වෙනුවෙන් තවත් කිසිම මුදලක් ඔවුන්ගෙන් ලබා නොගත් බව සෙසු සැකකරුවන් තිදෙනා පවසන නමුත් එය විශ්වාස කළ නොහැකි බව පොලිසිය කියයි.   
ඝාතනයෙන් පසු පකිස්ථානයට පලා ගිය මොහොමඩ් ෂාරුක්, වකාස් අලි යන දෙදෙනා අල්ලා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇත.   
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට 6 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය.   


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව සහකාර පොලිස් අධිකාරි රංජිත් කොට්ටහච්චි මහතාගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්.එස්. ජයනාත්, උප පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප්, පොලිස් සැරයන් නිශාන්ත (21862), පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා (45148), නානායක්කාර (33074) සහ දිසානායක (37934) යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.   

 


සටහන  
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූප - මීගමුව හියුබට් ප්‍රනාන්දු