මීවිත-ගී පොත සහ ලලනාව අතරේ මිහිර සෙවූ කවියා ඔමාර් ඛයියාම්


ඔහුගේ නම ඔමාර් ඛයියාම්   
එන්න පුරවන්න මී විත   
ඔබ සිසිර වත - දමන්න වසත් සමයේ ගින්නට   
කාල විහඟාගේ පියඹුම ළඟයි නිමවන්න   
පියාපත් සලා - අන්න ඌ ඉගිලෙයි 

 
ජීවිතය පිළිබඳ අපූර්වතම ආකල්පයක් සහෘද සන්තානගත කිරීමේ ප්‍රයත්නයක නිරත මොහු දාර්ශනිකයෙක්, ලෝකායත වාදියෙක් හා විශිෂ්ට ගණිතඥයෙක් ලෙසින් ද ප්‍රකටය.   
එහෙත් අප වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ ප්‍රතිභාපූර්ණ, සෞන්දර්යවාදී කවියෙකු විලසිනි.   


ඔහු ඔමාර් ඛයියාම්.   


මුළු නමින් හඳුන්වෙතොත් - ඔමාර් ඉබ්න් ඊබ්‍රාහිම් ඛයියාම්.   


කුඩාරම් තනන්නෙකු වන ඊබ්‍රාහිම්ගේ පුත්‍ර යන අරුත් දෙන ඊබ්‍රාහිම් ඛයියාම් යන සඳහනින් ඔහුගේ පියාගේ නමත් ජීවන වෘත්තියත් හෙළිවේ. ක්‍රි.ව. 1048 මැයි 18 වන දින පර්ෂියාවේ නිශාපූර් නගරයේ දී මොහු ජන්ම දායාදය ලැබීය. ඔහු අතින් පැබැදුණු ගුප්ථාර්ථයන් කැටි වූ රුබය්යාට් කාව්‍ය මෙන්ම ඛය්යාම්ගෙ දිවි පෙවෙත ද ගූඪ අද්භූත එකක් වූ බව, ඔහුගේ දිවි පෙවෙත තුළින් විද්‍යමාන වේ. නිශාපුර් හි ඉමාම් මොව්වාක් නමැති ආචාර්යවරයා යටතේ හෙතෙම ශිල්ප හැදෑරීය.   


අනතුරුව බලාශූ ඉස්ලාමිය ශාස්ත්‍ර පීඨයට පිවිස අධ්‍යාපනය ලබද්දී ඔහුගේ සිත වැඩි වශයෙන්ම ගණිත ශාස්ත්‍රය කෙරෙහි යොමු වූ බැව් පැවසේ. ඔහු විසින් කරන ලද පර්​ෙ‌ය්ෂණාත්මක වාර්තා ඇතුළත් කොට ගණිතමය ප්‍රහේලිකා හා විසඳුම් නමින් කෘතියක් පළ කළේය. එ ඔහු අතින් ලියවුණු ප්‍රථම ශාස්ත්‍රීය කෘතිය වශයෙන් සැලකේ. පර්ෂියානු බසින් රුබය්යාට් යන්නෙන් පද සතරකින් යුක්ත පද්‍යයන්ගෙන් සමන්විත කාව්‍ය යන අරුත් පැනේ. මුල්ම පද තුනෙන් කිසියම් අදහසක් විකාශනයට පමුණුවා එහි මූලික හරය සතර වන පාදයෙන් අවධාරිතාව පැවසීම රුබය්යාට් කාව්‍යයෙහි දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණයකි. රුබය්යාට් කාව්‍ය තුළින් ඛය්යාම්ගේ මුළු මහත් අධ්‍යාත්මයත් බුද්ධි විෂයීය ජීවිතයත් අපට පැහැදිලිව දැකිය හැකිය. ඔහු සුරාව කෙරෙහි දැක්වූයේ අසීමිත භක්තියකි.   


ඛයියාම් රුබය්යාට් කාව්‍ය තුළින් සුරා විත අරුම, මානව සිත් සතන්හි කුළු ගන්වන්නට දැරූ ප්‍රයත්නය අපට මෙසේ උපුටා දැක්විය හැකිය. 

 
“දිවිය සුරාව ම වේ.   
තුන් සිත ම සනහන   
කුසලානෙහි ලූ සුරාව සේ   
දිවිය ද ටිකින් ටික සිඳලමින්   
මරණය හනි හනික   
ජීවිතය ලුහුබඳී   
එසඳ සුරාව පානයෙහි   
යුහුසුළු වීම යහපති”   
“තමා වැළඳ ගත් දුක ද   
නුදුරෙහි ම දුක් එළඹෙතැයි බිය ද   
මිනිස් සිත සදාකාලෙන් සදාකාලෙට   
සසල කරවයි   
නිරතුරුව ම හද දවන   
සෝතැවුල් පලවා හරිනා   
එක ම මඟ සුරාවයි   
හිරු අවරට යන්නට පෙරාතුව   
මරණය ඔබ වැළඳ ගනු නිසැක   
වහ වහා සුරාපානයට   
නොපමා වන්න”


කාව්‍යමය ගුණය ද ගිලිහී යා නොදී, සුරාවෙහි ඇති අාහ්ලාදජනක ස්වභාවය නිරූපණය කිරීමට ඛය්යාම් මහත් සාමාර්ථයක් දක්වා ඇති සෙයක් දිස්වේ.   


රුබය්යාට්හි ඇතැම් පද්‍යයන් මගින් කිසියම් සියුම් ජීවන දර්ශනයක් ද සහෘද සිත්හි මනබන්ධනීය ලෙසින් සිත්තම් කරන්නට හේ සාර්ථක උත්සාහයක් ගෙන ඇත.   


“පැතුම් සඵල වූවන් ද   
පැතුම් කඩ වූවන් ද   
එක්වන්න මියැදෙති   
මරණය කෙළවර   
පැතුම් සඵල වුවද   
පැතුම් බිඳී ගිය ද   
වෙනසක් නොදක්නෙමි”   
“මිනිසුන් කරා   
දුක් කම්කටොළු එළැඹි සඳ   
අහසට අත් යොමා   
පිළිසරණ අයැදීම   
කෙතරම් නිශ්ඵල ද   
යටිකුරු කර නමාලූ   
හිස් බඳුනක් වන් අහසද   
අප මෙන්ම අසරණය”   


රුබය්යාට් කාව්‍ය ලිවීමේ දී ඔමාර් ඛය්යාම් වෙත එවකට භාරතයේ ප්‍රචලිතව පැවති ගූඪ ආගමක් වූ ශාක්ත වාදය බලපා ඇති බව විද්වතුන්ගේ මතයයි. ඔවුන්ගේ ප්‍රධානතම පූජා විධිය පංච තත්ත්වය නමින් ව්‍යවහාරයේ එයි. මත්පැන්, මත්ස්‍ය මාංශ, බඳින ලද ධාන්‍ය, සංගීතය, ලිංගික ආශ්වාදය යන අංග පස පංච තත්ත්වය නම් වූ ඒ පූජා විධියට ඇතුළත්ය.   
පසිඳුරන්ට ගොදුරු නොවන කිසිවක් කෙරෙහි ඔහු තුළ විශ්වාසයක් නොමැති බව රුබය්යාට් කාව්‍යයේ පද්‍යයන් තුළින් විද්‍යමාන වේ. උපත හා මරණය ස්වභාවික සංසිද්ධියක් ලෙසින් සැලකූ ඔහු, ආගම් අරුත් විරහිත ලෙස සලකා අවඥාවෙන් බැහැර කළේය.   


ඛය්යාම් ගණිත විද්‍යාව, කාව්‍ය ප්‍රබන්ධය පමණක් නොව කෙටි කතා කරණය කෙරෙහි ද රුචියක් දැක්විය. රැයාමයක නුවන සහ යටි සිත අතර ඇති වූ පිළිසඳරක ස්වරූපයෙන් ගෙතී ඇති කිත නමැති කෙටි කතාව රසවත් ප්‍රබන්ධයක් වශයෙන් අප කාගේත් සැලකිල්ලට යොමු විය යුතු කෘතියකි. අවිවාහකයෙකු වශයෙන් ජීවත් වූ ඔමාර් විවාහය පිළිබඳ නැණසෙහි අදහස විමසීය.   


“සතියක මිහිර වස් ගණනකි හිරිහැරය.”   


යනුවෙන් නුවණ දෙන පිළිතුරෙන් විවාහය කෙරෙහි ඔහු කෙබඳු අන්දමේ මතයක් දැරුවේද යන්න පැහැදිලි වේ.   


ඕමාර් ඛය්යාම් තමා මැරෙන දිනය හා වේලාව කල් ඇතිව දැන සිටි ලෙස පැවසේ. 1123 වසරේ එක් දිනක ඛය්යාම් ඉබන් සිනාගේ අල්හාථා නම් ප්‍රකරණය කියවමින් සිට වහා එම පොත වසා තැබීය. අනතුරුව ඔහු පූජකයින් ගෙන්වා තමා සතුව පැවැති සියල්ල ඔවුන් වෙත පවරා, එදින තමා පෙහෙවසින් ගත කරන බව සැල කළ සිටියේය. එදින සැඳෑ භාගයේ දෙව් මැදුර වෙත ඛය්යාම් හිස නමා “දෙවියනි ඔබ මට දායාද කළ ශක්තිය යොමා ඔබ හඳුනා ගන්නට උත්සහ කළෙමි. ඔබ වෙත ළඟා වන්නට මට තිබූ එකම මඟ ඔබ පමණි. මාගේ ප්‍රමාදයන්ට කමා කළ මැනවි.” මෙම ආයාචනය නිම වීමත් සමග ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ බව පර්ෂියානු ජනප්‍රවාදයේ එයි.   


තමා මියගිය පසුව මිදියෙන් කළ සුරාව පොවන මෙන්ද, තම මළ සිරුර සුරාවෙන් දෝවනය කොට මිදි පත්‍රයෙන් වියූ වස්ත්‍රයකින් ඔතා මිදි උයනක් අසබඩ වළලන ලෙසට ඛයියාම් අවසන් ඉල්ලීමක් කර ඇත.   


ඛය්යාම් සුරාවට පමණම රෝස මල්වලට ද බෙහෙවින් ඇළුම් කළ පුද්ගලයෙක් ද විය. තමා මියගිය පසු භූමදානය කරනු ලබන්නේ රෝස මල් විසිරෙන බිම් පියසක යැයි හේ වරක් තම ශිෂ්‍යයෙකුට පවසා තිබුණි. ඕමාර් ඛය්යාම්ගේ අභාවයෙන් කලකට පසුව ඔහු සුසානය අසලට ගිය එම ශිෂ්‍යයා විමතියට පත් කරවන සුළු දසුනක් දක්නට ලැබිණි. කිවියාගේ සොහොන මත රෝස මල් විසිරී තිබිණ. තම ගුරුවරයාගේ සිරුර වළලා තිබුණේ රෝස උයනයක් අසබඩ බව වටහා ගැනීමට ශිෂ්‍යයාට මද වේලාවක් ගත විය.