යුද සමයේ සැඟවුණු කතා
යුද්ධයේ අවසන් සටන නැතහොත් හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භ ෙවන්නේ දෙදාස් හයේදීය. ඒ එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්ව වසාදැමීමත් සමග බොහෝ පාර්ශ්ව දැන් ඉතිං සාමය පැත්තක තබා යුද්ධයකට යා යුතු යැයි රජයට කළ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසය යන්න සමාජගත වී ඇති කතාවය. එහෙත් එහි තවත් නොදන්නා කතා රැසක් ඇති බවද එකල යුද්ධයට නායකත්වය දුන් හමුදා නිලධාරීන් කියන කතා අනුව පෙනෙන්නට තිබේ.
මේ එවැනි කතාවකි. ඒ අත්දැකීම අපත් සමග බෙදාගන්නේ විශ්‍රාමික බ්‍රිගේඩියර් රණවිරු සේනක විජේසූරිය මහතාය.
ඒ කාලය සාමගිවිසුමක් අත්සන් කරලා සාමය තියෙනවා කියලා දෙපැත්තෙන්ම යුද ප්‍රකාශ නොකර හිටපු කාලයක්. ඒත් අපි දැනගෙන හිටියා මෙවැනි සාම කාලය එල්ටීටීඊය යොදාගන්නේ තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න බව. ඒ නිසා අපිත් කොයි වෙලාවක හෝ එල්ටීටීයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට සූදානමින් තමයි හිටියේ. අපි අපේ කණ්ඩායම් පුහුණු කළා. කඳවුරු අලුත් කළා. බංකර් හැදුවා. බුද්ධි නිලධාරීන් යොදවා සතුරාගේ තොරතුරු රැස්කළා. සිවිල් ජනතාව වෙසෙන ගම්මාන වලින් අපට ඔත්තුකරුවන් ඇතිකර ගත්තා. කඳවුරු හා බංකර් අවට ප්‍රහාරයක් ඇති වුවහොත් ප්‍රතිචාර දැක්වීමට රැක සිට පහරදීමේ කණ්ඩායම් යෙදෙව්වා. සතුරාගේ වෙනස්කම් නිරීක්ෂණයට ඔවුන්ගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් පිළිබඳව හඬට ඇහුම්කන්දීමට ඇහුම්කන්දීමේ මුර කණ්ඩායම් යෙදෙව්වා. ඒ නිසා අපි හැමවිටම සතුරා සම්බන්ධයෙන් අලුත් තොරතුරුවලින් දැනුවත් වෙමින් තමයි හිටියේ.
අපිට එදා නාවික හමුදාවෙන් තොරතුරක් ලැබුණා මිලිමීටර් 122 කාලතුවක්කු අවි දෙකක් සාම්පූර් පැත්තට ගෙනියනවා ඒ ගැන සොයා බලන්න කියලා. ඒක ගෙනියන්නේ වාකරේ සිට සාම්පූර්වලට. අපි කළපුව පැත්තට ගිහින් බැලුවාම අපි දැක්කා මේවා ගෙනියනවා. ඒක ගෙනිහිං නාවුක හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ඉතිං සාමයක් කොහෙත්ම නැහැ.
එදා දෙදාස් හය වසරේ ජූලි තිස්වැනිදා. අපි හිටියේ ත්‍රිකුණාමලය දකුණ කට්ට පරිච්චාන්, සෙල්වනගර්, පහළ තෝපූර් ප්‍රදේශයේ. ඒ දවස්වලම තමයි යුද හමුදා මූලස්ථානයේදී එවකට යුද හමුදාපති වූ ජෙනරල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙන්නේ. එහෙම දෙයක් සිදුවුණාට පස්සේ මොන සාමයක්ද? ඒ වගේම අපි හිටපු තැනට කිලෝමීටර් විසිපහක් විසිහයක් වගේ දුරින් තමයි මාවිල්ආරු සොරොව්ව තිබුණේ. මේ වෙනකොට සොරොව්ව වහලා දින කීපයක් වෙනවා. සොරොව්ව මුදාගැනීම සඳහා මෙහෙයුමක්ද ඒ වෙනකොට ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපේ හමුදාවෙන් විශාල පිරිසක් එතැනට යොදවලයි තිබුණේ.
මම ඒ කාලේ මේජර්වරයෙක්. ඒ වගේම හත්වැනි ශ්‍රීලංකා පාබල හමුදාවේ දෙවැනි අණදෙන නිලධාරී. අණදෙන නිලධාරි නිවාඩු හිටියේ. අපි ප්‍රදේශය කොටස් කීපයකට වෙන් කරලා අණදෙන නිලධාරීන් කීපදෙනෙක් යටතේ තමයි මෙහෙයුම් සිදුකළේ. මම හිටියේ පහළ තෝපුර්වල. ඒක තමයි ප්‍රධාන කඳවුර. ඇල්ෆා කණ්ඩායම නැත්නම් ඒ කණ්ඩායම පන්සල් වත්ත කොටසේ. ඒ කොටසේ ලුතිනන් අනිර හේරත් අණදෙන නිලධාරී ලෙසත්, සෙල්වනගර් කියන බී කොටසේ කපිතාන් කුමාර, හැට හතරේ කණුව කියන සී කොටසේ කපිතාන් අමිල පෙරේරා, කට්ටපරිච්චාන් කියන ඩෙල්ටා නැත්නම් ඩී කොටසේ වැඩබලන අණදෙන නිලධාරි ලෙස කපිතාන් ඇලෙක්සැන්ඩර් තමයි කටයුතු කළේ. පහළ තෝපූර්වල ප්‍රධාන කඳවුරේ මාත් සමග කපිතාන් කුසල් ගුණසේන හිටියා. විධායක නිලධාරි ලෙස කපිතාන් දේවප්‍රිය හිටියා. ඒ වගේම බුද්ධි නිලධාරී ලෙස ලුතිනන් අනුරආරච්චි හිටියා.
අපිට එදා නාවික හමුදාවෙන් තොරතුරක් ලැබුණා මිලිමීටර් 122 කාලතුවක්කු අවි දෙකක් සාම්පූර් පැත්තට ගෙනියනවා ඒ ගැන සොයා බලන්න කියලා. ඒක ගෙනියන්නේ වාකරේ සිට සාම්පූර්වලට. අපි කළපුව පැත්තට ගිහින් බැලුවාම අපි දැක්කා මේවා ගෙනියනවා. ඒක ගෙනිහිං නාවුක හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ඉතිං සාමයක් කොහෙත්ම නැහැ.
එදා රෑ අපි ඇහුම්කන්දීමේ මුරයක් යැව්වා. මේක යවන්නේ හතර පස්දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස කඳවුරේ සිට මීටර් හයසීයක් වගේ දුරකට තමයි. සෙල්වනගර් වලිනුත් රැකසිට පහර දීමේ මුරයක් එදා යොදවලා තිබුණා උප්පුරායි පැත්තට.
රෑ දොළහයි විස්සට විතර අපේ විධායක නිලධාරිට පණිවුඩයක් එනවා අපේ ඇහුම්කන්දීමේ මුරයට සතුරා වෙඩි තැබීමක් කරලා කියලා. ඒ පණිවුඩේ මගේ ළගට ආවාම අපි තීරණය කළා වහාම ඔවුන්ව කඳවුර තුළට ගෙන්වා ගන්න. අපි සංඥා මැදිරියට ගිහින් මේ කාර්යය මෙහෙයෙව්වා. ඒ ප්‍රහාරයෙන් අපේ තුන් දෙනෙක් තුවාල ලබලා තිබුණා. ඒ අය ගෙන්වා ගන්න අතරෙත් සතුරා පහර දුන්නා. අපි අනෙක් කඳවුරුවලටත් දැනුම් දුන්නා ප්‍රහාරයකට සූදානම් වෙන්න කියලා.
මේ අතරේ අපිට මිලිමීටර් 122 කාලතුවක්කු ප්‍රහාර දෙකක් එල්ල වුණා. එයින් අපේ දේපළවලට මිසක් අපි කාටවත් හානියක් වුණේ නැහැ. ඊට පස්සේ පණිවුඩ ආවා අපේ සෙල්වනගර් හා කට්ටපරිච්චාන් කඳවුරටත් ප්‍රහාර එල්ලකිරීමේ සූදානමක් තිබෙනවා කියලා. කට්ටපරිච්චාන්වලට ටිකකින් පහර දෙන්න ගත්තා. ඒ වෙනකොට කට්ටපරිච්චාන් කඳවුරේ හිටියේ අපේ විසිතුන් දෙනයි. අනෙක් අය තැන් තැන්වල පරීක්ෂණ මුර සේවාවන්ට යොදවලා. ඒ නිසා අපේ තැන් තැන්වල පරීක්ෂණ සඳහා යොදවා සිටි නිලධාරීන් සියලු දෙනා අපි කට්ටපරිච්චාන් කඳවුර තුළට යැව්වා. මේ සේරම කළේ සටන යන අතරේ. කඳවුරේ දකුණට වෙන්න තිබුණේ සොහොන් පිටියක් නැගෙනහිර පැත්තට වෙන්න ජලය සහිත භූමියක්. ඒ පැතිවලින් ප්‍රහාර ආවේ නැහැ.
සෙල්වනගර් වල දකුණු පැත්තට වෙන්න තිබුණා මඤ්ඤොක්කා කොටුවක්. ඒ පැත්තෙන් ඒ වෙනකොට ප්‍රහාර එල්ලවෙලා තිබුණේ නැහැ. ඒත් මට හිතුනා එතනින් ප්‍රහාරයක් එන්න ඉඩ තිබෙනවා කියලා. මොකද ඒපැත්ත පාළු ප්‍රදේශයක් නිසා. මම එහි අණදෙන නිලධාරි කපිතාන් කුමාරට උපදෙස් දුන්නා අර කලින් උප්පුරායිවලට යවලා තිබුණ ප්‍රහාරක කණ්ඩායම ආපසු ගෙන්වාගෙන මඤ්ඤොක්කා කොටුවට දාගන්න කියලා. ඔහු ඒක කළා. සාජන් මල්ලව සමග ස්පේෂල් ඔපරේෂන් කණ්ඩායමක් තමයි එතන හිටියේ. ඒ ඉන්නකොට එතනින් විශාල ප්‍රහාර දෙකක් ආවා. ලොකු සටනක් දීලා සතුරා පරාජය කළා. එතනින් තුවාල ලැබුවේ අපේ එක්කෙනෙක් විතරයි. ඊට පස්සේ ඒ පිරිසත් කඳවුර තුළට ගත්තා.
මේ අතරේ කට්ටපරිච්චාන්වල ප්‍රහාරය ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මූතූර් ජැටිය තිබුණා. ඒක භාරව සිටියේ ලුතිනන් එන්.ඒ.එස්. නිශ්ශංක හා ලුතිනන් මීපාවල කියන දෙන්නා. ඒ අය කිව්වා අපිටත් දැන් ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. මම අපේ විසිදෙවැනි සේනාංකයේ බලසේනාධිපති මේජර් ජෙනරාල් මෙන්ඩක සමරසිංහට කතා කරන්න හැදුවත් බැරිවුණා. විසිවැනි බලසේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් චූල අබේනායකට කතා කළා. ඔහු මගින් මේක ඉහළට දැනුම් දුන්නා.
අපි අනෙක් කඳවුරුවලට ගහන අතරේ අපේ ප්‍රධාන කඳවුරටත් ප්‍රහාරයක් එල්ල වෙනවා. මම ඒ ගැන අනෙක් කඳවුරුවලට කිව්වේ නැහැ. මොකද ඒ අය දුර්වල වෙයි කියන සැකයට. දැන් අනෙක් කඳවුරුවලින් මෝටාර් ඉල්ලනවා. නමුත් ඒවායේ පිහිටීම අනුව මෝටාර් දෙන්න මට අමාරුයි. කට්ටපරිච්චාන්වලට ඒවා යොදාගන්න හැකියාව තිබුණා. ඒ කඳාවුර ආසන්නයේ තිබූ මුස්ලිම් ගම්මානයකට ආසන්නයේ හිස් ඉඩමක ස්ථාන ගතකරලා මිලිමීටර් 81 මෝටාර්වලින් සහයෝගය දුන්නා. දැන් කට්ටපරිච්චාන්වලට එල්ල වෙන ප්‍රහාර අනුව එතනට පිරිස මදි.
මම එතනදී තීරණය කළා පන්සල් වත්ත ප්‍රදේශයේ තිබුණ කඳවුර අකුලාගෙන කට්ටපරිච්චාන්වලට ගෙන්න ගන්න. ඒ අනුව මම ඔවුන්ට කිව්වා ගේන්න පුලුවන් සියල්ල අරගෙන අනෙක් ඒවා වළදාලා කට්ටපරිච්චාන්වලට එන්න කියලා. මෙහෙම කඳවුරක් ඉවත් කරන්න මූලස්ථානයේ අවසරය අවශ්‍යයි. නමුත් මේ වෙලාවේ හැටියට ඒවා කරන්න වෙලාවක් නැහැ. මේ වෙනකොට ඉතිරි සියලු කඳවුරුවලට ගහන්න පටන් අරන්. අපි එළිවෙන කල් අල්ලගත්තා. එළිවෙන්න කිට්ටුව දැන ගන්න ලැබුණා එල්ටීටීඊයේ හිටපු නායකයෙක් වුණ එළිලාන් කිව්වා කියලා කොහොම හරි කේක් එකෙන් කෑල්ලක් කපාගන්න ඕන කියලා. ඒ කියන්නේ අපෙන් කොටසක් අල්ල ගන්නවා කියන එකයි. මම ඒ ගැන කඳවුරු හා බංකර් සියල්ලට දැනුම් දුන්නා. එළිවෙද්දී අපේ බංකර් අටක් අල්ලාගත්තා. ඒක අපිට සෑහෙන බලපෑමක්. එතනින් තව එහාට ගියොත් අපේ කඳාවුරු අල්ලා ගැනීම පහසු වෙනවා. එහෙම වුණා නම් අපිට විශාල හානියක් වෙනවා.
අපේ ස්ටාෆ් සාජන් කෙනෙක් හිටියා කුලරත්න කියලා. මම ඔහුට උපදෙස් දුන්නා කොහොම හරි මේ බංකර් අට ආපහු ගන්න මම කාලතුවක්කු සහාය අරන් දෙන්නම් කියලා. මම ඒ සහය දුන්නා. කුලරත්න පැය එකහමාරක් වැනි කාලයක් තුළ අර බංකර් අට ආපහු ගත්තා. මේක පහසු සටනක් වුණේ නැහැ. එක දිගට ගහනවා. මම අරුණ ආරියසිංහට කතා කරලා කිව්වා මල්ටිබැරල් අවශ්‍යයි කියලා. ඔහු කිව්වා මේවා ළඟ ගහන්න බැහැ කියලා. නමුත් මම කිව්වා කමක් නැහැ දෙන්න කියලා. අපි ඒවාත් හැකි උපරිමයෙන් යොදාගත්තා.
මේ අතරේ කට්ටපරිච්චාන්වලට එල්ල වුණ ප්‍රහාරයකින් අපේ සන්නිවේදනය පවත්වාගෙන යන්න තිබුණ ඇන්ටනාව කැඩුණා. අමාරුවෙන් ඒක හදාගත්තත් ආයෙත් කැඩුණා. ඊට පස්සේ එතන හිටපු කීප දෙනෙකුගේ ජංගම දුරකථනවල අංක ඉල්ල ගත්තා. හෝමාගම, පනාගොඩ කෑම්ප් එකට කතා කරලා ඒ අංකවලට රීලෝඩ් දම්ම ගත්තා.. ඒ වෙලාවේ පාන්දර නිසා කොමියුනිකේෂන් ඇරලා නැහැ. කොහොම හරි ඒවා අරවාගෙන තමයි රීලෝඩ් දම්මගත්තේ. ඊට පස්සේ සම්බන්ධතා පවත්වාගෙන ගියේ ජංගම දුරකථනවලින්. ඒක පහසු නැහැ.
දැන් මේවත් හදාගෙන ටික වෙලාවක් ගියාට පස්සේ පණිවුඩයක් එනවා ත්‍රස්තවාදීන් කෑම්ප් එකේ ඇතුළෙ ඉඳගෙනත් ගහනවා කියලා. මම වහාම දැනුම් දුන්නා නැවත දැනුම් දෙන තුරු මොනම හේතුවකටවත් එළියට නෑවිත් සියලු දෙනාටම බංකර් ඇතුළටම වෙලා ඉන්න කියලා. ඊට පස්සේ ආරියසිංහට කිව්වා දැන් කෑම්ප් එක ඇතුළට ආටිලරි ගහන්න කියලා. ඔහු මගෙන් ආයෙමත් ඇහුවා සර්ට ෂුවර්ද මේ ගහන්න කියන්නේ කෑම්ප් එක ඇතුළට කියලා? මම කිව්වා ඔව්. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. මම වගකීම ගන්නවා ඔයා ගහන්න කියලා. ඔහු ගැහුවා. ත්‍රස්තවාදීන්ට වෙච්ච දෙයක් නැහැ. අපේ කාටවත් හානියක් වුණෙත් නැහැ. එහෙම එතැන බේරගත්තා. ඒ වගේ වෙලාවට එහෙම තීරණ ගන්න වෙනවා.
අපි දවස් හයක් එක දිගට සටන් කරලා ත්‍රස්තවාදීන්ගෙන් ඒ ප්‍රදේශය බේරගත්තා. ඒ දවස් හයම අපි නිදි වරාගෙන බඩට කෑමක් නැතිව තමයි මේ සටන කළේ. අපේ සමහර කඳවුරුවල ආහාර ගබඩා විනාශ වෙලා. අපේ ප්‍රධාන කඳවුරේ මුළුතැන්ගේ විනාශ වුණා. අපි කහටයි වතුරයි බිබී තමයි වැඩ කළේ
සෙල්වනගර්වල අපිටත් ත්‍රස්තවාදීන්ටත් එක වගේ සමාන වාසි අවාසි තිබුණේ. දැන් මේ වෙනකොට අපිට ආයුධ මදි. පතොරම් නැහැ. ගෙන්න ගන්න හැටියක් නැහැ. පතොරම් හතළිස් ගානක් විසිගාණක් වගේ තමයි අන්තිමට හැම පොයින්ට් එකටම තිබුණේ. මේක හරියට නිකම්ම යටත් වෙනවා වගේ වැඩක්. ඒ නිසා අපිට අල්ලගෙන ඉන්න මෝටාර් සහ කාල තුවක්කු ප්‍රහාර එල්ල කරන්න සිදුවුණේ. නමුත් තවදුරටත් මේක කරගෙන යන්න අමාරුයි. ඒ වෙනකොට හර්ෂ අබේවික්‍රම සර් තමයි ගුවන් හමුදාවේ හිටපු ක්‍රියාන්විත අධ්‍යක්ෂ. අපිට එයාලට ඍජුව කතා කරන්න බැහැ. නමුත් කරන්න දෙයක් නැති කමට ඔහුට කතා කරලා කිව්වා අපිට පතොරම් අවශ්‍යයි කියලා. ඔහු ලවා මුහුදු මාර්ගයෙන් අපි ආයුධ ගෙන්වා ගත්තා. පැය හතරක් ඇතුළත.
තුන්වැනි දවසේ මුතූර් නගරයේ මිනිස්සු කලබල වෙලා. ත්‍රස්තවාදීන් කතාවක් යවලා තිබුණා ඒ ප්‍රදේශය යටත් කරගන්නවා කියලා. එදා දවල් වෙනකොට මිනිස්සු පිටිපස්සට යන්න ගත්තා. එදා උදේ දහයට විතර රෝහලේ හිටපු අමාරු ලෙඩ්ඩු වෙන තැනකට මාරු කරන්න ගෙනියද්දී ඒකට ගැහුවා. ඒ ලෙඩ්ඩු මැරුණා. ඒ සේරම දෙමළ අය. ත්‍රස්තවාදීන් මැරුවේ තමන්ගේම මිනිස්සු.
හතරවෙනි දවස වෙනකොට අපේ ප්‍රධාන අණදෙන නිලධාරි ආවත් යුද හමුදාපති කිව්වා මටම වැඩේ කරගෙන යන්න කියලා. මොකද ඒ වෙනකොට සියල්ල දැනගෙන හිටියේ මම නිසා. අපි දවස් හයක් සටන ඇදගෙන ගියා. සෙල්වනගර්වලින් පණිවුඩයක් ආවා ඩෝසරයක වගේ සද්දයක් එනවා කියලා. පස්සේ ඒක එක සීමාවකදී නැවතිලා. පස්සේ දැන ගත්තා ඇවිත් තියෙන්නේ කන්ටේනරයක් වගේ ලොකු ලොරියක්. ඒක ඇවිත් තියෙන්නේ ත්‍රස්තවාදීන් එයාලගෙ මියගිය අයගේ සිරුරු අරන් යන්න.
සිවිල් මිනිස්සු ජීවිතය බේරාගෙන පිටිපස්සට යද්දී ගල්කන්ද කියන ප්‍රදේශයේදී එල්ටීටීඊයෙන් නවත්වාගෙන. එල්ටීටීඊය ඔවුන්ව ප්‍රාණ ඇපයට තියාගෙන වගේ පහර දුන්නා. අපි සිවිල් වැසියන් බේරල ගැහුවාම ත්‍රස්තවාදීන්ට පරාජය භාරගන්න සිදුවුණා.
අපි දවස් හයක් එක දිගට සටන් කරලා ත්‍රස්තවාදීන්ගෙන් ඒ ප්‍රදේශය බේරගත්තා. ඒ දවස් හයම අපි නිදි වරාගෙන බඩට කෑමක් නැතිව තමයි මේ සටන කළේ. අපේ සමහර කඳවුරුවල ආහාර ගබඩා විනාශ වෙලා. අපේ ප්‍රධාන කඳවුරේ මුළුතැන්ගේ විනාශ වුණා. අපි කහටයි වතුරයි බිබී තමයි වැඩ කළේ. ඇත්තටම ඒ වෙලාවට කෑමක් බීමක් ගැන මතක් වෙන්නේ නැහැ. අපි කැමති විදිහට තේ එකක් හදාගෙන බොන්න හැකියාවක් වත් තිබුණේ නැහැ. ඒ තරම් දරුණු සටනක් එදා එතන තිබුණේ.
මෙතනදී අපිට ලැබුණ අත්දැකීමක් තිබෙනවා. ඒ තමයි එදා පළවෙනියටම ප්‍රහාරය එල්ල කරපු දවසේ දවල් මම අර කලින් කියපු කළපුවේ වෙනදාට වඩා බෝට්ටු ගැවසිලා තියෙනවා.. මාලු අල්ලන්න සාමාන්‍යයෙන් එන බෝට්ටු මොනවද කියලා දන්නවානේ. ඊට අමතරව නිතර බෝට්ටු එහා මෙහා යනවා නම් ඒක ගැන සැලකිලිමත් වෙන්න තිබුණා. නමුත් ඒ ගැන අපේ අය සැළකිලිමත් වෙලා නැහැ.
ඒ ගැන මාව දැනුවත් කළේත් නැහැ. ඒක නිසා තමයි අපිට මුලින්ම ප්‍රහාරයක් එල්ල වෙද්දී අමාරු වුණේ. ඒ තොරතුර ලැබුණා නම් අපි දැන ගන්නවා ත්‍රස්තවාදීන් මොකක් හරි දේකට ලෑස්ති වෙනවා කියලා. ඒක අපේ අයගේ ඒ වෙලාවේ දැකපු දුර්වල කමක්.
යුද හමුදාපති අපිට ගොඩක් ප්‍රශංසා කළා. අපි ගත්තු තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ආවේ නැහැ. යුද්ධයක් කියන්නේ යුද්ධයක්නේ. ඒ වෙලාවට නීති රීති කොළ කෑලි ගැන හිත හිතා වැඩ කරන්න බැහැ. ක්ෂණිකව කරන්න තියෙන දේ කරන්න ඕන, වැරදුණොත් වගකීම ගන්න බලාගෙන. හරියයිද වරදියිද කියලා හිත හිතා යුද්ධ කළා නම් අපි තාම යුද්ධ කරනවා වෙන්නත් පුළුවන්. මොකද එදා අපි ඒ ප්‍රදේශය රැකගත්තේ නැත්නම් එල්ටීටීඊය එතනින් නොනැවතී ඇතුළටම ඇවිත් නාවුක හමුදා කඳවුරුත් විනාශ කරලා පළාතම අත්පත් කරගන්නවා. මේක ආරම්භයේදීම ජයගත් නිසා එතනින් පස්සේ මෙහෙයුම් සාර්ථක කරගන්න ලොකු සහනයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක